සාෆියාට ඇත්තටම මොකද වුණේ?

සමහර මිනිමැරුම් ආයෙ ආයෙම තමන්ට සාධාරණයක් ඉටු වෙනකම්ම හොල්මන් කරන්න පටන් ගන්නවා. මතකනෙ කළින් දවසක අපි ඔයාලාට අරගෙන ආව සබන් විකුණන්න ආව ගෑණු ළමයෙක් තමන්ගෙ මිනිමැරුම ගැන කිව්ව කතාවක්.

හැබැයි මේක නම් හොල්මන් කතාවක් නෙවෙයි.අවුරුදු ගාණකට කලින් වෙච්ච හරිම වේදනාබර මිනී මැරුමක වර්තමාන තත්ත්වය ගැන කතාවක්. අපි හිතුවට මරණයෙන් කෙනෙක්ගෙ ජීවිතය, කෙනෙක්ගෙ කතාව ඉවර වෙනවා කියලා හැම කතාවක්ම එහෙම ලේසියෙන් ඉවර වෙන්නෙ නෑ. සමහර කතා තමන්ගෙ කතාවට සාධාරණ අවසානයක් ලැබෙන කම් සටන් කරනවා.

මේත් ඒ වගේ කතාවක්.

කර්ණාටක ප්‍රාන්තයේ කොඩගු දිස්ත්‍රික්කයේ අයියන්ගරි වල ජීවත්වෙච්ච මොයිදු සහ අයේශා ගේ දරුවා තමයි සාෆියා කියන්නෙ. සූරාකෑමට වගේම අයුක්තියට ලක්වෙලා මිය යන කොට සාෆියා කියන්නෙ teenager කෙනෙක්. තමන්ගෙ දරුවෙක් ඒ වගේ අසාධාරණ විදියට මිය යනවා කියන එක කිසිම අම්මා කෙනෙක්ට දරාගන්න පුලුවන්කමක් නෑ. ඒ නිසාම පිපෙන්නත් කලින් මිය යන්න වෙච්ච තමන්ගෙ පුංචි කෙල්ලගෙ මිය ගිය ආත්මයට හරි සාධාරණයක් කරන්න සාෆියාගේ අම්මා වෙච්ච අයේශා හරියට මහන්සිවෙනවා. අවුරුදු දහ අටකට පස්සෙ සාෆියාගේ ඇටකටු ටික හරි ලබාගන්න එයාලට පුලුවන් වෙන්නෙ ආන් ඒ අයේශාගෙ මහන්සියෙ, කැපකිරීමේ ප්‍රතිපල හන්දා.

මේ කතාව පටන් ගන්නෙ 2006 ආවුරුද්දෙදි. ඒ සාෆියාව සිවිල් කොන්ත්‍රාත්කරුවෙක් වෙන කේ.සී. හම්සා සහ ඔහුගේ බිරිඳ මයිමූනා විසින් කසරාගොඩ් පිහිටි ඔවුන්ගේ නිවසේ සේවිකාවක් විදියට බඳවාගන්න එකත් එක්ක. මේ පවුලෙ කාලයක් මේ කසරාගොඩ් කියන ප්‍රදේශෙ ඉඳලා ගෝවා වලට පදිංචියට යනවා. ඒ සාෆියාවත් අරගෙන. සාෆියාගේ ඉරණම තීන්දු වෙන්නෙ අන්න ඒ විදියට.

අපි මේක “ළමා මෙහෙකාරසේවය” විදියට දැක්කට සාෆියාගෙ අම්මයි තාත්තයි හිතන්නෙ අර ළමයිව ගෙවල්වල වැඩට ගන්න ගොඩක් මිනිස්සු කියනවා වගේ “දරුවට අපි උගන්නනවා” කියලා. එයාලා විශ්වාස කරනවා හම්සා සහ එයාගෙ බිරිඳ සාෆියාට ඉගෙන ගන්න එහෙම අවස්තාවක් දේවි කියල. මොකද හම්සා මුලින් කියන්නේ “සාෆියාට එහෙම ගෙදර කරන්න ලොකු වැඩක් නෑ. අපි එයාවත් ඉස්කෝලෙ යවනව. එයාට තියෙන්නෙ අපේ බබාලා එක්ක සෙල්ලම් කරන්න” කියලා.අකමැත්තෙන් උනත් දරිද්‍රතාවය මැද්දෙ මොයිදු සහ අයේශා ඒකට එකඟ වෙන්නෙ අන්න ඒ නිසාමයි.

මුලදි මොයිදු සහ අයේශාට සාෆියාට ෆෝන් එකෙන් කතාකරන්න ඉඩ හම්බුවෙනවා. හැබැයි ඒ දෙන්නටම සාෆියාගෙ වෙනසක් තේරුනේ නැත්තෙ නෑ. වෙනද හොඳට කට ඇරලා බය නැතුව ඕනම දෙයක් කිව්ව සාෆියා මේ ෆෝන් කෝල් වලදි උත්තර දුන්නෙ හරි අඩුවෙන් ගොඩක්ම ඔව් සහ නෑ කියන වචන දෙක විතරක් කියන ගමන්. මේක දරුවව දන්න අම්මයි තාත්තයි දෙන්නටම හොඳටම තේරුණත් එයාල දැනගෙන හිටියෙ නෑ මොකද්ද කරන්න ඕන කියන එක.

හැබැයි මේ විදියට දරුවව වෙන තැනක තියන්න හිතේ තිබිච්ච අකමැත්ත හන්දම මොයිදු සහ අයේශා සාෆියාව ආයෙ ගෙදර ගෙනත් දෙන්න කියලා ඉල්ලනවා. ඒකට එකඟ වෙනවා වෙනුවට හැබැයි හම්සා කරන්නේ ඒ දෙන්නට කියන එක එයාලගෙ පවුලෙ අය ගෝවාවල පදිංචියට යද්දි  සාෆියාවත් එක්කරගෙන ගියා කියලා කියන එක. ඒ වගේම හම්සා කිසිම වෙලාවක සාෆියාව ගෝවාවලට එක්කරගෙන යන්න සාෆියාගේ අම්මලා තාත්තලගෙන් අවසරය ඉල්ලලා නෑ.

මොයිදු වගේම අයේශාටත් ටික දවසකින් තේරෙනවා හම්සා කලේ ලොකු බොරුවක් කියන එක. ඒ තමයි ඉස්කොලෙ යවනවා, උගන්නනවා කියල සාෆියාව ගෙන්න ගත්තට ඒ කිසිම දෙයක් ඒ විදියට නම් වෙලා නෑ කියන එක. ඒ වගේම මෙතනින් පස්සෙ මේ දෙන්නට වෙනදා වගේ සාෆියා එක්ක කතාකරන්නවත් වෙලා නෑ.දරුවව ආයෙ ගෙදර ගෙනත් දෙන්න කියල ඉල්ලපු හැම වෙලාවම හම්සා මොකක් හරි බොරුවක් කියලා ඒක මග ඇරලා තියෙනවා.

ගෝවා වලට ගිහින් මාස කීපෙකට පස්සෙ හම්සා කතාකරලා මොයිදුට කියනවා එයාලා ආයෙම සාෆියාව කසරාගෝඩ් වලට එවනවා කියලා. තමන්ගෙ දරුවා ආයෙ එනවා කියලා දැනගත්ත සන්තෝසෙට මොයිදු සාෆියා කන්න ආස නෙල්ලි එහෙමත් අරගෙන කසරාගොඩ් වලට යනවා දරුවව එක්කර ගෙන යන්න. හැබැයි එහෙම ගියාට මොයිඩුට සාෆියාව හම්බුවෙන්නෙ නෑ. මොකද එයා අතුරුදහන් වෙලා කියලා හම්සා කියන නිසා.

ඒ අනුව පොලිසියට යන හම්සා සහ මොයිදු සාෆියා අතුරුදහන් වෙලා කියලා කේස් එකක් ෆයිල් කරනවා. හම්සා ඒ වෙලාවෙ කියනවා සාෆියා තමන්ගෙ දරුවා එක්ක ගෙදර මිදුලෙ සෙල්ලම් කර කර ඉද්දි තමයි අතුරුදහන් වෙලා තියෙන්නෙ කියලා.

මේ කසරාගෝඩ් ගමට එන්නත් මොයිදුට එයාගෙ ගමේ එයාගෙ ගෙවල් ලඟ ඉන්න මිනිස්සුන්ගෙන් සල්ලි පවා එකතු කරගන්න වෙලා තියෙනවා. මොකද එයාලා ඒ තරම් දුප්පත් මිනිස්සු හන්දා.

දවස් දෙකකට පස්සෙ පොලිසියෙන් මොයිදුට පණිවිඩයක් එවනවා පොලිසියට එන්න කියලා. එහෙම යන මොයිදුට අහන්න වෙන්නෙ අහන්න හිතුවෙවත් නැති දෙයක්. ඒ තමයි බොරු කරලා සල්ලි ගන්න බලාපොරොත්තුවෙන් බොරු පැමිණිල්ලක් දැම්මා නේද කියන එක. ඒ විදියට බොරු චෝදනාවක් කරලා පොලිසිය මොයිදුව කූඩුවට දානවා. අයේශා සහ එයාගෙ පොඩි පුතා අඬ අඬ මොයිදුව නිදහස් කරන්න කියනවා.

මොයිදුව නිදහස් කරගත්තට පස්සෙ අයේශා සහ මොයිදු යනවා තමන්ට උදව්වක් වෙන්න පුලුවන් කියලා හිතෙන ක්‍රියාකාරි මණ්ඩලයක් වෙතට. එතනදි ඒ මිනිස්සු මේ ප්‍රශ්නෙ බරපතලකම තේරුම් ගන්නවා. සෆියාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ඉල්ලා ක්‍රියාකාරී කවුන්සිලය විශාල විරෝධතා සංවිධානය කරන්නෙ ඒ අනුව. ඒ වගේම මෙයාලා මේ වෙනුවෙන් අවිනිශ්චිත සත්‍යග්‍රහයක් ප්‍රකාශයට පත් කරනවා. ඒ සත්‍යග්‍රහය දවස් 120 පැවැත්වෙනවා. හැමෝම වගේ මේකට උදව් වෙනවා මේක තමන්ට වෙච්ච ප්‍රශ්නයක් විදියට භාරගෙන. මේ නිසාම නීතියටත් කට වහගෙන ඉන්න පුලුවන් වෙන්නෙ නෑ.

ඒ අනුව තමයි සාෆියට ඇත්තටම මොකද්ද උනේ කියන එක එලියට මතුවෙන්නෙ.

හම්සාගෙ ගෙදර වැඩට ගිය සාෆියාට වෙන්නෙත් ළමා මෙහෙකාරකමට යන ගොඩක් දරුවන්ට වෙන දේ තමයි. ඒ ජීවිතෙ ලස්සන නෑ කියන එක අපි දන්නවා. ඒ වගේම සාෆියාටත් ගොඩක් කරදර වලට මූණ දෙන්න වෙනවා.

ඒ 2006 දෙසැම්බර් මාසෙ 15 වෙනිදා. මයිමූනා සහ ළමයි ගෙදරින් එලියට ගිහින් ඉන්න වෙලාවක හම්සා උතුරන වතුර භාජනයක් සාෆියාගෙ ඇඟට හලනවා. නඩු වාරෙදි හම්සා කියන්නෙ ඒකෙ වැරදිමකින් උනා කියලා. ඇඟේ කොච්චර දරුණුවට තුවාල තිබ්බත් බාල වයස්කාර දරුවෙක් ගෙදරක වැෆට ගන්න එක වරදක් හන්දා හම්සා සාෆියාව ඉස්පිරිතාලෙට අරගෙන යන්නෙ නෑ. සාෆියාට හොඳටම අමාරු වෙනවා. ඒ නිසාම සාෆියාව වෙන තැනකට අරගෙන යන හම්සා එයාගෙ බෙල්ලට තුවාල කරලා එයාව මරලා දානවා.

වෙච්ච අපරාධෙ වහන්න හම්සා කරන්නෙ සාෆියාව කෑලි කෑලිවලට කපලා බෑග් වල දාගෙන ගෝවා වල හයි වේ එකක යන අතර ගමන් කැලෑ ප්‍රදේශයකට ඒ බෑග් විසිකරන එක. මේකට නඩුවේ සිව්වන විත්තිකරු වන හම්සාගේ මිතුරෙකු වන අබ්දුල්ලාත් උදව් කරලා තියෙනවා. බෑග් විසි කරාට ඒව කවුරුහරි දකීවි කියන බයට ආයෙම ඒව එකතුකරලා මෙයාලා කරලා තියෙන්නෙ ගැඹුරු වලක් හාරලා ඒ බෑග් වලදාන එක.

මේ මිනීමැරුමෙන් දවස් පහකට පස්සෙ තමයි හම්සා සාෆියගෙ අතුරුදහන් වීම ගැන සාෆියාගෙ ග්දරට දැනුම් දෙන්නෙ. ඒ වගේම සාක්කි ටික හදාගන්න මෙයා පොලිසියෙ නිලධාරින්ගෙත් උදව්ව අරගෙන තියෙනවා. සෆියාගේ අතුරුදන්වීමට හම්සා සම්බන්ධ කරන සෘජු සාක්ෂි නැති හන්දා ක්‍රියාකාරි කණ්ඩායමට මේ කේස් එක වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න වෙලා තියෙනවා. මුලින් සාෆියා කොල්ලෙක් එක්ක පැනල ගියා කියලා හම්සලා කියනවා. තව පවුලෙ ප්‍රශ්න නිසා මොයිදුලා බොරු කියනවා කියලා කියනවා. මේ ඔක්කොම අස්සෙ ක්‍රියාකාරි කණ්ඩායම අබ්දුල්ල දිහාවටත් හොඳට ඇහැ දාගෙන තමයි ඉන්නෙ.

ඒ අනුව තමයි මෙයාලට පුලුවන් වෙන්නෙ අබ්දුල්ලා හරහා මුලු කතාවම දැනගන්න. ඒ අනුව සාෆියාගෙ ඇටකටු ටික හොයාගන්න එයාලට පුලුවන් වෙනවා. හිස් කබලක් සහ අස්ථි කිහිපයක් එක්ක සොයාගන්න කෙස් රොදකින් DNA පරීක්ෂනයක් කරලා ඒ සාෆියාම තමයි කියලා මෙයාලා හොයාගන්නවා. ඇසින් දුටු සාක්ෂිකරුවන් නැතත්, සාධාරණ සැකයකින් තොරව හම්සාගේ වරදකාරිත්වය තහවුරු කරන්න මේ තීරණාත්මක අධිකරණ වෛද්‍ය සාක්ෂිය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා.

ඒ අනුව තමයි හම්සාට මරණ දඬුවම සහ අබ්දුල්ලාට වසර තුනක සිර දඬුවමක් හම්බුවෙන්නෙ. 2020 දී මහාධිකරණය හම්සාගෙ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දක්වා අඩු කරනවා.

“මේක වෙන කාටවත් කවදාවත් වෙන්න හොඳ නෑ. ඒ නිසා තමයි අපි මේ සටන කළේ, අපේ පාඩුව පියවන්න කිසිම දෙයකට බැරි වුණත්,” කියලා මොයිදු නඩුව ඉවර වුනාට පස්සෙ මාධ්‍යයට කියන්නෙ ඇස්වල කඳුළු පුරවගෙන.

2024 නොවැම්බර් 11 වෙනිදා මොයිදු සහ අයේශා සාෆියාගේ ඇට කැබලි තමන්ගෙ ආගමික චාරිත්‍ර අනුව අවසන් කටයුතු කරනවා.

ඒත් ඔයාලා හිතන්නේ පිපෙන්නම ඕන පොඩි වයසෙදිම පරවෙන්න වුණ සාෆියාට නඩුව ඉවර වුනා කියලා සාධාරණයක් වෙන්න ඇතිද?

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles