ආණමඩුව පරමාකන්ද ගමේ පාසල් යන වයසේ පුංචි දරුවෙක්ගේ අපචාරයක් සම්බන්ධ ප්‍රශ්නයක් ගැන කතාකරන්නට සමුධ්‍යා පරණවිතාන කියා ගුරුවරියක් කතා කරන බව ශාරධා කෝල් කර දැනුම් දුන්නු වෙලාවේ හිත කොච්චර තිගැස්සුණත් අරුණ ඒ ගැන වගක්වත් නැති අයුරින්ම ශාරධාගේ පණිවිඩය භාරගත්තේය.
අරුණට පරමාකන්ද ගම එක්ක තිබෙන්නේ උපන්දා සිට ඇතිඋන බැඳීමකි. ඒ බැඳීම ශාරීරිකව බිඳ දමා තුරුණු වියේදි ගෙදරින් වෙන් ව කොළඹ බලා එන්නට සිදු වුණත් මනසින් ගම එක්ක බැඳුණු බැඳීම සහමුලින්ම උගුල්ලා දමන්නට හැකියාවක් අරුණට තිබුණේ නැත. ශාරධා විසින් කියන්නට යෙදුන ගැහැණු ළමයා කවුරුන්ද කියා හිතාගන්න හැකියාවක් අරුණට නොතිබුනත්, “ඒ ගමේ ඉන්න ප්‍රාදේශිය සභා මන්ත්‍රි කෙනෙක්ගෙ පුතා අතෙන් තමයි මේ ළමයට කරදර වෙලා තියෙන්නෙ” කියා ශාරධා කියද්දි මේ කියන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා තමන්ගේ තාත්තා බවත්, ඒ කියන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාගේ පුතා මල්ලි වන ලක්ෂිත බවත් තේරුම්ගන්නට අරුණට අමාරු උනේ නැත.
මල්ලි කොහොමත් කුඩා කාලයේ හිඳම පෙන්නුම් කලේ නොසන්ඩාල ගති බව අරුණට අමතක නැත. ඉස්කෝලේ යන කාලයේ, ගැටවර වියට පා තැබු මුල් කාලයේ දවසක මල්ලි මිශ්‍ර පාසලේ කාන්තා වැසිකිලියක් අස්සෙන් ඔලුව දමා ගුරුවරයෙකුට අහුවෙච්ච වෙලාවේ ඒ ගුරුවරයා පාසලේ සියල්ලන්ම ඉස්සරහ මල්ලිට දඬුවම් කරන්නේ නැතුව ගෙදරට විත් අම්මත් තාත්තත් එක්ක කතා නොකරානම් මල්ලි හැදෙන්න තිබුනෙ ඒ වයසේය කියන එක අරුණ ඉන් පසුව බොහෝ කාලයක් යනතුරා හිතා තිබුණි.
“මං කියන්නෙ නෑ සර් කොල්ලො කොලුකමට මේ වගේ දේවල් කරන්නෙ නෑ කියලා. හැබැයි මං දවස් කීපයක්ම දැක්කා මේ ළමයා ඔය ගෑණූ ළමයි වැසිකිලි තියෙන පැත්තට යනවා. මං නිකමට දවස් කීපයක් බලාගෙන ඉඳල තමයි ඔය අද අතටම අල්ලගත්තෙ. වෙන කවුරුහරි දැක්ක නම් සර්ටත් හොඳ නැති හන්දයි මම ගෙදරටම ඇවිල්ල කියන්න හැදුවෙ.
පොඩි කාලෙම ඉතින් ළමයි හරියට හදාගත්තෙ නැත්තම් ලොකුවෙද්දි නොසණ්ඩාල වැඩ කරද්දි අම්මල තාත්තලටත් ප්‍රශ්නනෙ සර්. අනික සර්ව මේ පැත්තෙ හැමෝම දන්න එකේ දරුවො නොමග ගියොත් සර්ටත් හොඳ නෑ” කියා ගුරුවරයා අනෝමා නෝනා විසින් ගෙනවිත් තිබූ තේක ගන්නට අත දික්කරේ මන්ත්‍රීතුමා දෙස බලාගෙනය. එහෙත් ගුරුතුමාට අතට ගත් තේක බොන්නට බැරිවුණේ එදා තාත්තා විසින් කියන්නට යෙදුන උත්තරය නිසා බව අරුණට තාම මතකය.
“සර් ඔච්චර කලබල උනාට මං නම් හිතන්නෙ නෑ ඕකට ඔච්චර කලබල වෙන්නෝන කියල. කොල්ලො ඉතින් ඔය වයසෙදි ඔය වගේ නොසණ්ඩාල වැඩ කරනවනෙ. ඔන්න අපි කලබල වෙන්නෝන ලක්ෂිත කවුරුහරි කෙල්ලෙක්ට කරදර කරා නම් නේ. සර් ඇවිල්ල කිව්ව එකට ස්තුතියි. මං ඉතින් කියන්නම්කො කොල්ලට” කියා කිව්වට තාත්තා එදාවත් ඉන්පසුවවත් මල්ලිට ඒ ගැන කිසිත් අවවාදයක් උපදේසයක් දෙනු අරුණට ඇසුනේ නැත.
ප්‍රභාත් අරුණලු වීරබද්ධන ගමෙන් මිදී කොළඹට පියඹා ආවේ ඔය, අහස පොළොව නුහුලන සිදුවීම් රැසක් දෙනෙතින්ද, දෙසවනින්ද දකින්නට අහන්නට වූ නිසාවෙනි. “අයියා කොච්චර හොඳට හැදෙනවද? අයියා දිහා බලාගෙනවත් ඔයා හොඳට ඉන්නකො දරුවො” කියා අම්මා කොච්චර මල්ලිට හොඳ නරක කියා දෙන්නට උත්සහ කරද ලක්ෂිත උන්නේ එවන් දේවල් අසන, කරන අදහසක නොවන බව අරුණ ගෙදරින් එන්නට පෙරත් අම්මාට කිව්වේය. අම්මා ඒ වදන් පිළිගත්තද, මුවින් කිසිවක් නොකීවේ අම්මා කෙනෙකුගේ ලෝකය තුළ හැම දරුවෙක්ටම හිමිවන්නෙ එකමාකාරයක ආදරයක්, සෙනෙහසක් බව අරුණ දනී.
එදා තාත්තා විසින් දැනෙන අන්දමේ අවවාදයක් හෝ දඬුවමක් මල්ලීට දුන්නා නම් අද මෙවන් දෙයක් තමන්ගේ දෙසවනින් අහන්නට තමන්ට නොලැබෙන බව අරුණ දනී. බාගදා මේ විත්තිය අම්මා තවම නොදන්නවා විය හැක. අම්මා දන්නවා නම් කීයටවත් අද උදේ කතා කර වෙලේ තමන්ට මේ විත්තිය නොකියා ඉන්නෙ නැති බව අරුණ දනී.
සමුධ්‍යා අරුණට කෝල් කරේ ඒ වෙලාවේය.
“හෙලෝ” කියා සමුධ්‍යා ගේ සිහින් සුන්දර කටහඬ එහා පසින් ඇසෙද්දි වෙන වෙලාවක උනානම් ඒ මන බන්දනීය හඬේ පැටලී බොහෝ කවි කල්පනා හිත අස්සෙන් හිතන්නට අරුණට ඉඩක් තිබුණද, අද සමුධ්‍යා මේ කතාකරන්නෙ තමන්ගේ ඇඟේ දුවන ලෙයම ඇඟේ දුවන, එහෙත් ගතිගුණ වලින් සහමුලින්ම පාහේ වෙනස් කෙනෙකු ගැන කියන්නට බව දන්න හන්දාම අරුණ උන්නෙ සම්පූර්ණ නිරවුල් සිතකින් නොවේ. එහෙත් මේ තමාගේ රාජකාරියට සම්බන්ධ දෙයක් හන්දාම නිහඬව හිඳින්නට හැකියාවක් නොමැති බව අරුණ හිතට කියද්දි සමුධ්‍යා ආයෙම වතාවක් අරුණව ඇමතුවාය.
“හෙලෝ, මිස්ට අරුණ ගුණවීර නේද කතාකරන්නේ?” කියා සමුධ්‍යා අහද්දී ගෙදරින් පිටව ආවයින් පසුව තමන් උප්පැන්නයේ තිබෙන තාත්තාගෙන් ලද වීරබද්ධන වාසගම වෙනුවට අම්මාගේ වාසගම පාවිච්චි කරන්නට ගත් බව අරුණට මතක් වුණේය.
“හෙලෝ ඔව් මිස්, මේ මිස් සමුධ්‍යා නේද? මට ශාරධා කිව්ව මිස් කතාකරාවි කියලා”
“ඔව් සර්, මේ වෙලාවෙ සර්ට කතාකරන්න පුලුවන් වෙලාවක්ද? එහෙම නැත්තම් මම පස්සෙ කෝල් කරන්නද?”
“නෑ නෑ මිස් දැන් කතාකරමු. මේව මේ පස්සට දාන්න හොඳ වැඩ නෙවෙයිනෙ” කියා අරුණ කියද්දි සමුධ්‍යා වුන සිදුවීම් සියල්ල ආයෙමත් කියද්දී තමන්ගේ සැකය හරි බවත්, මේ සියල්ල පිටුපස ඉන්නෙ ලක්ෂිත වගේම, ඔය කියන ගෑණු ළමයා තමන් පුංචි අවදියේ සිටම ගෙදර වැඩට ආව ගුණවතී අම්මාගේ දුවගේ දුව බවත් හිතාගන්න අරුණට අපහසු උනේ නැත.
“ඔයාලා කිසිම වෙලාවක ඔයාලගෙ පෞද්ගලික කේසස් තනියෙන් හැන්ඩ්ල් කරන්න යන්න එපා. මොකද ඒක ඔයාලගෙ අතින් රස්සාවට වගේම ඔයාලගෙ පර්සනල් ලයිෆ් එකටත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් හන්දා. අපි කොච්චර රස්සාවට ගරු කරන, සර්ව සාධාරණ, යුක්තිය ගැන කතාකරන මිනිස්සු උනත් අපි කොච්චර ඉමෝශනල් ද කියල අපිට තේරෙන්න පටන් ගන්නෙ අපේ කවුරුහරි කරදරේක වැටුනම තමයි. මොක උනත් අපි හිත ඉස්සර කරගෙන ජීවත්වෙන මිනිස්සුනෙ. අපි කොච්චර නීතියට එකඟ උනත් අපේ කෙනෙක්ට කරදරයක් උනාම අපි උනත් නීතිය අපේ අතට ගන්න හදනවා” කියා තමන්ගේ ජ්‍යේෂ්ට නීතිඥවරයා උන කැළුම් සඳරත්න මහතා කියූ වදන් අරුණ ඒ වෙලාවෙත් මතක් කරගත්තේය. එහෙත් එහෙමයි කියා මේ කේස් එකේ වැරදිකරුත්, අපයෝජකයාත් තමන්ගේ එක්කුස උපන් සහෝදරයා බව කියන්නෙ කොහොල්මද කියන ප්‍රශ්නයත්, ලැජ්ජාවත් අරුණට නොතිබුනා නොවේ. මේ වෙලාවේ තමන් විසින් කල යුතු වන්නේ “මට ඔය කේස් එක භාරගන්න බෑ” කියා සමුධ්‍යාට කියන එකද එහෙමත් නැතිනම් “භාරගන්නම්” කියන එකද කියන උභතෝකෝටික ප්‍රශ්නය අරුණව ඒ වෙලාවේ මනසින් පෙලමින් උන්නේය. කේස් එක භාරගත්තද තමන් කල යුතු වන්නේ යුක්තිය වෙනුවෙන් කතා කරන එක, එහෙම නැතිනම් තමන්ගේ ලේ බැඳීම වෙනුවෙන් සටන් කරන එකද කියන භතෝකෝටික ප්‍රශ්නය අරුණව ඒ වෙලාවේ මනසින් පෙලමින් උන්නේය.
සමහර තැන්වලදී තමන් වුවත් නීතිය පසෙක තබා, තමන්ගේ කම ඉස්සර කරගන්නට කටයුතු කරන බව අරුණ තේරුම්ගත්තේය.
අසරණ වී හිඳින්නේ තවමත් පෙති දිග නොහැරිය මලක් බඳු දැරිවියක බව ඇත්තකි. මේ සිදුවීම ඒ දැරිවියගේ මුලු අනාගතයම විනාස කරන්නට හේතුවෙන බවද ඇත්තකි.
එහෙත් අනෙක් පැත්තෙන් ඒ ප්‍රශ්නයට සම්බන්ධ වී ඉන්නේ තමන්ගේ මල්ලීය. තමන්ගේ ඇඟේ දුවන ලෙයම දුවන තමන්ගේ සහෝදරයාය. මේ සිදුවීම මල්ලීගේ ජීවිතය විනාස කරන්නත් හේතුවෙන බව අරුණ නොදන්නවා නොවේ.
ඉතින් තමා බේරගත යුත්තේ කාගේ අනාගතයාද?
සත්සරාගේද?
මල්ලිගේද?