ආදිත්‍ය සම්බන්ධ ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නිවසට පැමිණෙන ලෙස අශිකා විසින් දේවකට පණිවිඩයක් ලබා දී තිබුණද හදිසි ව්‍යාපාරික කටයුත්තක් සඳහා කොළඹින් පිට ප්‍රදේශයකට යාමට සිදුවී තිබුණු නිසා පැමිණීමට නොහැකිවන බව දේවක විසින් දන්වා තිබුණි. ගැටලුව කුමක් දැයි කියා වත් අඩුම තරමේ දේවක විසින් විමසා නොසිටීම පිළිබඳව අශිකා තුළ තිබුනේ කනස්සල්ලකි. නමුත් අභිමන් සවස හය වන විට නිවසට පැමිණියේ අශිකා ගේ කීමට අවනත වෙමිනි.
ෂෙහාරා ගේ අනියම් සම්බන්ධය පිළිබඳවත් , ආදිත්‍යය විසින් ගෙන ඇති තීරණය පිළිබඳවත් සියලු විස්තර අශිකා අභිමන්ට කියූ පසු ඔහු දැඩි ලෙස කෝපයට පත් වූයේ ය.
” අයියට ඩිවෝස් වෙන්න කියමු අම්මා , තාත්ත මොනවා කිව්වත්. මොන විකාරයක්ද මේක ? අයියා ඉන්න විදිහෙන්ම කියන්න පුළුවන් එයා ඉන්නේ සතුටින් නෙමෙයි කියලා. පහුගිය කාලෙ අයියට කොච්චර නම් වැඩ පාඩු වෙන්න ඇතිද ඔය ෂෙහාරා නිසා. අඩුම තරමේ අයියට කන්න බත් ටිකක්වත් උයලා දෙනවද ? ”
අභිමන් තුළ වූ සහෝදර ප්‍රේමය ඒ මොහොතේ පිටාර යමින් තිබුණේය. දේවක මේ සම්බන්ධයෙන් කුමන අදහසක් දැරුවත් ආදිත්‍ය ගැන ඇති තීරණයට විරුද්ධ නොවී ඉන්නට අශිකා තීරණය කළේ විවාහයක් තුළ ආදරය සහ ගෞරවය මෙන්ම එකිනෙකා කෙරෙහි තිබිය යුතු විශ්වාසය මොනතරම් වටිනවා දැයි අත්දැකීමෙන්ම දන්නා නිසාය.
ෂෙහාරා වෙනුවෙන් ඒ මොහොතේ කළ යුතු සියලු යුතුකම් ඉටු කරමින් ආදිත්‍ය තමාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් උන්නේය. ආදිත්‍ය විසින් ගෙන ඇති තීරණය ඊළඟ මොහොතේ හෝ වෙනස් වෙතැයි බලාපොරොත්තුවෙන් ෂෙහාරා බලා සිටියද එය එසේ වූයේ නැත. ෂෙහාරා හදිසි අනතුරකට ලක් වී ඇති බව ඇගේ දෙමාපියන්ට දැන්වූයේ ආදිත්‍ය විසිනි. ඔවුන් ෂෙහාරාව බැලීම සඳහා රෝහලට පැමිණියේ රාත්‍රී අටට පමණය.
” මොකක්ද ළමයෝ මේ කර ගත්තේ ? ඇයි අඩුම ගානේ අපිට කෝල් එකක්වත් දුන්නේ නැත්තේ ? ආදිත්‍යය කියනකං අපි කිසි දෙයක් දන්නේ නැහැ නේ ? ”
ශීලා සහ රවින්ද්‍ර රෝහල් කාමරයට ඇතුළු වූයේ කලබලයෙනි. ඔවුන්ගේ පැමිණීම ෂෙහාරාව පුදුමයට පත් කළ අතර ඇය ආදිත්‍ය දෙස බැලුවේ සඟවා ගත් කෝපයෙනි.
” මේක මහ ලොකු දෙයක් නෙමෙයි අම්මා. කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ ”
ශීලා ඇය රැගෙන ආ කළමනා කිහිපයක් රෝහල් කාමරයේ වූ කුඩා මේසය මත තබන අතරතුරේ රවින්ද්‍ර ෂෙහාරා වෙත කිට්ටු වූයේය.
” මොනා කරන්න ගිහින්ද මේක උනේ ? ”
රවින්ද්‍ර විමසා සිටි අතර ෂෙහාරා පිළිතුරු දෙන්නට පෙර ආදිත්‍ය දෙස බැලුවේය. ඇය මේ සූදානම් වන්නේ කුමක් හෝ කියා ඇඟ බේරා ගන්නට බව අනුමාන කළ ආදිත්‍ය වාඩි වී හුන් තැනින් නැගී සිට ඉදිරියට ආවේය.
” අම්මයි තාත්තයි දෙන්නම ආපු එක හොඳයි. මට ඔය දෙන්නට කියන්න දෙයක් තියෙනවා ”
ෂෙහාරා අතිශයින්ම කලබලයට පත් වූවාය. සිදුවූ සිදුවීම දෙමාපියන් දැන ගත් විට තමා සියලු දෙනාගේම දෝෂාරෝපණයට ලක් වන්නේය. ඊටත් වඩා මෙය සමාව දිය නොහැකි වරදකි.ආදිත්‍ය සූදානම් වන්නේ ද තමාව දික්කසාද කිරීමටය. ඒ තීරණය තම දෙමව්පියන්ව කම්පාවට සහ කෝපයට පත් කළ හැකි බව ෂෙහාරා සිතුවාය.
” ආදිත්‍ය.. මේ.. “
ෂෙහාරා සූදානම් වූයේ ආදිත්‍යව වළක්වාලීමටය. එහෙත් ආදිත්‍ය ඒ පිළිබඳව තැකීමක් කලේ නැත. අසාධාරණය සිදු වූයේ තමාටය.මාස ගණනාවක් පුරාවට රැවටුනේද තමාය. සත්‍ය තමා ඉදිරියේ හෙළි වී තිබියදී ත් තමා වෙනුවෙන් නැගි සිටීමට මොහොතක්වත් පමා විය යුතු නැත.
” මොකක්ද පුතා කියන්න තියෙන්නේ ? ”
රවින්ද්‍ර ආදිත්‍ය අසලට පැමිණියේ එසේ අසමිනි. ශීලාද ඔවුන් දෙදෙනා වෙත කිට්ටු වූයේ කුතුහලයෙනි. ඒ මොහොතේදී සිදුවන දෙයකට සිදු වන්නට හැර බලා සිටිනවා මිස ෂෙහාරාට කළ හැකි කිසිවක්ම වූයේ නැත.
” මෙයා මේ ඇක්සිඩන්ට් එක කර ගත්තේ කොහේදෝ ගිහින් බීලා එයාගේ boyfriend එක්ක එන ගමන් “
ආදිත්‍ය කතාව නතර කළ අතර ශීලා පුදුමයෙන් මුවට අත තබා ගත්තාය. මෙය ඉතා නීරස සංවාදයක් නමුත් මේ වේලාවේ කළ යුතුම එකකි.
” මොනාද ෂෙහාරා මේ ආදිත්‍යය කියන්නේ ? ”
රවින්ද්‍ර ෂෙහාරා දෙසට හැරුනේය.ඇය කිසිවක් කරකියා ගත නොහැකි බැල්මකින් ඉවත බලා ගත්තාය.
” මම මෙච්චර කල් ඔයාලට වත් අපේ ගෙදරට වත් මේ කිසිම දෙයක් කිව්වේ නැහැ.මොකද මට ඕන වුණේ නෑ ගෙදර ගිනි පිටට දෙන්න.ඒ නිසා මම මාස ගානක් හැමදේම ඉවසගෙන බලාගෙන හිටියා. ගොඩක් දවස්වල රෑට මෙයා ගෙදර හිටියේ නැහැ. එක්කො පාන්දරට බීලා ගෙදර එනවා , නැත්නම් පහුවදා උදේට එනවා.අඩුම ගානේ මං කන්නෙ බොන්නෙ කොහොමද කියලවත් හොයලා බැලුවේ නැහැ.ඒත් මං වචනෙකින් වත් වැරැද්දක් කිව්වේ නැත්තේ මගේ තියෙන නෝන්ජල් කම නිසා නෙමෙයි. මගේ ගෙදර ඇතුළෙ මන් දැකපු රණ්ඩු අපි දෙන්නගෙ ගේ ඇතුලෙත් මට දකින්න ඕනෙ නැති නිසා. ෂෙහාරා එහෙම හැසිරෙන්න ඇත්තටම හේතුව වුණේ මොකක්ද කියලා මං දැනගත්තේ මේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ. මං බොරු කියනවා කියලා හිතනවා නම් අම්මලට පුළුවන් උඩ ෆ්ලෝ එකේ ඉන්න රයන් ගෙන් හැමදේම අහල දැනගන්න. මමත් එයා ගෙන් තමයි හැමදේම අහලා දැන ගත්තේ ”
ආදිත්‍ය එසේ කී විට ෂෙහාරා පුදුම වී ඔහු දෙස බැලුවේය.එසේ නම් ආදිත්‍ය රයන්ව මුණගැසී ඇත. ඔහු සෑම දෙයක්ම ආදිත්‍ය වෙත පවසන්නට ද ඇත. තමාට මේ වරදින් දැන් කිසි සේත්ම ගැලවීමක් ලැබිය නොහැක.තමා රයන්වද රැවටූ නිසා අනිවාර්යෙන්ම ඔහු ආදිත්‍යගේ පසින් සිටගනු ඇත.
” අනිත් නරකම දේ තමයි ෂෙහාරා ඒ මනුස්සයවත් රවට්ටපු එක. ඒ මනුස්සයා දන්නේ නැහැ මෙයා මැරීඩ් කියලා ”
ආදිත්‍ය වාඩි වූයේය. ෂෙහාරාගේ දෙමව්පියන්ව රෝහලට කැඳවා කළ දේ පිළිබඳව අංශු මාත්‍රයක තරම්වත් පසුතැවීමක් ඔහු තුළ තිබුණේ නැත. රවින්ද්‍ර මෙන්ම ශීලා ද ෂෙහාරා සිටි රෝහල් ඇඳ අසලට කිට්ටු වූයේ කෝපයෙනි.
” තමුසේ මේ මොකක්ද කරගත්තේ ෂෙහාරා ? උඹට ටිකක් වත් අම්මයි මමයි උඹව හදපු විදිහ ගැන මතක් උනේ නැද්ද ? ”
රවින්ද්‍ර කෑගැසුවේය.ශීලා ඔහුව වළක්වන්නට උත්සාහ කළත් රවින්ද්‍ර නතර වූයේ ෂෙහාරාට කම්මුල් පහරක්ද ගසා පසෙකට වූ පසුවය.
” උඹ අපිට ලැජ්ජ කලා ෂෙහාරා. මං හිතුවේ නෑ උඹ මේ වගේ ළමයෙක් කියලා. ශික් ”
ශීලා බලහත්කාරයෙන් මෙන් රවින්ද්‍රව වාඩි කරවූයේය. තම දියණිය පිළිබඳව මෙවන් කටුක සහ නීරස කතා ඔහුගේම සැමියාගේ මුවින් ඇසීමට ඔවුන් දෙදෙනාම කිසි දිනයක බලාපොරොත්තු වී තිබුණේ නැත.
” අනේ අපිට සමාවෙන්න පුතේ ”
අවසානයේදී රවින්ද්‍ර කීවේ වෙන කීමට යමක් නොමැති තැනය. මෙතෙක් කාලයක් තමා තම ව්‍යාපාර සහ පවුල ගොඩනගා ගනිමින් ගෞරවාන්විතව ජීවත් වූයේය. ෂෙහාරාව ආදිත්‍ය වෙත විවාහ කර දුන්නේ ද ඉතාම ගෞරවාන්විතව තම නෑදෑ හිත මිත්‍රයන් ඉදිරියේය. එහෙත් විවාහයෙන් අනතුරුව ෂෙහාරා මේ සිදු කරගෙන ඇත්තේ ජීවිත කාලයටම නොමැකී යන කැළලකි.
” මං ඉක්මනටම ඩිවෝස් එක දානවා ”
ආදිත්‍ය මොහොතක් බලා සිට කීවේය.
” ආදිත්‍යය ? ”
සියල්ලෝම ආදිත්‍ය දෙසට හැරුනද ආදිත්‍ය වෙන අතක් බලා ගෙන උන්නේය.මේ තමාගේ දරා ගැනීමෙහි සහ ඉවසීමෙහි අන්තිම කෙළවරය. ෂෙහාරාගේ අකටයුතුකම් තවදුරටත් ඉවසිය නොහැක. ඒ නිසා තමා වෙනුවෙන් කළ යුතු හොඳම දේ වන්නේ මෙය වන අතර ඉන් පසුව ෂෙහාරාටද ඇය කැමති ආකාරයකට ජීවත් විය හැක.
” මං දන්නවා ආදිත්‍ය ෂෙහාරා ගෙන් වුනේ කවදාවත් හරිගස්සන්න බැරි වැරැද්දක් කියලා.මෙතනින් එහාට මෙයාව විශ්වාස කරන්න ඔයාට බෑ කියලත් මං දන්නවා.ඒත් පුතේ තාත්තා කෙනෙක් විදිහට මං ඉල්ලන්නේ මේ තීරණය ගැන ආපහු හිතන්න කියලා ”
රවින්ද්‍ර කීවේ අසරණවය. ජීවිතයේ ඔහු කිසිවෙකුත් ඉදිරියේ මේ තරම් බැගෑපත් හඬකින් යමක් ඉල්ලා නොමැති බව ශීලා දනී. ඔහුගේ ඉල්ලීම ඉදිරියේ හෝ ආදිත්‍ය තම තීරණය වෙනස් කරාවි යැයි බලාපොරොත්තුවක් ෂෙහාරා තුළ ද ඇති වූයේ ඒ මොහොතේදීය.
” Im sorry තාත්තා. මට මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැහැ. මට තවත් රැවටෙන්න බැහැ. මගෙන් අයින් වුනාට පස්සේ ෂෙහාරාට පුළුවන් එයා කැමති විදිහකට ජීවත් වෙන්න. අනිත් එක එයාට ජීවත් වෙන්න ඕන කරන සල්ලිත් මම එයාට දෙනවා. ”
සන්සුන් හඬකින් එසේ කියූ ආදිත්‍ය කාමරයෙන් පිට වූයේ ෂෙහාරාටත් ඇගේ දෙමව්පියන්ටත් ඕනෑම දෙයක් කතා කර ගන්නට ඉඩ තබමිනි.
” උඹ අපිව කෑව ෂෙහාරා ”
ආදිත්‍ය පිටව ගිය සැනින්ම රවින්ද්‍ර නැවතත් ගෝරනාඩුව ආරම්භ කළේය.