මේ ඒ වසන්තයයි – 59

0
5601

කැබින් එක අවට සීසීටීවී දර්ශන උදෑසන වරුවෙන් පසු අක්‍රීයය. නුරාන් ගේ හද ගැස්ම වේගවත් වූවේය. තම පරිශ්‍රය තුල තමා ට එරෙහිව උගුලක් අටවන්නට තරම් සවිමත් වූයේ කවුරුන්ද ?

 නන්නාදුනන තරුණියක් ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලුවන ආකාරය අනෙක් සීසීටීවී දර්ශන අතරින්  නුරාන්ට සැකයට තුඩු දෙන යමකට විය.  ඇය පිටව යන්නේ පැයකට ආසන්න කාලයකට පසුව විම තුල නුරාන් ඒ සැකය වඩා තිර කරගත්තේය.

” යමු තාරා .. මේ කෙල්ල කවුද කියලා වත්සලාගෙන් අහගෙන ඉමු …”

නුරාන් ඉසිනිවද කැටුව  සාලය තෙක් ආවේය. නුරාධ්‍යා ආච්චි අම්මාගේ උකුලේ නින්දක උන්නාය. නුරාන්ගේ පියා වික්ෂිප්ත සහ නුරාන්ට කියවාගන්නට නොහැකි වුනු බැල්මක් සමඟ බලා උන්නේය. නුරාන් අම්මා සහ තාත්තා දෙස බලා කිසිවක් නොපවසාම ඉසිනිව අතකින් අල්ලාගෙන සාලය පසු කරමින් ගමන් කලේය.

එහෙත් ධනුක සහ පහැසරා  ගේට්ටුවෙන් ඇතුලු වන හඬ ඇසුණි. තත්පර කිහිපයක් ඇතුලත ඔවුන් දෙදෙනා උන්නේ නුරාන් සහ ඉසිනිගේ මඟ අවහිර කරමිනි.

” යන්න දීපං මට …”

නුරාන් පැහැසරා දෙස හෝ නොබලාම ධනුක පසෙකට කරන්නට උත්සාහ කලේ ඉසිනිව අත් නොහැරමය. එහෙත් ධනුක දෙදෙනාගේ අත් පැටලිල්ල ලිහා දැම්මේ කෝපයෙන් කෑ ගසමින් ය.

” උඹලා දෙන්නාටම ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලා නැද්ද යකෝ .. තෝ ගැන නම් මට කතා කරන්න දෙයක් නෑ .. ඒත් ඒ ඩී මිස් … ඔයාට ..ඔයාටවත් මේක තේරෙන්නේ නැද්ද

මේවා ගම් ඒඩී මිස් .. වත්සලා කියන්නේ මේ ගමේ ඉපදිලා හැදිලා ඉගෙනගෙන ඔලුව උස්සපු කෙල්ලෙක් .. මූ මේ සෙල්ලමට අරගෙන සල්ලං කරලා දාලා තියෙන්නේ ඒ කෙල්ලගේ ජීවිතේ ….

එහෙව් වෙලාවක දැන උගත්කම් තියෙන ගෑණියෙක් විදියට ඔයා හැසිරෙන්නේ මෙහෙමද ඒඩී මිස් ?….”

නුරාන් ධනුකගේ හඬ පරයමින් කෑ ගැසුවේය. ඔහු අන් සියල්ලන් නොතකමින් ඉසිනිව යළි තමා සමීපයට ඇද ගත්තේය. ඉසිනි උන්නේ තම හැසිරීම පිළිබඳව වන නිගමනයක් නැතිවය.

” උඹ උඹේ වැඩක් බලා ගනින් අයියේ ……….”

නුරාන් ගේ උස් හඬ ක්‍රමයෙන් ක්ශයව අවසන් විය. එහෙත් ධනුක නිහඬ වන්නට සූදානම්ව උන්නේ නැත.

” ඔව් .. මට එහෙම මගෙ වැඩක් බලාගෙන ඉන්න තිබුණා උඹත් ඒ තාලේට හැසිරුනා නම් නුරාන් .. ආදරේ කියන්නේ එක ගෑණියෙක් මල් යහනාවක් උඩ තියලා අනෙක් ගෑණු ඔක්කොම මල් වඩම්වල ගිණි තියනෙක නෙවෙයි මිනිහෝ ..උඹ ඔය ආදරේ කියලා කරන්නේ මහ මුලාවක්.. මායාවක්.. තෝ තෝවම රවට්ටගන්න එක කරන්නේ .. පරම පවිත්‍ර ප්‍රේමවන්තයෙක් කියලා රටට ලෝකෙට පෙන්නුවට උඹේ ඇතුලෙත් ඇවිස්සිලා දඟලන යක්ෂයෙක් ඉන්නවා නුරාන්.. පරම පවිත්‍ර ප්‍රේමයක් තිබුනා නම් උඹ අන්න ඒ යක්ෂයාව බැඳ ගන්න ඕනි .. කොහොමම හරි බැඳගන්න ඕනි .. ඒත් තෝ මොකද කලේ කියාං .. අර අහිංසක කෙල්ලක් යකෝ…”

” ධනුක මේ … මට මේ ප්‍රශ්නේ විසඳගන්න දීලා උබ දෙයියනේ කියලා පැත්තකට වෙයං … මට දැනට කියන්න තියෙන්නේ එච්චරයි …. “

” හරි … පැත්තකට වෙන්නම් .. ඒත් ඊට කලින් ඒ ඩී මිස් වහාම උන්න නවාතැනට ඇරලවන්න ඕනි ….”

ධනුක ඉසිනි දෙසද බලමින් කීවේ නුරාන් ගේ මුව අග සරදමක් මැවෙද්දීය.

” උඹ කොහේද යකෝ එහෙම කියන්නේ ?..”

” එහෙම කියන්නේද . එහෙම කියන්නේ උබ විනාශ කරලා දාපු අර කෙල්ලගේ අයියා විදියට කියලා හිතාගනින්කෝ …”

නුරාන් තිගැස්සුණේය. ධනුක වත්සලාගේ පසින් සිට ගනීවි යැයි බලාපොරොත්තු නොවූ බව ඒ තිගැස්මෙහි අඩු නැතිව විය.

ධනුක ඉන් නැවතුනේ නැත. තැලෙන යකඩය තලන්නට කොහොමටත් පිරිස කැමතිය.

” උඹට ඕනි ඕනි නාඩගම් නටන්න තිබුණා නුරාන්, උඹ අනෙක් මිනිස්සුන්ගේ ජීවිත ඒ නාඩගම් වලට ඇදලා ගත්තේ නැත්නම් … ඒත් දැන් අර අහිංසක කෙල්ලයි, ඒකිගේ අම්මයි දෙන්නා මේවාට ඈදිලා… ඔය කියන වීඩියෝ එක හෙට ගමේ කාට හරි ලීක් වුනොත් උන් දෙන්නාට වෙන්නේ වහ කන්න …”

නුරාන් ධනුකව පසෙකට තල්ලු කලේය. පැහැසරා ධනුකගේ අතල එල්ලුණාය.

” ඉතින්.. තෝ මට කියන්නේ එහෙමයි කියලා ඒකිව මගේ කරේ එල්ලගන්න කියලද යකෝ…”

ධනුක පිළිතුරු දුන්නේ නුරාන් ඉක්මවා යන හඬකිනි.

” චික් යකෝ තෝ …. තෝ මේකි නෑ කියලා මැරෙන්න හදපු දවස්වල තෝ මැරිලා යන්න දෙන්න තිබුනේ මට … එහෙම වුනා නම් මෙහෙම සල්ලාලයෙක් මගේ ඇස් ඉස්සරහ ඉතූරු වෙන්නේ නෑනේ…”

ධනුකගේ කෝපාග්නි හඬ, අම්මාගේ හැඬුම, පැහැසරාගේ නැවතීමේ හඬ තත්පර අරික්කාලේ වෙනස්කම් සම්ඟ නැඟුණි. නුරාන් ධනුක දෙස බැලුවේය. ඉසිනි දෙසද බැලුවේය. ඉන් පසු උන් ඉරියව්වෙන් ආපසු හැරි අම්මා සහ තාත්තා දෙසද බැලුවේය. ඉන් පසුව පැහැසරා දෙසද බැලුවේය. පැහැසරා ධනුක පැවසූවේ සාන්ද්‍රණය අඩු කරන්නට යමක් ගලපා ගන්නට උත්සාහ කරමින් උන්නා වුවද ඇයට වචනයක්වත් පවසා ගන්නට හැකි වූයේ නැත.

” මැරිලා යන්න දෙන්න තමයි යකෝ තොපිට තිබුණේ මාව ….”

නුරාන් ඉසිනිව තමා සමීපයට ඇද ගත්තේය. ඉන් පසුව ඇගේ නළල ඉතා ටහ්දින් ඉම්බේය.

” අක්කාට කතා කරලා ලංකාවෙන් යන්න තාරා..”

ඉතා නිවුණු හඬකින් පවසා නුරාන් වේගයෙන් කැබ් රිය වෙතට ඇවිද ගියේය. ඉසිනි ඔහු අල්ලාගන්නට ගිය ගමන ඔහු නවතාගන්නට ප්‍රමාණවත් වූයේ නැත. අම්මා නුරාධ්‍යා ඔසවාගෙනම නුරාන් ට නවතින ලෙස කෑ ගසමින් දිව ආවාය.

” පොඩී ..පොඩී..”

තාත්තාගේ හඬද උස්ව ඇසුණි. එහෙත් නුරාන් ඒ වනවිටත් කැබ් රිය ගේට්ටුවෙන් පිටතට දමා තිබුණි. ඉසිනි වහා උඩු මහලට දිව ගියාය. ඇයට ඇගේ මෝටර් රියේ යතුර සොයාගන්නට විනාඩි දහයකට එහා ගත විය. ඇය එනවිටත් ධනුක උන් ඉරියව්වේම උන්නේය

” නුරාන්ට මොනවා හරි වුනොත් , මං මරාගෙන මැරෙනවා .. අපේ අම්මලාට කියන්න කොහේ හරි ලියලා තියන්න මං ජීවිතේ බලාපොරොත්තු වුන සතුට හොයාගත්තා අන්තිමේ කියලා .. ඒ වගේම ඔයා … ඔයා ඒ සතුට මගෙන් උදුරගත්තා කියලත් මගේ අම්මලට කියන්න වෙයි  ධනුක මහත්තයා … ඔයා ..ඔයා නුරාන්ව මරලා දැම්මා .. මරලා දැම්මා… මං හින්දා නුරාන් මැරෙන්න ගියා .. ඒත් එයා ජීවත් වුනා .. ඔයා අද එතන මගේ අහිංසකයාව මරලා දැම්මා … එයා .. එයා … මං එයාව .. එයා … නු..රාන්….”

ඉසිනි සිහි විසඟව ඇද වැටුණාය

” ඔය ළමයාව අල්ලනවා ධනුක …”

තාත්තාගේ උස් හඬ ඇසෙන තුරුද ධනුකට පියවි සිහියට එලැඹෙන්නට හැකි වූයේ නැත.

වත්සලාගේ රැය අතිශය උත්කර්ශවත්  විය. නෑදෑ සොයුරිය එක දිගටම ඇමතුම් දෙමින් උන්නාය.

” මොකද බං උඹට වෙලා තියෙන්නේ ?..”

අවසානයේ වත්සලා ඇමතුමකට පිළිතූරු දුන්නාය.

” උඹ වැඩේ කරගන්නකොට තිබුණ යාප්පුව වැඩේ කෙරුනම නෑනේබං අක්කේ ..”

නෝක්කාඩු නැඟුණි.

” තවම වැඩේ හරිගියේ නෑනේ .. ඉඳපං පොඩ්ඩක් හූල්ලන්නෙ නැතුව.. මං කිව්වොත් කිව්වා…”

වත්සලා කිසිවෙකුට හෝ ඇසේවියයි බියෙන් මෙන් තර්ජනය සඟවා ඇයට කීවේය.

” හරි … මට තව ලක්ෂ දෙකක්වත් ඕනි…”

අනෙක් පසින් නැඟුනේ එහෙම ඉල්ලීමකි.

” මොකක් ?..”

” නුරාන් මහත්තයාට කොච්චරක් දේපලක් තියෙනවද?.. දැන් හෙට අනිද්දා වෙනකොට උබටනේ ඒ ඔක්කොමත්.. ඉතින් ඒකට මඟ කැපුවාට මට වටිනාකමක් ඕනො …”

” උඹ හිතුවද බං මම සල්ලි ගස් වලින් කඩන්නේ කියලා…”

වත්සලා එක දිගට බැණ වැදුනාය. නෑදෑ සොයුරිය ඇමතුම විසන්ධි කලේ වත්සලාගේ අහංකාර හැසිරීමට පාඩමක් උගන්වන අදිටනිනි. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here