හඳපාන මොනතරං නං හැඩකාරද කියල මං අඳුරගත්තෙ එයැයිව මුලිච්චි උනයින් පස්සෙ.
ආකාසේ පුරාවට රත්තරන් පාට තැටියක් හේ වැතිරිල ඉන්න ගමන් ගස් කොලං උඩහින් වැක්කිරිල පොළොව දිගේ ඇදිල යන්නෙ මොනතරං නං අපූරුවටද කියල මට තේරුං ගියේ එයැයිව මුලිච්චි උනයින් පස්සෙ.
මං මෙච්චර කාලෙකට හිතාන උන්නෙ මේ කා එක්කලහරි පූට්ටු වෙන එක නිදහස නැතිවෙන කාරණාවක්ය කියල හිතුවට මොකෝ උන්දැ එක්කල කතා බස් කොරද්දි නෙව මට තේරුනේ ජීවිතේ දුක සන්තෝසෙ බෙදා හදාගන්න කවුරුහරි ඉන්නවනං මොනතරං අපූරුද කියන එක.
පන්සලෙ වෙන්දේසි සල්පිලෙන් පූට්ටුවෙලා කට්ටිය හඳපානෙම යන්න ගියේ මේ හඳපානට හිතවැටිච්චි හන්දා වෙන්නැති. ඒ තරං අලංකාරයක් තමා තිබ්බෙ.
මට ඔක්කොටම වඩා තිබිච්ච පුරස්නෙ මං කෝමද කියල මේ දේවල් කා එක්කවත් දොඩන්නෙ. මට ඕන උනේ නැත්තෙත් නෑ කා එක්කවත් මේ විත්තිය කියන්න කොරන්න, ඒත් අනිත් අතට එහෙම කියන්න පුලුහන්කමක්වත්, හිත හයිය කමක්වත්, කියන්න කවුරුවත් මට උන්නෙත් නෑ. මං ඉතින් ඔය මැහුමක් ගෙතුමක් කොරගෙන මේ ගේ අස්සට වෙලා ඉන්න මනුස්සය වෙච්චි සුදේ අක්ක එක්කල ඇරෙන්න දොඩන්න කවුරුවත් මට උන්නේ. ඒත් ඉතින් අනිත් අතර සුදේ අක්කට කියතහැක මෙහෙම කාරණාවක්. මේ අවුරුදු තිහක් වෙච්ච නාකි ගෑණිට මොන මගුල් විසයක් ගැහුවද කියල බිරංතට්ටු වේවි ඒ ඇත්ති.
කෝමත් ඔය ගංවල කතාබස් තියෙනව නෙව නිසි වයසෙදි කාර බන්දල දෙන්න බැරිවුනාම ගෑණුන්ට පිස්සු හැදෙනවය, කලු කුමාරය වැහෙනවය කියල.
මෙච්චර කාලයක් තිස්සෙ මගෙ හිත කාටවත් යන්නෙ නැතිව බලං ඉන්නැත්තෙ එයැයි එනකං විත්තිය වෙන්නැති කියල මට හිතුනෙ එයැයිව දැක්කම, එයැයි එක්කල කතා කොරද්දි, එයැයි ගැන හිතද්දි මගෙ හිතට එන සන්තෝසෙ ගැන කල්පනා කොරද්දි තමා.
ගෑණියෙක්ගෙ ජීවිතේ මේ තරං ලස්සන කොරන්න, හිතට සන්තෝසයක් අරං එන්න පිරිමියෙක්ට මොනතරං නං අපූරුවට පුලුහන්ද?
පන්සලකදිම අනිත් අතට මුලිච්චි වෙන්න ඇහැක් වෙච්ච එක මොනතරං නං ඇහුපෑවතක්ද? මොනතරං පිංබර තැනකදිද අපි මුලිච්චි උනේ.
වෙනදටනං මං වෙන්දේසිය අහවර උනයින් පස්සෙ ගෙදර යන්න සුනංගු වෙන හන්දා අඩිය ඉස්මන් කොරල ගියාට දැන්නං මං තනන්නෙ තව ඩිංගිත්තක් හරි වෙලා පන්සලේ සුනංගු වෙන්න. පෙලක් දවසට කතා බස් කොරන්නවත් ඉඩක් කඩක් හම්බුනේ නැතුවට මොකෝ, ගම්මුන්ට නොපෙන්නෙන්න ඇස් බැල්මක් එහෙට මෙහෙට පා කොරන්න බැරිය.
ඒ ඇස් බැල්මෙ ආදරේ, කරුණාව, සතුට, දුක, ලැජ්ජාව, බය මේ හැමදෙයක්ම පාහේ පා කොරන්න ඇහැක් විත්තිය මං දැනගත්තෙත් එයැයිව මුලිච්චි උනයින් පස්සෙ. ආදරේට ඇහැකි ජීවිතේ නොහිතුව දිහාවකට අරගෙන යන්න.
එයැයිගෙයි මගෙයි තියෙන ඇයි හොඳැයිය ගම්මු දැනගත්තොතින් නං ඉතින් කතා කීයක් නං හදාවිද?
“ලපීටත් හරි ගියා”
“කලුවර හන්දා ලපේ නොදැක්ක වෙන්නැති”
කියල කටකැඩිච්ච කතා කියාවිය කියල බයටමයි මං මේ විත්තිය වහං කොරගෙන ඉන්න තකහනියක්ම තැනුවෙ. ගම්මුන්ට තියෙන පුරස්නෙ මුලදි මුලදි මටත් නොතිබ්බා නෙවි.
“හැබෑටම මගෙ මූනෙ තියෙන ලපේ ඔයැයිට වගක් නැද්ද?” මං එයැයිගෙන් තකහනියෙ ඒ විත්තිය ඇහැව්වෙත් ඒකයි.
“ලපේකට පුලුවන්ද ලලී ගෑණියෙක්ගෙ හැඩ රුව මකන්න?”
“ඔයැයි ඔහොම කිව්වට අපෙ අම්මල ඔය කතා කොරපු කිසි කාරණාවක් මට මනාප නොවුනෙ මේ විසාල උපන්ලපේ හන්දා”
“මේ හඳ දිහා බලන්නකො, අද හොඳට පායල තිබ්බට, සමහර දවසකට පායන්නෙම නෑ, සමහර දවසකට පායන්නෙ බාගයක් වගේ”
“ඉතින්?”
“කොයි විදිහට පෑයුවත් හඳ ලස්සන නෑ කියල කවුරුවත් කවදාවත් කියල තියෙනවද?”
මගෙ මූනත් බාගෙට පායපු හඳක් වගේ ලස්සන විත්තිය මං දැනගත්තෙ එයැයි එදා එහෙම කිව්වයි පස්සෙ. වෙන්දට වඩා කණ්ණාඩිය ඉස්සරහට වෙලා ලපේ තියෙන පැත්ත අති වහගෙන මූනෙ අනිත් පැත්ත බලාගෙන මං කල්පනා කොරේ මූනෙ ඒ පැත්ත මොනතරං නං ලස්සනද කියල? බාගෙට පායපු හඳක් වගේම නේන්නං.
අනිත් මිනිස්සු ඉස්සරහ නැති තරමෙ හිතට හයිය ගතියක්, මං ලස්සනයි කියල හිතෙන හිතිවිල්ලක් එයැයි ලඟදි මට තිබුනෙ එයැයිගෙ ඔය ලස්සන ලස්සන වචන හන්දම වෙන්නැති.
ඔයා හඳක් හේ කියල මූණිච්චාවට කියනවට වඩා, ඔයැයි බාගෙට පායපු හඳක් හේ හැඩ විත්තිය කියන එකට මං වහවැටුණා.
මට නං එයැයි රාජ කුමාරයෙක් වගේ.
ගමේ කෙල්ලන්ට එයැයි පැත්තට රාජ් කපූර් වගේ උනාට.
-උදතාරී-