සුසුවඳ සූත්‍ර – 40

0
6547

යුගාත්ම ගේ සපත්තු අඩි ටයිල් පොළොවෙහි ගැටෙනා හඬ අන්තරා ගේ පපුවෙහි වැදෙන්නා සේ දැනිණ. ඇය පැන්ට්‍රිය ළඟ ස්ට්‍රෝබෙරි වොෆල් සෑදුවා ය. දෑත් කලිසම් සාක්කු වල ඔබාගත් යුගාත්ම, හිස බිමට නැඹුරු කරගෙන කල්පනාබර ව සක්මන් කරමින් සිටියේ ය. කවින්ද්‍යා දියණියන් දෙදෙනා ට නැටුම් උගන්වන්නට කිශෝරි රායි සොයා අන්තරා ගේ ගෙදරට පැමිණීම අහඹුවක් ද කියා සිතන්නට ඔහු ට ඕනෑ විය. ඇගේ හිතේ මොනවා තිබුණත් ඔහු ට එහි වගක් නැත. ඒ, තව දුරටත් ඇය ඔහු ගේ හිටපු බිරිඳ හා දරුවන් ගේ මව පමණක් වන හෙයිනි. නමුත් කවින්ද්‍යා යනු අන්තරා වාගේ අවිහිංසක ගැහැනියක නොවන වග යුගාත්ම අත්දැකීමෙන් දනී. ඇයට තිබෙන්නේ දැඩි සිතකි. විටෙක ඇය තීරණ ගනුයේ ගැහැනියක නොව පිරිමියෙකු වාගේ ය.  නමුත් ඇය ඍජු සත්‍රියක බව ද ඔහු ට පිළිගන්නට සිදු වේ. කරණ කියන දෙයක් මුහුණට ම කරනවා මිස ඇය සැඟවී යටින් උගුල් අටවනා පන්නයේ කෙනෙකු නොවේ. ඒ ඔහු දන්නා කවින්ද්‍යා ය. නමුත් ඔහු දන්නා ඇගේ විලාශයකුත් තිබිය නො හැකි ද? මේ හදිසියේ උදක්ම ඇයට ඉන්දියානු නැටුම් අවැසි වූයේ යටි අරමුණක් ඇතිව විය නො හැකි ද? ඒ සඳහා, නැටුම් ඉගැන්වීමෙහි වර්තමානයේ සක්‍රිය ව නිරත නොවෙන කිශෝරි රායි ව ම ඇයට උවමනා වීම ගැන නො සලකා හැරිය යුතු ද?

ඒ සියල්ල අත්හැර දැමුවත් කවින්ද්‍යා ඔහු විවාහ වී සිටි බිරිඳ ය. මේ සම්මුඛ වී තිබෙනුයේ ඔහු විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි ගැහැනිය හා විවාහ වූ ගැහැනිය පමණක් නොවේ. ජීවිතයේ ප්‍රථම වතාවට හදවතෙහි මේ තරම් දැඩි බැඳීමක් ඇති කළ ගැහැනිය ද සිනහ වෙවී එතැන හිඳී. මේ කවින්ද්‍යා ගේ සැලසුමක් ද නැත්නම් සොබා දහමේ ම සැලසුමක් විය හැකි ද?

ඒ සිදුවීම යුගාත්ම ට මේ තරම් බරපතල ලෙස කල්පනා කරන්නට හේතුවක් වෙතැයි අන්තරා සිතුවේ ම නැත. දියණියන් දෙදෙනා අහිමි වීම මත ඔහු සිටි පාළු කාංසා දිවිය වෙනුවට පියෙකුගේ ආඩම්බරය ඔහු වෙත උරුම කොට දෙන්නට හැකි නම් කියා ඇය කිහිප වතාවක් ම සිතා තිබේ. ඊයේ ඒ අහඹු නිමේශයේ ඇය වහ වහා ක්‍රියාත්මක වූයේ එබැවිනි. හෙමිහිට ගෑනු ළමයින් දෙදෙනා ගේ ලෝකයේ ආදරණීය චරිතයක් වී, ඔවුන්ව සිය පියාට සමීප කරවීමේ මෙහෙයුමෙහි පළමු පියවර ඇය තබාගත්තා ය. අන්තරා ට අනුව නම් ඒ ඇගේ ජයග්‍රහණයකි.

“කන්න යුගාත්ම. වතුරත් උතුරනව”

ඔහු ඇය වසාගන්නා බැල්මක් අන්තරා මත පතිත කළේ ය. ඔහු ගේ දෑස් හි වචන නොවෙනා කතා කෝටි ගණනක් ලියවී තිබුණ සෙයකි. අන්තරා නිහඬ දිගු බැල්මකින් ඔහු ගේ බැල්ම දරා සිටියා ය. අද යුගාත්ම ගේ  මුහුණේ පුරුදු සිනහව රැලි නො නගයි. ඔහු ලොකු හුස්මක් ගනිමින් ද එය සුසුමක් ව හෙළමින් ද පුටුව ඇදගෙන කුඩා රවුම් මේසය අස හිඳගත්තේ ය.

කේතලයේ කෙමියෙන් සුදුපාට වාශ්පය පිඹගෙන පිටතට පැමිණයි. ඒ දුමාරය සුදු මීදුමක් ව මුළුතැන්ගෙයි පිරී ගිය තරම ය. අන්තරා ගේ මුළුතැන්ගෙය වූ කලී අධි සුඛෝපභෝගී නූතන එකක් නොවේ. එහි වන්නේ මඳ වින්ටේජමය ස්වරූපයකි. ලෑලි විවිධ හැඩයෙන් කපා නිම කළ කැපුම් පුවරු ගණනාවක් ම ඇගේ පැන්ට්‍රි මේසය මත හේත්තු කොට තිබේ. ටී, කොෆී, මිල්ක්, සුගර් ලෙස ලේබල් කළ සෙරමික් බෝතල ලෑලි බන්දේසියක තැබු ‘කොෆී කෝනර්’ එකක් වෙනුවෙන් පැන්ට්‍රි මුල්ල වෙන් වී තිබේ. පන්  හා උණබට වලින් වියූ වට්ටි පෙට්ටි වල ඈ නොයෙකුත් කලමණා පිළිවෙළට අසුරා තබාගෙන ඇත. ගෘහාශ්‍රිත පැළෑටි සහිත බඳුන් තැන් තැන් වල පිහිටුවා තිබෙන්නේ ජීවී බව තීව්‍ර වන සේ ය. වොෆල්ස් බේක් වන සුවඳ හාත්පස පැතිරී තිබිණ. යුගාත්ම බර වූ හිතකින් වොෆල් එකක් කන්නට පටන්ගත්තේ ය.

“ඉතිං මං හොඳක්නෙ කරන්න ගියේ…”

යුගාත්ම ගේ සංවේගී ඉරියව් නිසා කැළඹීමට පත් අන්තරා දුක්මුසු සරකින් මිමිණුවා ය.

“මං දන්නව”

“ඉතිං…”

“ඒත් කවින්ද්‍යාට හදිස්සියෙම එහේ ඩාන්සින් ක්ලාස් එන්න ඕන වුණේ ඇයි කියල මං තාම හිතනව”

“තේ කෝප්පෙත් කිඹුල්ලු දකින්නෙපා අනේ”

“මේ ලෝකෙ ඔයා තරං අහිංසක නෑ”

“මන්දා. එයා කිව්වෙ අපේ අම්ම ඉන්දියන් ඩාන්සින් උගන්නනව එයා ඉස්සර බලං හිටියෙ ආසාවෙන් කියල. මං ඉන්දියන් ඩාන්සින් ප්‍රැක්ටිස් වෙන හැටිත් එයා බලං හිටියෙ ආසාවෙන් කියල. එයා ඒව කියපු විදිහෙනං මට කිසි වෙනසක් දැනුණෙ නෑ”

“හ්ම්. අපි බලං ඉමුකො මොකද වෙන්න යන්නෙ කියල”

“ඔන්න මූණ එල්ලං ඉන්න ඔට්ටු නෑ හොඳේ. ඉස්රහට නරකක් වෙයි කියල මේ මොහොතෙ මූඩ් අවුල් කරගන්න එක අපරාදයක්. මේ මොහොත ආයෙ එන්නෑනෙ. ඉතිං මේ මොහොතෙ සතුටෙන් ජීවත් වෙලා ඒ වෙලාවට ඕන වුණොත් දුක් වෙන එකයි කරන්න තියෙන්නෙ. නැත්තං අපි මේ වෙලාවෙත් දුකෙං ඒ වෙලාවෙත් දුකෙන්”

“ඒවටනං පණ්ඩිතකං දන්නව”

“දුවල දෙන්නව ශේප් කරල දුන්නොත් මට මොනාද දෙන්නෙ…”

අන්තරා ගේ මුහුණ පුංචි ගෑනු ළමයෙකු ගේ සෙයින් දඟකාර වූයේ ය. එතෙක් තද කරගෙන උන් දෙතොල් පෙති ළිහී යුගාත්ම ගේ මුහුණේ සිනහවක් පිපිණි.

“ඔයාට දෙන්න බැරි දෙයක් මට තියෙන්න පුළුවන්ද…”

ඒ වෙලාවේ ඔහු ගේ මුහුණ කියවාගන්නට අන්තරා තුළ ඇති වූයේ බියකි. ඈ ඔහු දෙස බලා සිටියේත් තැතිගැන්මකින් වාගේ ය. තවත් වොෆල් එකක් ඔහු ගේ පිඟාන මතින් තැබූ ඕ ඒ සියල්       හැඟීම් යටපත් කරගෙන “මට ටික දවසක් දෙන්නකො” කියා සිනහවකින් කියාගත්තා ය.

එවක් පටන් ඔවුන් හමු වීමට නියමිත ව තිබිණ. කවින්ද්‍යා දියණියන් දෙදෙන සමග නැටුම් පන්තියට ආවා ය. ඒ පන්ති වෙලාව මගනොහැර ගෙදර රැඳෙන්නට අන්තරා වගබලා ගත්තා ය. දැරියන් දෙදෙන කිශෝරි වෙතින් නැටුම් උගනිත්දී අන්තරා හා කවින්ද්‍යා කතාබහකට වැටී සිටිති. ඔවුන් වැඩි  වේගයකින් ඔවුන්ට සමීප වූ සෙයක් පෙනෙන්නට තිබිණ. නමුත් අනවශ්‍ය ලෙස කවින්ද්‍යා ට විවෘත නොවන්නට අන්තරා වගබලා ගත්තා ය. එය ඇගේ සහජ ලක්ෂණයක් නිසාවෙන් ඒ වෙනුවෙන් අමුතු වෙහෙසක් දැරීමේ අවශ්‍යතාවයක් වූයේ නැත.

“ඒක හරි අමුතුයි නේද… ඔයා යුගාත්මව පොඩි කාලෙ ඉඳං දන්න කෙනෙක් වෙලත් එයාව බඳින්න තෝරගත්තෙ නෑ. ඔයා එයාව අතෑරල ළඟට ගිය කෙනා එක්ක ජීවිත කාලෙම එකට ඉන්න බැරි වුණා. යුගාත්මව බැඳපු මටත් එයාව අත්අරින්න වුණා. අන්තිමට ඔයාගෙයි යුගාත්මගෙයි යාළුකම විතරක් ඉතුරුවෙලා තියෙනව”

මිදුලේ සිමෙන්ති මේසය ළඟ වාඩි වී කතා කරමින් සිටි වෙලාවක කවින්ද්‍යා කීවා ය. අන්තරා ඇගේ වචන අතරේ වන ගැඹුරු නො ගැඹුරු තැන් වල කිමිදෙමින් සිටියා ය.

“එහෙම තමයි. බැන්දයි කියල මිනිස්සු බැඳෙන්නෙ නෑ. බැඳීම් වලට අවංක වෙන්න පුළුවන් තැන්වල හරිම නිදහස් හැඟීමකින් රැඳෙන්න පුළුවන්. ඒක යාළුකමක් හරි හිතවත්කමක්හරි වෙන්නත් පුළුවන්”

“ඔයා හිතන්නැද්ද ඒ පිරිමි නිසා අපේ ජීවිතේ ලස්සනම කාලෙ අපිට නැති වුණා කියල…”

“අපේ ජීවිතේ ලස්සනම කාලෙ අපිට දැන් අයිති නැති කෙනෙක් වෙනුවෙන් ගෙවිල ගියා වෙන්න පුළුවන් කවින්ද්‍යා. ඒත් මං ඒකට වෙන කාටවත් බ්ලේම් කරන්න කැමති නෑ. මොකද අපේ ජීවිතේ හැම තෝරගැනීමකට ම අපේ වගකීමක් තියනව. අපේ තෝරගැනීම් ගැන වගකියන්න අපි බැඳිල ඉන්නව. එහෙම බැලුවොත් අපිට වගේම අපි නිසා ඒ අයටත් වැරදිලා. ඒ අයගෙ ජීවිත වල හොඳම කාලෙත් ගත වෙලා. කසාද ජීවිතයක් ඇතුළෙ ඕනම සිදුවීමකට දෙන්නෙක් වගකියන්න ඕනෙ. තනි අතින් අත්පුඩි ගහන්න බෑ නේ…”

“අනේ මන්දා. ඔයා වගේ දර්ශන දාල හිතන්නනං මං දන්නෑ. හැබැයි මොනා වුණත් මේ තනි ජීවිතේ හරිම නිදහස් කියල මට හිතෙනව. නීති දාන්න අපි වගඋත්තර කියන්න ඕන කවුරුත් නෑනෙ. රස්සාව කරනව. මට ඕන විදිහට ළමයි දෙන්නව හදනව. නැටුම් පන්තියක් කරං අමතරව සල්ලි ටිකකුත් හම්බකර ගන්නව. බැන්දෙ නැත්තෙ නෑ. ළමයි නැත්තෙ නෑ. ඒව ගැන ලෝකෙ මින්ස්සුන්ට චෝදනා කරන්න දෙයක් නෑ. මං සම්පූර්ණ ගෑනියෙක් කියල මට දැනෙනව. මගෙ හිත හයියයි. ඒක නිසා මං කැමතියි අපි ඩිවෝස් වුණ එක ගැන”

“මං හිතන්නෙ සම්පූර්ණයෙන් අනිත් පැත්තෙ ඉඳල. කොච්චර සල්ලි හම්බකරන්න පුළුවන් වුණත් මං ආසයි ලස්සන පවුලක් තිබුණනං. මන්දා පවුලක් ඇතුළෙ සමහර වෙලාවට ගෑනුන්ට ලිමිට් වෙන්න වෙනව කියන එකේ ඇත්තක් තියනව. ඔයා මැරේජ් එක ඇතුළෙ හිටියනං සමහර විට ගෙදර වැඩ එක්ක ටීචින් ජොබ් එක විතරක් කරං ඉන්න වෙන්න තිබුණ. දැන් නිදහස් නිසා රෑ වෙනකල් වුණත් ඔයාට ටියුශන් කරන්න පුළුවන්. හැම දෙයක් ම බිඳගෙන සමාජෙ ඉස්සරහටම යන ගොඩක් ගෑනු අයගෙ පවුල් ජීවිත අසාර්ථක වෙන්නෙ සොබා දහමෙන්ම එයාලට ඕනකරන නිදහස අරං දෙන්න වෙන්නත් ඇති. අනේ මන්දා. ලෝකෙ ඉස්සරහ රැජිනක් වෙනවට වැඩිය මන්නං ආස හිඟන්නෙක්ගෙ හරි ජීවිතේ එකම ගෑනි විදිහට ඔටුන්න දාගන්න. ඔයයි මායි දෙවිදිමක්. හැබැයි ඔයාටයි මටයි දෙන්නටම අත්වෙලා තියෙන්නෙ එකම ඉරණමක්”

ඒ කතාබස් වලින් පස්සේ ඔවුන් දෙදෙනාට කිසියම් සීමාවක් දක්වා සමීප විය හැකි විණි. එක වාගේ නොවන දෙදෙනෙකු අතරේ, එකඟතා නැති මිනිසුන් අතරේ, එක පාරක ගමන් නොකරන අය අතරේ ද සම්බන්ධතා ඇති විය හැක. ඒ සම්බන්ධතා අවංක හෝ ස්ථාවර ඒවා නොවේ කියා කිසිවෙකුට තර්ක කළ නො හැකි ය. කවින්ද්‍යා තුළ ඉන්නා නිදහස් හා ශක්තිමත් ගැහැනියට අන්තරා කැමති වූවා ය. ඇගේ ඍජු පෞරුෂය ගැන විශ්මිත වූවා ය. යුගාත්මගෙන් වෙන් වූවාට පස්සේ කිසිදු බාහිර පිරිමියෙකුට දොරගුළු විවර නොකළ ඇගේ හද මන්දිරය ගැන ආඩම්බර වූවා ය. නමුත් ඇගේ ආත්මීය ලක්ෂණයක් වන උද්දච්ච බවට සියුම් ලෙස පහර දී එය හෙමිහිට සිඳ බිඳ දැමීමට හැකි හැම විට ම උත්සාහ කළා ය.

“අපි ගෙදරින් යද්දි දරුවො අරං ගියෙ නෑනෙ. දරුවො කියන්නෙ අපි තෝරගත්ත පිරිමියත් එක්ක එකතු වෙලා හදාගත්ත වස්තුවක්. මන්නං නූපුරට හැම වෙලාවෙම කියන්නෙ ඒ ඔයාගෙ තාත්ත කියල අමතක කරන්නෙපා කියලයි. එයාට ඊටපස්සෙ තව කොච්චර දරුවො හමුබුණත් පළවෙනි ළමය නූපුරනෙ කවින්ද්‍යා. ළමයගෙ තාත්ත කියන අයිතිය අපිට වෙන කිසිම කෙනෙක්ට දෙන්න බෑ අනිත් මොන දේ දුන්නත්. අනිත් එක එහෙම කරනවනං අපි ලොකු වරදක් කරන්නෙ. එක දවසක අපි වෙන්කරගත්තට… ඒ ළමයි හදන්න තාත්ත කෙනෙක් මොනතරං කැපකිරීමක් කරනවද… දරුවො කියන්නෙ අම්මගෙ වගේම තාත්තගෙත් අයිතියක්”

අන්තරා එසේ තර්ක කළේ කවින්ද්‍යා සිය දරුවන්ට තාත්තෙකු අවැසි නොවන තැනට වග බලාගෙන ඇතැයි කී වෙලාවේ ය. වාචිකව පිළිගන්නට අකමැති වී ද කවින්ද්‍යා ගේ මුහුණ වෙනස් වී ගියේ ය. මුලින් සිය අදහස ප්‍රකාශ කරත්දී තිබුණ සාඩම්බරය දෙදරා ගිය බවක් පෙනිණ. නමුත් ඇය පරාජය භාරගන්නට ඉක්මන් වූයේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here