ආදර සැලසුම් – 4

0
3106

ෂෙහාරා උන්නේ උරණ වීය. ඩිලිවරි සේවාවක් ඔස්සේ අශිකා එවූ කෑම බඳුන් දිග හරිමින් ෂෙහාරා වහලය දෙදරන්නට කෑ ගසමින් උන්නාය.

” මට ලැජ්ජ කරන්න ඔයාට පුදුම ආසාවක් නේද තියෙන්නේ ආදිත්‍යය?  මං පොඩ්ඩක් ගෙදරින් එළියට බැස්ස ගමන් ඔක්කොම අම්මට කෝල් කරලා කියන්න ඔයාට ලැජ්ජ නැද්ද ? ඔයා නිකන් මේ අම්මට කියලා කෑම ගෙන්න ගන්නේ මම ඔයාට වතුර උගුරක්වත් දෙන්නේ නෑ වගේ නේ ” 

අශිකා විසින් ඉතා පිළිවෙලට ප්ලාස්ටික් බඳුන්වල බහා ඒවා තිබුණු කෑම, මේසයේ පසෙකට කරමින් ෂෙහාරා ගොස් සෝෆාවේ වාඩි වූයේ කෝපයෙන් පුපුරමිනි. ඇගේ ඔවැනි හැසිරීම් ආදිත්‍යයට පුරුදු නිසා ආදිත්‍ය වචනයක් හෝ පිට කළේ නැත.

” කසාද බැන්දා කියලා මම මේ ගේ අස්සට වෙලා බත් තම්බ තම්බ ඉන්න ඕනෙද ? මටත් යාළුවො ඉන්නවා. ඔයාව කසාද බැඳගන්න ඉස්සෙල්ලා මම මේ ලයිෆ් එක හොඳට එන්ජෝයි කරා. පුදුම කරුමයක්නෙ මට දැන් වෙලා තියෙන්නේ ” 

අම්මා විසින් එවන ලද කෑම වල සුවඳ නාස් පුඩුවලට දැනෙන විට ආදිත්‍යයට කොහේදෝ නැති බඩගින්නක් දැනුනේය. බාස්මතී හාලේ බතට තෙම්පරාදු කරන ලද පරිප්පුවක්, මිරිසට උයන ලද කුකුල් මස් ව්‍යාංජනයක් , ගොටුකොල සම්බෝලයක් සහ පපඩම් ද ප්ලාස්ටික් බඳුන් වල විය. ආදිත්‍ය මුළුතැන්ගෙය වෙත ගොස් පිඟානක් සෝදා ගෙන හැඳි කිහිපයක් සමගද පැමිණියේ ඇත්තටම කුසගින්නේය. ෂෙහාරා හුන් ඉරියව්වෙන්ම දුරකථනය එහා මෙහා කරමින් සිටි අතර ආදිත්‍ය පිඟානත් හැඳි කිහිපයත් මේසය මත තබා ෂෙහාරා දෙස බැලුවේය.

” කෑම කනවද ෂෙහාරා? ” 

ආදිත්‍ය ඇසුවේ සෙමිනි.කුඩා කල සිටම දෙමව්පියන්ගේ ගැටුම් දෑසින් දකිමින් උස්මහත් වුවද කෑකෝ ගසා ගෙන ආදිත්‍යයට පුරුදු නැත. ඒ නිසාම ඔහු ඒ මොහොතේත් ඉවසමින් උන්නේය.

” මට ඕන කෑමක් නෑ ” 

ෂෙහාරා හිස ඔසවා හෝ නොබලමින් කීවාය.

” බෙදලා දෙන්නද ? ” 

ආදිත්‍යය යළි එලෙස ඇසුවේ තම බිරිඳ පසෙක සිටියදී තනිවම ආහාර ගන්නට නොහැකි කමිනි.

” අනේ ආදිත්‍ය මේ ? තවත් මගේ යකා අවුස්සන්න හදන්න එපා ” 

ඇගේ මේ රැවුම් ගෙරවුම් සහ පළිගැනීම් මේ නිවසේ ඉතාම සාමාන්‍ය ඒවා වුවත් විවාහයකදී ඒවා පවත්වාගෙන යාම නුසුදුසු බවත් , ඕනෑම දෙයක් කතාබහ කර විසඳාගෙන අවසන් කර ගත යුතු බවත් ආදිත්‍ය තේරුම් ගෙන උන්නේ දේවක දේවපුර නැමති තම පියා වසර ගණනාවකට පෙර තමාවත් , තම මව හා සහෝදරයාවත් තනිකර ඇඳුම් කැඩුම් සියල්ල ගෙන නිවසින් එළියට බැස්ස මොහොතේය.

පසුගිය දින කිහිපය පුරාවටම හරි හැටි කෑමක් නොවූ නිසා ආදිත්‍ය බත් හැඳි දෙක තුනක් බෙදා ගෙන කන්නට පටන් ගත්තේය. දින කිහිපයක සිට විවිධ අවන්හල් වලින් සුළු කෑම පමණක් ලබා ගෙන සිටි ආදිත්‍යයට තම මව විසින් ආදරය මුසුකර පිස එවූ ආහාර දිව්‍ය භෝජන මෙන් විය.

තම පියා මව සමග වූ විවාහය අමතක කර දමා නිවසින් පිට ජීවත් වූවද තමාගේ සහ අභිමන්ගේ කටයුතු වලටද ව්‍යාපාර කටයුතු වලටද අවශ්‍ය අවස්ථාවලදී සහාය දැක්වූ ආකාරය ආදිත්‍ය සිහිපත් කළේ කෑම කන අතරේය. දේවක දේවපුරගේ සමීපතම මිතුරෙකුගෙන් ලද විවාහ යෝජනාවක් අනුව කෙරුණු ෂෙහාරාගේත් තමාගේ ත් විවාහය සිදු නොවුනා නම් මොනතරම් හොඳ දැයි ආදිත්‍ය කල්පනා කළේය.

වරින් වර නිවසට පැමිණෙන පියා විවිධ කරුණු හුවා දක්වමින් මව සමඟ ඇති කර ගන්නා ගැටුම් වලින් හෙම්බත්වී සිටි නිසා  යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම අරමුණු කර ගෙන ෂෙහාරාගේ පියා විසින් ගෙන එන ලද විවාහ යෝජනාවට ආදිත්‍ය කැමැත්ත පළ කළේ ඇත්තටම ෂෙහාරාට අකමැති වන්නට හේතුවක් නොවූ නිසාවෙනි. රූමත් බවින්ද , උගත් බවින්ද , වත් පොහොසත් කම් වලින්ද හෙබිවූ ෂෙහාරා මුල් දිනවල හැසිරුනේ ඉතා සෞම්‍ය හිතක් ඇති තරුණියක ලෙසය.

විවාහයෙන් මාස කිහිපයක් ගත වන්නටත් පෙරාතුවම ෂෙහාරා ක්‍රම ක්‍රමයෙන් විනෝද කාමී සහ සැහැල්ලු ජීවිතයකට හුරු වූයේ බිරිඳකගේ වගකීම් සහ යුතුකම් සියල්ල අමතක කර දමමිනි. පවුලේ අභිමානය සහ දෙමව්පියන්ගේ හිත රිදවීමේ නොහැකියාව නිසා ආදිත්‍යය ඒ සියල්ල දරා සිටියද මේ වන විට තමා සිටින්නේ ඒ දරා සිටීමේ අග්ගිස්සේ බව ආදිත්‍ය හට නොදැනුනා නොවේ. තම පුතුන් දෙදෙනාගේ හුස්මක වෙනස පවා පහසුවෙන් හඳුනා ගන්නා අශිකා ආදිත්‍ය ගෙවන ජීවිතය දැක ෂෙහාරාගේ හැසිරීම සහ කල් ක්‍රියාව දැන සිටියද ඉතා සන්සුන් කාන්තාවක් වූ නිසා ඇයටද කළ හැකි යමක් වූයේ නැත.

ආදිත්‍ය කෑම කා අවසන් වන්නට ඔන්න මෙන්න තිබියදී ෂෙහාරා සෝෆාවෙන් නැගී සිටියේ මුළුතැන්ගෙය දෙසට යන්නටය. කෑම මේසය පසුකර යන විට ඇගේ අවධානය යොමු වූයේ කෑම මේසය කොනක වූ කුඩා ෂොපින් කවරය දෙසටය. ඇය ක්ෂණයකින් නතරවී එය දිගහැර බැලුවාය.

” මොනාද මේ බෙහෙත් ? ” 

ෂෙහාරා ඇසුවේ සැරෙනි.අඩුම තරමේ ඒ වචන කිහිපය පවා සියුම් ස්වරයකින් අසන්නට ෂෙහාරාට නොහැකි ඇයි දැයි ආදිත්‍ය සිතුවේය.

” මගේ ” 

ආදිත්‍ය තනි වචනයෙන් පිළිතුරු දුන්නේය. ෂෙහාරා බෙහෙත් කවර කිහිපය එහා මෙහා හරවමින් පරීක්ෂා කර බැලුවාය.

” ඔව් ඉතින් මේවා මගේ නෙමේ නම් ඔයාගේ වෙන්න එපැයි. මං අහන්නේ මොනාටද මේවා? ” 

” උදේ මට පොඩ්ඩක් ගැස්ට්‍රයිටිස් වැඩි වුණා ” 

” ඉතින් ? ” 

” අමාරු උන හින්දා බෙහෙත් ගත්තා ” 

ෂෙහාරා බෙහෙත් කවර කීපය ෂොපින් කවරය තුළට දමා එය මේසය මතට අත හැරියාය.

” මොන විකාරයක්ද ආදිත්‍ය මේ ? ඔයා නිකං හැසිරෙන්නේ බබෙක් වගේ නේ ? ගැස්ට්‍රයිටිස් හැදෙන්න තරම් ඔයා බඩගින්නේ හිටියේ කොයි වෙලාවෙද ?අනිත් එක ඔයාට කන්න ඕනේ නම් කන්න ඕන තරම් කඩවල් මේ හතර වටේම තියෙනවා. බොරුවට ලෙඩකුත් කියාගෙන අම්මට කියලා කෑමත් ගෙන්න ගෙන මට ලැජ්ජ කර කර ඉන්න එක තමයි ඔයාගේ ලොකුම වැඩේ ” 

මුළුතැන්ගෙයට යන්නට ගිය ෂෙහාරා එය පසෙකලා ආදිත්‍යයට රවමින් තරප්පුව නැග්ගාය. ආදිත්‍ය අනමින් සිටි බත් කට එහෙමම තබා පිඟානද රැගෙන මුළුතැන්ගෙය වෙත ගොස් ඉතිරි බත් ස්වල්පය විසිකර දමා අත සෝදා ගත්තේ මේ නිවස තුළ නිදහසේ බත් කටක් කන්නට හෝ සැනසීමක් නැති බව සිතමිනි.

ආදිත්‍ය නැවත කෑම මේසය වෙත පැමිණියේ වතුර වීදුරුවක් රැගෙනය. ඒ දහවල් ආහාරයෙන් පසුව ගැනීමට නියමිත බෙහෙත් තිබෙන නිසාය. බෙහෙත් කවර කිහිපය අතට ගන්නා විට ආදිත්‍ය ගේ මතකයට පැමිණියේ මෞර්යාව ය. ඇවිදින මං තීරුවේ පඩියක් මත වාඩි වී සිටි තමාව ක්ෂණිකව ක්‍රියාත්මක වී රෝහලක් වෙත රැගෙන ගොස් බෙහෙත් පවා මිලදී ගෙන දුන් ඇය ගැන ආදිත්‍යයට ඒ මොහොතේ දිත් ඇති වූයේ පහන් හැඟීමකි. ගැහැණියකට තිබිය යුත්තේ එතරම් සෞම්‍ය හිතකි. ඉවසීමකි. අන් අය කෙරෙහි උණු වෙන හදවතකි.

ෂෙහාරා සහ මෞර්යා පිළිබඳව සලකා බලන විට ඔවුන් දෙදෙනා අහසට පොළොව මෙනි. විවාහ වන තුරුත් ඉතා යහපත් පෙම්වතියක ගේ චරිතය රඟ දැක්වූ ෂෙහාරා විවාහයෙන් මාස කිහිපයක් යන විට තමාට වෛර කරන තත්ත්වයකට පැමිණියේ මන්දැයි ආදිත්‍ය කල්පනා කළේය. තමා විවාහ දිවියට එළඹියේ බොහෝ බලාපොරොත්තු තබා ගෙනය. ඒ නිසාම ෂෙහාරාට කිසිදු ආකාරයකින් අඩු පාඩුවක් නොවන්නට තමා සෑම විටම වග බලා ගත් බව විශ්වාසය. තමාට වැරදුනේ කොතනදැයි තම සිතටම වද දෙමින් කල්පනා කරමින් බෙහෙත් බිව් ආදිත්‍ය ඉදිරිපස දොරෙන් මිදුලට බැස්සේය.

කලිසම් සාක්කුවට දෑත් බහා ගෙන මිදුලේ ඇවිදිමින් හුන් ආදිත්‍ය දුටුවේ උඩුමහලේ බැල්කනියට වී දුරකථන ඇමතුමක නියැළී සිටිනා ෂෙහාරාවය. බැලූ බැල්මට ඇය උන්නේ ඉතා සතුටිනි. ඇය සිනාසෙන හඬ පවා පැහැදිලිව ඇසෙන්නේ ය. කතා කරන්නේ කවුරුන් සමග වුවත් ඇය වියරුවෙන් මෙන් පලි දරන්නේ තමා සමග පමණක් බව පැහැදිලිය.

බැල්කනියේ එහා මෙහා යමින් දුරකථන ඇමතුමේ හුන් ෂෙහාරා මිදුලේ සිට තමා දෙස නිසොල්මනේ බලා හිඳිනා ආදිත්‍යව දුටුවේ අහම්බෙනි. තමා දුටු සැණින් ෂෙහාරා ගේ මුහුණේ ඉරියව් ක්ෂණිකව වෙනස් වෙන ආකාරය ආදිත්‍ය පැහැදිලිව දුටුවේය. තප්පර කිහිපයක් ඇතුලත ෂෙහාරා බැල්කනියේ ඇති දොරෙන් නිවසට ඇතුළු වූයේ ආදිත්‍ය දෙස තදින් රවා බලමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here