ධීර නිවසට ආවේ පැතූ ආදරය හිමි වීමේ සතුටිනි. ඒ බව ජයමිණි ද දුටුවේ ධීර ගෙට ගොඩවන විටම ය.
” පුතා ”
ජයමිණි පුරුදු සන්සුන් බවින් ධීර ඇමතුවේ කියනා දෙයක් වසන්ත නිවසට පැමිණීමට පෙර කිව යුතු නිසාය.
” අම්මා “
ධීර ජයමිණි ට ඉදිරියෙන් සෝෆාවේ වාඩි වූයේ මේ කතාබහ අනිවාර්යයෙන්ම තාදී ගැන බව දැනගෙනම ය.
” මං අද අර ළමයව හම්බවෙන්න ගියා ”
ජයමිණි කතාව ආරම්භ කළාය.
” මං දන්නවා අම්මා. තාදී මට කිව්වා ”
” මං හිතුවට වඩා තාදී වෙනස් දරුවෙක් ”
ධීර ඔවැනි කතාවක් ජයමිණි ගෙන් බලාපොරොත්තු වූයේ නැත. එසේ නම් මේ කතා බහ හොඳ අතට කෙරෙන එකක් යයි ධීර අනුමාන කළේය.
” ඒ කියන්නේ මං වැරදි නෑ නේද අම්මා ? ”
” ඔයා වැරදි නෑ පුතේ. ඒත් මෙතන ප්රශ්නයක් ඇති වෙන්න පුළුවන් බව ඔයා දන්නව නේද ? ”
” මං දන්නවා අම්මා. මම මොකද්ද කරන්න ඕනේ? ”
” ඒක තාදී ලබා උපන් හැටි මිසක් එයාගේ වැරැද්දකින් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි නේ. ඒත් තාත්තා ඕක කීයටවත් පිළිගන්නේ නැති බව නම් මං සීයට සීයක්ම දන්නවා. අනිත් එක මේ වෙලාවෙ එයා ඉන්නේ රූපසිංහ අන්කල් ගෙනාපු ප්රපෝසල් එක ගැන ලොකු බලාපොරොත්තුවකින් ”
” අපි ඒ මිනිස්සු එන්න කලින් මේක තාත්තට කියමුද ? ”
ජයමිණි මොහොතක් කල්පනා කළාය. තාදී ගැන වසන්ත හට කීමේ ගැටලුවක් නැත. එහෙත් තාදීගේ සම්පූර්ණ විස්තරය දැනගත් විට වසන්ත කෝපයට පත් විය හැකි ආකාරය ජයමිණි අත්දැකීමෙන්ම දැන උන්නාය.
” ඒක එච්චර හොඳ අදහසක් නෙමෙයි ධීර.අපි තව ටිකක් බලමු ”
” ඒත් කවදා කොහොම හරි මේක තාත්තට කියන්න වෙනවනේ අම්මා “
ධීර කියනා කතාව ඇත්ත වුවත් එය කිසිසේත්ම මේ මොහොතේ කල හැක්කක් නොවේ. ධීර ට ඉතා උසස් පවුලකින් මංගල යෝජනාවක් පැමිණ ඇති මොහොතේ ධීර තාදී වැනි තරුණියක හා සම්බන්ධයක් ඇති කරගෙන ඇති බව වසන්ත ගජනායක හට කෙසේ වත් කිව නොහැකි බව ජයමිණි සිතුවාය.
” දැන් තාදී මොනවද කියන්නේ? “
” එයා මට කැමතියි අම්මා. ඒත් එයා දන්නවා එයාට ගොඩක් ප්රශ්න වලට මූණ දෙන්න වෙනවා කියලා ”
” මං උපරිම උත්සාහ කරන්නම් මේක තාත්තට කොයි වෙලාවේ හරි තේරුම් කරලා දෙන්න. ඒත් ඔයා දන්නවනේ පුතා තාත්තා කවදාවත් අපි කියන දේකට කැමති වෙන්නේ නෑ කියලා. මේ අවුරුදු ගානටම මේ වහල යට සිද්ධ වුණේ එයා කැමති දේවල් විතරයි ”
” මොන දේ උනත් තාදිව අත අරින්න මට බෑ අම්මා. මං දන්නව මට එයා වගේ කෙල්ලෙක් ආයි කොහෙන්වත් හොයන්න හම්බවෙන්නේ නෑ කියලා. ඒ හින්දා ඕනෙම ප්රශ්නෙකට මුහුණ දෙන්න මං ලෑස්තියි ”
වසන්ත ගජනායක ගේ වාහනය පැමිණ මිදුලේ නතර කලේ ඒ මොහොතේය. වාහනයේ දොර වැසෙන හඬත් වසන්ත ඇවිද එන ආකාරයත් ජයමිණි මෙන්ම ධීර ද අසා උන්නේ නිහඬියාව අතරේ ය.
” ආ.. අම්මයි පුතයි දෙන්නම ඉන්න එක හොඳයි ”
වසන්ත නිවසට ඇතුළු වූයේ සතුටිනි. ජයමිණි වාඩිවී හුන් තැනින් නැගිටිනවාත් සමග වසන්ත පැමිණ ධීර අසලින් වාඩි වූයේ ය.
” ඔයා වාඩි වෙන්නකො ජයමිණි ”
ජයමිණි වාඩි වූවාය. වසන්ත මේ සූදානම් වන්නේ කුමක් හෝ කීමට බව ජයමිණි ට දැනුනා ය.
” ඔන්න මේ සෙනසුරාද රූපසිංහ ලා මෙහෙ එනවා කියලා කිව්වා “
වසන්ත උන්නේ ඉහ වහා ගිය සතුටෙනි. ඒ සතුටේ තරමටම කෝපයක් ඔහු තාදී ගැන දැන ගත් විට ඇති කර ගන්නා බව ධීර ඒ මොහොතේ තේරුම් ගත්තේ ය.
” එහෙමද ? ”
ජයමිණි ඇසුවේ වෙන අසන්නට දෙයක් නැති තැනය. ධීර ගේ හදවත කඩා වැටෙමින් තිබුණත් ඔහු ඒ බවක් පෙන්වූයේ නැත
” ඔන්න පුතා දැන් තමයි ඔයාගේ කාලේ පටන් ගන්නේ. මං රූපසිංහට කිව්වා මාස හතර පහක් ඔය දෙන්නට ආශ්රය කරන්න ඇරලා මේ කටයුත්ත කරලා දාමු කියලා. ආයෙ මොකටද කල් ගන්නේ? ”
” ඒ උනාට වසන්ත මේ ළමයි දෙන්නට අඩුම ගානේ අවුරුද්දක්වත් ආශ්රය කරන්න දෙමු නේද? කසාද බඳින්න කලින් ඉතින් දෙන්නට දෙන්නා ගැන හොඳට දැන ගන්න එපැයි ”
” ඇයි ඒකට මාස හතර පහක් මදිද ජයමිණි ? අනික ඒ ළමය ගේ එහෙම කියන්න තරම් කිසිම වැරැද්දක් නෑ. මොනවයින් කියලා අඩුවක්ද? මේ දෙන්නටම තියෙන්නේ බිස්නස් බලා ගෙන ඉන්න එකනේ ”
වසන්ත අවසන් තීරණය ලබා දුන්නේ ඒ ආකාරයට නිසා ඉන් එහාට කිසිවක් කීමට ජයමිණි ට හැකි වූයේ නැත. මේ මොහොතේ තම පුත්රයා සිටින්නේ හදවතින් දැවෙමින් බව ජයමිණි ඔහුගේ මුහුණේ ඉරියව් වලින් තේරුම් ගත්තාය.
” දැන් ඔයාගේ මේකට අකමැත්තක් තියෙනවද ධීර ? ”
වසන්ත එක වරම හැරුනේ ධීර දෙසටය. තමා මේ යෝජනාවට අකමැති වුවත් එය ප්රකාශ කිරීමට මෙය වෙලාව නොවන බව ධීර දැන උන්නේ ය.
” එහෙම එකක් නෑ තාත්තා. ඒත් අපි බලමු නේද ? ”
ධීර අවසන් වචන කිහිපය කියා දැම්මේ ආයාසයෙනි. වසන්ත ගේ මුහුණ වෙනස් වීමට ගත වූයේ තත්පර පහකටත් වඩා අඩු කාලයකි.
” මොනවා බලන්නද? විකාර නම් කරන්න ලෑස්ති වෙන්න එපා ධීර. මෙච්චර හොඳ තැනකින් ඔයාට ආපහු ගෑණු ළමයෙක් හොයා ගන්න හම්බ වෙන්නේ නෑ ”
වසන්ත එසේ කියා පුටුවෙන් නැගිට තරප්පු පේළිය නැග්ගේ ය. ධිර සහ ජයමිණි මොහොතක් නිහඬව බලා සිටියේ වසන්ත නොපෙනී යන තුරු ය.
” ඔය පටන් ගත්ත විතරයි ධීර ”
ජයමිණි කීවේ අනතුරු ඇඟවීමක් ලෙසය.
” මං දන්නවා අම්මා. ඉස්සරහට එන දවස් කොහොමත් ලේසි නෑ කියලා මං දන්නවා. ඒත් මට මගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න අයිතියක් තියෙනවා. විශේෂයෙන්ම කසාදේ ගැන. මං කසාද බඳින්න ඕනේ කාවද කියන එක තීරණය කරන්න ඕනේ මම නේද අම්මා ? ”
ධීර ඇසුවේ අසරණවය. මෙවන් කතා බහක් මින් පෙර කිසි දිනකවත් තමා සහ තම පුතු අතර සිදුවී නැති නිසා ජයමිණි ට ධීර ගැන දැනුනේ විශාල දුකකි.
” දැම්ම බලාපොරොත්තු අත ඇර ගන්න එපා. අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා.දැන් ඔය රූපසිංහ ගේ දුව මෙහාට ආවට පස්සේ පුතාට අකමැති උනොත් ? එතකොට මේ කටයුත්ත කෙරෙන්නේ නෑනේ ? ”
ජයමිණි උත්සාහ කළේ සිදුවන සෑම දෙයකම කුමක් හෝ හොඳක් ඇති බව සිටීමටය.
” ඒත් අම්මා කවුද දන්නේ රූපසිංහ අංකලුත් තාත්තා වගේමද කියලා ? එයත් මේ වගේම දුවට කියනවද දන්නෙ නෑනෙ මාව බඳින්න කියලා ”
” හරි හරි දැන් ඒ මිනිස්සු තාම මෙහෙ ආවෙ වත් නෑනේ. ඒක අපි ආවට පස්සේ බලමු. ඒ මිනිස්සු ගියාට පස්සේ අපිට පුළුවන්නේ මොකක් හරි අඩු පාඩුවක් හොයා ගෙන හරි කියන්න ”
” ඒත් තාත්තා කීයටවත් මේකට අකමැති වෙන්නෙ නෑ අම්මා ”
” ධීර , හැමදේම සිද්ධ වෙන්නේ හොඳට.ඒ හින්දා මේකත් ඒ වගේ කියලා හිතන්න. පටන් ගන්න කොටම ඔයා මේ වගේ වැටෙනව නම් ඉස්සරහට එන දේවල් වලට ඔයා මූණ දෙන්නේ කොහොමද ? මේ වෙන දේවල් වලට ඒ විදිහට සිද්ධ වෙන්න දෙන්න. අපි ඒ වෙලාවට බලමු මොනවද කරන්න පුළුවන් කියලා ”
ජයමිණි කීවේ පුරුදු සන්සුන් බවිනි. කුමක් කෙසේ සිදු වූවත් ධීරගේ පසින් සිට ගන්නා බව ජයමිණි තරයේම සිතුවේ වසර තිස් ගණනක විවාහ ජීවිතයේ තමාගේ තීරණයකට කිසිදාක වත් ඉඩක් නොලද ශෝකයෙනි.ධීර ට එවැන්නකට මුහුණ දීමට සිදු නොවීමට වග බලා ගන්නවා යැයි ජයමිණි ආයේ ආයෙම සිතුවාය.
” මං අම්මගෙන් දෙයක් අහන්නද ? ”
ReplyForwardAdd reaction |