ලේසියෙන්ම හදන චොකලට් ටාට් 


ෆෘට් සැලට්, අයිස්ක්‍රීම්, වටලප්පන්, පුඩිං වගේ හැමදාම කන අතුරුපස වෙනුවට හරිම ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස අතුරුපසක් ගැන ආරංචියක් අරගෙනයි smart lady අපි අද මේ එකතු වෙන්නෙ.

අද අපි කියල දෙන්න යන්නෙ චොකලට් ටාට් එහෙමත් නැත්නම් චොකලට් ක්‍රීම් පයි හදාගන්නෙ කොහොමද කියලයි.

එහෙනම්, පුරුදු විදිහට මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

කාමර උෂ්ණත්වයේ ඇති බටර් 75g ක් 

කුඩු කරගත් සීනි මේස හැඳි 02 ක්

කාමර උෂ්ණත්වයේ ඇති ලොකු බිත්තරයක මදය

වැනිලා රසකාරක තේ හැඳි 01 ක්

පාන් පිටි 130g ක්

චොකලට් පිරවුම සඳහා

චොකලට් 110g ක් 

හෙවි ක්‍රීම් 125ml ක් 

ඇළුමිණියම් හෝ ෆොයිල් වලින් සාදන ලද කප්කේක් මෝල්ඩ්ස් 

සාදාගන්නා ආකාරය

මුලින්ම තරමක් විශාල භාජනයක් ගෙන එයට බටර් සහ සීනි එකතු කරගන්න.

සීනි වල කැට නොසිටින සේ බටර් සමඟ හොඳින් කලවම් කරගන්න.

ඊළඟට, එයටම වැනිලා සහ බිත්තර කහමදය එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.

පිටි ටිකෙන් ටික මේ මිශ්‍රණයට එකතු කරමින් පිටි ටික හොඳින් කලවම් වෙන තුරු පමණක් නැවත හැඳිගා ගන්න.

ඕනෑවට වඩා වෙලාවක් කලවම් කරගන්න එපා.

දැන් මේ සාදාගත් මිශ්‍රණය කොටු හැඩයට සකසා පොලිතීන් කොලයකින් හොඳින් ආවරණය කර පැය භාගයක් ශීතකරණයේ තබාගන්න.

මේ වෙලාවේ අවන් එක සෙන්ටිග්‍රේට් අංශක 170 ට රත්වෙන්න තබාගන්න.

පැය භාගයකට පසු මිශ්‍රණය ශීතකරණයෙන් ඉවතට ගෙන කුඩා බෝල වලට කඩා මෝල්ඩ්ස් වල ඇතුළු පැත්තේ වටේට අඟල් 2.5 ක පමණ ඝනකමක් සිටින සේ අතින් සකසමින් අතුරාගන්න. 

උඩ දාරය දිගේ පිහියකින් කපා වැඩි කොටස ඉවත් කරගන්න පුළුවන්.

දැන් ගෑරුප්පුවකින් කීප විටක් මේ පිටි ආවරණයට ඇනගෙන මේ මෝල්ඩ්ස් අතුරාගත් තැටිය ශීතකරණයට දමා  විනාඩි 10 ක් තබා ගන්න.

දැන් රත්වූ අවන් එකේ විනාඩි 20 ක් 25 ක් අතර කාලයක් රන්වන් පාට වනතුරු බේක් කරගන්න.

බේක් කරගත් පිටි ආවරණය සෙමින් මෝල්ඩ්ස් වලින් ඉවත් කර නිමෙන්නට තබාගන්න.

දැන් චොකලට් ටික කුඩා කැබලි වලට කපා පසෙකින් තබාගන්න.

හෙවි ක්‍රීම් ටික භාජනයකට දමා ඒ භාජනය ලිපේ තබා භාජනයේ වටේට යන්තමින් පෙන නගින තරමට රත්වන විට භාජනය ලිපෙන් ඉවත් කරගන්න.

දැන් මේ රත් කරගත් හෙවි ක්‍රීම් ටික චොකලට් අඩංගු භාජනයට දමා චොකලට් දියවෙන තුරු හොඳින් කලවම් කරගන්න.

දැන් මේ චොකලට් ක්‍රීම් ටික බේක් කරගෙන පසෙකින් තැබූ පිටි කෝප්ප වලට වත්කරගන්න.

පිළිගැන්වීමට පෙර විනාඩි 10 ක් ශීතකරණයේ තබාගන්න.

ඔන්න එහෙනම් මේ විදිහට චොකලට් ක්‍රීම් පයි එහෙමත් නැත්නම් චොකලට් ටාට් හදල බලමු නේද? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles