හරියටම Monte Cristo sandwich හදමු

මොන්ටි ක්‍රිස්ටො සැන්විච් කියන්නෙ හැම් සහ චීස් මැදිකරල හදන බිත්තර සාරු වල පොඟවලා බැදෙගන හදාගන්න සැන්විච් වර්ගයක්.

සාමාන්‍යයෙන් මේ සඳහා කළුකුම් මස් යොදාගන්න එක සම්ප්‍රදාය වුනත් අද වෙද්දි බහුලව හැම් සහ සාදන ආකාරය සහ විවිධ රටවල් අනුව යොදාගන්න මස් වර්ගය සහ චීස් වර්ගය එකිනෙකට වෙනස් වෙනව කියල දැකගන්න පුළුවන්.

ඉතිං අපි අද බලමු හරිම ලේසියෙන් පහසුවෙන් ඕනෑම වෙලාවක හදාගන්න පුළුවන් මේ සැන්විච් වර්ගය හදාගන්නෙ කොහොමද කියල.

එහෙනම් පුරුදු විදිහටම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය 

සැන්විච් දෙකක් සඳහා

පාන් පෙති 06 ක් 

මයෝනීස් මේස හැඳි 06 ක් 

ඔබ කැමති වර්ගයකින් ග්‍රේට් කරගත් චීස් මේස හැඳි 06 ක් 

(මේ සඳහා වඩා ඉක්මණින් දියවෙන චීස් වර්ගයක් භාවිතා කිරීමයි අනුමත කරන්නෙ)

හැම් පෙති 04 ක්

බිත්තර තුනක්

ලුණු කුඩු 

බටර් හෝ මාගරින් මේස හැඳි 02 ක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, පාන් පෙති 03 ක් ගෙන අරන් වටේ දාරය කපා ඉවත් කරගන්න.

දැන් සූදානම් කරගත් පාන් පෙති තුනේම උඩ පැත්තේ මයෝනීස් මේස හැන්ද බැගින් ආලේප කරගන්න.

ඊට උඩින් ග්‍රේට් කරගත් මේස හැන්ඳ බැගින් අතුරා ගන්න.

දැන් මෙයින් එක් පාන් පෙත්තක් උඩ හැම් පෙත්තක් තබා ඊට උඩින් අනෙක් පාන් පෙත්ත තබා ගන්න.

ඒ පාන් පෙත්ත උඩිනුත් හැම් පෙත්තක් තබා චීස් අතුරා ගත් අනෙක් පාන් පෙත්ත උඩු යටිකුරු කර එනම් චීස් ටික හැම් පෙත්ත උඩ සිටින සේ තබා ගන්න. 

දැන් රෝලින් පින් එකක් හෝ තරමක් බර භාජනයක් ගෙන පාන් පෙති මත තදකර පාන් පෙති තුන තලාගෙන පොඩි කරගන්න.

මේ විදිහටම අනෙක් පාන් පෙති තුනෙනුත් සැන්විච් එකක් හදාගන්න පුළුවන්.

දැන් තරමක් විශාල භාජනයක් ගෙන එයට බිත්තර කඩා දමා හොඳින් කලවම් කරගෙන එයට ලුණු කුඩු ටිකකුත් ඉස කලවම් කරගන්න.

පැතලි භාජනයක් ලිපතබා එයට බටර් එකතු කර බටර් දියවෙන තුරු තබාගන්න.

දැන් අපි සූදානම් කරගත් සැන්විච් දෙක බිත්තර සාරු හොඳින් ගෑවෙන සේ බිත්තර අඩංගු භාජනයේ ගිල්වා දියවෙන බටර් සහිත භාජනයට දමා දෙපැත්ත රන්වන් පාට වනතුරු හරවමින් බැදගන්න.

ඔබට අවශ්‍ය නම් කුඩුකරගත් සීනි ටිකක් බැදගත් සැන්විච් එක මතට ඉසගන්නත් පුළුවන්.

ඔන්න එහෙනම් උණුවෙන්ම රස බලන්න මොන්ටි ක්‍රිස්ටො සැන්විච් ලෑස්තියි.

හදල බලමු නේද?

සටහන – දුලානි නවෝද්‍යා

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles