ආදර සැලසුම් – 15

0
3245

හදිසි අනතුරු ඒකකයෙන් ෂෙහාරාව කාමරයකට මාරු කරන ලද්දේ තවත් පැයකට පමණ පසුවය. ආදිත්‍ය රෝහල් කොරිඩෝවේ පුටුවකට වාරු වී ඒ කාලයම ගත කළේ හුදෙකලාවේය. විවාහ වී වසරක් ගතවන විට තමන් මෙවන් තත්ත්වයකට පත් වේයැයි ආදිත්‍ය සිහිනයකින් වත් සිතා තිබුණේ නැත.විවාහ වන විට පවා ඔහුගේ ලොකුම බලාපොරොත්තුව වූයේ සාර්ථක සහ ආදරණීය කැදැල්ලක් තනා ගැනීමය. මවගේ සහ පියාගේ ගැටුම් වලට මැදිව ළමා කාලය හා තරුණ කාලය ගෙවූ ආදිත්‍ය හට කිසිසේත්ම එවැනි පීඩාකාරී ජීවිතයක් වුවමනා වූයේ නැත. එහෙත් අවාසනාවකට තමා පත් වෙමින් සිටින්නේ එවැනි අගාධයකට යැයි සිතන විට ආදිත්‍ය ගේ හදවත රිදුම් දෙන්නට පටන් ගත්තේය.

කුමන දෙයක් වුවත් කළ යුතු වන්නේ ෂෙහාරා සමග කතා කිරීමෙන් පසුව යැයි සිතූ ආදිත්‍ය අලුයම දෙකහමාර පසුවන විට අසුන් ගෙන හුන් තැනින් නැගිට්ටේය. ෂෙහාරාව ඇතුල් කළ කාමරයේ අංකය දන්නා නිසා ආදිත්‍ය විදුලි සෝපානය ඔස්සේ අදාළ මහලට ගොස් කාමරයේ දොරකඩ තවත් මොහොතකට නැවතුනේය.ඊළඟ විනාඩියේ සිට සිදුවන කතාබහ තම ජීවිතයේ බොහෝ දේවල් වෙනස් කල හැකි නිසා ඉතා කල්පනාකාරීව එයට මුහුණ දෙන්නට සිතා ගෙන ආදිත්‍ය දොර විවෘත කළේය.

ෂෙහාරා බලා හුන්නේම ආදිත්‍ය පැමිණෙන තුරුය. ඇගේ ශරීරයේ ස්ථාන කිහිපයක්ම වෙළුම් පටි වලින් වෙලා තිබුණු අතර නළලෙහි එක් කොනකද ප්ලාස්ටරයක් අලවා තිබුණි.ආදිත්‍ය කාමරයට ඇතුළු වූයේ දොර වසා දමමිනි.ඔහුගේ පැමිණීම දුටු ෂෙහාරා පහසුවෙන් සිටිය හැකි පරිදි රෝහල් ඇඳ සකස් කර ගෙන වාඩි වූවාය.

” ආදී ” 

ඇය තමාව මේ ලෙස ඇමතුවේ විවාහ වූ මුල් කාලයේ පමණි. ඇය දැන් මෙලෙස තමාව අමතන්නේ ඇයි දැයි යන හැඟීමක් ආදිත්‍ය තුළ නොවීය. 

” කොහොමද ? ” 

ආදිත්‍යය ඇහෙන නෑහෙන ආකාරයෙන් සෙමෙන් මිමිනුවේ ෂෙහාරාගෙන් වෙන යමක් අසන්නට ඇත්තටම නැති නිසාය. 

” Im sorry ආදිත්‍යය ” 

ෂෙහාරා කීවේ පසුතැවීමෙනි. එහෙත් ආදිත්‍යයගේ සිත ඒ වන විටත් කෑලි දස දහස් ගණනකට බිඳී ගොස් තිබුණි. ඔහු රෝහල් ඇඳ ආසන්නයේ තිබූ සුව පහසු පුටුවේ වාඩි වුයේ කිසිවක්ම නොකියාය.

” මං ඔයාට වෙච්ච හැමදේම කියන්නම් ” 

ෂෙහරා ආදිත්‍ය දෙසට හැරුනේය. ඇය කිසි දිනක මෙසේ බැගෑපත් ලෙස තමා ඉදිරියේ කතා කර නැත.මතක ඇති කාලයක සිටම ඇයගෙන් පිටවූයේ සැර පරුෂ වචන හා රෞද්‍ර බවක් පමණි. ඇය මේ මොහොතේ වෙනස් වී සිටින්නේ වරදක් සිදුවූ බව පිළිගන්නා නිසා බව ආදිත්‍ය සිතුවේ කලකිරීමෙනි.

” කතා කරන්නකෝ ආදිත්‍ය ” 

ෂෙහාරා අත දිගු කර ආදිත්‍ය ගේ උරහිසට අත තැබුවාය. ඇගේ ස්පර්ශයක් පවා ආදිත්‍යයට දැනුනේ මාස ගණනාවකට පසුවය. නමුත් දැන් මෙහි සිටින්නේ තමාව රැවටූ ගැහැණියක මිස තමා විවාහ කර ගත් බිරිඳ නොවේ.

” මොනවා කතා කරන්නද ෂෙහාරා දැන් ” 

ආදිත්‍ය ශෝකය මුසු වූ වචන පිට කළේය.

” වෙච්ච දේ මට ඔයාට කියන්න ඉඩ දෙන්නකෝ”

උසාවියකදී වුවද විත්තිකරුවෙකුට කතා කිරීමට අවස්ථාවක් ලැබෙන නිසා ෂෙහාරාට කතා කිරීමට ඉඩ හැර ආදිත්‍ය නිහඬ ඇය දෙස බලා උන්නේය. 

” මට රයන්ව හම්බුනේ පබ් එකේදී. දැන් මාස පහ හයකට කලින්. ඔයාගෙන් කිසිම අඩු පාඩුවක් උනේ නැතත් මං දන්නෙ නෑ මං එයාට කොහොම ළං වුණාද කියලා. අනිත් එක..”

ෂෙහාරා කතාව නතර කළාය. තමා කියන වචනයක් පාසා ආදිත්‍ය හට බොහෝ වේදනාවක් ගෙන දෙන බව ඇය දැන උන්නාය.නමුත් දැන් කිසිවක් සැඟවිය යුතු නැත. නොසිතූ මොහොතකදී සිදු වූ අනතුරෙන් සියල්ල හෙළිවෙමින් පවතී. තමාව සහ රයන්ව රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී සිතේ තිබූ කලබලකාරී බව නිසා ඔහු තමාගේ පෙම්වතා යැයි හෙදියන්ට ඉබේටම කියවීම සම්බන්ධයෙන් ෂෙහාරා තමාටම දොස් පවරා ගනිමින් උන්නාය. තමාට මෙවැනි සිදුවීමක් සිදුවීමෙන් පසුව ආදිත්‍යයට දැනුම් දීම කෙසේ හෝ කළ යුතු නිසාත් ඔහු රෝහලට පැමිණි පසුව සත්‍ය දැන ගන්නා නිසාත් ෂෙහාරා හට කිසිවක් කිරීමට ඉතිරිව තිබුණේ නැත.

” මොකක්ද ඔයා කියන්න ගිහින් නැවැත්තුවේ?” 

ෂෙහාරාගේ වචන පපුවට ඉඳිකටු තුඩු වලින් අනින්නාක් මෙන් දැනුනත් ඔහුගේ ස්වාමි පුරුෂයා වශයෙන් සියලු සත්‍ය දැන ගැනීමේ අයිතිය තමාට ඇති නිසා ආදිත්‍යය ඇසුවේය.

” රයන් දන්නේ නැහැ මම මැරීඩ් කියලා ” 

ෂෙහාරා එවදන් පිට කළේ අපහසුවෙනි. ආදිත්‍යයට දැනුනේ තමාගේ ලෝකයම දෙපාමුලට කඩා වැටෙන්නාක් සේය. තමන්ගේ බිරිඳ තමාව පමණක් නොව ඉන් පසුව ජීවිතයට සම්බන්ධ වූ පුද්ගලයාවද මෙතෙක් කාලයක් රවටා ඇත.

” ඔයා කොහොමද ෂෙහාරා මිනිස්සු දෙන්නෙක්වම එකපාර රැවැට්ටුවේ ? ” 

එවර ආදිත්‍යගේ හඬෙහි තැවරී තිබුණේ කෝපය මුසු වූ වේදනාවකි. 

” අනේ අහන්න ආදිත්‍ය මං කියන දේ.ඒක කොහොම වුණාද කියලා මං දන්නේ නැහැ. ඒත් මං රයන්ට එහෙම කිව්වා ” 

” ඔයා ඒ මනුස්සයට එහෙම බොරුවක් කිව්වේ ඒ මනුස්සයට ආදරේ නිසා නම් ඔයාට අඩුම ගානේ තිබුණා මට ඇත්ත කියලා මගෙන් ඩිවෝස් එකවත් ඉල්ලන්න ” 

” ඩිවෝස් එක ? ” 

ආදිත්‍ය මේ තරම් සෘජු ලෙස කතා කරන පුද්ගලයෙකු යැයි ෂෙහාරා දැන ගත්තේ ඒ මොහොතේය. එහෙත් ඔහු පවසන්නේ ඇත්තය. බැඳීමක් නම් පැහැදිලි විය යුතුය. එය තුළ විශ්වාසය සුරැකිව තිබිය යුතුය. නොගැලපෙන බැඳීමක සිට පලක් නැත්නම් ඉන් ඉවත් විය යුතුය. එහෙත් ආදිත්‍යගෙන් දික්කසාද වීමක් පිළිබඳව තමා ඒ කොයි මොහොතකවත් සිතුවේ නැත. ගෙවී යන ජීවිතය විනෝද කාමීව ගතකිරීම පිළිබඳව සිතුවා මිස අන් අරමුණක් තමා තුළ තිබුණේද නැත. 

” ආදිත්‍ය මං කවදාවත් ඔයාගෙන් ඩිවෝස් වෙන්න හිතුවේ නැහැ ” 

ෂෙහාරා එසේ කී පසුව ආදිත්‍ය වාඩි වී හුන් තැනින් නැගිට්ටේය.ඒ සිත තුළ නැගෙමින් තිබුණු කෝපය පාලනය කර ගනිමිනි.

” එහෙනම් ඔයා මොකද්ද හිතුවේ? හැමදාම ඒ මිනිහවයි මාවයි රවට්ට රවට්ට ඉන්නද ? ” 

ආදිත්‍ය කලිසම් සාක්කුවල දෑත් බහා ගෙන කාමරයේ එහා මෙහා ඇවිද්දේය. තමාගේ බලාපොරොත්තු සහ තමාගේ ජීවිතය මේ වන විට සුළු විසුණු වී ගොස් ඇත. විසිරී ගිය කොටස් එකතු කරගෙනවත් එය යළි ගොඩ නැගිය නොහැකි බව ආදිත්‍ය සිතුවේ වේදනාවෙනි.

” ඔයා දැන් මට මොකක්ද කරන්න කියන්නේ ආදිත්‍ය ? “

ආදිත්‍ය දෙස බලාහුන් ෂෙහාරා ඇසුවාය.වරද තමාගේ අතේය. එහි බරපතළකම හරියටම වැටහෙන්නේ දැන්ය. තමා රැවටුවේ තමාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයාවය. 

” ඔයා පබ් ගානෙයි ක්ලබ් ගානෙයි ගිහින් වෙන affair එකකුත් පටන් අරගෙන මාව රැවට්ටුවේ මගෙන් අහලා නෙමෙයිනේ ෂෙහාරා. හැබැයි මෙතනින් එහාට මං තවත් රැවටෙන්න ලෑස්ති නෑ. එහෙම මාව රවට්ටන්න මං ඔයාට ඉඩ තියන්නෙත් නෑ ” 

ආදිත්‍ය පිළිතුරු දුන්නේ දැඩි හඬිනි. මෙතෙක් කාලයක් තිස්සේ තමා ඉවසූ ඉවසීම කොයි මොහොතේ හෝ පුපුරා යන බව ආදිත්‍ය බලාපොරොත්තු වූයේය. එය මේ මොහොතේ හෝ සිදුවීම එක අතකින් හොඳය. තමා මෙතෙක් කාලයක් තිස්සේ ගෙවූ වේදනාකාරී ජීවිතය අවසන් කළ යුතුය. 

” ඔයා මොනාද මේ කියවන්නේ ආදිත්‍ය ? ” 

” මං මොනවද කියවන්නේ කියලා අහන්න කලින් ඔයා මොනවද මේ කලේ කියලා හිතන්න ෂෙහාරා. ඔයත් එක්ක එක වහලක් යට ජීවත් වෙච්ච මනුස්සයාට විඳවන්න ඇරලා ඔයා මේ කරපු දේ හරි කියලා ඔයා හිතනවද ? ඒකත් පැත්තක දාන්න.ඔයා හිතනවද තව දුරටත් අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා ? ඔයා ඉස්සරහටත් මාව රවට්ටන එකක් නෑ කියලා මට හිතන්න පුළුවන් එකම එක හේතුවක් වත් තියෙනවද ? ” 

ආදිත්‍ය ෂෙහාරා සිටි රෝහල් ඇඳ අසලටම පැමිණ ඇසුවේය. නිවසේදී සිදුවූ ප්‍රශ්න වලදී පවා තමා ඒවා මගහැර කෝපය පිට කර ආදිත්‍යගේ ඉවසීමෙන් ප්‍රයෝජන ගත්තද මේ මොහොතේදී එසේ කළ නොහැකි බව ෂෙහාරා තේරුම් ගෙන උන්නාය. 

” එතකොට? ” 

ෂෙහාරා එපමණක් ඇසුවාය. ආදිත්‍ය මේ නොකියා කියන්නේ තව දුරටත් තමා හා ජීවත් විය නොහැකි බවය. ඒ කාරණාව පසෙක තැබූවත් විවාහක කාන්තාවක් වූ තමා හට වෙනත් තරුණයකු හා සම්බන්ධයක් තිබීම තම දෙමව්පියන් සහ පවුලේ අය කිසි සේත්ම අනුමත නොකරන බවත් , තමාට ඉතාම ලැජ්ජාවට පත්වීමට සිදුවන බවත් ෂෙහාරා සිතුවාය.

” අපි ඩිවෝස් වෙමු ෂෙහාරා “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here