තාදී – 20

0
3512

සෙනසුරාදා දිනය එළඹුණේ වෙනදාටත් වඩා වේගයෙනි. එය ගජනායක නිවසට සුවිශේෂී දිනයක් වූ නිසා අළුයම් කාලයේ සිටම නිවසේ තිබූයේ කලබලකාරී බවකි. උදෑසනම වසන්ත ගේ මවද පැමිණ තිබුණු අතර නිවසේ සේවය සඳහා පුශ්පා සිටියද මහ ගෙදර සේවයේ යෙදෙන සේවිකාවකද ගෙන්වා ගෙන ජයමිණි දවස ආරම්භ කර තිබුණා ය. හෝටලයෙන් ගෙන්වා ගත් කෑම බීම පිඟන් වලට අඩුක් කර සූදානම් කිරීමේ කටයුතු සේවිකාව ආරම්භ කර තිබුණු අතර වසන්ත කාමරයට වී සූදානම් වෙමින් උන්නේ කවර දාටත් වඩා සතුටෙන් ඉපිලෙමිනි.

ජයමිණි සකස් කරන ලද තේ කෝප්පය රැගෙන කාමරයට ආවේ දෙගිඩියාවෙනි. 

” අම්මා උදේම ඇවිල්ල නේද සුමනා එක්ක ? ” 

වසන්ත ඇසුවේ ජයමිණි ව දැකය.

” ඔව්. කෑම බීම ටික ලෑස්ති කරනවා. ඒ මිනිස්සු නමය දහය වෙද්දී එනවා කියලා තියෙනවා නේ ” 

ජයමිණි තේ කෝප්පය කණ්ණාඩි මේසේ උඩින් තැබුවාය.

” සාමාන්‍ය සිරිත ඉතින් කොල්ලා ගේ ගෙදරින් කෙල්ල ගේ ගෙදර යන එක උනාට මං රූපසිංහට මෙහෙ එන්න කිව්වේ අපේ ගෙවල් දොර වල් බලා ගෙන යන්නත් එක්ක. අපිට බැරියෑ තව සති දෙක තුනකින් හෙමින් සීරුවේ එහෙ යන්න “

ජයමිණි කිසිවක් නොකියා උන්නා ය. මේ සියල්ල සිදුවන්නේ වසන්තගේ තනි කැමැත්තට ය. තමා ගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔහුට වැඩක් නැත.ඒ නිසා හොඳම දෙය නිහඬව ඉන්නා එක බව ජයමිණි සිතුවා ය.

” මොකද ජයමිණි ඔයාට වෙලා තියෙන්නෙ ? “

වසන්ත තේ එක රැගෙන හැරුනේ ය.

” ආ නෑ මං මේ කල්පනා කළේ මොකුත් අඩු පාඩුවක් තියෙනවද කියල වසන්ත. මං කුස්සිය පැත්තට ගිහිල්ලා බලලා එන්නම් ” 

ජයමිණි කතාව මග හැර කාමරයෙන් එළියට විත් ධීර ගේ කාමරය දෙස මොහොතක් බලා සිටියාය. කාමරයේ දොර වසා තිබුණු නිසා ජයමිණි එය අසලට ගොස් වැඩි හඬක් නොනැඟෙන්නට දොරට තට්ටු කළාය. 

” පුතා ” 

තප්පර කිහිපයක් ඇතුලත ධීර දොර විවෘත කළ අතර කාමරය තුළින් දිස් වූයේ අඳුරු වූ ඔහු ගේ මුහුණ ය.

” අම්මා , එන්න ” 

ජයමිණි කාමරය තුළට ඇතුලු වූවා ය. ඇඳ මත අපිළිවලට කමිස කිහිපයක් තබා තිබූ අතර අල්මාරියේ දොර පියන් දෙකම ද හැර දමා තිබුණි.

” මං මේ අඳින්න ඇඳුමක් හෙව්වා ” 

ධීර කීවේ අඩමානයට ය. වෙනදාට ඕනෑම ගමනක් යන්නට ඔහු උනන්දුවෙන් සූදානම් වන අයුරුත් අද ඕනෑවට එපාවට මෙන් හැසිරෙන අයුරුත් වෙනස් බව වටහා ගන්නට ජයමිණි ට අපහසු වූයේ නැත.

” පුතා ” 

ජයමිණි ධීර ලඟට පියමැන්නාය.

” අද දවසේ මොනා වුනත් ඒක එච්චර හිතන්න එපා. මං කිව්වනේ. වෙන දේකට වෙන්න ඇරලා අපි බලාගෙන ඉමු.ඔයා බය නොවී ඉන්න. ඔයාට වත් තාදීට වත් නරකක් වෙන්නේ නැහැ ” 

ජයමිණි ගේ වචන හමුවේ ධීර ට දැනුනේ කියා ගත නොහැකි තරමේ ධෛර්‍යයකි. අනෙක් අතට තම මව ගැන විශාල ගෞරවයකි. තමන්ගේ ජීවිතය ගැන තමන් ගත් ඒ තීරණය ට ගරු කිරීම ගැන ජයමිණි ගැන විශාල සෙනෙහසක් ධීර ගේ සිත තුළ තිබුණි.

රූපසිංහ ඇතුළු පවුල ගජනායක නිවසට පැමිණියේ උදෑසන දහය පහු වන විට ය. වසන්ත ගජනායක ඉදිරියට ගොස් රූපසිංහ ව වැළඳගෙන නිවස තුළට කැටුව ආවේ ආඩම්බරයෙනි. රූපසිංහ ගේ බිරිඳ සහ දියණිය ද ඔහු පසු පසින් පැමිණ අසුන් ගත් අතර ජයමිණි , ධීර සහ වසන්ත ගේ මව පැමිණ අසුන් ගත්තේ ඉන් පසුවය. කෙටි ගවුමක් හැඳ හිසකෙස් මුදා හැර සිටි මිෂෙල් බැලූ බැල්මට රූමත් තරුණියක වුවත් ධීර ගේ හිත යන්තමින් හෝ සොරා ගන්නට ඒ රූමත් බවට හැකි වූයේ නැත.

” මේ ඉතින් මට ඉන්න එකම කෙල්ල. මිෂෙල් ” 

රූපසිංහ තම දියණියව හඳුන්වා දුන්නේ ධීර දෙස බලමිනි. ධීර ඊට පිළිතුරු වශයෙන් පෑවේ මඳ සිනහවක් පමණි.

” මේ ධීර. මගේ එකම දරුවා. රූපේ ඉතින් පුතාව දකින්නේ සෑහෙන කාලෙකින් නේ ” 

” නැතුව ” 

ඉන් පසුව ගජනායකට සහ රූපසිංහට කතා කිරීමට බොහෝ දේ තිබුණු අතර ධීර බලා සිටියේ මේ කතා බහ කොහෙන් හෝ කෙලවර වන තුරුය. 

” අපි තේ ටිකක් බීලා ඉමුකෝ ” 

ජයමිණි සියල්ලන්ටම ආරාධනා කළ අතර සියලු දෙනාම නැගිට කෑම මේසය වෙත ආහ.කැවිලි වර්ග ගණනාවකින් සහ තවත් කෑම බීම කිහිපයකින්ම සමන්විත වී තිබූ කෑම මේසය දුටු රූපසිංහ මෙන්ම ඔහුගේ බිරිඳ ද සතුටට පත් වූයේ හිතුවාට වඩා පිළිගැනීමක් ඔවුන්ට ලැබෙමින් තිබුණු බැවිනි. 

” දුව වාඩි වෙන්න ” 

ගජනායක හිතා මතාම ධීර සිටගෙන සිටි ස්ථානයේ අසල පුටුව මිෂෙල්ට පෙන්වූ අතර ඇය ඉතා කැමැත්තෙන්ම අසුන් ගෙන අසල වූ පුටුව ඇද ධීර ට පෑවා ය. එය දුටු ගජනායක රූපසිංහ දෙස බලා සිනාවක් පෑවේ බලාපොරොත්තු සහගතව ය.

” එහෙනම් අපේ යාළුකම නෑදෑකමකට පෙරලෙන්නයි යන්නේ නේද රූපේ ” 

ගජනායක ඇසුවේ කිරිබත් පිඟාන රූපසිංහ වෙත පාමිනි.

” ඒක නේන්නම් වසන්ත. අපි මේවා වැඩිය කල් දාන්න හොඳ නෑ. මේගොල්ලන්ට අපේ බිස්නස් භාර දෙන්න පුළුවන් නේ ඊට පස්සේ ” 

” මාත් එහෙමම තමයි හිතාගෙන හිටියේ. කොහොමත් ධීර දැනටමත් හොටෙල් එකේ වැඩ බලනවා ” 

” අපේ දුව ඉතිං ලංකාවට ආව විතරනේ. දැනට එයාට පොඩ්ඩක් නිදහසේ ඉන්න දීලා ඊට පස්සේ එයාට බිස්නස් භාර දෙනවා ” 

මිෂෙල් බලෙන් මෙන් ධීර ගේ පිඟානට කෑම බෙදන්නට උත්සහ කරන අයුරු ජයමිණි බලා උන්නේ උපේක්ෂාවෙනි. ආදරය යනු කිසිම හිතක බලෙන් ඇති කළ නොහැක්කක් බව ගජනායක ඉතා ඉක්මනින් තේරුම් ගනු ඇතැයි ජයමිණි ප්‍රාර්ථනා කළාය.

” එහෙනම් ඔය දෙන්න කතා කරන්නකෝ එළියට ගිහින් ” 

සංග්‍රහයෙන් අනතුරුව ගජනායක කීවෙ අණ කරනා ස්වරූපයෙනි. මිෂෙල් ඉතා කැමැත්තෙන් අසුනින් නැගී සිටි අතර ධීර අලසකමින් යුතුව ඇය පිටුපස ඇදුනේ ජයමිණි දෙසද බලමිනි.

” තාත්තා මට ඔයාගේ ෆොටෝ එකක් වත් පෙන්නන්නේ නැතුව තමයි මෙහාට එක්ක ගෙන ආවෙ. හැබැයි ඉතින් මං හිතුවට වැඩිය ඔයා හොඳයි ” 

මිෂෙල් කතාව පටන් ගත්තේ ධීර ව ඉතා හොඳින් දන්නා අඳුනන සේය. එහෙත් ධීර ගේ හිත තිබුනේ ඉතා ඉක්මනින් මේ කතාව අවසන් කර දැමීමට ය.

” ඇයි අනේ ඔයා කතා කරන්නේ නැත්තේ ? ” 

මිෂෙල් නැවත ඇසුවේ ධීර ගෙන් පිළිතුරක් නැති තැනය.

” නෑ එහෙම එකක් නැහැ. මේ.. ඔයා ආපහු කැනඩා යන්න අදහසක් තියෙනවද ? ” 

” දැනට නම් නැහැ. ස්ටඩීස් ඉවර නිසා මෙහෙට වෙලා බිස්නස් එකක් කරන්න තමයි මං ආස. තාත්තා උනත් ආස මං බිස්නස් කරනවට නේ” 

බටහිර පන්නයට හැඳ සිටි රූමත් තරුණියක වූ මිෂෙල් සහ තමා ඉතා ආදරය කරන තාදීව මැන බැලූ විට තාදි ට ඇත්තේ කෙතරම් පියකරු සුන්දරත්වයක් දැයි ධීර යටි සිතෙන් සිතමින් උන්නේ ය. 

” ඔයා හරි සයිලන්ට කෙනෙක් නේද ධීර ? ” 

මිෂෙල් ඇසුවේ ධීර ගේ මුහුණ ට එබෙමිනි. ධීර අඩියක් පසු පසට ගත්තේ හිතා මතාමය

” ඒ මගේ හැටි මිෂෙල්. ” 

” හරි හරි. ඉස්සරහට ඔයා මාත් එක්ක හොඳට කතා කරන්න පටන් ගනියි. ඒ නැතත් මං ඔයාව කතා කරවලා ගන්නම්කෝ ” 

මිෂෙල් කතා කලේ ඇස් නටවමිනි. ධීර ට සිහිවූයේ තාදී ගේ දිලිසෙන දෑස් ය. ඒවායෙහි වන්නේ අව්‍යාජ බවකි. අහිංසක බවකි. ඒ අසලට යාමටවත් මිෂෙල් හට නොහැක. 

” ආ. මට ඔයාගේ නම්බර් එක දෙන්න. මං ඔයාට කෝල් කරන්නම් ” 

මිෂෙල් ඇගේ අත වූ දුරකථනය ධීර වෙත පෑ අත අතර වෙන කරන්නට දෙයක් නොමැති වූ නිසා ධීර එය අතට ගෙන දුරකථන අංකය සටහන් කළේ ය.

” අපි හෙට අනිද්දම එළියෙදි මීට් වෙමුද ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here