ඉවසීම

පූජා පාර කොණට දුවගෙන ඇවිල්ලා දර්ශන පාර අයිනේ නවත්වාගෙන හිටපු වාහනයට නැග්ගේ කලබලෙන්. තමන්ගේ විනාඩි පහක ප්‍රමාදය දර්ශන ලොකුවට ගන්න බව පූජා අත්දැකීමෙන්ම දන්නවා.

” මොනාද පූජා මෙච්චර වෙලා කළේ ? මං එනවා කියලා ඔයාට කියලා පැය තුන හතරකටත් වැඩියි.ලෑස්ති වෙන්න මෙච්චර වෙලා ගියාද ? ” 

දර්ශන සුපුරුදු පරිදි බනින්න පටන් ගත්තෙ වාහනය පදවන කරන අතරතුරේ.

” අනේ සොරි දර්ශන, ගෙදර පොඩි වැඩ වගයක් තිබුණා ඒකයි පරක්කු වුනේ ලෑස්ති වෙන්න ” 

” ඔයාට මට වඩා ලොකු වැඩේ මොකක්ද ? “

” ඔයා දන්නවනේ නිවාඩු දවසට අම්මා මාව මොනවා හරි වැඩකට අල්ල ගන්නවා කියලා. මං දැනුත් මේ ආවේ ඔෆිස් එකේ යාලුවෙක් hospital කියලා ” 

” ඉක්මනට අපි ගැන ගෙදරට කියන්න එහෙනම්.බොරු කියන්න ඕනෙ නෑනේ පූජා.මොකද අපි දැන් පොඩි ළමයි නෙමෙයිනේ ” 

දර්ශන කියන කතාව ඇත්තක් තිබුණා වුණත් තාමත් මේ සම්බන්ධය ඇතුලේ වැඩිපුර හිතන්න ඕන තැන් ගොඩක් පූජාට දැනෙමින් තිබුණා. ඒත් දර්ශන කියන්නේ අවුරුදු දෙකක් පුරාවට තමන්ගේ පෙම්වතා වීමත් , ඔහු නරක පුද්ගලයෙක් නොවීමත් පූජා තවත් ඉවසන්න හේතුව වුණා.

” ලබන සතියේ office එකේ anual party එක දර්ශන. මට ඇඳුමක් ගන්න ඕනේ ” 

දවසක් ඔෆිස් ඉවර වෙලා එන ගමන් පූජා කිව්වේ හදිසියේම මතක් වෙලා. 

” දැන් ඔයා ඔය පාටි එකට යන්න මගෙන් අවසර ගත්තද ? ” 

” අනේ දර්ශන අවුරුද්දට එක පාරක් විතරයිනෙ ? ” 

” ඕවයේ ගිහිල්ලා අනිත් එවුන් එක්ක කාලා බීලා නටල රෑ වෙලා ගෙදර එන්න ඔයාට පිස්සුද ? ඔහොම ජවුසං නැටුවම ඔ‍ෆිස් එකේ ඔයාට තියෙන තත්වේ මොකක්ද ? මතකනෙ ගිය පාර රෑ දොළහත් පහු උනා ගෙදර එද්දී ” 

අවුරුද්දට වතාවක් තියෙන සාදයට යන්න දර්ශන ඒ විදිහට අවසර නොදුන්නත් සාදයට දවස් දෙකක් විතර දර්ශනටම ඒ ගැන මතක් වුණා.

” ඔන්න ඔහේ ගිහිල්ලා එන්න. මම එන්නම් ගන්න. ගිහිල්ලා පොඩ්ඩක් ඔළුව දාලා ආවම ඇති තේරුනාද ? ” 

කලින් දවසේ දර්ශන සාදයට යන්න එපා කියද්දී ඔහුත් එක්ක වාද නොකිරීම ගැන පූජා සතුටු වුනේ ඒ වෙලාවෙදියි.

” උඹ ඔහොම ඉවසන හින්දම දර්ශනට හොඳයි. වෙන ගෑනියෙක් වගේ නම් දාලා ගිහිල්ලා බං. ඇත්තමයි මට නං බෑ ඔච්චර ඉවසගෙන ඉන්න. අපේ කැලුම් මට ඔහොම කළා නං මම නම් අත ඇරලා දානවා  ” 

කාර්යාලයේ පූජාගේ හොඳම මිතුරිය නිසංසලා එහෙම කිව්වේ අන්තිම මොහොතේ තමන්ට සාදයට සහභාගී වෙන්න අවසර ලැබුණ බව පූජා සතුටින් කියනකොටයි.

” හරි හරි දැන් කොහොම හරි මං පාටි එකට එනවනේ. ඒ ගැන හිතලා සතුටු වෙයංකෝ බං” 

පූජා උත්තර දුන්නේ මිතුරියගේ පිටට පහරක් ගහන ගමන්. 

” මං දැන් මෙතනට ඇවිල්ලා පැයක් විතර. මං කිව්වනේ වැඩි වෙලාවක් ඉන්න එපා කියලා.පොඩ්ඩක් බුරුල දුන්නම ඔයා එනවා කරේ නගින්න  “

සාදය දවසේ රෑ එනවා කියපු වෙලාවටත් දර්ශන පූජාව එක්ක ගෙන යන්න ඇවිල්ල තිබුණා. ඒ උනත් කාර්යාලයේ මිතුරන් ගෙන් පූජාට ගැලවීමක් නොතිබුණ නිසා උත්සව ශාලාවෙන් එළියට එන්න පූජා තරමක් ප්‍රමාද වුණා. ඒ ගැන දර්ශන හිටියේ පුදුමාකාර කෝපයකින්.

” පව් කියලා එන්න අවසර දුන්නම තමුසෙට මාව විහිලුවක් උනාද ? ” 

” අනේ දර්ශන යාළුවො එන්න දුන්නේ නැහැ . හැමදාම වැඩ කරලා මේ වගේ අවස්ථාවක් අපිට හම්බවෙන්නේ නෑනේ හැමදාම.” 

” තමුසෙට උන්වද ලොකු මාවද ? ” 

දර්ශන එක එල්ලේම පූජා දිහා බලාගෙන ඇහුවා. 

” මට ඔයාව වටිනවා තමයි. ඒත් ඒ වෙලාවේ මම මොනවා කරන්නද ? ” 

ඊට පස්සේ දර්ශන මොනවා කිව්වත් පූජා නිහඬව හිටියා. හැම ප්‍රශ්නයකටම උත්තරය ඉවසීම කියලා පූජා ඒ මොහොතේත් විශ්වාස කළා. 

” මම නම් දැනගත්තා දර්ශන මොකක් හරි ලොකු නැටුමක් නටයි කියලා ඔයා යන්න පරක්කු උන එකට ” 

නිසංසලා කිව්වේ කෑම පැය අතරතුරදී. මිතුරියගේ සම්බන්ධය ගැන ඒ තරම් පැහැදීමක් නොතිබුණත් ඕනෑවට වඩා ඇයට උපදෙස් නොදී ඉන්න නිසංසලා හිතාගෙන තිබුණා. 

” රණ්ඩු කරලා විසඳ ගන්න බැරි ගොඩක් දේවල් ආදරේට කරන්න පුළුවන් නිසංසලා. මමත් ඒ වෙලාවෙ එයත් එක්ක රණ්ඩුවට ගියා නං සමහර විට අපි දෙන්නා දෙපැත්තකට වෙන්නත් තිබුණා. ඒත් මං කරන්නේ ඒ වෙලාවට ඉවසන එක ” 

” ඕක ඉවසීමද මෝඩකමද කියලා දෙපාරක් හිතන්න දවසක් ඔයාට කවදා හරි එයි පූජා ” 

නිසංසලා නොකියා කියන කතාවේ ඇත්තක් තිබුනත් තවදුරටත් ඉවසන්න පූජා හිතුවා.

සතියකට දෙතුන් වතාවක් රණ්ඩු වෙන්න හේතුවක් හොයා ගන්න දර්ශනට පුළුවන් වෙද්දී ඒ හැම වතාවකම නිහඬතාවයෙන් පිළිතුරු දෙන්න පූජා පුරුදු වුණා. ඒ නිහඬතාවය ඇත්තටම තමන්ගේ සම්බන්ධය රැක ගන්න පූජා ට තියෙන උවමනාව බව දර්ශන එක මොහොතකදී තේරුම් ගත්තා.

” ඇයි පූජා ඇත්තටම මට මාව control කරගන්න බැරි තැන් වලදී ඔයා මාව අතාරින්නෙ නැත්තේ ?  ” 

අන්තිමට දර්ශන එහෙම ඇහුවා.

” මට ඔයාව අතාරින්න ඕනෙ නැති නිසා. මං ඔයාට ආදරේ නිසා. ඇත්තටම ආදරේ මිනිස්සු රැඳිලා ඉන්න එක හේතුවක් හරි හොයා ගන්නවා දර්ශන “

” ඉතින් ඔයාට තියෙන ඒ එක හේතුව මොකක්ද ? ” 

” ආදරේ ” 

පූජා එක වචනයකින් උත්තර දෙද්දී දර්ශන නිහඬ වුණා. සිතුවිලි අතින් පූජා මොනතරම් ඉහළ තැනක ඉන්නවද කියල දර්ශනයට තේරුම් ගන්න ඒ මොහොතේදී පුළුවන් වුණා. පූජාට ආදරය කරන්න තමන් ගත්ත තීරණය ගැන දර්ශනට දැනුනේ සතුටක්.

” ඔයාට තරහා යන තැන් වලදී මං ඔයාව දාලා ගියා නං , මං ඔයාව ඉවසුවේ නැත්තම් අපි දෙන්නට මෙච්චර දුරක් එන්න හම්බ වෙන්නේ නෑ දර්ශන. ආදරය ඇතුලේ වැඩිපුරම තියෙන්න ඕන ඉවසීම. ඒ ඉවසීමට පුළුවන් ගොඩක් දේවල් කරන්න. ඔයාට ඉවසන්න බැරි නිසා , ඒ වෙනුවට මං ඉවසලා අපි දෙන්නව රැක ගන්න එකේ වැරැද්දක් මං දකින්නේ නෑ” 

පූජා නිවී සැනසිල්ලේ කියාගෙන ගියා.

” හැමදේටම මට සමාවෙන්න පූජා. අදවත් මං මේක තේරුම් නොගත්තා නම් අපිට අපි නැති වෙන්න තිබුණා ” 

” ඒ මං එහෙම වෙන්න දුන්නොත් නේ. කවදාහරි ඔයා මේ ටික තේරුම් ගන්නව කියලා මං ලොකු විශ්වාසෙකින් හිටියේ. අන්තිමට කොහොම හරි ඒක උනා ” 

පූජා කිව්වේ වෙනදාටත් වඩා ආදරයෙන්.

More Stories

Don't Miss


Latest Articles