ජීවිතය කවියක් නොවේ – 37

0
2330

ත්‍රිකුණාමලයට පැමිණ මසකටත් එහා ගිය  කාලයක් ඉක්මවා ගොස් තිබිණ. ඒ කාලයේදී සිදු වූ එක් සුවිශේෂී සිදුවීමක්නම් ඇය හෝටල් කාමරයෙන් නික්ම ඉන්දුමාගේ නිවස ආසන්නයේම කුඩා නිවසක් කුලී පදනම මත ලබා ගැනීමය.

අපේක්‍ෂා කළ ජීවිතය නොවූවත්,  මදක් දුෂ්කර වුවත් ඈ ඒ ජීවිතයට හුරු වෙමින් උන්නාය. ඒ අතරේම ඕ “ සරලව ඉංග්‍රීසි උගනිමු..”  යනුවෙන් ප්‍රාථමික පන්ති සඳහා වැඩ පොත් කිහිපයක් සකස් කළාය. ඒ නම තැබුවේ ඉන්දුමාය. කොහොමටත් හසාරාට එදවස සිට ඉංග්‍රීසි විෂය පිළිබඳව පුළුල් දැනුමක් විය. ඇගේ පියා නිවස ඇයටත් සොයුරියටත් සිංහල භාෂාව කතා කිරීමට තහංචි පනවා තිබිණ. පසුකලෙක සොයුරියට පවා ඕස්ට්‍රේලියාවවන් රටක විශ්ව විද්‍යාලයක කථිකාචාර්‍යවරියක ලෙස සේවය කරන්නට ඒ දැනුම උපකාරී විය.

  මුලදී එම පොත් කිහිපය සකස් කලේ පාසලේ දරුවන් සඳහා වුවත් සරල කෙටි ක්‍රම තිබියදීත් ඉංග්‍රීසි විෂය මහා හිසරදයක් කරගන්නා දරුවන් උදෙසා ඒවා මුද්‍රණය විය යුතුයැයි ඈ  තීරණය කළාය. ඒ අදහස ඇයට මුලින්ම පැවසූයේ බුවනෙක වන්නිආරච්චි විසින්ය. ඒ ඇය ස්වේච්ඡාවෙන් ඉගැන්වූ  පාසලේ තරුණ විදුහල්පතිවරයාය.

“ මම අහම්බෙන් තමයි හසාරා මේ පොතක් අතට අරගෙන බැලුවේ. මං හිතන්නෙ නෑ මේ සත්කාරය මගේ පාසලේ ළමයින්ගෙන් විතරක් නිමාවට පත් වෙන්න ඕන එකක් කියලා. බොහොම සරලව ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් නියමම ක්‍රමය හසාරා හොයාගෙන තියෙනවා. ඇයි අපේ දැනුම අපි අපේ රටේ දරුවන්ට නොදෙන්නේ. මගේ පාසලේ දරුවෝ වගේම ඉංග්‍රීසි විෂය මතක් කරණකොට  ඔලුව කැක්කුම හැදෙන දරුවෝ මේ රටේ ඕන තරං ඉන්නවා. අපි ඒ දරුවන් වෙනුවෙන් මේ පොත මුද්‍රණය කරමු හසාරා…”

ඉන්දුමාත්  එම තීරණය පිළිගත්තේ ඒකමතිකවය. එවන් සිතුවිල්ලක් මුලදී ඇති නොවූවත් අවසන හසාරා ඊට එකඟ වූවාය. සියල්ලෝම විශ්වාස  කරනා  පරිද්දෙන් තම දැනුමෙන් දරුවන්ට යහපතක් වනවානම් එය සඟවාගෙන සිටීම ඵලක් නොවේ. යළිත් හසාරා විශ්ව විද්‍යාලයේ ගතකළ අතීතයේ සුවඳ විඳිමින් උන්නාය. ශිෂ්‍ය සංගම් සමග එක්ව සිදුකළ සමාජ සේවා ක්‍රියාකාරකම් බොහෝමයකි.

මේ අතරතුර කාලයේදී හසාරා වරක් දෙවරක්ම කොළඹට ගොස් පැමිණියේ නිවස සම්බන්ධව වූ නීතිමය වැඩ කටයුතු කිහිපයක් සඳහාය. පුදුමයට කාරණයනම් තමාට කිසිදු හිරිහැරයක් නොවන ලෙස ධනංජය ඒවා පිළියෙල කර තිබීමයි. 

“ යන මිනිහට උඹට  ඕන දෙයක් උනාවේ  කියල දමල ගහලා යන්න තිබුණා. ඇයි බං මේ තරං මේ පිරිසිදුවට පිළිවෙලට මේ දේවල් හදලා ගියේ. සමහරවිට උඹ උසාවි පොලිසි ගානේ රස්තියාදු වෙයි කියලා තියෙන බයට වෙන්න ඇති. මේ මනුස්සයා තමන්වත් තේරුම් ගන්න උත්සාහ නොකරපු මනුස්සයෙක්..”

කොළඹ ගොස් පැමිණි දිනක ඉන්දුමා පැවසූයේය රාත්‍රියේය. හසාරා ඉවත බලාගෙන දිගු සුසුමක් මුදා හැරියාය. මතක අමතක කිරීම ලෙහෙසි පහසු වන්නේ නැත. දිය යට එබ්බ වූ රබර් බෝලයක් සේ යළි යළිත් ඒවා උඩට මතුවෙමින් සිත රිදවාලමින් සැඟව යයි.

කිහිප වතාවක් ධනංජයගේ නිවසට කතා කරන්නට සිතුනත් අවසන ඕ එසේ නොකළාය. කොහොමටත් ධනංජයගේ සොහොයුරිය සිටියේ ඔහුව අනුමත කරමින්ය. තමාගේයැයි සිතුණු මිනිසුන් අතහැර දැමීම ලෙහෙසි පහසු වන්නේ නැත. එහෙත් උවමනා තැන්වලදී එය නොකළහොත් තමාට තමාවම අහිමිව යන බව හසාරා දැන උන්නාය. මේ දැනෙන දුක වේදනාව කඳුලක දියකර හරින්නට ඕ පසුබට වන්නේ නැත. තමාට සුවපහසු වන සේ සකසා ගත් කුඩා කාමරය තුළදී හසාරා බිය සැක නොමැතිව ඒ කඳුළු වලට ගලා යන්නට ඉඩ දුන්නාය. එහෙත් ඕ ලෝකය හමුවේ සිනහ මුසුව ජීවත් වූවාය. බොහෝ ගැහැණු ජීවිතවල යථාර්ථය එයයි.

ධනංජය තමාව අතහැර ගිය බව ඕ මුලින්ම ඕස්ට්‍රේලියාවේ සිටින සොයුරිය හා පැවසුවාය. අවසානයේ දෙදෙනා අතර ඇති වූයේ විනාඩි කිහිපයක නිහඬතාවයකි. එහා පසින් වරින් වර සුසුමක් අත්හැරෙන අයුරු හසාරා අසාගෙනය. ඒ කයින් දුරස් වුවත් මනසින් දුරස් නොවන ආදරණීය, ශක්තිමත් බැඳීම්ය.

“ අනේ ඔයා එන්න අපි ලගට…”

විනාඩි කිහිපයකට පසුව සොයුරිය පැවසූයේ එහෙමය. ඒ හඬ බිඳී ගොස් තිබිණ.

“ කොහොමද මේ හැම දෙයක්ම තනියම දරා ගත්තේ. මට කිව්වනං මං අම්මවයි තාත්තවයිි එවනවනේ. මට කොහොම හරි මේ වැඩ මැනේජ් කරගන්න පුළුවන්..”

අවසන ඇය පැවසූයේ චෝදනාවක සරින්ය.

“ අම්මයි තාත්තයි දැන්මම මේ කිසිම දෙයක් දැනගන්න ඕනෙ නෑ අක්කේ. නොගැලපෙන  බැඳීමක් ඇතුලේ හිර වෙලා අපි දෙන්න දුක් විඳිනවට වඩා එයා එයාගේ සතුට හොයාගෙන මේ විදිහට පිටවෙලා ගියපු එක වැරදියි කියලා මං කියන්නේ නෑ. එයාට එකම එක සැරයක් මමත් එක්ක කතා කරලා ඉන්න තිබුණා.මට දුකක් තියෙන්නේ ඒ ගැන විතරයි. මොකද මගෙන් මොනවා හරි වරදක් උනා උනානං ධනා මට ඒ වරද නිවැරදි කරගන්න චාන්ස් එකක් දුන්නේ නැහැ…

“ ධනංජය කියන්නේ මහා අවාසනාවන්ත මිනිහෙක්. මට කියන්න තියෙන්නේ එච්චරයි. ගෙඩක් පිරිමි කැමති නෑ තමන්ගේ වයිෆ් තමන්ට අභියෝගයක් වෙනවට. මේ රටවල්වල එහෙම නෑ. ඔයා දැන් ඔය මොනවද කරන්නේ?. ඔයත් වැරදියි නංගි. ජීවිතය ගැන මේ තරම් බරපතල තීරණ ගන්න කලින් ඔයාට තිබුණා එකම එක සැරයක් මමත් එක්ක කතා කරන්න..මොන දේ වුනත් මම ශක්තිමත් කියන තැන ඔයා ඉන්න එක ගැන මට හරි සතුටුයි. මමත් පුද්ගලිකව කැමති නැහැ ගැහැණු කොතනකදිවත්  වැටෙනවට. අසරණ වෙනවට. ඒ උනාට ඒ දරා ගැනීම හරි අමාරුයි කියලා මං දන්නවා. විශේෂයෙන් ඔයාට..”

“ මට තව ටික කාලයක් දෙන්න අක්කේ. මේ දරුවෝ  තව මාස එකහමාරකින් ඕලෙවල් එක්සෑම් එක කරනවා.  අද මං මේ කරන්නේ ලොකු මානසික සහනයකුත් ආත්ම තෘප්තියකුත් ලැබෙන වැඩක්. මං හැමදාම විශ්වාස කරනවා මේ දෛවය අපිව ගිහිල්ලා නවත්තන්නේ හොඳම තැනක කියලා. අහම්බෙන් හරි මට ට්‍රින්කෝ  වලට එන්න හිතුනේ ඒ ඉස්කෝලෙට යන්න හිතුනේ ඒ නිසා වෙන්න ඇති. ඒ අහම්බය නිසා මං සෑහෙන්න මාව ආපහු ගොඩ නගා ගත්තා අක්කේ.”

“ ඔයා එදා ඉඳලම තමන්ගේ ආත්ම ශක්තිය විශ්වාස කරගෙන වැඩ කරපු කෙනෙක්. ඔයා හොඳට මතක තියාගන්න ඔයා තනිවෙලා නෑ. ඔයාට ඕනම වෙලාවක මං ඔයා එක්ක ඉන්නවා. මං මේ තත්පරෙත් කියනවා මමනම් කැමති ඔයා මේ වෙලාවේ මෙහෙ ඇවිල්ලා අපිත් එක්ක ඉන්නවට. හැමෝම එකට ඉන්නකොට දුක වේදනාව දැනෙනවා අඩුයි. අයියත් මට කෑ ගහයි ඇයි බලෙන්වත් ඔයාව ගෙන්න ගන්නේ නැත්තෙ කියලා.” 

“ අයියට කියන්න අක්කේ  මං පුළුවන් තරම් ඉක්මනට ඇවිල්ල යන්න එන්නම් කියලා.”

“ අම්මයි තාත්තයි ඕනෙම වෙලාවක ලංකාවට එවන්න මට පුළුවන්. ඔයා ධනංජයත් එක්ක සතුටින් ඇති කියලා හිතුණු නිසා තමයි මං ඒ දෙන්නව මෙහේ  තියාගත්තේ.”

“ ඒක කරන්න හිතන්නවත් එපා. නුෂාරා එක්ක අම්මයි තාත්තයි ඉන්නේ හරි සතුටින්. මට ආත්මාර්ථකාමී වෙලා ඒ සතුට උතුර ගන්න බෑ. දැන් අපේ අලුත් පැටියටත් ආච්චී සීයයි ගොඩක් ඕන වෙනෙ වෙලාව. එයාලා සතුටින්, සැනසීමෙන් ඉන්න වෙලාව මේ..”

“ අනේ මන්දා හැමදාම හැමෝම ගැන හිතලා ඔයාට ඇයි මෙහෙම වැරදුනේ කියලා..”

දුරකථනය විසන්ධි වී ගියේ තවත් හෝරාවකට පමණ පසුවය. සති කිහිපයක් තිස්සේම සොහොයුරියට මේ සත්‍ය සඟවමින් ධනංජය ගැන අසන සෑම විටකම කුමක් හෝ බොරුවක් පවසමින් දැඩි පීඩනයකින් දැරූ  හසාරාගේ සිත සම්පූර්ණයෙන්ම නිදහස් වූවාක්වන් හැඟීමක් අවසන ඉතිරි විය.

සොහොයුරිය ගැන ඈ හොඳින්ම දනී. ඇයත් කිසිවකට කලබල වන අයෙකු  නොවේ. තවදුරටත් මේ පුවත අම්මාගෙන් තාත්තාගෙන් සඟවාගෙන සිටීම ලෙහෙසි පහසු එකක් නොවන බව දැන සිටියත් එහි සම්පූර්ණ වගකීම ඈ සොයුරිය වෙත පැවරුවාය. ඔවුන් නිරවුල් කරගත හැකි ක්‍රමය සොහොයුරිය ළඟ වන බව විශ්වාසය.

හසාරා…..මං මේ පොත ගැන එන් ජී ඕ  එකක් කරන මගේ යාළුවෙක් එක්ක කතා කරා. ඇත්තටම කිව්වොත් මිනිහා ගරු කළ යුතු වෘත්තියක් අතෑරලා දාලා මේ එන් ජී ඕ  එකත් එක්ක සම්බන්ධ වුණේ මිනිස්සුන්ට යහපතක් කිරීමේ වුවමනාවෙන්ම තමයි. එයාලා ගොඩක් වෙහෙස වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.එයාලගේ තියෙනවා දුෂ්කර පළාත්වල ගමින් ගමට ගිහිල්ලා ඉංග්‍රීසි විෂය ගැන දරුවන්ට අවබෝධයක් ලබාදීමේ වැඩපිළිවෙලක්. ඊට පස්සේ පහසුකම් සපයලා දීලා ඒගොල්ලන්ගේ ඔන්ලයින් ක්ලාස්  වලට දරුවන් සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක්. හසාරා මගෙන් ඒ අය ඉල්ලීමක් කලා ඔයාව මුණ ගස්සන්න කියලා.” 

 බුවනෙක හදිසියේම හසාරාට ඒ පණිවිඩය ගෙන ආවේ ඈ දහය වසර පන්තියක සිටියදීය. ඔහුගේ ජංගම දුරකථනයෙන් එම රාජ්‍ය නොවන සංවිධානය දරුවන් වෙනුවෙන් කළ වැඩසටහන් රාශියක වීඩියෝ පට ද විය. හසාරා ඒ සේවය ගැන දැනුවත්ව උන්නාය. අසා තිබුණාය.

අපිට මේත් එක්කම හසාරගෙ පොත් ටික මුද්‍රණය කර ගන්න පුළුවන් වුණොත් දරුවන්ට නොමිලේ බෙදා හරින්න හැකියාවක් තියෙනවා. හසරා 

 මං හිතන්නේ ඔයාගේ සේවය ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට එයාලා හොඳ වැටුපක් ගෙවයි..

හසරා කිසිත් නොකියාා සිටියේ ඒ තීරණය ගැන ඇයට තවදුරටත් සිතන්නට අවශ්‍ය වූ නිසාය. රැකියාවක අවශ්‍යතාවයක් ඇයට දැනෙමින් තිබිණ. වියදම් වූයේ අතෙහි ඉතිරියක් තිබුණානම් එයය. සොයුරිය හා සියල්ල පැවසුවාට පසුව ඕ නොදන්වාම ඇයගේ බැංකු ගිණුමට මුදලක් බැර කර තිබිණ. තමා කුමක් කීවත් ඇය එය මග නොහරින බව විශ්වාසය. එනිසාම තමා ආර්ථිකවත් ස්ථාවර විය යුතුය. එහෙත් මේ කර්තව්‍ය ඉතා බාරදූර එකක් බව විශ්වාසය.

“ හසාරා ඔයාගේ කන්ටැක්ට් ඩී ටේල්ස් මම මගේ යාළුවට දෙන්නද….”

අවසන බුවනෙක  අසද්දී හසාරා හිස වනා එකඟ වූවාය. තම ජීවිතය මේ පාව යන්නේ කුමනාකාරයේ ඉසව්වකටද යන්න නොදැන සිටියත් තමාගෙන් මේ රටට දරු පරම්පරාවට සිදුවිය යුතු සේවයක් ඇත්නම් එය මගහැරීම යුතුකමක් නොවේ යැයි ඕ විශ්වාස කළාය. 

“ ඔයා හරිම හොඳ ගෑනියෙක් හසාරා. අපිට වැඩිපුරම හමුවුණේ තමන්ගේ මිනිහා මොනම හේතුවකට හරි තමන්ව දාලා ගියාට පස්සේ සාප කර කර ජීවත් වෙන ගෑණු. එයාල දන්නේ නෑ ඒ සාපෙන් තමනුත් පිච්චෙනවා කියලා. අදත් හෙටත් ඔයා මගේ යාළුවෙක් වීම ගැන මේ හිතේ තියෙන්නේ පුදුමාකාර ආඩම්බරයක්. ඔයා කියන්න වගේ හැම වෙනස් වීමකටම හේතුවක් තියෙනවා කියලා හිතුවොත් අපිට ජීවත් වෙන්න අමාරු නෑ.” 

ඉන්දුමා පවා අවසන පැවසූයේ ඒ අයුරින්ය.

( යළිත් හමුවෙමු දයාබරව..)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here