තාදී – 48

0
2674

මිෂෙල් නිවසේ පිහිනුම් තටාකය අසලට වී ඔහේ බලා උන්නාය.තමා දින දෙකකින් පමණ නිවසින් එළියටවත් ගියේ නැත. ධීර ට කතා කළේ හෝ නැත.අඩුම තරමේ වසන්තවත් නිවසට ආවේ හෝ නැත. එහෙත් මේ ආකාරයෙන් සිටියහොත් තමා ඉබේම පරාජය වනු ඇතැයි මිෂෙල් සිතුවාය. 

වෙනදාට වඩා නිහඬව සිටින දියණිය ගැන රූපසිංහට එක් අතකින් දැනුනේ කම්පාවකි. එහෙත් ඇය අතින් සිදු වූයේ ද විශාල වරදකි. එය ඇගේ ජීවිතයට පවා විශාල කැළලක් එක් කරන්නකි. කැනඩාවේ සිටියදී පවා මිෂෙල් විසින් සිදු කරන ලද බොහෝ වැරදි වලට සමාව දී ඇයගේ ජීවිතය එකලාසයක් කරන්නට තමා ගත් උත්සාහය ව්‍යාර්ථ වේගෙන යනවා යැයි සිතිවිල්ලක් රූපසිංහ තුළ විය.

රූපසිංහ රමණි සමග පිහිනුම් තටාකය අසලට ගියේ මිෂෙල් බොහෝ වේලාවක් තිස්සේ එතැනට වී සිටිනු දුටු නිසාය. 

” මිෂෙල් ” 

මිෂෙල් උන්නේ කල්පනාවකය. පියාගේ හඬින් ගැස්සී ගිය මිෂෙල් ඔහු දෙසත් මව දෙසත් බැලුවාය. පිහිනුම් තටාකය අසල වූ යකඩ පුටු වල අසුන් ගත් රූපසිංහ සහ රමණි මිෂෙල් දෙස බැලුවේ විමසිල්ලෙනි. ඇයගේ මුහුණේ වූ හැඟීම් තේරුම් ගන්නට ඔවුන් දෙදෙනාම අපොහොසත් විය.

” ඇයි තාත්තා ? ” 

” දැන් ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ ? ” 

” මං දන්නෑ තාත්තා ” 

” මං වසන්තට කෝල් කරන්නම්. මං හිතන්නේ නෑ එයා මේ කටයුත්ත ගැන අදහස අත ඇරගෙන ඇති කියලා. එයාගේ හිත වෙනස් වෙන්න කලින් මේ කටයුත්ත කරල දැම්මනම් හරි ” 

මිෂෙල්ගේ මුහුණ එළිය වූයේ රූපසිංහ එසේ කී විටය. බලාපොරොත්තු එකින් එක අතහැරී යන මොහොතක මිෂෙල් තම පියා දෙස බලා උන්නේ බලාපොරොත්තු සහගතවය.

” වසන්තට උනත් ඕනේ එයාගේ බිස්නස් දියුණු කර ගන්න. ඒකට ඉතිං ඔයාගෙන් හම්බ වෙන ඩවුරි එක මිනිහට සෑහෙන්න වැදගත්. අනිත් එක අපි දෙගොල්ලන්ගේ බිස්නස් එකතු වුණා කියන්නේ ආයේ ඉතින් මොනවද.අනිත් එක ඔයාගේ අතින් වෙලා තියෙන වැරදි ආරංචි වෙද්දිත් වසන්ත මුකුත් නොවුනා වගේ මේ කටයුත්ත කෙරෙන තැනට වැඩ කරන්න ආවා කියන්නේ එයාටත් මේකට උනන්දුවක් තියෙනවා කියන එකනේ. තිබ්බ එකම ප්‍රශ්නේ මේ ධීර කෙල්ලෙක් පටලගෙන ඉන්න එකනේ. අනිත් එක ඔයා මේ කැනඩාවෙදි කරල තියන දේවල් ඇහුවහම වසන්ත වගේ මෝඩයෙක් මිසක් වෙන අම්මෙක් අප්පෙක් නම් කැමති වෙන්නේ නෑ මේකට  ” 

” තාත්තා එහෙනම් වසන්ත අංකල්ට කතා කරනවද ? ” 

රූපසිංහ දුරකථනය අතට ගත්තේ වසන්තට ඇමතුමක් දෙන්නටය. පසුගිය දෙදිනක් පුරාවටම වසන්ත ගෙන් දුරකථන ඇමතුමක් හෝ නොවූයේ මිෂෙල්ගේ අතින් වූ වරද නිසා ඔහුගේ හිත බිඳී ඇතැයි රූපසිංහ සිතුවේය.

” වසන්ත ” 

” කියන්න රූපසිංහ ” 

” කෝල් එකක්වත් නැතිකොට මං හිතුවා වසන්ත අපිත් එක්ක තරහා වෙලාද කියලා “

” මම හිතන් හිටියේ රූපසිංහ අපි එක්ක තරහා වෙලාද කියලා. මොකද ඉතින් කෙල්ල උනත් ඔය වගේ දෙයක් කලේ මේ අපේ ධීර ගෙන් වෙච්ච වැරද්දද නිසානේ “

” එහෙම නෙමෙයි වසන්ත. අපි මුණගැහිලා මේ ගැන කතා කරමුකෝ. වසන්ත හවසට වැඩක් නැත්නම් මේ පැත්තෙ එන්න. මිෂෙල් උනත් ඉන්නේ හිත හොඳින් නෙමෙයි. අපි කතා කර ගත්ත එකේ ඔන්න ඔහේ මේ කටයුත්ත කරලා දාමු ” 

වසන්ත උන්නේ අනපේක්ෂිතව ආ ඇමතුමෙන් සැනසීමට පත්වෙමිනි. ප්‍රශ්නයකට කියා ඇත්තේ ධීර ගේ හිත වෙනස් කර ගැනීමය. එය කෙසේ හෝ කළ යුතු වුණත් මේ අවස්ථාවේදී ජයමිණි පවා මේ විවාහයට ඒ තරම් කැමැත්තක් නැති බව වසන්ත දැන උන්නේය. 

තාදී ධීර සමඟ ” සෙවණ ” ට ආවේ කුතුහලයකිනි . ඒ තමා සොයා පැමිණි කාන්තාව කවුදැ යි දැන ගැනීමටය. ධීර ගේ වාහනය මිදුලෙහි නතර කරන විටම නැනෝ අම්මා ඉදිරියට දිව ආවාය. තාදී රථයෙන් බසින විටම නැනෝ අම්මා ඇයව වැලඳ ගත්තාය.

” නෝනේ.අනේ කොච්චර දවසකින්ද මේ දකින්නේ ” 

” වෙච්ච දේවල් එක්ක මේ පැත්ත මට බලන්න බැරි වුණා නැනෝ අම්මා. යන්කො ඇතුලට ” 

තාදී නැනෝ අම්මා සමග ” සෙවණ ” තුළට යනවිට ධීර ඒ පසු පසින් ” සෙවණ ” ට ඇතුළු වූයේය. 

” කවුද නැනෝ අම්මා තාදිව හොයා ගෙන ආවේ ? ” 

ධීර ඇසුවේ මුළුතැන්ගෙයිහි ඇති කෑම මේසයෙන් වාඩිවන අතරේය.

” අනේ හරි ලස්සන නෝනා කෙනෙක් මහත්තයෝ. එහෙම මුකුත් නරක අදහසකින් ආව පාටක් නම් පේන්න තිබුනෙ නැහැ ” 

” හොඳයිද නරකයිද කියලා මූණ බලල කියන්න බැහැනේ නැනෝ අම්මේ ” 

ධීර පිළිතුරු දුන්නේ නැනෝ අම්මා වතුර කේතලය ලිපේ තබන අතරේය. තාදී ජනේලයෙන් එපිට පෙනෙන සෙල්ලම් උද්‍යානයේ සෙල්ලම් කරන කුඩා දරුවන් කිහිප දෙනා දෙස බලා සිටියාය. 

” ඒකනං එහෙම තමයි මහත්තයෝ. ඒ වුනාට මට නං ඒ නෝනව දැක්කහම ඇත්තටම එහෙම නරක පාටක් පෙනුනේ නැහැ. හොඳ වැදගත් පාට නෝනා කෙනෙක් ” 

” එයා ආවෙ තනියම කියලා කිව්වා නේද නැනෝ අම්මේ? ” 

තාදී එසේ අසමින් පැමිණ ධීර අසලින් වාඩි වූවාය. 

” ඔව් නෝනේ. එහෙම කා එක්ක හරි ආවා නම් සැක හිතන්නත් තිබුණා. ඒත් කිසිම කලබලයක් නැතුව ඇවිල්ලා මං ඉස්සරහට ගියහම මාත් එක්ක කතා කළේ. අනිත් එක ඒ මනුස්සයා පුදුම සිරියාවන්තයි. අනේ මන්ද ඇයි කියලා , මට කොහේදි හරි ඒ මනුස්සයව දැකලා හුරුවකුත් තියෙනවා වගේ  ” 

” ඒ කිව්වේ ? ඒ මනුස්සයා කලින් නිවාසෙට ඇවිල්ල තියෙනවද ? ” 

තාදී එසේ ඇසුවේ පුදුමයෙනි.

” ආව බවක් නම් මට මතක නැහැ. ඒ වුනාට කොහේදි හරි දැකල හුරුයි වගේ. කොහෙද ඉතින් වැඩි විස්තරයක් අහන්නවත් ඒ මනුස්සයා වැඩි වෙලාවක් හිටියේ නැහැනේ. නෝනා ගැන විස්තර ඇහුවා, ටෙලිෆෝන් නම්බරේ දීලා යන්න ගියා “

නැනෝ අම්මා තේ කෝප්ප දෙක මේසය මතින් තබා මුලුතැන්ගෙයින් පිටවූ අතර තාදී තේ කෝප්පය ගැන තොලගෑවේ කල්පනා කරන අතරේය.

” ඒ මනුස්සයා කවුරු වෙන්න පුළුවන්ද ධීර ? ” 

” මට හිතාගන්න බෑ තාදී. ඒ මනුස්සයාට කතා කරලා හරි හම්බ වෙලා හරිම තමයි දැනගන්න වෙන්නේ කවුද , මොකටද ඔයාව හොයන්නේ කියලා “

නැනෝ අම්මා හතරට නැවූ කුඩා කඩදාසියක් ගෙනවිත් තාදී අතට දුන්නාය. තාදී එය දිගහැර බැලූ අතර එහි වූයේ පැහැදිලි සහ ලස්සන අත් අකුරෙන් ලියන ලද දුරකථන අංකයකි. අනතුරුව ධීර ද එය අතට ගෙන බැලුවේය.

” කෝල් කරලම බලමු තාදී ” 

තාදී දුරකථනය අතට ගත්තාය. එහෙත් ධීර එය වලක්වා ඔහුගේ දුරකථනය ගෙන තාදී අතට දුන්නේය.

” මොන නඩුවක්ද දන්නෑනේ. මගේ එකෙන්ම ගන්න ” 

තාදී ධීර ගේ දුරකථනය අතට ගත්තේ වෙව්ලන දෑතිනි. මෙය කුමන සිදුවීම් පෙළක ආරම්භයක් දැයි සිතමින් තාදී කඩදාසි කැබැල්ලෙහි වූ දුරකථන අංකය දුරකථනයෙහි සටහන් කර එය ඇමතුවාය. ධීර එය ඔහුටත් ඇසෙන සේ ක්‍රියාත්මක කර අනෙක් පසින් දුරකථනය නාද වන හඬ අසා සිටියේය.

” හෙලෝ ” 

බලාපොරොත්තු වූ පරිදිම දුරකථනයට පිළිතුරු දුන්නේ කාන්තාවකි. තාදී තප්පර කිහිපයක් නිහඬව සිටියාය.

” හෙලෝ ” 

” ඔව්.. කවුද මේ ? ” 

කාන්තාව ඉතා වැදගත් ලෙස විමසූ අතර තාදී දෙගිඩියාවෙන් තවත් තත්පර කිහිපයක් ගත කළාය.

” හෙලෝ ? ” 

තාදී නිහඬ බැවින් කාන්තාව නැවතත් කතා කළ අතර තාදී ආයාසයෙන් හඬ අවදි කළාය.

” හෙලෝ.මේ. මම කතා කරන්නේ ” 

තාදී කෙදිනකවත් නැති ලෙස තැති ගෙන උන්නාය. නැවතත් කතා කරන ලෙස ධීර ඉඟියකින් කී අතර තාදී කතා කරන්නට සූදානම් වූවාය. 

” මේ තාදී ද ? ” 

තාදී කතා කරන්නට සූදානම් වන විටම දුරකථනයේ අනෙක් පස උන් කාන්තාව හඬ අවදි කළ අතර තාදී පුදුමයෙන් ධීර දෙස බැලුවාය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here