මල්සර හී සර – 50

0
2660

සංසාර පාරමිතා ටෙලි ඩ්‍රාමා එකේ සක්සක් පාටි එක සමුද්‍ර ඇරේන්ජ් කරල තිබ්බෙ මහ අමුතුම තැනක. වෙන කොහෙවත් නෙවෙයි සමුද්‍රගෙ ප්‍රඩක්ශන් හවුස් බිල්ඩින් එකේ. කොහොමත් ප්‍රඩක්ශන් හවුස් එකේ උඩ ටෙරස් එකත් එක්කම සමුද්‍ර බාර් එකකුත් හදල තිබ්බෙ ඔෆිස් එකේ වැඩවලදි උනත් එලියට යනවට වඩා කට්ටියට මෙතනම සෙට් වෙන්න පුලුවන් වෙන එක ලේසියක් හන්දා.

හොටෙල් එකක වගේ ලොකු සැරසිල නොතිබ්බට සමුද්‍ර ලස්සන රෙඩ් කාපට් එකක් එහෙම දාලා, මල් එහෙම දාලා තිබ්බ වගේම කෑම එහෙමත් ඕඩර් කරලා තිබ්බෙ පිටින්. ඒ විතරක් නෙවෙයි කට්ටියට නටල කරල එන්ජෝයි කරන්න මියුසික් එහෙමත් සපයල තිබ්බ නිසා පාටිය පටන් ගත්තෙ පටන්ගමු කියලා කියන්නත් කලින්.

සමුද්‍රගෙ ප්‍රඩක්ශන් හවුස් එකේ රූෆ් ටොප් එක තිබ්බෙ සැණකෙලි අසිරියකින් පිරිලා ඉතිරිලා යන ගමන්. එක පැත්තක සංගීතේ. තව පැත්තක මධු රස ඉතිරිලා යද්දි මාලවී ඉඳියෙ ඒ සංගීතෙ එක්ක තාලෙට අඩිය තියලා ඇවිදලා යන ගමන් මෙතැන රැජිණ වෙන කවුරුවත් නෙවෙයි තමන් කියලා නිකන් පෙන්නන ගමන් වගේ. කොහොමත් චිත්‍රපටයක හරි ටෙලි නාට්‍යයක හරි ප්‍රධාන නිළිය වැඩිය කරළියට එන්නෙ නැති උනාම සහය නිළියන්ට වැඩි තැනක් හම්බුවෙනව කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කියලා කියන්න වගේ මාලවී උන්නෙ තමන්ට නිතරඟයෙන්ම වගේ ලැබිච්ච මේ හැම වරප්‍රසාදයක්ම හිත ඉහළින්ම බුක්ති විඳින ගමන්. තැන තැන කට්ටිය සප්තමී නැති එක ගැන, සප්තමී අතුරුදහන් වෙච්ච එක ගැන ඉඳහිටලා කතාකරාට මොකෝ ඒ හැම තැනකටම හුළඟයි සංගීතෙයි එක්ක පැද්දිල වගේ ගිහිල්ලා ආයෙම කතාව තමන්ගෙ පැත්තට හරවගන්න එක මාලවීට මහ ලොකු කරදරයක් උනේ නෑ.

“මේ පාර මං හිතන්නෙ හොඳම නිළිය සම්මානෙයි, ජනප්‍රියම නිළිය සම්මානෙයි දෙකම මාලවිට ලැබෙන සීන එකක් තියෙන්නෙ” කියලා කට්ටිය මූණටම කියද්දි මාලවී නම් ඒකට උත්තර දුන්නෙ පුදුම විදියෙ මවාගත්ත නිහතමානි හිනාවකින්. ඒ සම්මාන දෙකම අස්සෙ පුළුවන් නම් සමුද්‍ර කියන සම්මානෙත් අරගත්තොත් තමයි තමන්ගෙ සන්තෝසෙ සම්පූර්ණ වෙන්නෙ කියල හිතුවට ඒක ඉතින් වචන කරන්න ඕන විත්තිය මාලවී හිතුවෙ නෑ. සමුද්‍ර කිව්වා වගේ සමහර දේවල් “සප්‍රයිස්” එකක් වෙන තරමට තමා හොඳ.

“සප්තමී ගැන ඇත්තටම කිසිම ආරංචියක් නෑ නේද?” කියල ආයෙ සප්තමී දිහාට කතාව ඇදල ගත්තෙ වෙන කවුරුවත් නෙවෙයි වසන්ත. ඒ මේසෙට සමන්තා, මලින්ද, මාලවී හැමෝම වාඩිවෙලා උන්නු හන්දා කාටවත් එවෙලෙ නම් ඒ කතාවෙන් ගැලවිල යන්න විදියක් තිබ්බෙ නෑ. 

“මට ඇත්තටම හිතාගන්න බෑ ඒ ළමය එකපාර එහෙම අතුරුදහන් වෙලා යන්න තරම් වෙච්ච දේ මොකද්ද කියලා සහ ඒ ළමයට ඔහොම දෙයක් කරන්න තරම් උන්නු තරහකාරයා කවුද කියලා” කිව්වෙ සමන්තා නෝනා.

“ඔව් එදා මං සමුද්‍ර එක්ක ඔය විත්තිය කතාකරද්දිත් මිනිහට මං කිව්ව දේ තමා කවුරුනමුත් ඔය බයික් ඇක්සිඩන්ට් එක පිටිපස්සෙත් ඉන්න කෙනෙක්ම තමා කියලා ඔය සප්තමී එක පාර අතුරුදහන් වෙච්ච සීන් එක පස්සෙත් ඉන්න කියලා. සමුද්‍ර කැමති උනේම නෑනෙ අපි දන්න කනෙක්ශන්ස් වලින් මේක ඉස්සරහට අරගෙන යන්න. එයාලම බලනව කියල කිව්වනෙ. මීඩියාවලට කියන්නත් එපා කිව්වා  වැඩේ තව වර්ස්ට් වෙයි කියලා. මට නම් හිතෙන්නෙම කවුරු හරි හොඳට ප්ලෑන් කරල කරපු දෙයක්. බයික් ඇක්සිඩන්ට් එකෙන් වෙන්න ඕන දේ උනේ නැති හන්ද දෙවනියට ගහපු ප්ලෑන් එක තමා ඕක” කියල වසන්ත බීම වීදුරුව මේසෙ උඩින් තියද්දි තමා මාලවී උගුර පාදලා කතාව පටන් ගත්තෙ.

“මං හිතන්නෙ නෑ” කියල මාලවී හරියටම ස්ථිරවම එහෙම දෙයක් කිව්වෙ කොහොමද කියන එක කට්ටියම ඇස් උස්සල බලද්දි මාලවී හීන් සීරුවේ තමන්ගෙ වීදුරුවෙ තිබ්බ බීම වලින් උගුරක් දෙකක් බිව්වා.

“ඇයි එහෙම දෙයක් කිව්වේ?” කියල අහන ගමන් සමන්තා නෝනා වසන්ත දිහායි මලින්ද දිහයි මාලවී දිහයි මාරුවෙන් මාරුවට බැලුවා. 

“බයික් ඇක්සිඩන්ට් එකක් ගැන නම් මම දන්නෙ නෑ. හැබැයි ඔය සප්තමී එකපාර අතුරුදහන් වෙච්ච එක කවුරුවත් එයාව කිඩ්නැප් කරපු එකක් නෙවෙයි එයාම ප්ලෑන් කරපු එකක්. සමහරවිට බයික් ඇක්සිඩන්ට් එකත් එහෙම එකක් වෙන්නැති එයාගෙම ප්ලෑන් එකක් වැරදිච්ච එකක්”

“ඒ කිව්වේ? අනික ඔයා කොහොමද එහෙම දෙයක් හරියටම කියන්නේ?”

“සප්තමී එයාගෙ ගෙදරට කෝල් කරලා තිබ්බා දවස් කීපෙකට කලින්. එයාගෙ අම්මා අපේ අම්මව දන්නවනෙ. අනික එයාලගෙ ගෙවල් අපේ ගෙවල් ලඟනෙ”

“කෝල් කරා කිව්වේ? එයාව කිඩ්නැප් කරපු මිනිස්සු දුන්න කෝල් එකක්ද? සමුද්‍ර දන්නවද සීන් එක?”

“මං හිතන්නෙ දන්නවා. ගෙදරින් කියන්න ඇතිනෙ. අපෙ අම්මට කිව්ව නම් සමුද්‍රට නොකිය ඉන්නෙ නෑනෙ. සප්තමීව කවුරුවත් කිඩ්නැප් කරලා නෑලු. එයාම තමා ඔහොම හිතලා ප්ලෑනක් ගහලා තියෙන්නෙ. මං හිතන්නෙ එයාට ඕන උනේ ටෙලි ඩ්‍රාමා එකට කලින් පොඩි ඩ්‍රාමා එකක් දාලා තව ටිකක් හයි ලයිට් වෙන්න. එයා සමහරවිට හිතන්න ඇති අපි මේක මීඩියාවලට එහෙම කියල එයාව තව ටිකක් හයිප් අප් කරලා දේවි කියල. සමහරු එහෙම දේවල් කරනවනෙ. ඒ උනාට එයාලගෙ ගෙදර අය වෙනම ප්ලෑන් එකක්නෙ ගැහුවෙ. ඒක වැරදිච්ච හන්දා මම හිතන්නෙ එයා දැන් වෙන ප්ලෑන් එකක් ගහනව මේ වෙච්ච දේවල් වලට කතාවක් බිල්ඩ් කරන්න” කියල මාලවී කියද්දිම තමයි මෙච්චර වෙලා මුලු රූෆ් ටොප් එකටම වැටෙන විදියට දාලා තිබ්බ ලයිට්ස් ඩිම් වෙලා සමුද්‍ර ස්පීච් එකක් කරන්න වගේ හදල තිබ්බ තැනට විතරක් ඒ ලයිට් එක ෆෝකස් උනේ. සමුද්‍ර මයික්‍රෆෝන් එකත් අරගෙන එතනට එද්දි තමා කට්ටියට තේරුනේ සමුද්‍ර තමන් වෙනුවෙන් ස්පීච් එකක් එහෙමත් ලෑස්ති කරලා තියෙනවා කියන එක.

“ගුඩ් ඊව්නින් හැමෝටම. මම හිතනවා හැමෝම දැනටම පාටි එක හොඳටම එන්ජෝයි කරනවා ඇති කියලා. ඒ උනාට සමහර දේවල් වල හොඳම කොටස් තියෙන්නෙ අන්තිම හරියෙනෙ. අන්න ඒ නිසා තමයි මම මේ ස්පීච් එකත් අන්තිම හරියට දාලා ඔයලා හැමෝටම මේ වැඩේ ලස්සන කරගන්න උදව් වුනාට, අපිටත් කට්ටිය ගැන හරියටම තේරුම්ගන්න පාර කපලා දුන්නට තෑන්ක් කරන්න ඕන උනේ.

මාව ගොඩක් අය දන්නෙ කතාකරන්නෙ නැති කෙනෙක් විදියට හන්ද අද මම මෙහෙම ස්පීච් එකක් දෙන්න යන එක ගැන නම් ගොඩක් අයට පුදුමයි කියන එක මම දන්නවා. අද මේ පාටි එක වෙලාවෙදි මම කෙනෙක් ගැන විශේෂයෙන්ම දෙයක් කතාකරන්න හිතාගෙනම තමයි උන්නෙ. ඇත්තටම ජීවිතේ සමහර වෙලාවට අපේ අතින් වැරදි වෙනවනෙ. ඒ වැරදි හන්දා ගොඩක් වෙලාවට රිදෙන්නෙ අපිටත් වඩා අපේ ලඟම ඉන්න අපි ගොඩක්ම ආදරේ කරන අයට. 

මගේ අතෙනුත් ඒ වගේ වැරදි වෙලා තියෙනවා. ඒ නිසාම මම ආදරේ කරන අයට ඒවට වන්දි ගෙවන්න වෙලාත් තියෙනවා. අපේ සංසාර පාරමිතා ටෙලි ඩ්‍රාමා එකේ තියෙන්නෙත් ඇත්තටම ඒ වගේ කතාවක්නෙ. හැබැයි මං අද කතාකරන්න යන්නෙ ඒ වගේ දෙයක් ගැන නෙවෙයි.

මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්න සැබෑම නිළිය ගැන. මේ හැම දෙයක්ම වේ විදියට සිද්ද වෙන්න ගොඩාක් මහන්සි වෙච්ච, ගොඩක් දේවල් කැපකරපු නිළියක් ගැන.

ඔයාලා හැමෝම දන්න කෙනෙක්. මම හිතන්නෙ ඇත්තටම රඟපෑම අතෙන් ගත්තොත් මේ මම කියන්න යන එකා මෙතන ඉන්න හැම ප්‍රවීණ නලු නිලියෙක්ම අබිබවා ඉස්සරහට ගිහින් තියෙනවා දැනටම.

මාලවී… බොහොම ස්තුතියි ඔයාට හැමදේටම. “හොඳම නිළිය වගේම හෙටානිද්දම ජනප්‍රියම නිළිය” වෙන එකත් ඔයාට එච්චර ලොකුවටම මහන්සි වෙන්න වෙන එකක් නෑ.

ඇන්ඩ් අයි මේඩ් සම්තින්ග් ස්පෙශල් ෆොර් යූ. දිස් ඉස් ජස්ට් ටු ලෙට් එවි වන් නෝ දැට් හව් ඉම්පෝර්ටන්ට් යූ ආර් ටු මී. ටු අස්…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here