රසම රස එළවළු චොප්සියක් හදමු

බත් එක්ක කන්න ව්‍යාංජන කීපයක් උයාගන්න වෙලාවක් නැත්නම්, කම්මැලී නම් වගේම සාමාන්‍ය පවුලේ කෑම වේලක ඉදන් විශේෂ අවස්ථාවක් සඳහා වුනත් පිළියෙල කරගන්න හොඳටම ගැළපෙන රස වගේම පෝෂණ ගුණයෙන් අඩුවක් නැති එළවළු චොප්සියක් හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි smart lady අපි මේ සූදානම් වෙන්නෙ.

විවිධ පාටින් සහ වයනයෙන් යුක්ත එළවළු කීපයක්  භාවිතා කරල හදාගන්න නිසා මේ එළවළු චොප්සිය කෑම කන්න හොර ඒ වගේම වෙනස් වෙනස් කෑම වර්ග රසබලන්න කැමති ඔබේ පොඩ්ඩන්ටත් බය නැතුව දෙන්න පුළුවන්.

ඉතිං පුරුදු විදිහටම මුලින්ම, අවශ්‍ය කළමණා මොනවද කියල බලල සූදානම් කරගෙන ඉමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

සුදුළූණු බික් 4 ක්

කැරට් අල 1 ක්  (සිහින්ව පෙති කපාගත්)

බ්‍රොකොලි මල් කිහිපයක්

අඟල් 2 ක පමණ කැබලිවලට කපාගත් කොළ බෝංචි 10 ක්

ලොකු කැබලිවලට කපාගත් ගෝවා කොළ 2 ක්

ඉරිඟු පිටි / කෝන්ෆ්ලවර් තේ හැඳි 1 ½

වතුර මේස හැඳි 2

එළවළු හෝ මස් තැම්බූ වතුර් කෝප්ප ½ 

ඔයිස්ටර් සෝස් මේස හැඳි 1

තෙල් මේස හැඳි 1

අවශ්‍ය නම් ලුණු 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, වතුර භාජනයක් ලිපේ තියල ඒකට ලුණු කුඩු තේ හැන්ඳක් විතර දාල ගෝව ඇරෙන්න ඉතුරු එළවළු ඔක්කොම නටන වතුරෙ විනාඩි දෙක තුනක් තම්බාගන්න ඕන. 

ඔබ කැමති නම් ඔක්කොම එළවළු එකටම තම්බාගන්නත් කැමති නම් වෙන වෙනම තම්බාගන්නත් පුළුවන්.

මේ විදිහට එළවළු තම්බාගද්දි සම්පූර්ණයෙන් පොඩිවෙනකන් තම්බගන්න අවශ්‍ය නෑ. එළවළු වලට ලස්සන පාටක් ලැබෙනකන් තම්බගෙන පාට වෙනස් වෙන්න කලින් ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්.

මේ විදිහට එළවළු තම්බාගත්තම එළවළු වල රසය, හැපෙන සුළු ස්වභාවය සහ පාට වෙනස් නොවී ආරක්ෂා කරගන්න පුළුවන්. 

ඊළඟට, වෝක් එකක් හරි වෙනත් ගැඹුරු භාජනයක් හරි වැඩි ගින්දරේ ලිපේ තියාගෙන ඒ භාජනයට තෙල් එකතු කරගන්න.

වැඩි ගින්දරේ පිසගැනීමෙන් එළවළු වල පාට වෙනස් නොවී වැඩි රසක් ලැබෙනව වුනත් එළවළු ඉක්මණින් පිසෙන නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්නත් ඕන.

ඊළඟට, රත්වුන තෙලට සුදුළූණු දාල විනාඩි දෙකක් තුනක් තෙලේ බැදගන්න ඕන.

සිහින්ව කපාගත් සුදුළූණු පෙති වගේම සුදුළූණු බික් පොත්ත පිටින්ම තලල තෙලට එකතු කරගන්නත් පුළුවන්.

දැන් සුදුළූණු දුඹුරු පාට වෙන්න කලින් තෙලෙන් ඉවත් කරගන්න ඕන.

ඊළඟට, තම්බාගත්ත එළවළු සහ ගෝවා තෙලට එකතු කරල හොඳින් කලවම් කරගන්න ඕන.

මේ අතරතුර කෝන් ෆ්ලවර් සහ වතුර එකතු කරගෙන උකු මිශ්‍රණයක් වෙනම හදාගන්න ඕන.

දැන් එළවළු වලට ඔයිස්ටර් සෝස්, එළවළු, මස් තැම්බූ හෝ සාමාන්‍ය වතුර එකතු කරල නැවත හොඳින් කලවම් කරගෙන අර හදාගත්ත බඩ ඉරිඟු පිටි මිශ්‍රණය එකතු කරගන්න් ඕන.

දැන් මේ සියල්ල හොඳින් කලවම් කරගෙන එළවළු මිශ්‍රණය උකු වෙන්න පටන් ගනිද්දිම ලිප නිවා ලිපෙන් ඉවත් කරගන්න ඕන.

රස බලල අවශ්‍ය නම් ලුණු කුඩු ටිකක් හරි ඔබ කැමති නම් ගම්මිරිස් කුඩු ටිකක් හරිත් එකතු කරගන්න පුළුවන්.

එහෙනම්, මේ විදිහට එළවළු චොප්සියක් හදල බලමු නේද?

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles