තාදී – 53

0
2383

වසන්ත අවසන් හුස්ම හෙළා තිබුණේ රාත්‍රී  නින්දේදීමය. එය හෘදයාබාධයක් නිසා සිදු වූවක් යැයි වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබුණි. තම සැමියාගේ වියෝව දරා ගත නොහැකිව ජයමිණි නොනවත්වාම හඬා වැටුනාය. තිස් වසරකට අධික විවාහ ජීවිතයේ කිසිම දිනයක තමාගේ කීමකට එකඟ නොවුණු , තීරණයක් ගනිද්දී පවා තමාගෙන් විමසීමක් හෝ නොකළ , තමා සිටින්නේ දුකෙන්දැයි සතුටෙන්දැයි පවා නොවිමසූ තම සැමියාගේ හදිසි මරණය ජයමිණි ව බොහෝ සේ කම්පාවට පත් කර තිබුණි.

ධීර උන්නේ හැඟීම් විරහිතවය. තම පියා සමග අවසාන දින කිහිපයේදී හිත හොඳින් සිටීමට නොහැකි වීම ගැන ධීර හිත යටින් තැවුණේය. එහෙත් තමා පෙනී සිටියේ සාධාරණ දේ උදෙසා යැයි සිතමින් ධීර හිත හදා ගන්නට උත්සාහ දැරුවේය. 

පවුලේ එකම දරුවා වශයෙන් දැන් තමා පිට විශාල වගකීමක් ඇත. ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙන යාම සහ විශේෂයෙන්ම තම මව රැක බලා ගැනීම දැන් සම්පූර්ණයෙන්ම තමා සතු වගකීමක් බව සිතමින් ධීර වසන්තගේ අවසන් කටයුතු සූදානම් කරන්නට පටන් ගත්තේය. 

වසන්තගේ වියෝව සැලවීමෙන් පසුව ව්‍යාපාර ලෝකයේ බොහෝ දෙනා නිවසට පැමිණීමට පටන් ගත් අතර සියල්ලටම පෙර පැමිණියේ රූපසිංහ පවුලය. රූපසිංහ වසන්ත ගේ හදිසි මරණය පිළිබඳව දැන ගත්තේ විවාහයේ වැඩ කටයුත්තක් සඳහා වසන්තගේ දුරකථනයට ඇමතුමක් ගත් අවස්ථාවේදීය.

වසන්ත ගේ දේහය නිවසට ගෙන ඒමට පෙර ජයමිණි සුදු පැහැ සාරියකින් සැරසුණාය. ඇය උන්නේ හඬා වැලපී අවසානයේ හෙම්බත් වී ගෙනය. මතක ඇති කාලයක පටන් තමා මේ නිවසේ ජීවත් වූයේ වසන්තට බියෙනි. විවාහයෙන් පසුව කිසිම දිනයක තම ජීවිතය පිළිබඳව තීරණයක් ස්වාධීනව ගැනීමට වසන්ත තමාට ඉඩ තැබුවේ නැත. තමාගේ සියලුම අවශ්‍යතාවයන් සඳහා කිසිදු ලෝභකමකින් තොරව මුදල් වියදම් කළද විවාහ ජීවිතය තුළ තමා සිටින්නේ සතුටින් දැයි වසන්ත කිසි දිනෙක විමසුවේ නැත. ඒ සියල්ල එසේ සිදු වද්දීත් තමා උපේක්ෂාවෙන් දරා හිඳින්නට පුරුදු වූවා මිස කිසි දිනයක වසන්ත සමග ගැටුම් ඇති කර ගන්නට ගියේද නැත. තමා ඇත්තටම වසන්තට යහපත් බිරිඳක් වූවාදැයි ජයමිණි කල්පනා කළේ හිස පීරන අතරේය.

සුදු කමිසයකින් සහ සුදු කලිසමකින් සැරසුණු ධීර ජයමිණි සොයා කාමරයට ආවේ ඒ අතරතුරේ අතරතුරේදීය.

” අම්මා ” 

ධීර ජයමිණි ලඟට ආවේය. ඔහු ජයමිණි ගේ මුහුණ දුටුවේ කන්නාඩියෙනි. එය කවරදාකවත් නොදුටු තරමට මැලවී ගොසිණි. කඳුළු ගලා ගිය සලකුණු කම්මුල්වල තවමත් ඇත. ධීර ට ජයමිණි පිළිබඳව දැනුනේ විශාල දුකකි. ජීවිත කාලය පුරාවටම ඉවසා දරා හිඳියා මිස විවාහ ජීවිතය තුළ කවරදාකවත් ඇය සතුටින් නොඉන්නට ඇත. 

” අම්ම තනිවුනා කියලා හිතන්න එපා. මං කවදාවත් අම්මට එහෙම වෙන්න දෙන්නේ නෑ මං ඉන්නකං ” 

” නොකිව්වට මං හැමදාම හිටියේ තනි වෙලා තමයි පුතා. වෙනසකට තිබුණේ ඔයාගේ තාත්තා ජීවත් වෙලා හිටපු එක. දැන් ඉතින් එයා නැහැ.  ” 

ධීර ජයමිණි ව තදින් තුරුල් කර ගත්තේය. ජයමිණි ගේ කඳුළු අලුත් විය. අදින් පසුව මේ කාමරයේ තමා ඇත්තටම තනි වනු ඇත. කෑම මේසයේ තමාගේ එහා පසින් වාඩි වන්නට, යහනේ තමාගේ දකුණු පසින් නිදන්නට, කුඩා දෙයටත් තමාට කෑගසන්නට හෝ චෝදනා කරන්නට මින් මතුවට වසන්ත නොඑනු ඇත. කොටින්ම මේ නිවස පුරා තමාගේ ආධිපත්‍ය පතුරවා ගෙන සිටි ඒ මහා පුරුෂයාගේ හඬ මින් මතුවට මේ නිවස තුළ ඇසෙන්නේද නැත.

සවස හය පමණ වන විට වසන්ත ගේ දේහය නිවසට රැගෙන ආ අතර ඉන්පසුව සෑම මොහොතකම මිෂෙල් ධීර ගේ පසු පසින්ම හිඳීමේ උත්සාහයක නියැලුනාය. ධීර සියල්ල ඉතා හොඳින් සැලසුම් කර තිබුණු අතර නෑදෑයන් හිතවතුන් මෙන්ම වසන්තගේ ව්‍යාපාරික මිතුරන්ද නිවසට පැමිණියහ. 

තාදී ෂෙරීන් සමග අවමංගල්‍යයට සහභාගි වීමට පැමිණියේ රාත්‍රී අටට පමණය. තාදී පැමිණෙනවා දුටු විට මිෂෙල් ගේ කෝපය ඇවිළුණු අතර ඇය එය යටපත් කරගෙන හිටියේ ආයාසයෙනි.

” හහ්. ලකුණු දාගන්න වෙන්න ඇති එනවා ඇත්තේ. බලමුකො මෙයා මොකාටද එන්න හදන්නේ කියලා ” 

මිෂෙල් ගේ මුහුණ කෝපයෙන් අව පැහැ ගැන්වී තිබුණි. ඇය කුමක් හෝ කලබලයක් ඇති කරාවි යැයි රූපසිංහ ඇත්තටම බිය වූයේය.

” මිෂෙල් මේ , මේක මළගෙයක්. ඒක මතක තියාගෙන හරියට හැසිරෙනවා හරිද ? “

රූපසිංහ මිෂෙල් දෙසට හැරී මිමිණුවේ මිෂෙල් කෝපයෙන් පුපුරමින් සිටිනවා දුටු නිසාය. තාදී ෂෙරීන් සමග වසන්ත ගේ දේහයට ගෞරව දක්වා දේහයට මදක් නුදුරින් අසුන් ගත්තාය. ධීර ඇය අසලට ගොස් අසුන් ගෙන ඔවුන් සමග කතාබස් කරන ආකාරය මිෂෙල්  බලා සිටියේ කෝපයෙන් පුපුරු ගසන දෑස් වලිනි.

” මමත් ගිහිල්ලා ධීර ලගින් වාඩි වෙන්නද අම්මා ? ” 

මිෂෙල් ඇසුවේ රමණි ගෙනි. ධීර සහ තාදී සමීපව සිටිනවා බලා සිටීමට නොහැකි කමක් මිෂෙල්ට දැනුණු අතර ඇයට වුවමනා වූයේ ධීර පිළිබඳව තමාට අයිතියක් ඇති බව පෙන්වීමටය.

” නිකන් ලැජ්ජ වෙන්නෙ නැතුව මෙන්න මෙතනට වෙලා ඉන්න මිෂෙල්. ඔයා එතනට ගියා කියලා ධීර වත් ඒ කෙල්ල වත් ඔයාව ගණන් ගන්නේ නැහැ. ඔයා දැක්කෙ නෑ වගේ පාඩුවෙ ඉන්න.ඒ මිනිස්සු ටිකක් ඉඳලා යන්න යයිනේ ” 

රමණී එසේ කීවද එය පිළිගැනීමට මිෂෙල් සූදානම් වූයේ නැත. එහෙත් මිෂෙල්ට ඒ මොහොතේ කළ හැකි යමක් වූයේද නැත. එම නිසා මිෂෙල් හුන් තැනින් නැගිට ජයමිණි සොයා ආවාය. ජයමිණි උන්නේ මිදුලෙහි කිසිවෙකු සමඟ කතාවකය. එය අවසාන වනතුරු මිෂෙල් බලා සිටියාය. අනතුරුව ඉතා අහිංසක ලෙස ජයමිණි ට කිට්ටු වූවාය.

” තේ එකක්වත් බොමුද ආන්ටි ? මුකුත් කෑවෙත් නෑ නේද ? ” 

” ඕන නෑ දරුවෝ. මං පස්සේ බොන්නම් ” 

” ධීර කොහෙද ? ” 

” ඇතුළේ ” 

ජයමිණි මිෂෙල් පිළිබඳව ඒ තරම් තැකීමක් කලේ නැත. අනෙක් අතට එසේ කරන්නට තරම් හොඳ මානසිකත්වයක් ඒ වන විට ජයමිණි ට තිබුණේද නැත. ජයමිණි නිවසට ඇතුල් වීමට යන මොහොතේ මිෂෙල්ද ඒ පසු පසින් ගියාය.

නිවස තුළ අසුන් ගෙන සිටින තාදී දුටු විට ජයමිණි ගේ කඳුළු අලුත් වූ අතර තාදී නැගිට ජයමිණි ව වැළඳ ගත්තාය. රමණී සිටි තැනට ගොස් වාඩිවූ මිෂෙල් ඒ දසුන දෙස බලා සිටියේ පුපුරමිනි.

” මාව දැක්කමවත් ජයමිණි ආන්ටි ඔහොම ඇඬුවෙත් නෑ බදා ගත්තෙත් නැහැ. හහ්. මට පේන්නේ මේවා ඔක්කොම අම්මගේයි පුතාගේයි ප්ලෑන්ද කොහෙද ” 

” ඔය ඔක්කොම බලාගන්න පුලුවන් මේ වැඩ ටික ඉවර උනාට පස්සේ. දැන් පොඩ්ඩක් කට වහගෙන ඉන්න මිෂෙල් ” 

” එහෙම කොහොමද කට වහගෙන ඉන්නේ අම්මා ? හරි වැඩක් නේ. මොකද මං ඒගොල්ලන්ට බයේද ? “

” බයේ හරි නැතුව හරි මේ වෙලාවේ මෝඩ ගෑනියෙක් වගේ හැසිරෙන්න හදන්න එපා.ඔයා හදන්නේ සේරම අවුල් කරගන්නද ?  “

මිෂෙල් නිහඬ වූවාය. තාදීට වැඩිය මේ නිවසෙහි රැඳෙන්නට අයිතියක් තමාට ඇත.එම නිසා වසන්ත ගේ අවසන් කටයුතු අවසන් වූ වහාම මේ විවාහය ඉක්මන් කරන්නට තම පියාට කෙසේ හෝ පැවසිය යුතු යැයි මිෂෙල් තදින්ම සිතා ගත්තාය. මේ විවාහයට වසන්ත කැමැත්ත පළකර තිබූ නිසා කෙසේ හෝ දැන් එයට එකඟ වනවා හැර වෙන යමක් කරන්නට ධීර නොහැකි වනු ඇත.

තාදී යන්නට සූදානම් වූයේ පැයකට පමණ පසුවය. ඒ කාලය තුළදී ඇය බැල්මකින්වත් මිෂෙල් දෙස නොබලා ඉන්නට වග බලා ගත් අතර මිෂෙල් පවුලේ සාමාජිකයකු මෙන් හැසිරෙමින් ධීර සහ ජයමිණි පසුපස වැටෙමින් ඉතා විශිෂ්ට රංගනයක යෙදෙමින් උන්නාය.

” ඔයා ආව එකම ලොකු දෙයක් පුතේ. ධීර ගේ තාත්තා අතින් ඔයාට වෙච්ච වැරදි වලට මං සමාව ඉල්ලනවා තාදී ” 

ජයමිණි දෑස් වල කඳුළු පුරවාගෙන තාදීගේ දෑත් තදකර අල්ලා ගත්තාය.

” අනේ. ඒවා කිසි දෙයක් මං හිතේ තියාගෙන හිටියේ නැහැ. තාත්තා කෙනෙක් විදිහට එයා සාධාරණයි. අනික , මගේ අම්මා වගේම දැන් ඔයාත් මගේ අම්මා. ඔයා කවදාවත් මගෙන් සමාව ඉල්ලන්න එපා ” 

ජයමිණි හඬමින් ආයෙම වතාවක් තාදීව වැළඳ ගත්තාය. ඇයට තාදී කෙරෙහි දැනුනේ අප්‍රමාණ සෙනෙහසකි. මෙවැනි තරුණියක් ධීර හා විවාහ වනවා නම් තමාට වුවද නිදහසේ දෑස් පියා ගත හැක.

මිෂෙල් මේ සියල්ල දුර සිට බලා උන්නාය. පලිගැනීමේ සිතුවිලි බොහෝමයක් සිත තුළ නැගෙද්දී ඇය ආයාසයෙන් තමාව පාලනය කර ගනිමින් උන්නාය.

” බලමුකෝ මළ ගේ ඉවර උනාට පස්සේ ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here