ආදර සැලසුම් – 26

0
2972

ආදිත්‍ය උදෑසන හය වන විට පිබිදුනේය. දින ගණනාවකට පසුව සිතේ වූයේ වෙනදා නොවූ තරමේ සැහැල්ලුවකි. ඒ වන විටත් ෂෙහාරා නිදා හුන් නිසා ආදිත්‍ය නාන කාමරය වෙත ගොස් රැවුලද පිළිවෙලට කපා ගෙන පැය බාගයක් පමණ නා ගත්තේය. ආදිත්‍ය නාන කාමරයෙන් පිටතට පැමිණෙන විට ෂෙහාරා කාමරයේ සිටියේ නැත. 

ආදිත්‍ය පෙරදා රාත්‍රියේ සූදානම් කර තැබූ තද නිල් පැහැ කලිසමත් , සුදු පැහැ අත් දිග කමිසයත් හැඳ නිල් සහ සුදු පැහැ රටාවෙන් හැඩවුණු ටයි පටියකුත් පැළඳ ගත්තේය. උරහිස තෙක් දිගු කොණ්ඩය හොඳින් පීරා හිස් මුදුනට වන්නට බැඳ ගත් ආදිත්‍ය වාහනයේ යතුර සහ මුදල් පසුම්බිය අතට ගෙන තරප්පුව බැස්සේ උදෑසන හතයි තිහ වන විටය. 

ආදිත්‍ය තරප්පුව බැස එන විට ෂෙහාරා ඉදිරියට පැමිණි අතර ඇගේ අතෙහි වූයේ සැන්විච් දෙකක් සහිත පිඟානක් සහ කෝපි කෝප්පයකි. එය දුටු විට ජීවිතය තුළ ශෙහාරා කෙරෙහි තරමක අනුකම්පාවක් ඇති වුවද ඔහු ඒ සිතුවිල්ල ඉතා ආයාසයෙන් මැඩගත්තේය.

” බ්‍රෙක්ෆස්ට් අරගෙන යන්න ආදිත්‍ය “

ආදිත්‍ය ඉදිරියට තැබූ පියවර නතර කර ගත්තේය.ෂෙහාරා තවමත් තමාගේ නීත්‍යානුකූල බිරිඳය. මේ ගෙවෙන්නේ ඇය සමඟ එක වහලක් යට ගත කරන අවසාන දින ගණනාවය. ඇය විවාහ වූ මුල් කාලයේ ලෙස හැසිරෙන්නට උත්සාහ ගත්තත් ඇයට සමාව දීමට අදහසක් ආදිත්‍ය තුළ වූයේ නැත. එහෙත් ඇගේ හිත නොරිදෙන ලෙස කටයුතු කරන්නට සිතා ගනිමින් ආදිත්‍ය කෝපි කෝප්පය පමණක් අතට ගත්තේය.

” කොෆී එක විතරක් ඇති ෂෙහාරා. මට මෙච්චර උදෙන් කන්න බැහැ ” 

ෂෙහාරා මද සිනහවක් පමණක් පෑවාය. ඇය මේ කටයුතු කරන්නේ හදවතින් ද , එසේත් නැත්නම් රඟපෑමක් දැයි සිතන්නට ආදීත්‍ය වෙහෙසුනේ නැත. කෝපි කෝප්පය උගුරට දෙකට පානය කළ ආදිත්‍ය එය ෂෙහාරා අතේම තබා නිවසින් පිටවූයේය.

වාහනයට නැගුණු පසු ආදිත්‍ය දුටුවේ නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරි පිටට වී බලා සිටින ෂෙහාරාවය. ඇය මේ ආකාරයෙන් හැසිරුණේ විවාහ වූ මුල් කාලයේ වුවත් ඉන් පසුව ඇගේ හැසිරීම සහ ඇය කළ වංචාවට අනුව එම වැරදි නිවැරදි කරන්නට ඇය කොතෙක් උත්සාහ දැරුවත් හදවතේ ඇතිවූ ඒ විශාල පලුදුවීම නැවත පිරිසකර කරන්නට නොහැකි බව සිතමින් ආදිත්‍ය වාහනය ගෙමිදුලෙන් පිටතට ගත්තේය.

මෞර්යා උදෑසන අටවන විට ආයතනය පිහිටි පරිශ්‍රයට පැමිණ වාහන අංගනයේ කොනක වාහනය නතර කළාය. පෙරදින රාත්‍රියේ හරි හැටි නින්දක් නොවූ නිසා අවදි වීමට ප්‍රමාද වූ බැවින් මෞර්යා නිවසින් පිටත් වූයේ උදෑසන ආහාරය ගෙන නොවේ.එම නිසා එන අතර මඟදී මිලදී ගත් පේස්ට්‍රි එක ද කෝපි එකද අතට ගත් මෞර්යා වාහනය තුළ සිටම උදෑසන ආහාරය ලබා ගැනීම ආරම්භ කළේ කාර්යාලයට යාමට තවත් කෙටි වේලාවක් ඉතිරිව තිබෙන බැවිනි.

මුහුණු පොතට පිවිසි මෞර්යා එහි ඒ මේ අත සැරිසරුවේ ඕනෑවට එපාවට මෙනි.තවත් විනාඩි පහක් පමණ ඇතුළත කෑම අවසන් කළ මෞර්යා අත වූ කෝපි එකද පානය කර අත් බෑගයේ වූ ලිප්ස්ටික් එක පිටතට ගෙන නැවතත් යන්තමින් ආලේප කර ගත්තාය.ඉන්පසුව දුරකථනයේ කැමරාව විවෘත කර තවත් වරක් හිසකෙස් ද සකස් කරගෙන මුහුණ ඒ මේ අත හරවා හැඩ බැලුවාය.

ආදිත්‍ය වාහන අංගනයේ වාහනය නතර කර ඉන් බැස වටපිට බැලුවේය.වාහන දෙක තුනකට මදක් නුදුරින් මෞර්යාගේ වාහනය නවතා තිබෙනු දුටු ආදිත්‍ය ඒ වෙත කිට්ටු වූයේ එහි සිටින මෞර්යාගේ ඡායාව තරමක් ඈතට පෙනෙන බැවිනි. මෞර්යා සිටින්නේ දුරකථනයෙන් හැඩ බලන අතරේ බව දුටු ආදිත්‍ය හට සිනහ පහළ වූයේය. ඔහු වාහනේට කිට්ටු වී වීදුරුවට දෙවරක් පමණ තට්ටු කරද්දී මෞර්යා තිගැස්සුනාය. මොහොතක් ආදිත්‍ය දෙස සිනා මුසු මුහුණින් බලා සිට මෞර්යා අත් බෑගයද ගෙන වාහනයෙන් බැස්සාය.

මෞර්යා වාහනයෙන් බැස එය යතුරුලන අතරේ ආදිත්‍ය ඇය දෙස බලා උන්නේ පුදුමයෙනි. ඇය හැඳ උන්නේ දණහිස තෙක් දිගු වූ තද නිල් පැහැ සායකට සුදු පැහැ බ්ලවුසයකි. ආදිත්‍ය වෙත හැරුණු මෞර්යාද ඔහු දෙස උනන්දුවෙන් බැලූ විට පුදුම වූ අතර දෙදෙනාටම සිනහ පහළ වූයේ එක විටය.

” කතා වෙලා වගේ ” 

ආදිත්‍යය සිනා අතරින් කීවේය. ඔහු වෙනදාට වඩා පැහැබරය. පෙර දිනයේ ඔහු තුළ දක්නට තිබූ මලානික බව තරමක් පහව ගොස් තිබේ. එය සතුටු වීමට කාරණාවකි. සමහර විට තමා සමග සියල්ල පැවසීමෙන් පසුව ආදිත්‍යගේ සිතට තරමක සැනසීමක් දැනෙනවා විය හැක.

විදුලි සෝපානයේදී වත් මෞර්යා වදනක් හෝ කතා කලේ නැත. ආදිත්‍යද ඇය දෙස හොරැහින් බලමින් සිටියා මිස ඉන් එහාට කිසිවක් නොකියා උන්නේය. දෙදෙනාම කාර්යාලයට ඇතුළු වන විට අභිමන් පැමිණ සිටි අතර ආදිත්‍යගේ පැමිණීම ඔහුව පුදුමයට මෙන්ම ඉතා සතුටට ද පත් කළේය.

” අයියා ? ඔයා එනවා කියලා කිව්වෙ වත් නෑනේ ? ” 

අභිමන් පැමිණ ආදිත්‍යය ව වැළඳ ගත්තේය. මෞර්යා ද එතනම නැවතී බලා උන්නේ ඔවුන් දෙදෙනාව මගහැර යාමට නොහැකි නිසාය. මෞර්යා බලා සිටින දුටු බැවින් අභිමන් ඇය වෙත හැරුනාය.

” අයියා මේ මෞර්යා . ඔයාට මීට් උනේම නැහැනේ ” 

ආදිත්‍ය යන්තමින් සිනාසුනේය.

” මං මෙයාව දන්නවා ” 

” ඒ කොහොමද අයියා ? ” 

” මමනේ මෙයාව interview එකෙන් තෝර ගත්තේ. CV එකේ මෙයාගේ ෆොටෝ එක තිබුණනේ. දැන් මේ හම්බුනාට පස්සේ අඳුරගත්තේ ඒ මෙයා කියලා ” 

ආදිත්‍ය පිළිතුරු දුන්නේය. තමා හා මෞර්යා අතර පවතින දැන හැඳුනුම්කම පිළිබඳව කිසිවෙකුටත් කිව යුතු නොවේ. ඒ හැඳුනුම්කම මත මෞර්යාව රැකියාවට තෝරා ගත්තා යැයි කිසිවෙකුත් දැන සිටිය යුතු නැති නිසා එය නොකියා සිටීමට ආදිත්‍ය කලින්ම තීරණය කර සිටියේය. ආදිත්‍ය දුන් පිළිතුර අභිමන් ද පිළිගත් අතර මෞර්යා ද සිනාමසු මුහුණින් තම ආසනය වෙත පැමිණියාය.

ආදිත්‍ය කාර්යාල කාමරය වෙත පැමිණ වාඩි වූයේ පිරුණු සිතිනි. තමාගේ ජීවිතයේ බොහෝ දෑ දෛවයේ විසින් තීරණය කර තිබුණේ ඉතා කටුක සහ අසාධාරණ ලෙසය. ඒවාට මුහුණ දීම අසීරු වූ නමුත් වෙන කළ හැකි යමක් නොමැති නිසා ඒ සියල්ල භාර ගෙන කටයුතු කිරීමට ආදිත්‍ය හිත හදා ගනිමින් උන්නේය. තමා අතින් ෂෙහාරාට කිසි දිනක වරදක් වූයේ නැත. එම නිසා තමාට ජීවිතය වරදින්නට ඉඩක්ද නැත.තමා තවමත් පසු වන්නේ තිස් පස් වැනි වියෙහිය. ජීවිතයේ තව බොහෝ කාලයක් ගෙවන්නට තමාට ඉතිරිව තිබේ. ඒ නිසා ෂෙහාරා ගෙන් දික්කසාද වූ පසු ජීවිතය පිළිබඳව ඉතා හොඳ තීරණයකට එළඹිය යුතු බව ආදිත්‍ය සිතුවේය.

අභිමන් උන්නේ කාර්යබහුල මොහොතකය. එහෙත් මෞර්යා සමග වචනයක් දෙකක් හෝ කතා කරන්නට ආසාවක් ඔහු තුළ හදිසියේ උපන්නේය. විනාඩියක් දෙකක් පමණ කල්පනා කළ අභිමන් හෙමින් සීරුවේ කාර්යාල කාමරයෙන් පිටතට පැමිණි ඉතා දිගුව පෙනෙන කාර්යාලය පුරා බැල්මක් හෙළුවේය.සාමාන්‍යයෙන් අභිමන් මේ කාර්යාලය පුරා ඇවිදිමින් සේවකයන් සමග කතාබහ කරන දර්ශනය අරුමයක් නොවන නිසා කිසිවෙකුත් ඒ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක් වූයේ නැත. අභිමන් එකිනෙකා දෙස බලන අතරේ පියවර තබමින් පැමිණියේ මෞර්යා ගේ ආසනය අසලටය.

” මෞර්යා ” 

ලැප්ටොප් පරිගණකයට මුහුණ යොමාගෙන හුන් මෞර්යා තිගැස්සුනාය. අභිමන් තමා අසල සිටගෙන සිටිනවා දුටු විට ඇය එකවරම ආසනයෙන් නැගිට්ටාය.

” නෑ නෑ වාඩි වෙන්න.ඔයා අර project එක කරන ගමන්ද ? ” 

අභිමන් ඇසුවේ මෞර්යාගේ laptop පරිගණකයට අවධානය යොමු කරන අතරේය.ඇයගේ නිර්මාණශීලීත්වය සහ දක්ෂතාවය පිළිබඳව අමුතුවෙන් විමසා සිටිය යුතු නැතත් මේ මොහොතේ ඇය සමග කුමක් හෝ කතා කළ යුතුය. මෞර්යා නැවත අසුන් ගෙන අභිමන් තවත් යමක් කියන තුරු බලා උන්නාය.

” ඔයා මේක ලස්සනට හදලා තියෙනවා. මේක නර්සරි එකක වැඩක් නිසා පැස්ටල් කලර්ස් යූස් කරපු එක හොඳයි ” 

මෞර්යාව අගය කරන විට ඇගේ මුහුණේ සිනහවක් ඇඳෙන අයුරු අභිමන් දුටුවේය. එය ඕනෑ තරම් වේලා බලා සිටිය හැකි අන්දමේ සිනහවකි. පාසල් යන කාලයේවත් තමා තරුණියකට මේ ආකාරයෙන් ආකර්ෂණය වී නැති බව අභිමන් සිතුවේ අසුන් ගෙන සිටින මෞර්යා දෙස තවත් වරක් හොරැහින් බලන අතරේය.

” මේ වැඩෙත් එක්ක අදත් ලන්ච් ගන්න පරක්කු වෙයිද මෞර්යා ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here