සාන්වී ගේ දරු ප්‍රසූතියට දින දී තිබුණේ මැයි මාසයටයි. එය සොඳුරුතම වූ බලාපොරොත්තුවක් විය. අශ්විනී බිළිඳා වෙනුවෙන් අවශ්‍ය සියලු කලමනා මිල දී ගෙන ලංකාවට එව්වා ය. ළදරු නිශ්පාදන සහිත සාප්පු වෙත ගොස් ඒවා තෝරත්දී ඇගේ හිතට දැනුණේ වචන කෝටි ගණනකින්වත් පැහැදිලි කළ නො හැකි ආකාරයේ හැඟීමකි. හදවත මැද මල් යායක් පිපී තිබිණ. සමනල් පිය සටහන් හද පුරා කිති නැංවී ය. ඇයට ඒ තව දුර හීනයක් විය හැක. නමුත් ඇගේ නංගිලා අම්මාවරුන් වෙත්දී හද පුරා සතුටු විය හැකි මව්වත් හිතක් අශ්විනී ට විය. සාන්වී ගේ අලුත් බබාට යවනා තෑගි අතරේ ආයු වෙනුවෙන් ද ඇය විශේෂ සෙල්ලම්බඩු ගොන්නක් ලංකාවට එව්වා ය. නො එසේ වී නම් අමාගී ගේ හිත රිදිය හැකි යයි ඇයට සිතුණ බැවිනි. ඒ සියල්ල මිල දී ගත්තේ ඇය ම ඉපයූ මුදල් වලින් වීම නිසා ඇගේ සතුටට සැහැල්ලුවක් ද එක් වී තිබිණ. ඊටත් වඩා සතුටු වන්නට හේතුව, වසර අවසානයේ ලංකාවට ගොස් පැමිණෙන්නට කසුන් විසින් කැමැත්ත ප්‍රකාශ කරනු ලැබ තිබීමයි.
මාර්තු මාසයේ රාත්‍රියක සාන්වී අවදි වූයේ පිටකොන්ද දිග ඇදී ගිය දරුණු වේදනාවකිනි. මුලින් ම සිදු වූයේ නින්දෙන් ම ඇයට කෙඳිරි ගෑවීමයි. ඒ සිහිනයක් කියා සිතමින් ටික වෙලාවක් ඇය එසේ ම සිටියා ය. නමුත් ඊළඟ ප්‍රහාරය මුල් ඒවාට ද වැඩිය උග්‍ර හා දරුණු වූයේ ය. වේනාවෙන් භරිත ව ඇය නිදමින් සිටි ශාක්‍ය ගේ සිරුර මත අතක් තබා සෙලවූවා ය. සාන්වී ගේ වේදනාත්මක විලාශය දුටු ඔහු නැගී සිටියේ හී ගසක් මෙනි.
“සාන්වී… ඇයි මේ…”
“මට අමාරුයි ශාක්‍ය..හ්…”
ඇගේ මුහුණ ද සිරුර ද දහදියෙන් තෙත්බර වී තිබිණ. ශාක්‍ය වහා යහනෙන් බිමට පැන විදුලි පහන් දල්වා දොර ඇරියේ ය.
“අම්මේ… අම්මේ… සාන්විට අමාරුයි අම්මේ…”
ඔහු කෑගෑවේ සාන්වී තනි කොට පහළ මහලට යනවා ද නැත්ද යන දෙගිඩියාවෙන් පියගැට කිහිපයක් අතරේ පහළ- ඉහළ යමිනි. ඒ අතරේ සාන්වී ගේ වේදනාවේ සංඛ්‍යාතය තීව්ර වෙමින් තිබිණ. ගෙදර හැම කාමරයක ම දොරවල් විවර විය. කවුරුත් හනි හනික මතු මහළට පිවිසියහ. සිය ආතරයිටිස් අසීරුතා පවා මණී ට අමතක වී තිබිණ. සාන්වී ගේ විලාශය ඔවුන් සියළු දෙනා එක මොහොතකට පාෂාණිභූත කරන්නට සමත් විය.
“ඉක්මනට මාගිලට කතා කරනන චූටි පුතා. ලොකයියට කියන්න කාර් එක අරං එන්න කියල”
මණී වහ වහා අවශ්‍ය සියල්ල සිදු කළා ය. දරු ප්‍රසූතියට තව දෙමසක කාලයක් තිබිණි ද සාන්වී ගේ මේ මොහොතේ තත්වය මත ඇය ගෙදර තබාගෙන සිටිත නොහැකි ය. මණී ද අමාගී ද ආර්ය හා ශාක්‍ය ද එක්ව ඇය රෝහල කරා රැගෙන ගියහ. ඒ වන විට සාන්වී ගේ වේදනා අතිශය තීව්ර වී තිබි අතර ඇය ඉවසා ගත නොහී වරින් වර කෑගැසුවා ය. සාන්වී ගේ දරු ප්‍රසූතිය සඳහා වෙන් කරගෙන තිබි විශේෂඥ වෛද්‍යවරයාට රෝහල විසින් ම ඇමතුමක් දෙන ලදුව ඇයව ප්රසූතිකාරය වෙත ගන්නා ලදී. ප්‍රසූතියට දෙමසක් ඉතිරිව තිබිණි ද ඇය ප්‍රසුතියට ආසන්න වෙමින් සිටියා ය.
“අනේ මණී ආන්ටි පොඩීට ගොඩක් අමාරුනෙ. මට බයයි එයා ගැන. අනේ එයාට කරදරයක් වෙයිද…”
අමාගී අතිශය භීතියට පත්ව සිටියා ය. ප්රසූතිකාරයෙන් නැගුණ සාන්වී ගේ වේදනාත්මක කෑ ගැසීම් ඔවුන්ට අසා සිටිය නො හැකි තරම් වූයේ ය. අමාගී ගේ ඇස් වලින් නො කඩවා කඳුළු ඉහිරිණි. මණී, හිතෙන් පත්තිණි මෑණියන්ට අලුත් බාරයක් වූවා ය. ඒ, සාන්වී කරදරයකින් තොරව දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් පසු කිරි මව්වරුන් සත් දෙනෙකු සඳහා කිරි දානයක් දෙන ලෙසටයි.
ශාක්‍ය හිටියේ කැළඹීගෙන යි. ඔහු ප්‍රසූතිකාගාරය අසල ඒ මේ අත සක්මන් කළේ ය. ආසන පේළියෙහි අසුන් ගත්තේ ය. නැවත ද නැගිට සක්මන් කළේ ය. ආර්ය වරින් වර ඔහු ගේ පිටට තට්ටු කරමින් “කලබල නොවී ඉන්නව. අවුලක් වෙන්නෑ” යයි කීවේ ය.
අමාගී ගේ දුරකතනයට නිවනක් වූයේ නැත. දුරේශ් ද සන්දේශ් ද අශ්විනී ද මාරුවෙන් මාරුවට ඇමතුම් ගෙන සාන්වී ගැන විමසූහ.
අවසන ඈ දියණියක බිහි කළා ය. නමුත් දරුවා උපන්නේ සත් මසකින් වන නිසා ඇගේ වර්ධනයේ අසම්පූර්ණතා බෙහෙවින් විය. බිහි වූ ගමන් ඇය විශේෂ වීදුරු බහාලුමක තැන්පත් කොට මව් කුසයෙහි පාරිසරික තත්ව වලට යොමු කරනා ලදී. දැරිය ගේ ජීවිතය සුරක්ෂිත වනු ඇත්ද යන දෙගිඩියාව කවුරුන් තුළත් විය.
“හත් මාසෙන් හම්බවෙන දරුවො හදන්න අමාරුයි කියලයි ඉස්සර ඉඳන්ම කියන්නෙ..අනේ දෙයියනේ මෙව්ව කියල ඒ දරුවන්ගෙ හිත් රිද්දන්නෙ කොහොමද මං…”
මණී ඒ කතාව කීවේ ආර්ය සමගින් පමණ ය. ඔහු අම්මා දෙස බලා සිටියේ උපේක්ෂා සහගත දෑසකිනි.
“දැන් ඉස්සර වගේ නෙවෙයි අම්මෙ. වෛද්‍ය විද්‍යාව ගොඩක් දියුණුයි. කරදරයක් වෙන එකක් නෑ කියල අපි විශ්වාසෙං ඉමු”
ඒ දින කිහිපය, ඒ ගෙවල් දෙක වෙත සංවේගයක සෙවණැලි පතිත කළ කාලයකි. රෝහල වෙත දිවීම ඔවුන් ගේ දෛනික කටයුතු අතරේ ප්‍රධාන ම කාර්යය විය. සාන්වී හා ශාක්‍ය සිටියේ මානසික වශයෙන් කඩා වැටී ය. ඔවුන් ගේ හිත් සතුටෙන් තබන්නේ කෙසේ ද කියා කිසිවෙකු දැන සිටියේ නැත. අමාගී පන්සල් ගොස් බෝධි පූජා පැවැත්වූවා ය. දුරේශ් අලුත් මව් පිය දෙපළ ගේ හිත් හයිය කරගන්නට නොයෙක් දේ කීවේ ය.
“ජීවිතේ කියන්නෙ හැමදාම එකම රිද්මයක් තියන ගමනක් නෙවෙයි පුතා. සතුට වගේම දුක් කරදර හිත් වේදනා වෙහෙස… ඔය කොයි දේත් බලාපොරොත්තු නොවුණු වෙලාවල වුණත් අපේ ජීවිත වලට එන්න පපුළුවන්. අපි ඒ කොයි දේටත් එකම උපේක්ෂාවකින් මූණ දෙන්න ඕනෙ. බුදු හාමුදුරුවොත් දේශනා කළේ අෂ්ඨ ලෝක ධර්මයෙන් කම්පා වෙන්න එපා කියලයි. මේ වගේ වෙලාවක හිත දුර්වල කරගෙන කඩාවැටෙන එක නෙවෙයි කරන්න තියෙන්නෙ හිත් හයිය කරගෙන එන දේකට මූණ දෙන එක”
නමුත් ශාක්‍ය කෙසේ වී ද සාන්වී අතිශය තැවුලට පත්ව සිටියා ය. ඇගේ තුරුලේ සිටිය යුතු දරුවා ඇගෙන් වෙන් කොට වීදුරු පෙට්ටියක ජීවිතය සමග සටන් කරන හැටි බලා සිටින්නට අම්මා වශයෙන් ඇයට බැරි ය. එය වේදනා උපදවයි. සංසාරය දුකක් ම බව පසක් කරවයි. නමුත් ඉරණම විසින් උරුම කර දෙන යමක් දෝත පා පිළිගන්නවා මිස මේ වෙලාවේ සටන් කරන්නට හැකියාවක් වූයේ නැත. කා එක්ක නම් සටන් කරන්න ද?
දිගු, කටුක හා අඳුරු කාල පරිච්ඡේදයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසු අවසානයේ ජයග්‍රහණය ඔවුන් කරා එළඹ තිබිණ. ඒ බිළිඳිය වීදුරු කුටියෙන් ඉවත් කොට මව් තුරුළට ලබා දුන් දිනයේ ය. සාන්වී දැරිය තුරුළු කොටගෙන ඉකිබිඳ හැඬුවා ය. ඇගේ හැඟීම් කඳුළු මිස වචන කරන්නට ඈ දැන සිටියේ නැත.
“ඔයාව මට ගෙදර ගෙනියන්න දෙන්න කියල විතරයි පැටියො මං දෙයියන්ගෙන් ඉල්ලුවෙ. හිස් අතින් යන්න වුණානං කොහොම මං ඒ දුක දරාගන්නද… ඔයාව පිළිගන්න ගෙවල් දෙකක ඔයාගෙ අය බලං ඉන්නව. ලොකු අම්ම රට ඉඳං හැමදාම කතා කරනව. මං ඒ අයට මොනාද කියන්නෙ ඔයා මං ළඟට ආවෙ නැත්තං… මගෙ රත්තරං මැණික දැන් ඉතිං සනීපෙං… අම්ම ඔයාව පරිස්සමට බලාගන්නව පුතේ”
කතා කළේ ඇගේ හිත විතර ය. ඔවුන් ගේ ජීවිත අහස් තලාවට ඉහළින් මුදුන් වී තිබි අඳුරු වලාව මඳින් මඳ ඈතට ගසාගෙන යන්නට විය. තව දින කිහිපයකට පසු ඒ ලස්සන රෝස මල ගෙදර ගෙන යන්නට ඔවුන්ට අවස්ථාව උදා විය. ආර්ය ගේ රියෙහි ශාක්‍ය ද දුරේශ් ද මණී ද සාන්වී හා රෝස මල කැටුව ගියහ. බිළිඳිය උකුලේ තබාගෙන ගියේ මණී ය. ඔවුන් ගේ පවුලට ලැබුණු කුලුඳුල් ගෑනු දරුවා ඇයයි.
විවාහයට පෙර ශාක්‍ය පාවිච්චි කළ, පසුව ආර්ය හා ආයු විසින් පාවිච්චි කරන ලද කාමරය දරුවා හා අලුත් මව් පිය යුවළ වෙනුවෙන් සැකසී තිබිණ. ඒ මණී ට නිතර මතු මහළට යා නො හැකි බැවිනි.
විවාහයෙන් පසු ආර්ය හා අමාගී ආයු සමගින් පදිංචි වූයේ මල්වත්තගේ ගෙදර, මීට පෙර අමාගී සිය සොයුරියන් දෙදෙනා සමගින් බෙදාගත් කාමරයේ ය. සන්දේශ් ගේ ඒ යෝජනාව මණී එකහෙළා ස්ථිර කළා ය.
” සාන්විත් මෙහේ ඉන්න එකේ මාගි එක්ක ලොකු පුතා එහේ හිටපුදෙන්. නැත්තං ඒ ගෙදරටත් පාළුනෙ. අනික දුරේව තනි කරන්න බෑ. මාගි ඉන්න තැනක තමයි දුරේ ඉන්න ඕනෙ”
ඇගේ අදහස වූයේ එයයි. ඇගේ ඒ කතාවට උපුල් මහානාම බඩ පිරිමදිමින් සිනහ වූයේ ය.
“දුරේ… අපේ මණී ඔහොම කිව්වට දුරේට විතරක් නෙවෙයි එයාටත් ඉන්න ඕනෙ මාගි ඉන්න තැනක තමයි”
දුරේශ් හඬ නගා සිනහ වූයේ ය. මණී මූණ ඇද කරගත්තා ය.
“ඔව් ඉතිං. පොඩි පුතාල ගේ හදං ගිය දවසක… හෙට අනිද්දම පූ ලංකාවෙන් යන්න ගිහින් පිටරටක ජීවත් වෙන්න ගත්තහම… තව ටිකක් කාලයක් ගිහින් චූටි පුතා වුණත් පෙළවහක් කරගත්තහම… සන්දේශ් පුතත් කටයුත්තක් කරං ගේ හදල ඉවර කරං ගියාම… අපි දෙන්නත් මාගි ළඟට එයි. අපි දෙන්නටයි දුරේටයි මාගියි ලොකු පුතයි එක්ක දුරේලගෙ ගෙදර ඉන්න පුළුවන්නෙ”
“අපේ ජීවිත වල අන්තිමම කාලෙත් මේ ළමයින්ට උදව්වක් පදව්වක් කරගෙන හිතේ සැනසිල්ලෙන් ඉන්න තිබුණොත් ඇති මණී”
“අනිත් හැම ලේලිටම මං එකවගේ ආදරෙයි තමයි. ඒත් මාව අම්මෙක් වගේ බලාගන්න පුළුවන් මාගිට විතරයි කියල මං දන්නව”
“හැරමිට්ටෙන් ඇවිදින කාලෙකත් අපි දෙන්න ඔය බංකුවට වෙලා ශොට් එකක් ගහමු දුරේ”
දුරේශ් ගේත් මහානාම ගේත් සිනා හඬ පිළිරැව් නැඟිණ. ගෙතුළ සිටි ආයු මිදුලට එබී බැලුවේ ය.
“අල දෙන්ගෙ හිනාව බලන්නකො අම්මි”
ආර්ය ගේත් අමාගී ගේත් සිනහව සඟවන බැල්ම අනුව තමන් විසින් පවසන ලද්දේ පැහිච්ච කතාවක් බව වටහා ගත් ආයු, අමාගී ගේ දෙපා බදා මූණ සඟවාගත්තේ ය. ආර්ය ඔහු වඩාගත්තේ ය.
“දැන් ඔයා නංගි බබා එක්ක සෙල්ලං කරනවද…”
“පුංචා දෙන්නෑනෙ මට නංගි ඩෝල්ව”
“තව චූට්ටක් එයා ලොකු වුණාම දෙයි හොඳේ. තාම නංගි චූටිනෙ. මගෙ පුතාට බෑනෙ නංගිව බලාගන්න”
“අපි ගේමුද අපිටම නංගි ඩෝල් කෙනෙක්… අම්මි… එතකොට ඔයා මට දෙනව නේද එයාව… ආ… කීන්නකො”
අමාගී හ්ම් කියන්නේවත් නැතිව සිය කාරියෙහි නිරත වූවා ය. නමුත් කම්මුල් වලට ලේ පුරා බර වී තිබිණ. ආයු දඟලා යළි බිමට බැස පිටතට දිව ගියේ ය. ආර්ය සිය පෙම්බරියට ලං වූයේ ය.
“ආයුත් කියන එකේ එක්කො ඔන්න ඔහෙ ගේමු නේද…”
අමාගී යටැසින් ඔහු දෙස බැලුවා ය.
“හම්මෝ එක්කො ඕන්නෑ. සාන්වි නිසා දැන්නං මට බයයි”
“හැමෝටම එහෙම වෙන්නෑ ඉතිං”
අමාගී ට කියවී තිබුණේ ඈ කියන්නට උන් කතාවක් නොවේ. ආර්ය ඇගේ මුහුණ දෙස බලාගෙන ම සිටියේ ය. ඇගේ කම්මුල් රත් පැහැයකට හැරී තිබේ. ඔහු ගේ දෙතොල් අතරේ අඩ සිනහවක් සරැලි නැගුවේ ය.
“මොක්…ක… ද අනේ…”
අමාගී ලැජ්ජාශීලීව ඔහු මත අතක් තබා ඉවතට තල්ලු කළා ය. ආර්ය බලයෙන් ම ඈ අල්වා හිස සිපගත්තේ ය.