මේ ඒ වසන්තයයි – 55

0
2877

වත්සලා ඉසිනි පිළිබඳව වන වෛරයෙන් තමා පිච්චෙන්නට ඉඩ නොදී සිහියේ සිටින්නට උත්සාහ කලාය.  ඉසිනිට කිනම්  නපුරක්  සිදු කලද, නුරාන් ඇය ඉදිරියෙන් මතු වන බව පෙනේ. ඇය තනි කිරීමට නුරාන් ඉඩ නොදෙන සෙයක් දැනේ. වත්සලා  සිතේ වූ සැලසුම් සඳහා ඇමතුම් කිහිපයක් ලබා ගත්තාය.

මෙතරම් කාලයක් නුරාන් තමා සතු ප්‍රේමයේ ගොදුර බවට පත් කරගන්නා අධිෂ්ටානය ඕ සතු වූයේ ගිලී ගිය හැඟීමක් සෙයිනි. එය විටින් විට මතු වූවාද, ඕ නුරාන් කෙරෙන් හෝ නුරාන්ගේ නිවැසියන් කෙරෙන් ඒ හැඟීම වෙනුවෙන් උල්පන්දම් වැටෙන මොහොතක් එලැබෙණ තෙක් බලා උන්නාය.  එවිට අනාගතය සුරක්ෂිත බව සිතුවාය. නුරාන්ගේ ජීවිතයේ ප්‍රේමය නමින් වන හිස් තැන තමාට පුරවාලිය හැකි බව ඕ ඉතා තදින්ම විශ්වාස කලාය.

එහෙත්, නොසිතූ මරාලයක් හිස් මුදුනටම කඩා වැටෙන තුරු තමා කිසිවක් නොදැන ගත්තේ  කෙලෙසදැයි වත්සලා කල්පනා කලාය. ඉසිනි පිළිබඳව අම්මා පැවසූ කතන්දර එහෙන් මෙහෙන් අසා පසෙකට දැම්මා මිසෙක, ඇය තමා සතු කරගන්නට  බලා උන්  වස්තුව උදුරා ගන්නට ආ යක්ෂණියක ලෙසින් හඳුනාගන්නට තරම් තමාට දිවැස් නොතිබීම ගැන ඕ තමාටම කෝපයෙන් සාප කරගත්තාය. නුරාන් ඉසිනි වැන්නියකට එතරම් ආසක්තව බැඳෙන්නට හේතූව වත්සලාට වැටහුණේ නැත.

” සර් වෙලාවකට උණු වෙලා වැක්කෙරෙනවා … ඒ ගෑණි ප්‍රයෝජන ගත්තේ ඒකෙන්…”

ඕ වරද ඉසිනි මතටම පටලා ඇගෙන්ම පලිගන්නට සිතුවාය. 

කෙලෙස වුවද, වත්සලා උන්නේ තමාගේ සැලසුම් අත් හරින්නට සූදානමින් නොවේය.

ඉසිනි  සඳුදා දින නිවාඩුවක් ලබා ගත්තාය. තවම සිත සන්සුන් නැත. කිසිවෙකුට මුහුණ දෙන්නට තරම් ආත්ම විශ්වාසයක් නැත.

” ඔයාට ඕනි නම් ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව වෙනදා වගේ ඔෆිස්   ගිහින් වැඩ කරන්නත් පුලුවන් තාරා …”

නුරාන් සිය වෙනි වතාවටද කීවේය. ඉසිනි  හිස සැලුවාය.

” අදට ඉඳලා යන්නම් නුරාන් .. හවස් වෙලා ඒමම ඇනෙක්ස් එකට ගිහින් පොඩ්ඩක් ඉඳලා එහෙම …”

ඒ සිය වතාවටම ඉසිනිගෙන් පලමු වතාවට පිළිතුරක් ලැබුණි. නුරාන් ඇය දෙස බැලුවේ ඕ නිහඬ කරවන බැල්මකිනි.

” මට අද දවසම හිර වුනොත් අක්කායි අයියයි එක්ක ගිහින් අඳින්න දේවල් අරගෙන මෙහෙ එන්න හවස වෙලා.. මට එන්න පුලුවන් වුනොත් මම එනවා එක්ක යන්න .. ආයේ දෙකක් නෑ .. ආයේ තනියෙන් ඉන්න කොහෙවත් යන්නේ නෑ තාරා ..”

” මට බය නෑ නුරාන් …”

නුරාන් ඉසිනි වෙත එබුණාය.

” මට බයයි තාරා…. ඒ නිසා මෙන්න මෙහෙම ඉන්න ….”

ඉසිනිට එය ඉක්මවන්නට හැකි වූයේ නැත. පැහැසරා සහ ධනුක පිටවයෑමෙන් පසු නුරාන්ගේ මව ඉසිනි හා කතාවට පැටලුණාය. ඕ ඉසිනිගේ හිසට රත් කෙරූ තෙල් දමා හිස පිරිමැද්දාය.

” ජීවිතේ පලවෙනි වතාවට අම්මේ මෙහෙම තෙල් දාලා කොණ්ඩේ අතගාන්නේ…”

ඉසිනි ලෝබ නැතිවම කීවාය. නුරාන්ගේ මව නිහඬවම ඇගේ හිස පිරිමැද්දාය.

” සනීපයි .. අම්මට පින් … මේ  තෙල් දාලා ඔලුව අතගානවාට නෙවෙයි.. පයින් ගහලා එලියට ඇදලා දාන්න ඕනි මාව මෙහෙම පිලිගත්තාට …. ඔයාගේ ලස්සන පවුලේ මට මේ දවසට දෙකට හරි ඉඩක් දුන්නාට…”

අම්මා කිසිත් පවසන්නට හෝ පෙරම අකුණක් පුපුරා ගියේය.  පිටව යන්නට සූදානමින් ආ නුරාන් නැවතී උන්නේ කතාවට සවන් දෙමිනි.

” ආයේ ආයේ එකම මඩේ දදා හෝදන එක එපාවෙන්නෙම නැද්දා තාරා.. ආහ්හ් … මොන විකාරයක්ද මේ…”

ඉසිනි නුරාන් දෙස බැලුවේ තිගැස්සීය. ඒ සැනින් නුරාන්ගේ පියාගේ හඬ ඇසුනේය.

” හා හා..උදේ පාන්දර්ස මූලග්ගින්න .. ඔය ලෑස්ති වෙච්ච ගමන යන්න මෙතන ගිණි ගන්නේ නැතුව.. ඒ ළමයාට හිතේ තියෙන දේවල් එහෙම එහෙම කියලා  නිදහස් වෙන්න දෙන්න.. එහෙම නොවෙන්න මේ  ළමයා පුපුරලා යාවිනේ .. අනෙක තමන්ගේ කියල දැනෙන, ඉන්න මිනිස්සු ළඟ කියවන්නේ නැතුව ඒ ළමයා ආයේ කොහෙ කොහෙ ගිහින් කතා කරන්නද ?…”

” කතා කරන එකද තාත්තේ මම වැරදියි කිව්වේ ?..”

” හරි පොඩී ..ඔය ඇති දැන් …”

” හරි මම යනවා…”

අම්මා සහ තාත්තා ඉදිරියේ නුරාන්ට යමක් පවසාගන්නට නොහැකි ව ඉසිනි අසරන වූවාය. බිඳක් නැවතී සිටින්නයැයි පවසාගන්න නොහැකිව නුරාන් දෙස බලා උන්නාය. නුරාන් කෝපයෙන් පිටව යන්නට අඩි කිහිපයක් ඇවිද ගියද ධනුක පෙරදා රැයේ පැවසූවක් සිහි විය.

” බිඳුණු ගෑණියෙක්ට ආදරේ කරනෙක ලේසි දෙයක් නෙවෙයි පොඩී ..බිඳිලා කෑලි එකතු කරගෙන ඒ බිඳුණු තැන්  ලෝකෙට වහාගෙන ඉන්න ගෑණියෙක් ට  ආදරේ කරන එක කොහොමටවත් ලේසි දෙයක් නෙවෙයි …

ඉසිනිව උඹ තෝරගත්තා.. අමාරුවෙන් අපි ඒ තෝරගැනීම පිළිගත්තා…. ඒකිට අපේ තරහ නොපෙන්වන්න අපි එකඟ වුනා… හැබැයි, උඹ හැමවෙලේම ඒකි හැන්ඩල් කරන විදිය ඇඟිල්ලෙන් ඇන ඇන  මතක් කරන්න අපට බෑ… ආදරේ වැඩි කමට වෙන්නැති.. උඹ ඉසිනිව සමහර වෙලාවට හැන්ඩ්ල් කරන්නේ රිදෙන්න.. එතකොට අර බිඳුණු ගෑණිට දෙපාරක් රිදෙනවා නුරාන් … ඒවා එකපාරටම නෙවෙයි කැඩිලා බිඳිලා යන්නේ… ඉරි ඇඳි ඇඳි තිබිලා එකපාරටම කුඩු වෙලා යනවා.. එතකොට ඒ ගෑණි දෙපාරක්ම කුඩු වෙලා මල්ලි.. ඒවා පාස්සන්න ලේසි නෑ … අන්න ඒ නිසා, බඳාගන්නවා නම් ඒක තේරුම් අරගෙන බඳාගනින්…

මං මේ කියන්නේ ඉසිනි දෙපාර බිඳෙන එක මට දරාගන්න බැරි කමක් හින්දා නෙවෙයි කියලා උඹට තේරෙන්නෝනා… ඒකි බිඳුනම උඹ බිඳෙන එක මට බලාගෙන ඉන්න බැරි නිසා බවත් උඹට තේරෙන්නෝනා….. මොකද මම දන්නවා, දෙවෙනි පාරට බිඳෙන මිනිහෙක් කියන්නේ කොහොම දෙයක්ද කියලා …. ඒක ලේසි වෙන්නේ නෑ …”

නුරාන් ආපසු හැරුනේය. ඉසිනි අසලින්  දණ නවා හිඳගත්තේය.

” භූත හිතන්නේ නැතුව කාලා බීලා ඉන්නවාද මැඩම් ?…”

නුරාන්ගේ හඬෙහි වූයේම සැහැල්ලුවය. ඉසිනි හිස සැලුවාය. සිනාසෙමින් හිස සැලුවාය.  තමා පසුපසින් නුරාන්ගේ දෙමාපියන් සිටින වග අමතක විය.

නුරාන් ඇගේ අතකින් අල්ලා දෑස් කුඩා කර සමුගැනීමේ ඉඟිය දුන්නේය. අභ්‍යන්තරයෙන් නැඟෙන යම් සිතුවිල්ලක් නුරාන්ව නවතාගන්නට පැවසූවා වුවද, ඉසිනි එය සඟවා ගත්තාය.

” අම්මේ …. ගිහින් එන්නම් …”

නුරාන්  අම්මාට සහ තාත්තාට වැන්දේය. ඒ අතර නොපෙනෙන්නට ඉසිනිගේ ගතේද වැදුනේය. කැබ් රිය පිටව යද්දීම ඉසිනිගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ආවේය.

” වේල් දෙක කාලා බීලා, දෙයියනේ කියලා මනස්ගාත නොහිතා ඉන්න නෝනා ඈ.. අද මට එක්ස්පෝර්ට් ඕර්ඩර් එකක් ගොඩ දා ගන්න තියෙනවා… ක්ලයන්ට්ලා දෙන්නෙක්ම එනවා සයිට් විසිට් එකට … මං ඒක කරගත්තා… ආවා…”

” අනේ නුරාන් .. ඔයා ඊයෙවත් කීවා නම් අපිට පන්සලටවත් ගිහින් එන්න තිබුණා..”

ඉසිනි පෙරලා එලෙසින් යැව්වාය.

” මගේ පන්සල දැන් තියෙන්නේ ඔයා ඇතුලේ තාරා… මේ වැඩේ ගැන මට  සැක නෑ….”

ඉසිනි සැනසුම් සුසුමක් හෙලුවාය.

” මං පරෙස්සමින් ඉන්නම් නුරාන් ..”

” එච්චරයි ඕනා…”

” ඔයත් පරෙස්සමෙන් …”

” ඒක  අනිවාර්‍යයි …”

ජීවිතය එවන් තත්පර උදා කිරීම කෙතරම් අපූරුද ?. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here