මේ ඒ වසන්තයයි – 70

0
2572

නුරාන් ගේ ඇකිලී ගිය ඇස් තුලින් මතුවන ගිනි තවදුරටත් ඇව්ලෙන්නට දී බලා සිටින්නට ඉසිනිට හැකි වූයේ නැත. ඕ අසුනක් ඇදගෙන හිඳ ගත්තාය.

” මං අක්කට කිව්වා… මම ඔයාව බඳිනවා.. අම්මලාට කියන්න කියලා….”

නුරාන් ගේ මුව අඩක් ඇරුණේය. ඔහු හුස්ම ගත්තේ මුවිනි. දෑස් පිය සැලුනේ හෝ නැත.

” අක්කා කොහොමටත් දැනගෙන ඉන්න ඇත්තේ… මොකක් හරි වෙන බව.. ආයේ තව මේක හංගගෙන ඉන්න එකේ තේරුමක් නැහැ….”

“මොකක්ද ඉසිනි ඔයා කලේ ?”

“ඉසිනි ?”

“මං අබ්බගාතයෙක් තාරා …. ඔයා.. ඔයා … ඇයි එහෙම කලේ ?”

“මොකක්ද ඔයා කියන්නේ නුරාන් …. මොකක්ද කියන්නේ ??? අබ්බගාතයෙක්.. අබ්බගාතයෙක් ගගා ආයේ ආයේම මොකක්ද ඔය පෲව් කරන්න හදන්නේ… ?? මොකක්ද ඔයාට කියන්න ඕනි ? .. මං ආදරේ කලේ, කකුලේ ඔය කෑල්ලටද නුරාන් ? අපි ආදරේ කලේ … මොනවාටද ?? …මං .. අවුරුදු ගානක් පිට මිනිහෙක්ගෙන් ඇබියුස් වෙලා.. වෙලා… ඒ මිනිහාගෙන් ආදරේ හොයලා හොයලා… ඒ මිනිහට ආදරේ කරන්න උත්සාහ කරලා කරලා … අන්තිමේදි ඒ මිනිහ මාව එලවලා දැම්මට පස්සේත් ඔයා මාව බඳාගත්තා නුරාන්.. පළවෙනි දැක්මෙන්ම ඔය මාව ඔයාගේ කරගත්තා… දැන් ඔයාගේ පොඩි ප්‍රශ්නයක් නිසා ඔයා මේක ඉවර කරන්න හදනවාද … ඒක මට ප්‍රශ්නයක්ද නැද්ද කියලා අහන්නේත් නැතුව…”

” ඒක ප්‍රශ්නයක් තාරා…. ඔයාට ඒක ප්‍රශ්නයක්.. මම හුදෙකලා මිනිහෙක් තාරා… හුදෙකලා මිනිහෙක්… මට මේ වෙච්ච දේ මේ ගම ඇතුලෙම නැති වෙලා යාවී… ඒත් ඔයා එහෙම හුදෙකලා ගෑණියෙක් නෙවෙයි තාරා… “

” එහෙම නම් , මටත් හුදෙකලා වෙන්න දෙන්න .. නුරාන්”

“අහන්න තාරා.. මට අනුකම්පා කරලා.. ඔයා මේ තීරණය ගන්න ඕනි නෑ…. තේරුනාද ? මට මාව බලාගන්න පුලුවන් … ඒ නැතත්, අම්මා, තාත්තා, අය්යා, අක්කා, .. ඒ ඔක්කොමලා නැති කාලේක නුරාධ්‍යා මාව බලා කියා ගනීවී….. ඔයා ආයාසෙන් ඒ වගකිම ගන්න ඕනි නෑ…කිසිම කෙනෙක් ඔයාට කිසිම දෙයක් කියන්නේ නෑ තාරා… ඔයාට යන්න පුලුවන් .. අනිවාර්‍යෙන්ම ඔයාට යන්න පුලුවන් … කවුරුත් ඔයාව නවත්තන්නේ නෑ….”

ඉසිනි නුරාන් ගේ වචනයක් ගානේ සරදමට සිනාසුණාය. ඔහුගේ ආකල්ප වල ඇති අඳුරු පැහැයට යළි යළි සරදමින් සිනාසුනාය.

” හරි.. නුරාන් .. තැන්ක් යූ .. මගෙ හිතේ තිබුණ සැකේ නැති කලාට තැන්ක් යූ… මම ඇත්තටම හරිම විචිකිච්ඡාවෙන් උන්නේ.. ඔයාට කරදරයක් වුණාම ඔයාව දාලා ගියා කියලා කට්ටිය මට අනන් මනන් කියාවී කියලා… තෑන්ක් ගෝඩ්.. එහෙම අවුලක් වෙන්නේ නෑ… “

ඉසිනිගේ ස්වරය සරදම සහ උමතුව අතර දෝලනය වෙන්නට ගත්තේය. නුරාන් නළල රැලි ගන්වාගෙන ඇගේ රඟපෑම බලා උන්නේය. සිනහ නැඟෙන්නේ දෑත් දෙපසට විහිදවමින්, වත මත නේක අංගචලන මවමින් ඕ රඟ දෙන සෙය්යාවටය.

ඇයට යන්නට දෙන්නට සිතක් නැත එහෙත්, සදාකල් තම වාරුව වී සිටීම ඇයට හැකි වේද ? එලෙසින් ඇය බඳා ගැනීමෙන් ඇය ට ජීවිතය සිර ගතව ඇති බවක් දැනේවිද ?

” දැන් අර වත්සලාට මොකක්ද ඔයා කරන්න හිතගෙන ඉන්නේ..?”

ඉසිනි එක්වරම විමසුවේ ධනුක පැවසූ තොරතුරු යළි සිහියට ගනිමිනි. ඇය නුරාන් මානයේ හොඉ නොසිටිය යුතුය යන්න ඇගේ නොවෙනස් අදහස විය

” අවුරුද්දක සැලරි එකක රෙසිග්නේශන් දෙන්න කියනවා…”

නුරාන් රාජකාරීමය ස්වරූපයක් මවා ගත්තේය සැනින් සිත අම්පාරේ තණා ඇති ඔහුගේ ව්‍යාපාර් වෙත දිව ගියේය. සිතු සිතු පරිදි එහෙ මෙහෙ දිව යමින්, වාහනය ධාවනය කරමින් වැඩ කටයුතු සිදු කරගත් කාලය දැන් හමාරය. සියල්ල වෙනුවෙන් අළුත් මාවත් සෙවීමට සිදුවේ. අත් වාරුද, රෝද පුටුද සහයට ගැනීමට සිදු විය හැක.
නුරාන් සන්සුන් වන්නට උත්සාහ කලේය. රුධිර පීඩනයෙහි යම වැඩි වීමක් තිබූ බව වෛද්‍යවරයා පැවසූ බව සිහි කලේය.

” එයා යාවිද ?”

උමතු ප්‍රේමවන්තියක් ලෙසින් හැසිරී ඇති ඇය පහසුවෙන් නුරාන් වෙතින් ඉවත් වේයැයි සිතන්නට නොහැක.

” බලමු…”

” මේ කතාව ඇහුවම මට හිතෙනවා… අර ඔෆිස් එකට එව්ව මඩ පත්තරත් ඔය වත්සලාග්ම වැඩක්ද කියලා…”

ඉසිනි කීවාය. ඒ වනවිටත් ධනුකගෙන් නුරාන් ඒ බවද තහවුරු කරගෙන උන්නේය.

” ඒකනෙවෙයි ලස්සනම වැඩේ… අර ඉසිනි ගැන මඩ පත්තර ඔෆිස් එකට යවලා තියෙන්නේත් වත්සලාලූ බං…. මේකි පුදුම සයිකෝ සීන් එකක නේ ඉඳලා තියෙන්නේ.. ඒකිම කියලා…”

ධනුක සුලු වේලාවකට පෙර පැවසූ අයුරු නුරාන් ට සිහි විය. එය ඉසිනි ට පවසා ඇගේ සිතෙහි වන කුකුසද වහා ඉවත් කර දැමිය යුතුයැයි නුරාන් සිතුවේය. ඔහු ධනුක ඒ පිළිබඳව පැවසූ සියල්ලද ඉසිනි ට කීවේ, ඉසිනි කලකිරීමෙන් සහ විමතියෙන් නිහඬවම හිඳමින් සියල්ල අසා සිටියදීය.

” එක අතකට ඒ ළමයාට වරදක් කියන්නත් බෑ… අවුරුදුී ගානක් තිස්සේ බලාගෙන උන්න ආදරේ, එක පාරටම කොහෙන්දෝ ආව කෙනෙක් ඩැහැ ගන්නකොට මිනිශ් පිස්සු වැටෙනවා…”

ඉසිනි අවසන කීවාය. නුරාන් රෝහල් සයනය මත කෙලින් වන්නට උත්සහ කලේය. ඉසිනි වහා නැගිට ඔහුට සහාය දුන්නාය

” ඔව්…. මං නොදැන සාහෙන ආදර කන්දක් වත්සලාගේ ලෝකේ හැදෙන්න ඇති .. මං වත්සලාට සෑහෙන්නම ආදරණීයව සැලකුවා.. මම නෑ කියන්නේ නෑ.. ඒකිව සෑහෙන්නම විශ්වාස කලා…. ගොඩ යන්න ඇම්මක් තියෙන කෙල්ලක් කියලාහිතලා මම ඒකිව පුලුවන් උපරිමෙන් ෆලෝ අප් කලා…. ඒ හැමදේම නුහුරට ගැළපෙන්න ඇති…”

” මිනිස්සු ආදරේ කියවගන්නේ තමන් කැමති පිටුවේ ඉඳන් නේ නුරාන් …. එතකොට එයා ගේ පිටු වල එයා හරි ඇති…”

” ඔව්.. ඒත් මට කරන්න දෙයක්නෑ…”

” ඔව්… සමහරවිට, එය ඒක හංගගෙන ඉන්නේ නැතුව ඔය එක්ක කතා කලා නම් දේවල් වෙනස් වෙන්නත් තිබුණා…”

නුරාන් සරදම් සිනාව පෑවෙ ඉසිනිගේ ඊළඟ වාක්‍යද ඇයට අමතක කරවමිනි.

” එහෙම නම් මගේ කකුල ඉතුරු වෙනවා.. ම්ං ඒකිට අනිවාර්‍යෙන්ම මේක නොව්න බව පහදලා…”

නුරාන් සරදම් ස්වරය තමා මතට දමාගෙන එලෙස කීවේය. ආබාධිත වීම .., එක් රැයකින් ආබාධිත වීම පහසුවෙන් දරා ගන්නට හැකි හැඟීමක් නොවේය. එහෙත්, තමා එදින රැයේ උන් විපරීත මානසිකත්වයේ තරමට මේ තරමින් තම දිවි ගැලවීම ආශ්චර්යක් විය හැකි යැයි නුරාන් කල්පනා කලේය.

සිතුවේය, මියෙන්නටය. සිතෙහි වූ කෝපය සියලු අවබෝධයන් මකා දමා තිබුණි.

” මට තේරෙන්නේ නෑ නුරාන් …”

” ඔය ඒව හිතන්නෙපා…කම්පැනි එච් ආර් එකෙන් එව්වා හැන්ඩ්ල් කරාවී.. මම ඉන්ස්ට්‍රක්ශන් දීලා තියෙන්නේ…”

නුරාන් වහා ඒ බරෙන් ඉසිනි ව නිදහස් කලේය.

වත්සලාගේ හැසිරීම පිළිබඳව කෝපවී හැසිරෙන්නට නුරාන් ට සිතෙන්නේ නැත. එහෙත්, ඕ තමා පටලවා ගත් සැලැස්මේ අන්තර්ගතය යළි යළි සිහිවෙත්ම, නුරාන් ගේ ඉවසීමට අදාල ව වන සීමාවන් කුඩුපට්ටම් ව යන බව දැනුණි.

” බලාගෙන ගියාම, මිනිස්සු ආශ්‍රය කරන එක දැලි පිහියෙන් කිරි කන ගාණයි තාරා… මං නොදැනම මගේ ජීව්තේ ගැන සැලසුම් මං ලවාම හදවගන්න මිනිස්සුනේ මේ පහුකලේ අපි…”

නුරාන් යළි කීවේය. ඉසිනි එයට හිස සැලුවා පමණි.

” ඔතනින් වාඩි වෙන්න ඉතින් තාරා.. මම ගිලින්නේ නෑ ඔයාව.. .”

ඉසිනි නුරාන් ට මුව උල් කර ඇඳ කරමින් , ඔහු අසලින් හිස ගත්තාය.

” රිදෙනවාද ?””

” හ්ම්ම්.. අම්බානෙකට…”

” ටිකක් නිදාගමු….”

” ඇස් දෙක පියවෙනකොටම නේක විධ කාරණා කප්පරක් ඔලුවේ තාරා… නින්දක් එන්නේම නෑ .”

” හෙමින් හෙමින් විසඳගමු…”

ඉසිනි වඩා විශ්වාසනීය හඬින් කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here