අරුමැති ආදරයක් – 13

0
2688

බාප්පාගේ නිවස දෙසින් රතිඤ්ඤා  හඬ ඇසෙන්නට වූයේ අපූර්වා උදෑසන ආහාරය ගනිමින් සිටියදීය. මඤ්ඤොක්කා තැම්බුමත්, කොච්චි සම්බෝලයත්  මතට සිහින්ව ගා ගත් පොල් ස්වල්පයක් දැමූ පියසීලී අපූර්වාට මදක් එහාට වන්නට අසුන් ගත්තේ පීරිසියත් අත තබාගෙනමය. 

“ජයටම මඟුල් කනවලු.”

“අනේ කා ගත්ත දෙන් ආච්චි අපිට මොකද.”

අපූර්වා එසේ පැවසුවාට ඕ උන්නේ කෝපයෙන්ය. තාත්තා මියැදී වසරක්වත් ගතව තිබුනේ නැත. ඔවුන් මේ හැසිරෙන්නේ කිසිවක් නොවූ ගණනටය.

ඊයේ ත්‍රී රෝද රථ නැවතුම්පොලේ දී කතා වූයේත් මේ විවාහ මංගල්‍යය ගැනය. එහෙත් අපූර්වා නිහඬව බලා සිටියා මිස ඒ  කිසිවකට පිළිතුරු දෙන්නට නොගියාය. 

සිතූ සේම සොල්දර ගෙදර ඉඩමේ අපූර්වාගේ නිවස අසල කොටස සුද්ද පවිත්‍ර කෙරුණේ නැත. ඒ කැලය එහෙමමය. එනිසාම එහි කුමක් සිදු වුවත් අපූර්වාලාට නොපෙනේ. නව යුවළ හෙට අනිද්දාම සොල්දර ගෙදරට පැමි⁣ණෙන බව බාප්පා කියා තිබුනේ හන්දියේ කඩේ මුදලාලි සමගින්ය.

“ඔව්වට තමයි කියන්නේ එක බඩ වැල කඩාගෙනත් ජන්මාන්තර වෛරක්කාරයෝ ඉපදෙනවා කියල. මගේ බඩෙන්  මේ වගේ එකෙකුට උපත දුන්නා නේද කියලා හිතන කොට මට වාවන්නේ නෑ කෙල්ලේ. උං හැදිච්ච විදිහේ වැරැද්ද ද අපි හදපු විදිහේ වැරැද්දද කියන්න මට තේරෙන්නේ නැහැ. අපි ඉස්සර හිතුවේ සහෝදරකම් නැති ජීවිත මොකටද කියලා. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මෙව්වට තමයි..”

“හැමෝම එක විදිහට හිතනවනම් මේ ලෝකෙ මෙච්චර නරක තැනක් වෙන්නෙ නෑ නේ ආච්චි…අම්ම තාම නිදිි නේද..”

“ඊයෙ රෑ කරපු සුමේ හැටියට නින්ද නොගිහින් තියේද බං..”

පෙරදා රාත්‍රියේ අම්මා කෑ ගසමින්, හඬමින්, සිනහසෙමින් පැය ගණනක් දැඟලුවාය. රාත්‍රියට බොන්නට දී තිබෙන නිදි පෙත්තටවත් ඇගේ ඒ දැඟලිල්ල නතර කළ හැකි වූයේ නැත. අපූර්වාත්,  පියසීලීත් මුළු රාත්‍රියේම උන්නේ ඇහැරගෙනය. එසේ ඔට්ටු වද්දී පිරිමින් හතර පස් දෙනකුගේ බලය ඇයට වේ. 

“හොඳ තැනක් බලලා ආපහු පෙන්නුවොත් මොකද….”

“මේ අල්ලලා ඉන්නේ ඉන්න හොඳම දොස්තරනේ  ආච්චි..වෙන තැනක් ගැන කියන්න මං දන්නෙ නැහැ. එහෙමනං කොළඹ ගෙනියන්න ඕනේ”

“දොස්තර කෙනෙක් ගැන නෙමෙයි මං කිව්වේ..”

“ශාන්ති කර්මනම් කීයක් කළාද. අන්තිමට තොවිලෙකුත් නැටුවානේ. මේ ඒවාට හරි යන ලෙඩක් නෙමෙයි ආච්චි.”

“නෑ… මං කිව්ව ඉතින් එහෙම දෙයක් දැක්කහම හිත ගැස්සෙන්නෙ නැත්තේ කාගෙද..ඔය මනුස්ස බය ලේසියෙන් ඇගෙන් යන් නෑ කියනවනේ. උඹ බලහංකෝ කාගෙන් හරි අහලා. ඒක නෙමෙයි මං මේ කල්පනා කරේ ඊයේ ඇවිත් සල්ලි දීල ගියපු නෝනලා ගැන.” 

“ඔය වගේ කාන්තා සංවිධාන වලින් ඉඳපු ගමන් කට්ටිය එනවනේ. එක එක අරමුණුවලට ඒ ගොල්ලො එනවා. ආච්චි ඒ  සල්ලි ගතපු එක හරියි කියලානම් මං කියන්නෙ නෑ. අපිට මොකටද අනුන්ගේ සල්ලි..”

“මටත් සල්ලි ගන්න වුවමනාවක් තිබුනේ නෑ කෙල්ලේ. මං එපාම කිව්වා. එයාල මේ කාන්තා සංවිධානයෙන් කරන උදව්වක් නෙමෙයි කිව්වා. අම්මට බෙහෙත් ගන්න එයාගේ පෞද්ගලික මුදලින් දෙන දෙයක් කියලා කිව්වා. මෙච්චර ලොකු ගානක් ඇති කියලා මං හිතුවේ නෑ බං..”

ලියුම් කවරය ගලවා බලද්දී පියසීලිගේ දෑස් උඩ ගියා මතකය. එහි පන්දහසේ නෝට්ටු පහක් විය. 

“ඒ උනාට ඔය සල්ලි තියලා එයාලා ආපහු ආවොත් දෙන්න. අපිට මේ වෙලා තියෙන දේවල් වල හැටියට මනුස්සයෙක් විශ්වාස කරන්න පුළුවන්ද. මං සමන් අයියට කිව්වහමත් සමන් අයියි  ඇහුවේ ෆොටෝ එහෙම ගහගෙන ගිහිල්ලද කියලා.”

“අනේ නෑ දරුවෝ. ඔන්න ඔතන ඉස්සරහින් වාඩි වුණා. මගෙන් එක එක ප්‍රශ්න ඇහුවා. මං ඒ දේවල් වලට උත්තර දුන්නා. එච්චරයි.”

“සමහර අය අපේ අසරණ ජීවිතවල ෆොටෝ ගහගෙන ගිහිල්ලා ඒවා පිටරටවල් වලට විකුණලා ලක්ෂ ගණන් සල්ලි ගන්නවා ආච්චි. ආයේ දවසක් ආවොත් ආච්චි මට කෝල් එකක් දෙන්න.”

“එවලෙත් මට උඹට කතා කරන්න හිතුනා. බලමුකෝ..ඔහොම උදව් කරන්නම් කියලා ගියපු කිසි කෙනෙක් ආයේ ආවෙ නැහැනේ.

තව  මයිඤොඤ්කා කෑල්ලක් බෙදන්නං. උඹත්  දැන් හිටියායින් බාගයයි.”

පියසීලි නැගී සිටියේ එසේ පවසමින්ය. පන්දහසේ නෝට්ටු දැමූ මුදල් කවරය ඕ පෙරදා රාත්‍රියේ අපූර්වාට  දුන්නත් ඇය එය නොගත්තාය. අනුන්ගේ කියා රුපියලක්වත් අපූර්වාට අවැසි වූයේ නැත. ලාබයක්, වාසියක්, අරමුණක් නොමැතිව මිනිසුන් අනෙක් අය වෙනුවෙන් උදව් කරන්නේ කලාතුරකින්ය. අපූර්වා දැන් ලෝකයට බියය. ආච්චීත්,  අම්මාත් ආරක්ෂා කිරීමේ යුතුකම වගකීමක්ව තමා වෙත පැවරී ඇතැයි ඈ විශ්වාස කළාය. මේ ජීවිතය හැමදාමත් එකම අයුරකින් ගත කළ නොහැකි බව ඈ දනී. එහෙත් කළ යුතු යමක් ගැන සිතන්නට තරම් නිරවුල් මනසක් තවමත් අපූර්වා සතු නොවූවාය. 

                                  ****************

උදෑසන ආහාරය සඳහා හාල් පිටි ඉඳි ආප්පත්, පරිප්පුත් පොල් සම්බෝලයකුත්, මාළු ඇඹුල් තියලකුත් සැකසූ නන්දනී ඒවා පිළිවෙලකට බෙදා මුළුතැන්ගෙයිම  වූ කුඩා මේසය මතින් තැබුවාය. තමාරා පහත මාලයට පැමිණෙන්නේ යුගාෂ් සූදානම් වද්දීය. නන්දනී විසින් බෙදා සකස් කරන බාජන බොහෝවිට කෑම මේසයට ගෙනි යන්නේ තමාරාය.  

“කෑම බෙදුවද නන්දනී….”

එසේ අසාගෙන තමාරා පැමිණෙද්දී නන්දනී වූයේ මුළුතැන්ගෙය අස් කරමින්ය.

“ඔව් ලොකු නෝනා..ලොකු නෝනා අපි අර ඊයේ ගියපු ගමන ගැන මහත්තයා එක්ක කිව්වද.”

“ඊයේ මහත්තයා ආවෙ රෑ වෙලා⁣නේ නන්දනී. මොකක් හරි ලොකු නඩුවකට ලෑස්ති වෙනවා. මහ රෑත් පොත් වගයක් පෙරලගෙන ඒවා කියවනවා මං දැක්කා. උඩින් පල්ලෙන් කිව්වට ලොකු දෙයක් කියන්න හම්බවුණේ නැහැ.”

“ඒ මිනිස්සු හරි පව් නේද ලොකු නෝනා. මිනිස්සු පොලිසි උසාවිවලට එන්නේ තමන්ට වෙච්ච අසාධාරණයට සාධාරණයක් බලාපොරොත්තුවෙන්. එහෙම එකේ…..”

“නඩුවක දෙපාර්ශවයක් ඉන්නවනේ. සල්ලි වලට බල පුළුවන්කාරකම් වලට හැමදේම යටයි නන්දනී. පුෂ්පානන්දල වගේ මිනිස්සු තමන්ට උපතින් ලැබුණු, පස්සේ කාලෙක වැඩි දියුණු කරගත්තු  ඒ හැකියාව වැරදි විදිහට ප්‍රයෝජනයට ගන්නවා. නන්දනී දන්නවද මහත්තයාට තියෙන සමහර ඉඩකඩම්, සල්ලි ගැන මහත්තයවත් දන්නේ නැතුව ඇති.”

“එච්චර දේවල් තියෙද්දි ඇයි නෝනා තවත් අනුන්ට කරදර කරන්නේ. එච්චර සල්ලි මොකටද.” 

“ඒක එයාලගෙ රස්සාව. රස්සාවෙන් පුළුවන් තරම් උපයා ගන්නවා මිසක් ආපහු හැරිලා හරි වැරැද්ද කොතනද කියලා බලන්න ඒගොල්ලන්ට වුවමනාවක් නෑ. මං ඔය කියපු සමහර ඉඩකඩම් මහත්තයා සල්ලි දීලා ගතපුවා නෙමෙයි. සමහර ඉඩම් තියෙනවා. ඒවා කොච්චර වටිනවද කියලා දැනගත්තට පස්සේ මහත්තයා ඉස්සර ඒවායින් කෙලින්ම කොටසක් ඉල්ලනවා..නඩු කියන්න එන අයගෙන්.”

“අම්මා කෑම බෙදුවද……”

යුගාෂ් පහත මාලයට පැමිණියේ එසේ අසාගෙනය. තමාරා වහ වහා මුළුතැන් ගෙයි මේසය මත වූ කෑම බඳුන් කෑම කාමරයේ  මේසය මතින් තැබුවාය. තම කඩවසම් පුතු දෙස බලා සිටිද්දී තමාරාගේ සිතෙහි ඇති වන්නේ ලෝබකමකි. මින් වසර කිහිපයකට ඉහතදී ගත් ඒ බැරෑරුම් තීරණය ගැන පසුතැවීමක් අදටත් තමාරාගේ සිතෙහි නොවේ. එසේ නොවීනම් තමාට යුගාෂ්  වැනි සංවේදී සිතක් හිමි දරුවෙකු මෙලොවට දායාද කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. 

“අම්මා….මට ඊයේ ගිය ගමන ගැන හරියට විස්තර අහන්නත් බැරි උනානේ. ඇත්තටම ඒ මිනිස්සු ඒ තරම් අසරණ වෙලාද  අම්මා.”

තරුණයා  එසේ ඇසුවේ ඉඳිආප්ප කිහිපයකුත් ඒ මත පොල් සම්බෝලත් පරිප්පු හොඳින් බෙදා ගන්නා අතරේය. මාලු ඇඹුල්තියල් දීසිය ඔහු වෙත ලංකලේ තමාරාමය.

“මට ඒ අසරණකම ගැන කියන්න වචන නෑ පුතේ. මිනිස්සු ඉන්නවා පුතේ උපතින්ම අසරණකම් දරාගෙන ඉපදුණු අය. එහෙම නැත්තං තමන්ගේ දුප්පත්කම, අසරණකම ආයුධයක් කරගෙන යමක් උපය ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය. මේ මිනිස්සු ඒ දෙපාර්ශවයටම අයිති වෙන්නේ නෑ පුතේ.”

යුගාෂ්ට සිහිවූයේ අපූර්වාය. එවන් සුන්දර යුවතියකට මුදල් උපයන්නට ඕනෑ තරම් මාර්ග තිබේ. තමාවත් රැක ගනිමින් අසනීප අම්මාත්, වියපත් ආච්චීත් රකින්නට ඈ දරන වෙහෙස සුළුපටු එකක් නොවන බව විශ්වාසය. 

“මගේ අතේ වෙලාවේ තිබුණේ විසිපන්දාහයි පුතේ,  මං ඒක දීලා ආවා. ඒත් ඒ අම්මා ඒ සල්ලි ගන්න කැමති වුනේම නැහැ. මොනවද පුතා අපි මේ මිනිස්සු වෙනුවෙන් කරන්නේ.”

“අපිට බැරි වෙයිද අම්මා ඒ අම්මව සනීප කරගන්න.”

“පුතේ එයාලා ඩොක්ටර් පලිපාලනව තමයි අල්ලලා ඉන්නේ. මං දන්න හැටියට මේ පළාතේ ඊට වඩා හොඳ ඩොක්ටර් කෙනෙක් නැහැ. ඒ නිසාම මට හිතෙනවා ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් අපිට නෑ කියල. හොඳම ප්‍රතිකාර සිද්ධ වෙනවා ඇති. අපිට පුළුවන් ඩොක්ටර් පලිපාලන එක්ක ඒ ගැන කතා කරන්න.”

“අපි ඒ  ගේ හදලා දෙමු අම්මා..”

“ඔව් ඒක හොඳයි.. මටත් එහෙම හිතුනා. මීට වඩා ටිකක් පහසුකම් තියෙන විදිහට.ලිවින් ඒ්රියා එකටයි රූම් එකටයි ඔක්කෝටම තියෙන්නේ එක කොටසයි නේ.” 

“අම්මා සුදුසු විදිහකට බලලා පුලුවන් දෙයක් කරන්න. ඒවට අවශ්‍ය සල්ලි මම දෙන්නම්. අම්මා ඒ අතරෙම මට ඒ ගර්ල් වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න ඕනේ. එයා ජොබ් එකකට යන්නනම් කැමති නැහැ.”

“කැමති නෑ නෙමෙයි. ඔය ඉන්සිඩන්ට් එක වෙද්දි පුතා ඒ ළමයා ඉගෙන ගන්න ගමන් ඉඳලා තියෙන්නේ. ඒ අතරෙම ඉන්ටර්නැෂනල් නර්සරි එකක උගන්නන ගමන් ඉදලා තියෙන්නේ”

“එයාට ස්ටඩිස් ආපහු කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් හදන්න තිබුනනම් ලොකු දෙයක්.”

“ඒ ළමයා ජොබ් එකකට නොයන්නේ අම්ම නිසා පුතේ. අනික හිත එක අරමුණක තියාගෙන වැඩ කරන්නත් අපහසු ඇතිනේ. ඒ ආච්චි කියද්දි  තාත්තා කජු ගහේ එල්ලිලා ඉඳපු හැටි එතකොට ඒ අම්මා වෙවුල වෙවුල ඒ පැත්තට අත දික් කරන් ඉඳපු හැටි මට මැවිලා පෙනුනා පුතා.”

“මට පරක්කු වෙනවා අම්මා…..”

යුගාෂ් නැගී සිටියේ තමාරා එසේ පවසද්දීය. තවදුරටත් මේ දුක සිතෙනා කතාන්දරය අසා සිටීමට වුවමනාවක් ඔහුට වූයේ නැත. පුෂ්පානන්ද අතින් සිදුවන්නට යන ඊළඟ විනාශය වළක්වා ගන්නට ඔහු තීරණය කළේ  ඊයේ සවසමය. 

“මහත්තයෝ.. කෙල්ල කීප වතාවක්ම ජීවිතේ නැති කරගන්න ගිහිල්ලා පෙර පිනක් තිබිලා බේරුනේ. මේ හැමදේම අවුරුදු ගානක් හිතේ හංගගෙන අපි වෙනුවෙන් රස්සාව බේර ගන්න පුදුම දුකක් විඳලා තිබුනේ. මේ නඩු කියන්නේ මගේ හිතේ හයියට මිසක් එයාගේ හිතේ හයියට නෙමෙයි. මුළු පවුලක්ම රැකපු එහෙම හයිය කෙල්ල දැන් මැරිලා ඉවරයි මහත්තයා. හිතින් මැරිලා ඉවරයි. මේ නඩුවේ දිනුමක් පරාජයක් ගැන මං හිතන්නේ නෑ. සමහර විට අපේ ජීවිත වලට පවා මොනවා හරි හානියක් වෙන්න පුළුවන්. මං පොඩි කොල්ලෝ දෙන්නා මගේ අක්කලගෙ දිහාට පිටත් කරලා යැව්වා. ඉස්කෝලෙනුත් අස් කරලා එහේ ඉස්කෝලෙකට දැම්මා. මගේ කෙල්ලට වෙච්ච අසාධාරණයට පෙනී හිටින්න බැරි උනොත් මං මගේ මුළු ජීවිත කාලෙම විඳවන අම්ම කෙනෙක් වෙයි. සේනක ලඟ තියෙන සල්ලි වලට මට මගේ දරුවගේ ජීවිතේ පාවලා දෙන්න බෑ මහත්තයෝ. ඒකි තව කොච්චර කාලයක් ජීවත් වෙයිද කියන්න මං දන්නෙ නෑ. උදේ ඉඳලා හැන්ද වෙනකල් බලා ගත්ත අත බලාගෙන කල්පනා කරනවා. හැම තිස්සේම කියන්නේ මෙහෙම ජීවත් වෙනවට වඩා මට මරණය සැපයි කියල. වෙන කෙනෙක්ට හරි මෙහෙම නොකරන්න ඕනේ මහත්තයෝ…”

හංසනී පතිරාජගේ  නඩුව බාර දෙන්නට පැමිණි වේලේ ඇගේ මව පැවසුවේ ඒ අයුරින්ය. දැන් යුගාෂ්ට පරාජය කිරීමට අවැසි වන්නේ සේනකවත්, අප්පච්චීවත් නොව අසාධාරණයයි.

(යළිත් හමු⁣ වෙමු ආදරයෙන්…) 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here