ගජසිංහ නිවසේ පැය කිහිපයක් රැඳුණු රූපසිංහ පවුල නැවත නිවසට ආවේ මධ්‍යම රාත්‍රිය ආසන්න වීය. ඒ කාලය පුරාවටම මිෂෙල් තැන් තැන්වල මුළුගැන්වී සිටි අතර කිසිවෙකු සමග වැඩි කතා බහට ගියේද නැත.විශේෂයෙන්ම ඇය ධීර ව හිතා මතාම මඟ හරින ආකාරය රූපසිංහ යුවල කිහිප වරක්ම දුටු අතර අනතුරුව ඔවුන් දෙදෙනා මිෂෙල්ගේ මේ අමුතු හැසිරීම වඩා විමසිල්ලෙන් නිරීක්ෂණය කලහ. නමුත් දෙදෙනාගෙන් එක් අයෙක් හෝ නිවසට පැමිණෙන තුරුම ඒ පිළිබඳව කිසිවක් මිෂෙල් ගෙන් නොවිමසා සිටින්නට වග බලා ගත්හ. ඒ, මිෂෙල්ගේ මේ හැසිරීමට හේතුව අනිවාර්යයෙන්ම ධීර සම්බන්ධ දෙයක් යැයි ඔවුන් දෙදෙනාම අනුමාන කළ නිසාය.
රූපසිංහ බැල්කනියට වී මිදුල දෙස බලා ගෙන කල්පනා කරමින් හුන් අතර රමණී උන්නේ නාන කාමරයේ ය. රූපසිංහට දැනුනේ හිස් බවකි. තමා සියල්ල හරි හම්බ කලේ තම එකම දියණිය වූ මිෂෙල් වෙනුවෙනි. විශාල වියදමක් දරා ඇයව පිටරට අධ්‍යාපනය සඳහා යැවුවේද ඇගේ අනාගතය ශක්තිමත් කිරීම සඳහාය. ඇය හොඳින් අධ්‍යාපන කටයුතු අවසන් කළ නමුත් ඒ වන විට ජීවිතයේ බොහෝ තැන් වරද්දා ගෙන උන්නාය. ඒවා හරි ගැස්සවිය හැකි ඒවා නොවේ.
තමාගේ ඉපැරණි මිත්‍රයකු වූ වසන්ත තම එකම පුතු පිළිබඳව තමා සමඟින් වර්ණනා කල දිනයක තමා වසන්ත වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේද මිෂෙල් ගේ ජීවිතය එකලාසයක් කිරීමේ අරමුණෙනි. ඒ වසන්තටත් වඩා ධනස්කන්ධයක් තමා සතු වන නිසා වසන්ත අනිවාර්යෙන්ම එම යෝජනාව පිළිගන්නා බව දැන දැනමය. බාධක මධ්‍යයේ වුවද ඒ විවාහය කෙරෙන තැනට වැඩ සිදු වෙමින් පවතිද්දී වසන්ත අකාලයේ ජීවිතය හැර යාම අවාසනාවක් ගෙන දුන්නේ ගජසිංහ පවුලට පමණක් නොවේ.
රමණී නාන කාමරයේ සිට පැමිණි අතර රූපසිංහ බැල්කනියේ සිටින බව ඇය දුටුවේ තිර රෙදි අතරින්ය. ඔහු සිටින්නේ හිත නොහොඳින් බව වටහා ගත් රමණී හෙමින් සීරුවේ බැල්කනිය වෙත ගියාය.
” රූපේ ”
රූපසිංහ බැල්කනියේ වූ පුටුවකට බර වූ අතර ඔහුගේ මුවින් පිටවූයේ ශෝකී සුසුමකි.
” දැන් ඉතින් වසන්තත් නැති එකේ ධීර මේ කසාදෙට කොහොමත් කැමති වෙන එකක් නෑ රමණී. අපි බොරුවට ඕක පස්සේ යන එකේ තේරුමක් නෑ. නිකන් හති වැටෙනවා විතරයි. අනික ධීර ඒ යාළු වෙලා ඉන්න ගෑනු ළමය ගෙත් වරදක් මට පේන්නේ නැහැ. ඔයා හිතනවද ඒ වගේ ළමයෙක් අත ඇරලා ධීර එයාගේ තාත්තා අපිට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරයි කියලා? “
” මාත් ඔයාට ඕක කියන්න හිටියේ රූපේ. අනිත් එක මිෂෙල් පහුගිය ටිකේ කරපු දේවල් වල හැටියට ධීර කොහොමද හිත හදාගෙන මෙයාව කසාද බඳින්නේ ? ”
” අපි අපේ ළමයට මොනතරම් සැප සම්පත් දුන්නත් හරි වැරැද්ද කියලා දීලා නෑ කියලා මට හිතෙනවා රමණි. මේ ළමයා මේ වෙනකම්ම ඉක්මන් වෙලා තීරණ අරගෙන වරද්ද ගත්තා මිසක් කර ගත්ත හොඳක් නෑනේ ”
රූපසිංහ කීවේ කම්පාවෙනි. තම එකම දියණිය ගේ ජීවිතය තමාගේ සහ රමණි ගේ වරදින් විනාශ වී ඇතැයි හැඟීමක් ඔහු තුළ විය.
” නොකිව්වට ඇත්තටම මටත් ඒක හිතුනා. අපි එයාට නිදහස දුන්නා වැඩියි. එහේ ඉගෙන ගනිද්දී අඩුම ගානේ අපි එයාට රස්සාවක්වත් කරන්න ඉඩ නොදී ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි යැව්වා. ජීවිතේ කිසිම බරක් පතලක් නැතුවනේ එයා ඉපදුන දවසෙ ඉඳන් හැදුනේ .හැබැයි දැන් ඉතින් අපි පසුතැවුණා කියලා වැඩක් නෑනෙ රූපෙ. වෙන්න ඕන හරිය වෙලා තියෙන එකේ අපි බලමු ඉස්සරහට මොනවද කරන්න පුළුවන් කියලා. මිෂෙල් ට තව වයස තියෙනවනේ කොහොමත්. අපි බලලා හොඳ දෙයක් කරලා දෙමු ”
රමණී එසේ කීවත් රූපසිංහ ගේ හිතට සැනසීමක් දැනුනේ නැත. පියෙකු වශයෙන් තමා අසාර්ථක යැයි වරදකාරී හැඟීමක් ඔහුට දැනෙමින් තිබුණි.
” ධීර ඔය යාළු වෙලා ඉන්න ගෑණු ළමය ගෙ තියෙන ගතිගුණ වලින් හතරෙන් පංගුවක්වත් අපේ එක්කෙනා ළඟ නැහැ. මං එයාගේ තාත්තා වුණත් ඇත්තම කියන්න එපැයි රමණී. නැත්තං ඉතින් ඒ ළමයා ඇවිල්ලා මෙයාව එදා බේර ගනියිද? මෙයා අර කොල්ලෝ ටිකක් යවලා ඒ ළමයාගේ ෂොප් එකට කරපු හරිය මට පොලිසියෙන් පෙන්නුවා. ඉතිං එහෙම එකේ ඒ ළමයාව අත ඇරලා මෙයාව කසාද බඳින්න කැමති වෙන්න ධීර ට කිසිම හේතුවක් නෑනේ ”
මිෂෙල් උන්නේද නිදි වර්ජිතවය. ඇඳේ වැතිරී දෑස් පියාගෙන බොහෝ වේලාවක් උන්නද නින්ද මිෂෙල් කරා පැමිණියේ නැත. ජීවිතය යහපත් ආකාරයෙන් ගත කිරීමට අවැසි සියලු සැප සම්පත් තිබියදී තමා ගත කළ සෙල්ලක්කාර ජීවිතය නිසා තමාට අත් වී ඇති ඉරණම පිළිබඳව මිෂෙල් කල්පනා කලාය. කෙටි කාලීන සතුටු මොහොතවල් ගත කිරීම සඳහා දීර්ඝ කාලීනව අත්විඳීමට තිබූ සතුට අමතක කිරීම පිළිබඳව මිෂෙල් හදවතින් තැවුනාය. කැනඩාවේදී ගත කළ වගකීමකින් තොර සෙල්ලක්කාර ජීවිතය සිහිවන විට ඒ මොහොතේදී මිෂෙල්ට තමා පිළිබඳවම දැනුනේ අපුලකි. පිරිමියෙකු බැඳෙන්නේ කවරාකාරයේ ගතිගුණ ඇති ගැහැණියකට දැයි මිෂෙල් බිඳෙන් බිඳ තේරුම් ගනිමින් උන්නාය.
පියා සිටි දෑස් පියන් අතරින් නොදැනීම කඳුළු ගිලිහෙන විට ඒවාට ඔහේ ගලා යන්නට මිෂෙල් ඉඩ දුන්නාය. ඇය කල්පනා කළේ තාදී පිළිබඳවය. ඇය අනාථ නිවාසයක හැදුනු වැඩුණු තැනැත්තියක් බව වසන්ත කීවේ අවසන් වරට තම නිවසට පැමිණි දිනයේය. එසේ හැදී වැඩුණු තමා වැනිම තරුණියක් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර අද සිටින තත්ත්වය පිළිබඳව මිෂෙල් පුදුම වූයේ එදිනමය. එහෙත් මේ තරම් වත් පොහොසත්කම් ඇති පවුල් පසුබිමක ඉපදුනු තමාවත් අද වන විට තමාගේම කියා එකදු රුපියලක් හෝ හරි හම්බ කර නැත.අනෙක් අතට තාදී යනු බොහෝ පරාර්ථකාමී ගතිගුණ ඇති තරුණියකි. තමා ඇගේ ව්‍යාපාරයට අලාභ හානි සිදුකර තිබියදීත් තමාව පොලිස් අත්අඩංගුවෙන් මුදවා ගැනීමට තාදී දෙවරක් සිතුවේ නැත. ඒ අතින් ඇත්ත වශයෙන්ම ධීර විවාහ කර ගත යුත්තේ තාදී වැන්නියක් වය. ඉතින් තවදුරටත් තමා මිරිඟුවක් පසුපස දිව ගොස් වෙහෙසට පත් වීමෙන් පලක් නැත.
නින්ද තමා කරා පැමිණියේ කොයි මොහොතේදීදැයි අදහසක් මිෂෙල් තුල තිබුණේ නැත. නමුත් ඇය අවදි වූයේ වෙනදාටත් වඩා කලිනි. පෙර දින රැයේ තිබූ හිස් හැඟීම ඒ වන විටත් හදවතින් පහව ගොස් තිබුණේ නැත. මිෂෙල් නාන කාමරයට ගොස් පැයක් පමණ තිස්සේ නා ගත්තාය. අනතුරුව තවත් පැය භාගයක් පමණ ගෙන සූදානම් වූවාය.
මිෂෙල් තවමත් අවදි වී නැතැයි සිතූ රමණි පුදුම වූයේ ඇය පිටතට යාමටද සූදානම් වී සාලය පසු කර ගෙන යනවා දකින විටය. උදෑසන කෑම මේසය සකස් කරමින් සිටි රමණී අත තිබූ පිඟන් කිහිපය මේසය මතින් තබා දිව ගියේ කල්පනාබරව දොර වෙත ඇවිද යන මිෂෙල් දෙසටය.
” මිෂෙල් ”
මිෂෙල් තිගැස්සී බැලුවේ රමණි ගේ හඬටය. මිෂල්ගේ මුහුණේ මැලවුණු ගතිය රමණීගේ හිතට දුකක් එකතු කලද එයට හේතුව ඒ වන විටත් දන්නා නිසා ඇය ඒ ගැන කිසිවක් විමසන්නට ගියේ නැත.
” කොහෙද මේ උදේම යන්නේ? ”
” මං පොඩ්ඩක් එළියට යනවා අම්මා “
” කොහෙද? ”
රමණීගේ ප්රශ්නය හමුවේ මිෂෙල් තප්පර කිහිපයක් නිහඬව උන්නාය.
” මං යාළුවෙක් හම්බ වෙන්න යනවා. ගිහින් ඉක්මනට එනවා ”
” කොහෙද යන්නේ කියලා යන්න.මං තාත්තට උත්තර දෙන්න එපැයි ”
” මං යන්නේ නුගේගොඩට. පැයකින් විතර එනවා ”
රමණීට කිසිවක් කියන්නට ඉඩ නොතබා මිෂෙල් පිට වූවාය. වාහනයට ගොඩ වී හිස් බැල්මකින් මොහොතක් ඉදිරිය බලා සිටි මිෂෙල් වාහනය පණ ගැන්වූවාය. රමණී දොර කොට සිට බලා සිටියේ තම එකම දියණිය ගැන කම්පාවෙනි. ඇය ඉන්නේ පසුතැවිල්ලක් මුසු හැඟීමකින් බව රමණි තේරුම් ගෙන උන්නාය.
වෙනදාට වඩා බොහෝ සෙමින් රිය පැදවූ මිෂෙල් පැය භාගයකට පමණ පසුව වාහනය නතර කළේ ” Clothez ” ඉදිරියේය.
ReplyForwardAdd reaction |