ඉසිනි තිගැස්සී ඇහැරුනේ කිසිවෙකු ගේට්ටුවට ගසමින් තමාගේ නම පවසන හඬිනි. ඕ වහා යහනේ කෙලින් වන්නට උත්සාහ කලාය. එහෙත් ඇය වටා වූ යමක් ඕ ඉන් නැවත්වූවාය. ඉසිනි පියවි සිහියට එලැඹෙන්නට තවත් වෙලා ගත්තාය.
” දෙය්යනේ සෝමා නැන්දා …”
ඇයට එලෙස කියැවුණි. නුරාන් ඇගේ නොසන්සුන් චලනයෙන් නින්දෙන් මිදුණත්, ඕ වැලඳෙන යළි නින්දකටම සූදානම් වූවා මිසෙක, අවට කුමක් වන්නේදැයි බලන්නට සූදානම් වූයේ නැත.
” නුරාන් .. නුරාන් .. අනේ නැගිටින්නකෝ… සෝමා නැන්දා ඇවිල්ලා … අනේ ඇහැරෙන්නකෝ…හය පහු වෙලා … නුරාන්…”
“ම්ම්ම්..”
“නැගිටින්නකෝ.. සෝමා නැන්දා ඇවිල්ලා ගේට්ටුවට ගහනවා..”
“හරි තාරා… කමක් නෑ.. ටිකක් ගේට්ටුවට ගහලා යන්න යාවී… හවස ආයේ ඒවි .. ඔහොම ඉන්න…”
නුරාන් වගක් නැතිවම මෙන් කීවේය. ඉසිනි ඉන් සන්සුන් වූවාය. උඩුබැලිව උන් ඉරියව්වේම උන්නාය. තම ළැම මැදින් වැටී ඇති නුරාන්ගේ සුරත හිතින් සිම්බාය. අවැසි තරමේ ඉඩ තිබූ අහසක, තම සුව පමණක් සිතමින් රැය පුරා කියවූ සියල්ල අසා හිඳීමම පමණක් කල මිනිසාව ද හිතින් සිම්බේය. ඇයට රැය කොහොම වීදැයි මතකනැත. එහෙත් නොරිදුණු බව මතකය. මේ දැනෙන සැනසීම එයට සාක්ෂිය.
නුරාන් ඉන් විනාඩි කිහිපයකට පසු ඇහැරුනේය. ඉසිනිට මදි නොකියන්නට හාදු වැහි තිබුණි.
” ලෑස්ති වෙලා යන්න තාරා… මම පහු වෙලා යන්නම්…”
“ඔයා ඉස්සරවෙලා යන්න නුරාන් … පහු වෙලා යන එක එපා…”
නුරාන් එයට එකඟ වූයේය. ඉසිනි දෙදෙනාටම කෝපි සැකසුවාය. එහෙත් නුරාන්ට අවැසි වූයේ ඉසිනිගේ කෝප්පයෙන් අඩකි. ඒ බෙදෙන්නේ ජීවිතයය.
” සනීපෙට නින්ද ගියා…”
නුරාන් කමිසයේ බොත්තම් දාන අතරේ ඉසිනි දෙස බලමින් කීවාය. ඉසිනි තමාට දැනෙන සුව සනීපය ගැන වචනයෙන් කියන්නට ගියේ නැත. නුරාන් ටද එය වචනයෙන් අසා දැනගන්නට අවැසි වූයේ නැත.
නුරාන් ඇය වෙත ඇවිද ගොස් ඇගේ හිස පිරිමැද්දේය. දෙවෙනි බියර් කෑනය අවසන් වන විට ඕ ක්‍රමයෙන් තම පපුව මත ඉඩ සකසා උන් ඉරියව්ව තවම නුරාන්ට බරට දැනෙන්නේය. ඒ දරා ගත හැකි බරකි. දරා ගන්නට නොහැකි, ඇය ඉන් පසුව පපුව තෙමමින් කියවූ කතන්දරය.
” මං හිතන්නේ නෑ නුරාන්, ආයේ මට කිසිම පිරිමියෙක් එක්ක සෙ ක් ස් කරන්න තරම් හයියක් තියේවි කියලා… අරුණෝද මාව එච්චරට මැරුවා නුරාන්… මං දන්නවා මේවා දැනගත්තම ඔයාට මාව එපා වෙනවා.. ඒත් , මට කාටහරි කියන්න ඕනි නුරාන්… ඔයා තමා ඉන්න කෙනා… මම වෙන කාට කියන්නද නුරාන්…
අරුණෝද සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක් නුරාන්. ඒ ලෝකෙට.. ගේ ඇතුලේදි එයා සාමාන්‍ය , හොඳ පුතෙක්… හොඳ මල්ලි කෙනෙක් …හොඳ මාමා කෙනෙක්.. හොඳම හොඳ මස්සිනා කෙනෙක් … ඒත්, අපේ බෙඩ් රූම් එකේදි එයා පිස්සෙක් නුරාන් .. එයා .. එයා අඩුම තරමේ මට හුස්ම ගන්නවත් ඉඩ දෙන්නේ නෑ…
සමහර දවස් වලට එයාට ඕනි මම අඬනවා දකින්න … අයදිනවා දකින්න… එයා මගේ කම්මුල් වලට ගහනකොට, මම අත් දෙක එකතු කරලා එයාට වැන්දොත් එයා ගහන්නේ නෑ….
මම එයා වොශ් දා එනකොට ලෑස්ති වෙලා උන්නේ නැත්නම් නුරාන් යකා ඇවිස්සෙනවා… ඉස්සෙල්ලාම අපේ අම්මලාට බැණ බැණ එයා පටන් ගන්නේ… මට .. මට අහන්නවත් බැරි තිත්ත, අමු, ජරා වචන දිය ඇලි වගේ එයාට ගලනවා නුරාන් …. එයා .. එයා ඒ වචන වලින් විතරක් මාව මරනවා…
එක දවසක් මම අරුණෝද ගේ යාලුවෙක්ගේ බබෙක්ගේ බර්ත් ඩේ එකකට ගිහින් වයින් එකක් බිව්වා නුරාන්..මං එතකොට දන්නේ නෑ අරුණෝද ඒකෙන් ලැජ්ජ වෙන ජාතියෙ කෙනෙක් බව… ගෙදර ඇවිල්ලා එයා මට වයින් බෝතල් දෙකක් එක හුස්මට පෙව්වා නුරාන්.. ඒ පොවලා වමනේ දාද්දී දාද්දී මට……….”
නුරාන් රැයේ වූ පීඩනයෙන් සැනින් මිදුණේය. ඉසිනිද ඒ වෙනස හැඳින්නාය. තමා නුරාන් ට පැවසූවේ කුමක්දැයි ඕ සැබැවින්ම සිහියකින් දැන උන්නේ නැත.
” උදේට මොනා හරි ගෙන්නගෙන කන්න එහෙනම්…”
ඉසිනි හිස සැලුවාය. නුරාන් නික්ම ගියේ යළි ඇය දෙස නොබලාමය. යන මඟ තැනෙක මෝටර් රිය නවතා ගත් නුරාන් සුක්කානම මත හිස තබා ගත්තේය.. මින් පෙර දිනෙකද ඕ අරුණෝද ගේ උමතු ජීව්ත පිළිවෙත් ගැන පැවසූ බව නුරාන් ට අමතක නැත. එහෙත් ගෙවුණු රැයේ වූ ඇගේ වචන නුරාන් වඩා පාරන්නේය. තමා වඩා ප්‍රේමයෙන් අල්ලා සිප ගන්න මල, බඹර පහසින් නිවුණා නම් එය දරාගෙන පසෙකට විය හැකො තරමේ නිවීමක් නුරාන් තනාගෙන උන්නේය. එහෙත්, බඹර දළ පහරින් ඒ මල ඉරී යෑම ඉවසන්නේ කෙලෙසද ?
නුරාන් සුක්කානමට වේගයෙන් පහර දෙමින් කෑ ගැසුවේය
“මැරියං අරුණෝද උඹ… මැරියං…”
නුරාන් ගේ කෝපය නිවුනේ ජංගම දුරකතනය මත වූ තාරා ගේ සහ තමාගේ ඊයේ දිනයේ ගත් සේයාරුව මැවෙනු දැකුමෙනි.
” ඔෆිස් එකෙන් වාහනේ දාලා කැබ් එකට නැග්ගාද..”
ඕ වෙලාව මැනගෙන ඇමතුම ගෙන ඇත. නුරාන් මෝටර් රිය පණ ගැන්වූයේය.
” යන ගමන් තාරා…”” දැන් යන්න වෙලානේ?”
“ම්ම්..මඟක් යනකොට මට යන්න බෑ හිතුණා… ආයේ හරවං ආවා.. පස්සේ ආයේ ඔයා බනී හිතිලා මම මේ ආයේ යනවා…”
ඉසිනි නුරාන්ගේ ඉළන්දාරි කම් ගැන මවාගත් කෝපයෙන් යලි යලි ඔහුට බැණ වැදුණාය. නුරාන් ඇයට සවන් දුන්නේ සිනාසෙමිනි. ජීවිතය මෙහෙම උදෑසනක් පසු කරමින් යන්නට ඉඩක් දේවියැයි නුරාන් මෑත වර්තමානයේ සිතා තිබුනේ හෝ නැත.
” මම කැබ් එක අරන් ගෙදර යන්නම් තාරා.. ඔෆිස් එකට ගිහින් මැසේජ් එකක් දාන්න.. අනෙක, කවුරු මොක කීවත්, අපි දෙන්නා ගැන විශ්වාස කරන්න…මං ආයේ ආයෙම කියන්නේ තාරා, වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ… වෙනස් වෙන්න ඕනිත් නෑ…. ජීව්තේ කියන්නේ අත්දැකීම් තාරා… ඉස්සරහට ඇවිදගෙන යමූ… වයස , අතීත අත්දැකීම් කියන්නේම පන්නරයක්….. තමුසේට තේරෙනවානේ තාරා..මං තමුසේට හරිම හරි ආදරෙයි තාරා..වෙනසක් නෑ මම ..”
නුරාන් එලෙසින් පවසන අතරේ, ඉසිනි සාරිය හැඳීම පසෙක තබා හිඳගත්තාය. ඇස් දැවෙන්නේය. නුරාන් මෙතරම් ප්‍රේමණීය වීම විටෙක ඇයට මරණීයව දැනෙන්නේය.
” මං දන්නවා මම මෙහෙම කියන්න කියන්න ඔයා පෑරෙනවා කියලා තාරා.ඒත් මම මෙහෙම නොකිව්වොත් ඔයා අදාලම නැති කාරනා පස්සේ දුවන්න ගන්නවා..”
නුරාන් ඌණපූරණ ද තැබුවේය.
ඉසිනි තද සුසුමක් හෙලුවාය. කොළඹ ගමන මඟින් අවළංගු වූ බවත්, නුවර මිතුරෙකුගේ නවාතැනක හිඳ පැමිණි බවත් පවසාගෙන නුරාන් නිවසට ඇතුළු වූයේය. ධනුක ඔහු දෙස බැලුවේ හෝ නැත.
පැහැසරා බලෙන්ම නුරාන් ගේ කාමරය තුළට ආවාය.
” හරි ලොකු වැඩක් කරා කියලා හිතන්නෙපා මල්ලී… ඔයාට නම් ඕක ශේප් කරගන්න පුලුවන් වෙයි.. අනෙක් අතට මේ ගමේ මිනිස්සු ඔයාගේ වරදක් දකින්න ලෑස්ති වෙන එකකුත් නෑ…හැබැයි, ඒඩී මිස්ට ඒ චාන්ස් නෑ…. එයා දික්කසාද ගෑණියෙක්.. ගමට අලුත් ගෑණියෙක්… ගමේ මිනිස්සුන්ගේ ඇස් උඩ යන්න තනියම කාර් එක පදින ගෑණියෙක්…. ඉසිනිට මිනිස්සුන්ගේ මහ ආදරයක් නෑ.. වෛරෙකුත් නෑ.. ඒත්, මිනිස්සු හරිම ලේසියෙන් ඒඩී මිස්ට වෛර කරාවි මල්ලී…. එහෙම වුනොත් ඒඩී මිස්ට ජීව්තේ ලේසි නම් වෙන්නේ නෑ…
මං දන්නේ නෑ එයා ඔයාට කිව්වාද කියලා…මම ඊයේ ඒඩී මිස්ට කිව්වා සිංහලෙන්… ඉවසන්න කියලා… අම්මලා ධනුක මම හිත පොඩ්ඩක් හදාගන්නකල් වත්.. ඊට කලින් මේක මඩ වළක් කරගන්න එපා කියලා.. ඒ කිව්වේ අත්දැකීමෙන්.. දැකලා තියෙන දේවල් වලින්..
ඒත් මල්ලී, ඕගොල්ලෝ මේක මඩේ දාගන්නම හදන්නේ.. මම ආයේ මුකුත්ම කියන්නේ නෑ.. අයියලා මල්ලිලා ඕනි එකක් …”
නුරාන් සතු වූ සැනසීම සැණින් ක්ෂයව ගියේය.
මහා අකුණක් හිස මතට වැටුණේය.
තමා ඇයව එවන් විපතකට හෙලුවාද ?
ReplyForwardAdd reaction |