සුහදිනි -23

“උඹ කොහොමටත් මාව කියෝගන්න බව මං දන්නව මචං.පොඩි කාලේ හෝම් වර්ක් නොකර ඔබේසේකර මිස්ට උගුල් අටවන්න ප්ලෑන් කරපු කාලේ ඉඳලා උඹ මාව කියෝනව.ඒ නිසා මේ පාරත් උඹ මාව කියෝනව.”

අහස් එසේ කියන්නේ හැඟීම්බරව ය.සැබෑවකි.හොඳ මිතුරෙකුට මිතුරා කියවා ගැනීම අපහසු නොවේ.සියුම් අහස්ට ඔහු කුමන මොහොතක් පසු කරමින් සිටිය ද ආදරය කළේ ය.ඔහුව ඒ ආකාරයෙන්ම පිළි ගත්තේ ය.මිත්‍රත්වය යනු ඕනෑම මොහොතක් එක්ව පසු කිරීම බව සියුම් විශ්වාස කළේ ය.එහෙත් මේ මොහොතේ අහස් කියන්නට යන දෙය හදිසි තීරණයක් බව සියුම්ට සිතේ.

“මං සකීට ආදරෙයි.”

ආදරය අනුකම්පාව මත ඉපැදිය යුතු නැති බව සියුම් ඉතා සියුම්ව පැවසී ය.අහස් සියළුම භූමිකම්පා ඇති කරගන්නේ අනුකම්පාව හන්දා ය.

“ඒ දරුවගෙ තාත්තාට කැන්සර් එකක් තියන නිසාවත් ඒ ළමයාට උඹ හින්දා ගොසිප් පඩංගුවක ගොන් හැත්තක් ගොසිප් හදපු නිසාවත් උඹ ඒ ළමයා බාර ගන්න ඕන නෑ අහස්!”

සියුම් පැවසුවේ අණක ස්වරූපයෙනි.අහස් විකාර කරන බොහෝ තැන්වල ඔහු මිතුරා නැවත්වූයේ අණ දීමෙනි.

“බාර ගන්න එකයි ආදරෙයි කියන්නේ වචන දෙකක් මචං”

බොහෝ කාලයකින් මත ගැටුමක් ඇති වී නොමැත.එහෙත් එවැන්නක් ඇති වෙමින් පවතින බව අහස්ට සිතිණ.

“මං සකීට ආදරෙයි.මං කවදහරි කසාද බැන්දොත් බඳින්නෙ එයාව.”

එය පැහැදිලි ප්‍රකාශයකි.එහෙත් ඒ පැහැදිලි ප්‍රකාශය ගැන පවා සියුම්ට ඇති වූයේ සැකයකි.එවැනි ආදරයක් ඇති වීමට තරම් සමීප බවක් ඔවුන් කෙරෙහි ඇති වන්නට ඉඩක් නොවේ.

“හරි,මුලින්ම කූල් වෙයං.ඊටපස්සෙ පොඩ්ඩක් ආස්සරේ කරහං.ඒ ළමයා මේ කන්දක ඇකඩමික් බර තියාගෙන ගෙදර ප්‍රශ්නත් තියාගෙන සාමාන්‍ය ජීවිතයක් ගෙවන පොඩි කෙල්ලක්.මං කියන්නෙ නෑ උඹට සාරණ්‍යා වගේ කෙල්ලක් තමයි ගැළපෙන්නෙ කියල.ඒත් උඹ යන පාරේ යන මනුස්සයෙක්ට සකී කියන්නෙ පුංචි කෙල්ලක් බං”

මේ අහඹු සිතිවිල්ලක මිස සැබෑ ප්‍රේමයකැයි සිතන්නට සියුම් තවමත් කැමැත්‍තක් නොවේ.ඔහු මිතුරාගේ හදවතින් ඒ සිතුවිල්ල ඉවත් කරන්නට හීන් සීරුවේ සැරසෙන්නට විය.වඩාත් සැර කතාව පැවසිය යුත්තේ ඉතා සෙමිනි.

“මචං,අෆෙයා එකක් කැත විදියට බ්‍රේකප් වුණාම අපි ඊළඟ අෆෙයා එක ඉක්මනින් පටන් ගන්න හදනවනම් ඒ අනිත් කෙනාගෙන් පලි ගන්න.තිත්ත වුණත් ඒක ඇත්තක්.ගොඩක් වෙලාවට ඒක මාරම ඇත්තක්.”

සියුම් පවසන්නට යන්නේ සකීට ළං වීම සාරණ්‍යාගෙන් පලි ගැනීමට හේතුවක් ලෙස ය.ඔහු මැදියම් රෑ සිහින ගැන කිසිවක්ම නොදනී.ඒවා ගැන පැහැදිලි කිරීම ද පහසු නොවේ.

“සාරණ්‍යාගෙන් පලි ගන්න ඒ වගේ අහිංසක ළමයෙක් යාලු කරගෙන පුලුවන්ද බං? ඇත්තටම ඉරිසියා හිතෙන්න එයාට වඩා දක්ෂ,ලස්සන කෙනෙක් යාලු කර ගන්න වෙනව එයාගේ ෆීල්ඩ් එකේම.”

අහස් පැවසුවේ ඉතා සැහැල්ලු ලෙසට ය.අනුෂ්කා ෂර්මාව සහමුලින්ම අනුගමනය කරන්නට සාරණ්‍යගේ වූ සිහිනය සිහි වෙද්දී ඔහුට උපදින්නේ සිනාවකි.

“අවුරුදු පහ හයක් වැඩිමල් වුණාට කමක් නෑ.එහෙනම් ශලනි එක්ක යාලු වෙයං.අන්න එතකොට සාරණ්‍යාගෙ විරුෂ්කා හීනෙටත් කෙළ වෙනවා.උඹට නරකක් වෙන්නෙත් නෑ.දක්ෂ ලස්සන මොළයක් තියන කෙල්ල.සේරටම වඩා ආයේ සාරණ්‍යා වචනයක් කියන් නෑ.”

ඒ පලිගැනීම වෙනුවෙන් ඇති කරගන්නා සම්බන්ධතාවයක් බව අහස් පැවසුවේ නැවතිල්ලේ ය.ජීවිතය සම්බන්ධයෙන් කිසිම වටිනාකමක් උපයා නොගත් සාරණ්‍යාට රිදවීමට ඇගේ ක්ෂේත්‍රයේ දිදුලන තාරකාවක තෝරා ගැනීම ඵල රහිත ය.එය ආදරය හන්දා ඇති වෙන සිතුවිල්ලක් නම් කම් නැත.නමුත් සාරණ්‍යාට රිදවීම වෙනුවෙන් එවැනි තෝරා ගැනීම් කළ යුතු නොවේ.

“මට ඕනෑ සැනසිල්ලේ ජීවත් වෙන්න බං.මං මේ තෝරා ගත්තු පාර මට ඇත්තටම මහන්සි ගේන තැන් වැඩී.මහන්සි නිවාගන්න දුවගෙන එන්න ගෙයක් වගේ ගෑනියෙක් මට ඕනෑ බං.”

සකී නිහඬ නිස්කලංක දැරියක බව සියුම් හොඳින් දනියි.ඇගේ සාමාන්‍ය ස්වරූපය සම්බන්ධයෙන් යම් නිගමනයකට එන්නට ද නොහැකියාවක් නොවේ.නමුත් ජීවිතය එක්ව යන්නට ඇය සන්සුන් දැරියක වීම ප්‍රමාණවත් නොවේ.

“මට උඹ කියන ඒවා ඔක්කොම තේරෙනව.”

අහස් කියන්නේ මන්දස්මිතයක් සහිතව ය.සමහර කාරණා අවශ්‍ය වූ විට ඔහු ඒ කාරණාව ලෙහෙසියෙන් අත හැර නොදමන තැන් සියුම් සිහි කළේ ය.

“ජීවිතේ මැච් එකක් නෙවෙයි අහස්.කොහොමහරි දිනන්න ග්‍රවුන්ඩ් එකට ගිහින් උඹ යකෙක් වගේ දඟලන වෙලාවට මම මුළු රටම එක්ක එකතු වෙලා උඹට චියර් කරා.එතකොට උඹ මගේ සහෝදරයා කියල හිතනවටත් වඩා මං හිතුවේ උඹ තමයි වැඩේ ගොඩ දාන එකා කියලා.ඒත් මේවා කොහොමහරි දිනන්න ඕන ටාගට් නෙවේ අහස්.මේ උඹේ ජීවිතේ.මැච් වලට චියර් කරනවට වඩා මහ හයියෙන් මට උඹේ ජීවිතේට චියර් කරන්නෝන.”

සියුම් මොන ආකාරයක මිතුරෙක්දැයි අහස් හොඳින් දනියි.ඉතා අනෝරා වැසි ඇද හැලෙද්දී ඔහු අහස්ව රැක ගන්නට කුඩයක් හෝ සොයා ගත් මිතුරෙකි.රහසක් යැයි කියන්නට අංශුමාත්‍රයක්වත් ඔවුන් දෙදෙනා අතර නොවී ය.නමුත් දැන් එවැන්නක් තිබේ.සිහිනයේ දකින්නිය දෑස් අද්දරට පැමිණ ඇතැයි මිතුරාට හෙළිදරව් කිරීම අපහසු ය.එය බෙදා ගන්නට නොහැකි කාරණාවකි.තමන් උමතු වී ඇතැයි සියුම් සිතන්නට ඉඩ තිබේ.

“මේවා තමයි දිනන්න ඕන ටාගට් මචං.මට ජීවිතේ හරි මහන්සි”

අහස්ගේ හඬ සැබෑවටම වෙහෙසකාරී බව සියුම්ට සිතේ.ඕනෑතරම් කෙල්ලන් දැක ඇති ඔවුන් ආශ්‍රයට ඉඩ ලැබෙන අහස්ට සකීගෙන් දකින්නට ලැබුණු විශේෂත්වය සියුම්ට ප්‍රහේළිකාවකි.

“හරි,ඕක කල් අරගෙන හෙමින් කියමු.”

සියුම් අවසාන යෝජනාව කරන්නට සිතුවේ ය.ඔහු නික්ම ගිය පසු අහස් යහනට වී සූරියකාන්ත මල් පිරුණු සිතුවම දෙස මඳ වෙලාවක් බලා සිටියේ ය.සකී කෙදිනකවත් රටින් පිට නොවූ දැරියක වන්නට ඇත.එහෙත් ඇගේ අතකින් අල්ලාගෙන සූරියකාන්ත මල් යායක සැරිසරන සිහිනයකින් ඔහු පිරී යන්නට වූයේ ය.

(ඔබේ ප්‍රතිචාරය තබා යන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles