Crime සහ Thriller ගණයට අයත් වන Serial Killer චිත්‍රපට වලට කැමැත්තක් දක්වන ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නට මේ වන විට ” Eleven ” චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. 2025 වර්ෂයේ මැයි මාසයේ නිකුත් කෙරුණු මේ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය ලොකේෂ් අජ්ල්ස් විසින් සිදු කරලා තියෙනවා.
මේ වන විට තිරගත වෙලා තියෙන Serial Killer ගණයේ චිත්‍රපට අතුරින් ඉතාම වෙනස් චිත්‍රපටයක් ලෙස මේ චිත්‍රපටය හඳුන්වන්නට පුළුවන්.
අඳුරු සහ පාළු වීදියකින් ආරම්භ වන මේ කතාව ආරම්භ වෙන්නේම තරමක් බියකරු දර්ශනයකින්. එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ව පුළුස්සා දමන දර්ශනයක් මුලින්ම ප්‍රේක්ෂකයාට දැක ගන්නට ලැබෙනවා. මේ පිළිස්සුණු මළ සිරුරත් එක්ක පොලිස් පරීක්ෂණ ආරම්භ වුණත් ඊට පසුවත් නගරයේ විවිධ තැන්වල මේ ආකාරයටම පිළිස්සුණු මළ සිරුරු පොලිසියට හොයාගන්න ලැබෙනවා. මේ ඝාතන දාමය සිදු කරන ඝාතකයා කිසිම හෝඩුවාවක් ඉතිරි නොකරන නිසා මේ සම්බන්ධව පරීක්ෂණ ඉදිරියට ගෙන යාම පොලිසියට විශාල අභියෝගයක් බවට පත් වෙනවා.

මේ අතරෙදි මේ රාජකාරිය පැවරිලා තියෙන පොලිස් නිලධාරියා වන රංජිත් දරුණු අනතුරකට ලක් වෙනවා. ඉන් එහාට ඔහුට මේ විමර්ශන කටයුතුවල නියැලෙන්නට හැකි වෙන්නේ නැති නිසා ඉන් පසුව මේ විමර්ශන කටයුතු බාර වෙන්නේ අරවින්ද් කියන පොලිස් නිලධාරියාටයි. ඔහු පැතිකඩයන් ගණනාවක් ඔස්සේ මේ විමර්ශන කටයුතු සිදු කර ගෙන යන අතරතුර එක් අවස්ථාවකදී ඔහුට දැනගන්නට ලැබෙනවා මේ විදිහට ඝාතනයට ලක් වෙන්නේ එකම පාසලක එකම පංතියක ඉගෙනුම ලැබූ නිවුන් සහෝදරයන් කියලා.
මේ විදිහට ඝාතනයට ලක්වන නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගෙන් ඉතුරු වෙලා ඉන්න නිවුන් සහෝදරයන් දෙදෙනෙක්ගෙන් ලබා ගන්න ප්‍රකාශ වලට අනුව ඔවුන්ගේ සැකය එල්ල වෙන්නේ ඔවුන් සමඟ එකම පන්තියේ ඉගෙනුම ලැබූ බෙන්ජමින් නැමති නිවුන් දරුවා වෙතටයි. ඉන් අනතුරුව පොලිස් පරීක්ෂක අරවින්ද් තවත් කරුණු සොයා ගැනීමේ අරමුණෙන් මේ නිවුන් සහෝදරයන් ඉගෙනුම ලැබූ පාසලට යනවා.මේ පාසලේ තියෙන විශේෂත්වය තමයි එය නිවුන් දරුවන් වෙනුවෙන්ම වෙන් කෙරුණු පාසැලක් වීම.
පොලිස් පරීක්ෂක අරවින්ද් මේ පාසලේ විදුහල්පති තුමිය වෙත මේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරනවා. ගෙවුණු කාලය තුළ සිදුවී ඇති ඝාතන දාමය පිළිබඳව කම්පාවට පත්වෙන මේ විදුහල්පතිතුමිය පාසල තුළදී බෙන්ජමින් නැමැති දරුවාට අත් වූ ඉරණම පිළිබඳව අතීත කතාව පොලිස් පරීක්ෂක අරවින්ද් සමඟ පවසනවා.

ඉතා අසරණ තත්ත්වයේ සිටි නිවුන් දරුවන් දෙදෙනෙක් වන බෙන්ජමින් සහ ෆ්‍රැන්සිස්ගේ ඉගෙනීම් කටයුතු සඳහා තමන් සහ තම සැමියා විසින් ලබාදුන් සහයෝගයත් , චෙස් ක්‍රීඩාවට අති දක්ෂයකු වූ බෙන්ජමින් පිළිබඳවත් , මානසික තත්ත්වය අයහපත් වූ බෙන්ජමින් ගේ සහෝදරයා ෆ්‍රැන්සිස් පිළිබඳවත් විදුහල්පතිතුමිය ඉතා ශෝකයෙන් සිහිපත් කරනවා. එකම පන්තියේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන්ගේ හාස්‍යයට ලක්වූ ෆ්‍රැන්සිස් එක්තරා දිනයකදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් ජීවිතයෙන් සමුගත් ආකාරයත් , අනතුරුව බෙන්ජමින් ගේ ජීවිතයට අත් වූ ඉරණමත් විදුහල්පති තුමිය පොලිස් පරීක්ෂක අරවින්ද් හට පැවසීමෙන් අනතුරුව ඔහුගේ ඊළඟ අරමුණ වන්නේ අදාළ පන්තියේ ඉගෙනුම ලැබූ ,දැනට ජීවත්ව සිටින නිවුන් සහෝදරයන්ගේ ජීවිත බේරා ගැනීමයි. මේ සඳහා ඔහු විදුහල්පති තුමියගෙන් සහය ඉල්ලා සිටින අතර ඇය එම දරුවන්ගේ ලිපිනයන් සහ තොරතුරු ඇතුළත් ලිපි ගොණුවක් පොලිස් පරීක්ෂකවරයාට ලබා දෙනවා.
අනතුරුව එම තොරතුරු ඔස්සේ පොලිස් පරීක්ෂක අරවින්ද් විසින් පොලිස් විමර්ශන කටයුතු දියත් කරනවා. මෙම නඩුවේ වැරදිකරු , එසේත් නැත්නම් මේ කුරිරු ඝාතකයා ලෙස පොලිසියේ අවධානය යොමු වන්නේ නිවුන් දරුවකු වන බෙන්ජමින් වෙත උනත් , අවසානයේදී මේ කුරිරු ඝාතන දාමයේ ඝාතකයා ලෙස හෙළිවන්නේ ප්‍රේක්ෂකයා කිසිසේත්ම බලාපොරොත්තු නොවන කෙනෙක්.
මෙහි ප්‍රධාන චරිතයක් වන පොලිස් පරීක්ෂක අරවින්ද් ගේ චරිතයට පණ පොවන්නේ නවින් චන්ද්‍ර විසින්. ඒ වගේම පොලිස් පරීක්ෂක රංජිත්ගේ චරිතයට ශෂාන්ක් ද , නිවුන් චරිත සඳහා තවත් නළු නිළියන් පිරිසක් ද්විත්ව රංගනයෙන්ද දායක වනවා.
මිනිත්තු 135ක ධාවන කාලයකින් යුතු මෙම අපූරු චිත්‍රපටය පළවෙනි මිනිත්තුවේ සිට අවසාන මිනිත්තුව දක්වාම ප්‍රේක්ෂකයාව චිත්‍රපටය වෙත බැඳ තබා ගන්නට සමත් වෙලා තියෙනවා.

මෙම ඝාතකයාට මෙම ඝාතන දාමය සිදු කිරීමට හේතුවක් තිබුනත්, පළිගැනීමේ අරමුණෙන් ඔහු මෙම කුරිරු ඝාතන සිදු කළත් මෙහි අවසානයේදී ප්‍රේක්ෂකයාට මෙම ඝාතකයා සම්බන්ධයෙන් ඇති වන්නේ විශාල සංවේගයක් සහ අනුකම්පාවක්.චිත්‍රපටය අවසානයේදී ඝාතකයා දෙස සානුකම්පාවෙන් බැලිය හැකි එකම චිත්‍රපටය මෙය බව බොහෝ ප්‍රේක්ෂකයන්ගේ අදහසයි.
චිත්‍රපටයේ අන්තර්ගත කතාව අනුව ඇත්ත වශයෙන්ම දුෂ්ටයන් ඉපදෙන්නේ නැහැ.නමුත් ඔවුන් ජීවත්වන වටපිටාව ,ඔවුන් මුහුණ දෙන දේවල් සහ සමාජය විසින් ඔවුන්ව නිර්මාණය කිරීම සිදු කෙරෙනවා. කුඩා කාලයේදී සිදුවූ කම්පන සහගත සිදුවීමක් නිසා පළිගැනීමේ චේතනාව පෙරදැරිව ඝාතකයෙකු වූ සහෝදරයෙකුගේ කතාව රැගත් මේ ” Eleven ” චිත්‍රපටය ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු එකක් බව අපි ඔබට කියනවා.
” Villains Are Not Born , They Are Made ”