චිරත් එදා ඒ යන්නට හිතා ගත්තේ ආයෙ කවදාවත් අඩියක් තියන්නෙ නැතැයි කියා හිතූ තැනකට ගමනකි.දරුවෙක් වෙනුවෙන් තාත්තා කෙනෙක්ට කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නැතැයි කියා දන්න හන්දාම චිරත් පෙත්මලී ගැනත් ඇය ඉන්නා තත්ත්වය ගැනත් කතා කරනු පිණිස එදා මේධාවිණී ජීවත්වන ඇගේ නිවසට යන්නට පියවර තැබුවේය. වාහනයක් නැතිකම හේතුවෙන් පික් මී ඔස්සේ සොයාගත් කුලී රියේ නැගී මනුර සුමතිපාලගේ නිවස බලා ගිය ඒ ගමනේදි මින් පෙර තමන්ට දැනුන තමන් මනුර සුමතිපාලගේ තත්ත්වයට වඩා පල්ලෙහා තත්ත්වයක මිනිසෙක් ය කියන හැඟීමට වඩා චිරත්ව පෙලන ලද්දේ “අපි හින්දා නේද අපේ දරුවට මෙහෙම වුනේ?” කියන අදහසය.
මනුර සුමතිපාලගේ සුවිසල් නිවහන තිබුනේ සුපුරුදු පරිදි මහා නිහඬතාවයක ගිලීය. ඒ නිවස ඇතුලේ මේ මොහොතේත් මේධාවිණී සහ පෙත්මලීත්, සුමතිපාල යුවල ඉන්නා බවත් දන්න එක වෙන දවසක නම් තමන්ගෙ පය පැකිලෙන්නට හේතුවක් උනත් අද සෘජු ගමනින් ගේට්ටුව පසුකර සුමතිපාල නිවසේ දොරකඩ වෙත යන්නට චිරත්ගේ දෙපයට වාරු දුන්නේ පෙත්මලී ගැන තිබූ ආදරයය. චිරත් ආ බව මුලින්ම දුටුවේ සාලයේ බිම හාන්සි වී සෝමා ආච්චි එක්ක මොන මොනවදෝ දොඩ දොඩ උන්නු පෙත්මලී ය.
“තාත්තී, අම්මේ තාත්ති ඇවිල්ලා” කියා හිඳගෙන උන් තැනින් නැගිට තමන් වෙත දුවගෙන එන පෙත්මලීව දකිද්දි චිරත්ට මතක් උනේ අතීතයයී. ඉස්සර තමා වැඩ ඇරී නිවස බලා එනතුරු හෝම් වර්ක් කරමින් ඉන්න පුංචි පෙත්මලියක මෙයාකාරයෙන්ම තමාගේ තුරුල වෙත දුවගෙන ආ බව චිරත්ට මතකය.
මේධා උඩුමහලේ සිට පෙත්මලීගේ හඬ ඔස්සේ පහලට එන්නට පෙර කුස්සියේ දොරෙන් කමලිනී සුමතිපාලත්, කාර්‍යාල කාමරයේ සිට මනුර සුමතිපාලත් සාලය වෙත හිස පෙව්වේ “තමුන් මොකද මෙහෙ කරන්නෙ?” කියන ප්‍රශ්නාර්තය හිතේ ඇඳගෙන බව චිරත්ට නොතේරුනා නොවේ. එහෙත් පිලිතුරක් දෙන්නට පෙර ප්‍රශ්නයක් නැගිය යුතුය. තමන් එක්ක හොඳින් සබඳකම් තියානොගත් මිනිසුන් දෙදෙනෙකුගෙ ඇස් වල ඇඳුණ ප්‍රශ්නයකට උත්තර දෙන්නට තමා බැඳී නැති බව හිතමින් චිරත් පෙත්මලීව තුරුලු කරගෙන මේධා උඩුමහලේ සිට පහල මාලය වෙත එනතුරු බලා උන්නේය.
“හදිසියෙම හම්බුවෙන්න ඕන කිව්වෙ ඇයි?” කියා මේධා අහද්දි “බබී ඔයා උඩට ගිහින් සෙල්ලම් කරන්නකො, මම අම්මි එක්ක කතා කරලා එන්නම්” කියා පෙත්මලීව උඩට යැව්වද මනුර සහ කමලිනී සුමතිපාල යුවලගේ ඇස් කන් වලින් මිදී මේධා සමග මේ පිළිබඳව කතාකරන්නට බැරි බව දන්න හන්දාම චිරත් හීන් සැරේ මේධාගෙන් “අපි ගාඩ්න් එකට ගිහින් කතා කරමුද?” කියා කියද්දිත් මේධා උන්නේ තව ටික වේලාවකින් නිවස බලා එන වලාකුලු තමන් චිරත් සමග කතා බස් කරමින් ඉන්නවා දැක හිත රිද්දගනීද කියන ප්‍රශ්නාර්තය හිතේ ඇඳගෙනය. එහෙත් චිරත් “මට ඔයාව හම්බුවෙන්න ඕන. පෙත්මලීගේ දෙයක් ගැන කතාකරන්න” කියා කිව්වයින් පස්සේ මේ කතාව නොකර ඉන්න බැරි බව දන්න හන්දාම මේධා හිස වනා ඒ යෝජනාව පිළීගත්තාය.
“ඔයා ආවෙ පෙත්මලීව ඔයා ලඟට ගන්න ඕන කියල කියන්න නම් ඒකට මම කීයටවත් එකඟ වෙන්නෙ නෑ චිරත්” කියා ඒ යන අතරවාරයෙත් මේධා කියද්දි චිරත් තරහා ගත්තේ නැත. ඒ වෙනුවට මද සමච්චල් සහගත සිනාවක් නගාගෙන මේධා වෙත එක දෙනෙත් බැල්මක් වත් නොහෙලා අහන්නට දෙයක් චිරත් ට තිබුනි.
“ඇයි එහෙම දෙයක් කිව්වෙ එකපාර? ඔයාගෙ අලුත් බෝයි ෆ්‍රෙන්ඩ් ගැන දන්න හන්දා මම ඔයාගෙන් පෙත්මලීව ඉල්ලාවි කියල බය උනාද?” කියා චිරත් කිසිම ගණනක් නැතුව කියද්දිත් ඒ කතාවට වලාකුලුව කිසිම බරක් පතලක් නැතුව සම්බන්ධ කරගනිද්දිත් මේධා මදකට තිගැස්සුණාය.
“නෑ මම කිව්වෙ, ඔයා ඉතින් බලන් ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ඇඳගන්නනෙ” කියා එවෙලේ චිරත්ගේ සමච්චලයෙන් සහ චෝදනාවෙන් බේරෙන්නට මෙන් කිව්වත් ඇත්තටම මේ ගෙවුණ කාලයත් බිඳී ගිය බැඳීම්ද අතරේ ප්‍රශ්නයක් ඇඳගන්නට නිතරම මෙන් උත්සහ කලේ තමන් බව මේධාට මතක නොතිබුනේ නැත.
“අනේ මම ආවෙ කිසිම විදියක ප්‍රශ්නයක් ඇදගන්න නම් නෙවෙයි මේධා. ඔයා එක්ක ප්‍රශ්න දාගන්න තියා මට ඇත්තටම මෙහෙ එන්නවත් කිසිම ආකාරයක උවමනාවක් තිබ්බෙ නෑ. ඇත්තටම මම හර් කැමතියි මගෙ දරුව මෙහෙ ජීවත් වෙනවා උනත් මට ආයෙ කිසිම දවසක මේ ගෙදරට අඩිය තියන්න බැරුව යනවනම්.ඒ උනාට එහෙම හිතන් උන්නු හැම වෙලාවකම වගේ මගෙ දරුවට ඔයාලා පෙන්නන උපරිම සැලකිල්ල දරාගන්න බැරි වෙච්ච තැන් කීයක නම් මට එන්න උනා නේද?
දැන් මේ එන්න උනෙත් එහෙම ගමනක්නෙ”
“මොකද්ද ඔයා කියන්නෙ? චිරත් ප්ලීස් මගෙ වෙලාව නාස්ති කරන්නෙ නැතුව කියන දෙයක් තේරෙන සිංහලෙන් කියනවද? මට වෙලාව නෑ ඔය බොරු දේවල් ගැන කතා කර කර වෙලාව නාස්ති කරන්න” කියා මේධා ආපහු සැරයක් කියද්දිත් වෙනදා ඔය වගේ දේකට පවා උපරිම තරහා ගන්නා චිරත් කලේ තමන්ගේ මුහුනේ ඇඳී තිබුන සමච්චල් සහගත සිනාව තවත් ටිකක් විතර පුලුල් කරගන්නා එක පමණකි.
“මං ඇත්තටම හිතුවෙ නෑ මේධා ඔයා ඔය දැන් කිව්ව වගේ අපේ දරුවත් බොරු දෙයක් විදියට දකීවි කියලා” කියා චිරත් කියද්දි චිරත් එහෙම කිව්වේ ඇයි කියා කියන්නට තේරුමක් නැති හන්දම මේධා “මොකද්ද ඔයා මේ කියන්නෙ?” කියා ඇහුවාය.
“ඇයි මේධා ඔයා මට කිව්වෙ නැත්තෙ පෙත්මලීගේ ටීච ඔයා එක්ක කතා කරා කියල පෙත්මලී ඉස්සර වගේ වැඩ කරන්නෙ සෙල්ලම් කරන්නෙ ඇක්ටිව් නෑ කියලා” චිරත් කතාව දිගටම කරගෙන යන්නට හිතුවද මේධා උන්නේ චිරත්ගේ කතාව මැද්දට පැන තමන්ව සාධාරණීකරණය කරන බොරු උත්සහයක යෙදෙමිනි.
“මම…ඔයාට…” කියා මේධා මැදින් පැන කතාව කරගෙන යන්නට හිතුවද අත් ඉස්සේ චිරත් මේධාට විධාන කලේ නිහඬ වෙන ලෙසටය.
“මං අහන්නෙ ඇයි ඔයා එච්චර වැදගත් ඩීටේල් එකක් මට නොකිය ඉන්න හිතුවෙ. අපි දෙන්න තවදුරටත් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නොවෙනවා කියන එක ඇත්තක් මේධා. හැබැයි පෙත්මලී කියන්නෙ මගෙයි ඔයාගෙයි දෙන්නගෙම දරුව කියන එක අපි හැමදාම ඒ දරුවගෙ දෙමව්පියො වෙනව කියන එක ඔයා අමතක කලේ කොහොමද? ඔයාට බිසීවෙන්න දාහක් දේවල් තියෙනව කියන එක මම දන්නව. මම මගේ ඇස් දෙකෙන් දැකපු දේවල් බොරු කියල කියන්න ඔයාට බෑනෙ. හැබැයි මං හිතුවෙ ඒ හැමදේටම වඩා හැමකෙනෙක්ටම වඩා ඔයා අපේ දරුවා ගැන හිතනවා ඇති කියලා. පෙත්මලීගේ ටීච මට කතා කරල කියද්දි මේ හැමදේම, කොටින්ම ඔයාට කලින් මේ දේ කිව්වා ඒත් පෙත්මලීගෙ කිසිම වෙනසක් නෑ වගේම එයා දැන් කලින්ටත් වඩා හරිම සයිලන්ට් ලමේක් විත්තිය පේන බවත් කියද්දි මට හිතට ආව තරහවයි වේදනාවයි කොච්චරද කියන්න මට තේරෙන්නෙ නෑ.
මට මේ දරුවව දකින්න හම්බවෙන්නෙ සති දෙකකට වගේ වතාවක් මේධා. ඒ උනාට ඉතිරි දවස්වල වැඩිපුරම පැය ගාණක් මේ දරුව ඉන්නෙ ඔයා ලඟ. එහෙම එකේ ඔයාට කොහොමද පෙත්මලීගෙ වෙනසක් නොතේරී ගියේ? නොපෙනුනේ?
ඊටත් වඩා ඔයා ඇයි මේ හැමදේම මගෙන් හංගන්න හිතුවෙ? ඒ අපේ දරුව මේධා. අපිට අපිව නැති උනාට අපෙ දරුවට අපිව නැතිකරන්න තරම් ඔයාට තිබ්බ උවමනාව මොකද්ද?” කියා චිරත් මේධාගේ එක් උරහිසක් මත අත තබා ඇයව සොලවමින් අසද්දීත් මේධා කඳුලු වගුරමින් අඬද්දිත් වලාකුලු රැගත් රිය මනුර සුමතිපාලගේ සුවිසල් උද්‍යානයේ විත් නතර විය.
වලාකුලුගේ දෙනෙත් රැඳී තිබුනේ කඳුලු වගුරවමින් හඬන මේධාගේ උරහිසකට අත තබා ඇයව සොලවමින් මොනවා හෝ වේගයෙන් කියවමින් යන චිරත් ගේ වත මතය.