තාදී – 22

0
2337

තාදී ට ඇත්තේ පරාර්ථකාමී හිතකි.ධීර එය තව තවත් පසක් කර ගත්තේ පෙර දින ඇය ගත් පොරොන්දුව නිසාවෙනි.

” මට පොරොන්දු වෙන්න මං හින්දා අම්ම ගෙයි තාත්ත ගෙයි හිත රිද්දන්නෙ නෑ කියලා ” 

තාදී එය ඇසූ ආකාරයට ධීර ට ඒ පොරොන්දුව නොදී සිටීමට බැරි විය. ඉදිරියට කුමක් වේදැයි සිතා ගත නොහැකි වුවත් සියල්ල හොඳින් වේවා යැයි ධීර හැම මොහොතකම ප්‍රාර්ථනා කලේ ය.

සෙනසුරාදා දින එළැඹි බැවින් ධීර වෙනදාට වඩා ටිකක් නිදා ගත් අතර වසන්ත ගජනායක උදෑසනම හෝටලයට පිටත් වූයේ ධීර නොදත් තවත් එක හේතුවක් නිසා ධීර ට හෝටලයට පැමිණීම අනවශ්‍ය යැයි ජයමිණි අත පණිවිඩයක් තියා තබා ය.

ඒ හේතුව කුමක්දැයි ජයමිණි දැන ගත්තේ උදෑසන 11 පමණ වන විට මිෂෙල් පැමිණීම නිසාය. ඒ වන විට ධීර උන්නේ පිහිනුම් තටාකය අසලට වී කෝපි පානය කරමිනි.

” සප්‍රයිස් ” 

මිෂෙල් පැමිණ සිටියේ පෙර දිනයේ මෙන්ම ඉතා කෙටි ගවුමකට අඩි උස සපත්තු පැළඳ ගෙන ය. ඇය අනවසරයෙන්ම ධීර අසලින් වාඩි වී සිනාමුසු මුහුණින් ඔහු දෙස බලා සිටියේ ඔහු යමක් කියන තුරු ය 

” කිව්වෙවත් නෑ නේ එනවා කියලා ” 

ධීර කීවේ සඟවා ගත් නොරිස්සුමෙනි.

” කියල ආවනං ඔයා සප්‍රයිස් වෙන්නෙ නෑනේ. හැබැයි මං අංකල්ට නම් කිව්වා එනවා කියලා ” 

එසේ නම් මෙය තම පියාත් එක්ව දියත් කළ සැලසුමකි. ධීර නිහඬව සිටියේ අද දවසේ සැලසුම් කර ගෙන සිටි සියල්ල අපතේ යන නිසා ය.

පුෂ්පා කෝපි එකක් ගෙන මිෂෙල් ඉදිරියට ආ අතර කෝපි එක දුටු සැනින් මිෂෙල් ගේ මුහුණ හැකිලුනි.

” අයියෝ මං මේ වෙලාවට කොෆි බොන්නෑ. අනික ගොඩක් හොට් නේ දැන්. කූල් මොන හරි බොමුද ? ” 

” හරි නෝනා මම ගේන්නම් “

පුෂ්පා කෝපි එක රැගෙන අනෙක් පස හැරුණු අතර මිෂෙල් නැවතත් හදිසියේ යමක් මතක් වී මෙන් ඇය දෙස හැරුණි

” අනේ එක්ස්කියුස්මී. ශුගර් වැඩිය දාන්නෙපා ” 

පුෂ්පා මඳ සිනහවකින් පිටව ගිය අතර ධීර පිහිනුම් තටාකය දෙස බලා උන්නේ ය. පැය ගණනාවකට දැන් ගැලවීමක් නොමැති බව ඔහු දනී.

” ඉතින් ධීර. කොහොමද බිස්නස් වැඩ එහෙම ? ” 

” විශේෂයක් නෑ මිෂෙල්. කර ගෙන යනවා. මට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් නැහැ තාම. තාත්තා නේ ගොඩක් දේවල් හැන්ඩ්ල් කරන්නේ “

” ඉතින් ඔයාට පුළුවන්නෙ හැමදේම බලාගන්න “

” මම තාම බිස්නස් එකට අත ගැහුවා විතරනේ මිෂෙල් “

” මං අපේ අම්මටයි තාත්තටයි කිව්වා මං ඔයාට කැමතියි කියලා ” 

ධීර තිගැස්සුනේ මිෂෙල් එවර කි දේටය.මෙය බලාපොරොත්තුවෙන් සිටියත් මෙතරම් ඉක්මනින් බලාපොරොත්තු නොවූ නිසා ධීර ට දැනුනේ බියකි.

” ඇයි ඔයා දැම්ම ඒ වගේ දෙයක් කිව්වේ ? ” 

” දැම්ම කිව්වේ කියන්නේ මං ඔයාට කැමති නිසා මං එයාලට කිව්වා ඉතින් ” 

” ඒ වුනාට අපි තාම අඳුරගෙන එක දවසයි නේ ” 

” හරි මට කියන්නකෝ ඔයා මට කැමති නැද්ද ? ” 

” ඒක තීරණය කරන්න තාම හදිසි වැඩි මිෂෙල් ” 

මිෂෙල් ගේ මුහුණ අඳුරු වූයේ බලා සිටියදී ය. එහෙත් මුල සිටම ඇය සමග සෘජුව කතා නොකළහොත් මෙය ඉදිරියේදී ගැටලුවක් වනු ඇතැයි ධීර සිතුවේ ය.

” එහෙම කියන්න එපා ධීර. ඔයාට හිතෙන්නෙ නැද්ද අපි ගැලපෙනවා කියලා ” 

මිෂෙල් ධීර ගේ මුහුණට එබෙමින් ඇසුවා ය.

” නෑ ” 

මිෂෙල් මදක් ඈත් විය.සිතනා තරම් ධීර ලෙහෙසි පහසු තරුණයකු නොවන බව මිෂෙල් ඒ පිළිතුරෙන් තේරුම් ගත්තා ය. ඔහුව තමා වෙත නම්මා ගැනීමට නම් විශාල උත්සාහයක් දැරිය යුතුය. පිටරටක ජීවත් වී තරුණයන් ඕනෑ තරම් ඇසුරු කළ තමාට එය කළ හැකි බව මිෂෙල් සිතුවා ය.

” ගැලපෙන්නෙ නැති දේවල් තමයි අපි ගලප ගන්න ඕනේ. ඒවා ඉතින් කාලයක් යන කොට හරි යයි. අපේ අම්මල තාත්තල උනත් සීයට සීයක්ම ගැලපෙන අය නෙමෙයි නේ ධීර ” 

ඒ කතාව ඇත්ත ය. නමුත් මෙතන ඇති ගැටළුව වන්නේ තමා හදවතින්ම ආදරය කරන්නේ තාදී ට වීමය. කවදා කෙසේ හෝ එය මිෂෙල් ට කිව යුතුව ඇතත් හදිසි වී ප්‍රශ්න වැඩි කර නොගෙන සිටීමට ධීර සිතා ගත්තේ ය.

” අම්මලා තාත්තලා හොයලා දුන්න පලියට අපි ගැලපෙනවා කියලා හිතන්න එපා මිෂෙල්. සමහරවිට අපේ දෙමාපියන්ට වුණත් මේ තීරණය වැරදිලා වෙන්න පුළුවන්. අපි උනත් කලබල නොවී මේ ගැන හිමින් සීරුවේ තීරණයක් අර ගමු. කලබල වෙලා තීරණ අරගෙන පස්සේ පසුතැවෙනවට වැඩිය ඒක හොඳයි කියලයි මට හිතෙන්නේ ” 

” ඒ උනාට මට අපි දෙන්නා අතරේ කිසිම නොගැලපීමක් පේන්නේ නෑ ධීර. ඔයාට එහෙම පේනවද ? මන්දා මට නං එහෙම නෑ. අනික පවුල් දෙක උනත් ගැලපෙන නිසානේ අපේ තාත්තා මේ වගේ යෝජනාවක් ගෙනාවේ. අනිත් එක මීට කලින් මට ඕන තරම් ප්‍රපෝසල්ස් ඇවිල්ලා තියෙනවා. ඒ එකකට වත් මගේ උනන්දුවක් තිබ්බේ නැහැ. හැබැයි මොකක් හරි හේතුවක් නිසා මම මේකට කැමති වුණා ” 

පුෂ්පා පලතුරු යුෂ වීදුරුවක් ගෙන විත් මිෂෙල් ට පිළිගැන්වූවා ය. මිෂෙල් ඉතාම කැමැත්තෙන් එය අතට අරගෙන රස බලා සිනා මුසු මුහුණින් බැලූ පසු පුෂ්පා පිටව ගියා ය.මිෂෙල් ඉන් පසුව පලතුරු යුෂ වීදුරුව ධීර වෙත දිගු කළා ය.

” එපා. මං දැන් කොෆි බිව්වේ ” 

” මට කැනඩා වලදී ඕන තරම් බෝයිස්ලා හම්බ වෙලා තියෙනවා. හැබැයි ඒ එක්කෙනෙක් වත් ඔයා වගේ ආඩම්බර නෑ ” 

ධීර කිසිවක් කීවේ නැත. මෙය ආඩම්බරකම පිළිබඳව ගැටලුවක් නොවේ. තමා හට මේ යෝජනාවට එකඟ වන්නට බැරි ගැටලුවකි.

” ඔයා දන්නවද කොච්චර කොල්ලෝ මගේ පස්සෙන් ආවද කියලා? අම්මෝ. සමහරු කැනඩාවල බිස්නස් තියෙන මාර සල්ලිකාරයෝ. හැබැයි ඒ එක්කෙනෙක්ට වත් මං කැමැති වුණේ නෑ”

හිතට එකඟ නොවූ වත් තමා මේ කියන බොරු පිළිබඳව මිෂෙල් එතරම් සිතුවේ නැත. තරුණයන් සමග රාත්‍රී සමාජ ශාලා වල සහ විවිධ නවාතැන් වල සතුටු වූ ආකාරය සහ කාලය ගෙවූ ආකාරය ධීර ට කිව නොහැක. අනෙක් අතට ඔහු ඒවා දැන ගන්නටද හැටියක් නැත. ඒ නිසා ඔහුව තමා වෙත නතු කර ගැනීමට ඕනෑම දෙයක් බය නැතුව කිව හැක.

” ඇත්තටම ඇයි ඔයාට බැරි වුණේ කැනඩා වල බෝයි කෙනෙක් එක්ක යාළු වෙන්න ? එතකොට ඔයාට පුළුවන්නේ එහේ සෙට්ල් වෙන්න ” 

ධීර ඇසුවේ අසන්නට දෙයක් නැති තැනය.

” පිස්සු ද අනේ ඔයාට ? මං ආස මෙහෙ සෙට්ල් වෙන්න. අනිත් එක සමහර විට මට එහේ සෙට්ල් වෙන්න හිතෙන්නෙ නැතුව ඇත්තේ මට ඔයාව හම්බ වෙන්න තිබ්බ නිසා වෙන්න ඇති” 

මිෂෙල් ධීර ගේ අතින් අල්ලා ගත්තේ ය. ධීර ට ඇති වූයේ නොපහන් හැඟීමකි. මිෂෙල් මේ කියනා දේවල් විශ්වාස කළ හැකි ආකාරයේ ඒවා නොවේ. එහෙත් තමාට එයින් වැඩක් නැත. තමා ගේ ජීවිතයේ සිටිය යුත්තේ කවුරුන්ද යන්න තමා තීරණය කර හමාර ය.

” අපි ලස්සන වෙඩින් එකක් ගමු ධීර ” 

මිෂෙල් කීවේ බලාපොරොත්තු සහගතවය. 

” මිෂෙල් මට පොඩි ගමනක් යන්න තියෙනවා. ඔයා දැම්ම යනවද ? ” 

” කොහෙද යන්නේ ? ” 

” මට යාළුවෙක්ව හම්බවෙන්න තියෙනවා. පොඩි හදිසි වැඩක්. තාත්තා හොටෙල් එකට එන්න ඕන නෑ කිවුවට පස්සේ මං දාගත්තේ ” 

ධීර හුන් තැනින් නැගිට්ටේ මිෂෙල් සමග කතාබහ ඉදිරියට ගෙන යාමෙන් ඇති ඵලක් නැති බව සිතමිනි.

” මාත් එන්නද ඔයත් එක්ක යන්න ? ” 

මිෂෙල් ද නැගිට්ටේ එසේ අසමිනි.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here