තාදී – 19

0
2622

තාදි පැපිලියානේ Barista වෙත පැමිණියේ Clothez වෙත යන්නට පෙරාතුවය. ඇය උන්නේ වෙනදාට වඩා පැහැබරවය. පහුගිය වසරේ උපන් දිනයට ඇය විසින්ම මසා ගත් රෝස පැහැ අත් දිග ගවුමෙන් සැරසී තාදී පැමිණියේ අද විශේෂ දිනයක් නිසාය. තමා දැන් පෙම්වතියක් යන හැඟීම ඇගේ සිත ප්‍රබෝධමත් කර තිබුණු අතර ධීර පැමිණෙනවා යැයි කියූ වේලාවට පැය භාගයකට පමණ පෙර පැමිණි තාදී පාරට පෙනෙන මේසයක් අසල අසුන් ගත්තාය. 

යන්තමින් පොද වැටෙමින් තිබුණු අතර පරිසරය ලා අඳුරු පැහැයක් ගෙන තිබුණි. තාදී වීදුරුවෙන් බලා උන්නේ ධීර එනතුරු ය. ජීවිතයේ කවරදාකවත් අත් නොවිඳි සුන්දර හැඟීමක් තාදී විඳිමින් උන්නාය. ධීර පැමිණියේ තවත් විනාඩි දහයක් පමණ ගතවී යන විට ය. වාහනයෙන් බැස එන ඔහු දෙස තාදී බලා උන්නේ උතුරා යන ආදරයෙනි. තද දුඹුරු පැහැ කලිසමට කළු පැහැ අත් දිග කමිසයක් ඇද සිටි ධීර ව වෙනදාට වඩා කඩවසම්ව තාදී දුටු අතර ඔහු ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී තමා වෙත පැමිණෙන අයුරු තාදී බලා උන්නේ කම්මුලක් මත අතක් තබා ගෙනය.

තමා පැමිණෙන තුරු බලා සිටින මලක් වැනි පියකරු තම පෙම්වතියව වැළඳ ගන්නට ඇත්නම් යැයි ධීර ට නොසිතුනා නොවේ. 

” මගේ මල ” 

ධීර අසුන් ගත්තේ එසේ කියමිනි. ඒ ආමන්ත්‍රණය තාදී ගේ හදවතට ගෙන දුන්නේ සුවදායක හැඟීමකි.

” ඔයා එන්න කලින් එනවා කියලා හිතාගෙන මං කලින් ආවේ. ඒත් ඔයා ඊටත් කලින් ඇවිල්ලා ” 

ධීර සිනාසුනේ ද සැනසීමෙනි. කවුරුන් මොනවා පැවසුව ද මේ තමා ආදරය කිරීමට තෝරා ගත්, ජීවිතය බෙදා ගැනීමට තෝරා ගත්  යුවතිය ය. ඇය අද මේ සැහැල්ලුවෙන් සිනාසෙන්නේ ද තමාගේ ආදරයේ එළියෙන් බව වටහා ගන්නට ධීර ට අපහසු වූයේ නැත. මොහොතක් දෙකක් ගත වන තුරු තාදී කතා කලේ නැත.ඇය බලා උන්නේ ඕනෑ දෙයක් වන්නට හැර තම ජීවිතය බාර ගැනීමට ඉදිරිපත් වූ අපූරු තරුණයා දෙස ය.

” මොකද අද කට වැහිලා ? ” 

ධීර ඇසුවේ තාදි මදහසකින් යුතුව තමා දෙස බලා ඉන්නා නිසා ය.

” ඇත්තමයි මට දැන් මං ජීවත් වෙනවා කියලා දැනෙනවා ධීර ” 

තාදී ගේ දෑස් දිලිසෙන අයුරු ධීර බලා උන්නේ ය. ජීවිත කාලය පුරාවටම මේ දෑස් තමා ගේ කර ගන්නට ඕනෑම දෙයක් කළ යුතු බව ධීර ආයෙ ආයෙම සිතුවේ ය.

” ඔයා ජීවත් වෙන්න ඕන තමයි තාදී. ඔයා දැන් මං වෙනුවෙන් සතුටින් ජීවත් වෙන්න ඕනේ. ඔයා මට පොරොන්දු වෙන්න ඕනේ කොහොම මොන දේ උනත් මේ ගත්ත තීරණේ කිසිම වෙනසක් වෙන්නේ නෑ කියලා ” 

ධීර කීවේ සන්සුන්ව ය.

” මං පොරොන්දු වෙනවා ධීර. කාත් කවුරුත් නැති මං වෙනුවෙන් ඔයා මේ දෙන ආදරේට මං ඒක පොරොන්දු වෙනවා ” 

” ඔයාට කාත් කවුරුත් නැත්තෙ නෑ තාදී. ඔයාට මං ඉන්නවා. මගේ අම්මා ඉන්නවා. ඉස්සරහට මගේ තාත්තත් ඉදියි ” 

තාදී ගේ මුහුණ වෙනස් වූයේ ධීර එසේ කියූ පසුව ය.හිතේ කොනක සැඟවී තිබූ බිය එළිපත්තට පැමිණියේ තත්පර කිහිපයක් ඇතුළතය.

” මට තියෙන එකම බය ඔයාගේ තාත්තා ධීර ” 

තාදී මොහොතකට කතාව නතර කළාය. සේවකයකු පැමිණ ඇනවුම භාරගෙන ගිය පසු තාදී පිට කළේ දිගු සුසුමකි.

” ඔයා බය වෙන්න එපා. අපි දෙන්නා එකට හිටියොත් මේ හැමදේටම මුහුණ දෙන්න පුලුවන්.  ” 

ධීර කීවේ ස්ථීර හඬිනි. ජීවත් වන්නට මෙවැනි ආදරයක් හොඳටෝම ඇති බව තාදී තේරුම් ගනිමින් උන්නාය. වසර විසි ගණනාවක් මුළුල්ලේ තනිවම සටන් කල ජීවිතයට මෙවැනි ප්‍රේමවන්තයකු මුණ ගැසීම අරුමයකි. තමා අවාසනාවන්ත යැයි සිතා ගෙන සිටියද එය එසේ නොවන බව තාදී පසක් කර ගත්තා ය. දැන් ඇත්තේ ජීවිතය ආදරයෙන් බදා වැළඳ ගැනීමට බව තාදී සිතුවාය.

” මොනාද ඉතින් කල්පනා කරන්නේ ? හ්ම් ? ” 

මේසය මත තිබූ තාදී ගේ අත මතින් අත තබන අතරේ ධීර ඇසුවේ ය. මෙවැනි ස්පර්ශයක් ජීවිතයටම විඳ නැති නිසා තාදී උන්නේ ගෙවෙන හැම තත්පරයක් කෙරෙහිම දැඩි ලෝභ කමකිනි. 

” අපිට මිනිස්සු මුණ ගැහෙන විදිය හරි පුදුමයි නේද ? ” 

තාදී ට සිහි වූයේ සුපිරි වෙළඳ සැලෙහි දී ධීර ව පළමු වතාවට මුණගැසුණු ආකාරය ය. ඒ මුණගැහීම මේ තරම් දුරක් පැමිණේවි යැයි තාදී සිහිනෙකින්වත් සිතා තිබුණේ නැත. ඒ ඇරත් ජීවිතය යනු අහම්බකාරක හමුවීම් වල එකතුවක් යැයි තාදී විශ්වාස කරන්නට පටන් ගෙන තිබුණේ ධීර හමු වීමෙන් පසුව සිදුවූ සියලු සිදුවීම් ගැන සිතා බලන විටය.

හදවතක හැඩය සිත්තම් කර ඇති කෝපි කෝප්ප දෙක සේවකයෙකු මේසය මත තබා ගිය විට තාදී ඒ දෙස සිනාවකින් බලා උන් අතර ධීර බලා උන්නේ කුඩා දෙයකින් පවා සතුටට පත් වෙන මේ අපූරු තරුණිය දෙස ය.

” ඕක තියෙන්නේ බලන් ඉන්න නෙමෙයි. බොන්න ” 

ධීර සිනාසෙමින් කීවේ ය.

” හාට් එකක් කඩන්න හිතෙන්නෙ නෑ ” 

තාදී පිළිතුරු දුන්නේ ළදරියක සේය.

” දැනට ඕක කඩන්න. හැබැයි මගේ හාර්ට් එක කඩන්නෙ නැතිව ඉන්න ” 

” ඒක කවදාවත් වෙන්නේ නෑ ධීර ” 

මේ පොරොන්දු වචන වලට පමණක් සීමා නොවිය යුතුය. ඒවා ජීවිත කාලයටම රැකිය යුතුය යන්න ධීරගේ මෙන්ම තාදි ගේ හදවතේ ද විය.

” මං දන්නවා තාදී ඔයා කවදාවත් මට රිද්දන්නෙ නෑ කියලා. මං ඒක විශ්වාස කරනවා. ඒ විශ්වාසේ කවදාවත් කඩන්න එපා.” 

” ඇත්තමයි මට දැන් බලාපොරොත්තු ගොඩක් තියෙනවා ධීර ” 

කෝපි කෝප්පය තොළ ගාමින් තාදී මිමුණුවා ය.

” ඒ මොනාද ? කියන්නකො බලන්න මටත් දැන ගන්න ” 

” අපි දෙන්නට කියල ගෙයක් ගන්න , තව බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න ,අපි දෙන්නට කියලා බිස්නස් එකක් පටන් ගන්න. තව ගොඩක් දේවල් ධීර. මං ඊයේ මුළු රෑම කල්පනා කරා. මේ පටන් ගන්න යන්නේ මගේ ජීවිතේ හොඳම කාලෙ කියල මට හිතෙනවා ” 

” ඒක එහෙම තමයි තාදී. ආදරේ කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද කියලා ඔයාට ඉස්සරහට තේරෙයි. මේ ගමන කොච්චර අමාරු උනත් ඔයා මගේ අතින් අල්ල ගෙන ඒ ගමන යනවනම් කාටවත් අපිව නවත්තන්න බෑ. තේරුනාද ? ” 

තාදී ” ඔව් ” කියන්නට මෙන් හිස සැලුවාය. 

” මට ඉස්කෝලෙ යන කාලේ ඉඳලා කෙල්ලෝ ඉඳලා තියෙනවා. හැබැයි ඒ කවුරුත් ගැන ඔයා ගැන දැනුන වගේ දැනිලා නෑ තාදී. ඒ දැනෙන දේ තමයි ඇත්තටම ආදරේ කියන්නේ කියලා මං දැන් දන්නවා. එහෙම ආදරයක් අපිට ජීවිත කාලෙටම හම්බ වෙන්නේ එක පාරයි. එය ආදරය මට කවදාවත් නැති කර ගන්න බෑ ” 

ධීර තම හදවතේ ඇති දේ කියා දමන්නේ සන්සුන්වය. ඒ ස්වරූපය අනුව තාදී ට සිහි වූයේ ජයමිණි ගජනායක ව ය.

” ඔයා හරියට ඔයාගේ අම්මා වගේ මයි ධීර ” 

ධීර ට සිනා ගියේ ය.

” මං තාත්තා වගේ නොවී අම්මා වගේ උන එක ගැන ඔයා සතුටු වෙන්න ” 

ධීර කියන්නේ ඇත්ත ය. ධීර තෙත හිතක් ඇත්තෙකු වන්නට ඇත්තෙ ජයමිණි ගජනායක නිසා ය. ඇය තමා වෙත පැය කරුණාව සහ මව් සෙනෙහස තාදි ට ඒ මොහොතේත් සිහි විය.

” මට අද දවසම මෙතනට වෙලා ඉන්න හිතෙනවා ” 

ධීර මොහොතක් තාදී දෙස බලා සිට කීවේ ය. ඒ හැඟීම එලෙසම තාදීට ද දැනෙමින් තිබුන අතර ආදරය යනු එතරම්ම සුන්දර හැඟීමකැයි  තාදී විශ්වාස කළා ය.

” මට පොරොන්දු වෙන්න තාදී ” 

ධීර එකවරම තාදී දෙසට දෑත දිගු කළේය.

” මොකද්ද ? ” 

” කවදාවත්ම මාව දාලා යන්නෑ කියලා ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here