මලිත් ජාන්වීගෙ ගෙදර ආවේ අනිල් ධර්මවර්ධන තමන්ට දුරකතනයෙන් අමතා දවස් දෙකක් තුනක් පමණ ගෙවුණ තැනය. මලිත් ඇත්තටම උන්නේ ඒ ගමන යන්නට හිත හදාගෙන නොවෙන නමුත් තමන් ඒ ගමන නොයෑම මේ ප්‍රශ්න තවදුරටත් බොහෝ දික් ගස්සන්නට හේතු වන්නට හැකි බවට සැකයක් මලිත්ගේ හිත අස්සේ තිබුණේය.
අනික් අතට තමන් මේ ප්‍රශ්නයට දිය යුතු උත්තරේ කුමක්ද කියන ගැටලුව මලිත් ගේ හිතට නිරත්තරයෙන් වද නුදුන්නා නොවේ.
“ඔය දෙන්නා ගැනද එහෙම නැත්තම් ඩිවෝස් එක ගැනද?” කියා එදා මේධාංගනී අහද්දීත් මලිත් කලබල උනේ නැතුව එහෙමම ඇඳ මත හාන්සි වී උන්නේ එයට දිය යුතු උත්තරේ කල්පනා කරමිනි.
“ඇයි ඔයා එකපාර ඩිවෝස් එක ගැනද කියලා ඇහුවෙ? මං එහෙම දෙයක් ගැන කිව්වෙ නෑනෙ” කියා මලිත් මේධාංගනීට කිව්වේ ඇත්තටමය. ජාන්වි තමන්ගේ නිවස අත හැර දමා ඇගේ මහ ගෙදර බලා ගියද ඒ සඳහා තමන් කල යුතු වන්නේ ඇයව දික්කසාද කිරීමද යන්න මලිත් හිතෙන් ඇසුවේය.
“වෙන ඉතින් මොකද්ද කරන්නෙ?” කියා මේධාංගනී ආයෙ අහද්දී මලිත් හාන්සි වී හුන් තැනින් නැගිට ඇඳ මත ඉඳ ගත්තේ දෙපා පහලට එල්ලාගෙනය.
“ඇයි එකපාර එහෙම දෙයක් කිව්වේ?”
“ඔයා ඔය කෙල්ලව යාලු කරගෙන හැම තැනටම උස්සගෙන එද්දිත් මම ඉඳන් කිව්වනෙ එයා ඔයාගෙ කරියර් එකට මාර ලොකු ත්‍රෙට් එකක් වෙන්න පුලුවන් කියලා. අනික ඔයා මැරි කරේ ඔයාගෙ හොඳම වයසෙදි. කොල්ලො මේ අවුරුදු විසි ගණන්වලින් කසාද බඳින්න ඕන ද අප්පා? ලයිෆ් එක හොඳට එන්ජෝයි කරන්න පුලුවන්කම තියාගෙන” කියාගෙන මේධාංගනී තමන් දෙස බලා සිනාසුනත් මලිත් උන්නේ එයට පිළිතුරක් ලෙස සිනාවෙන්නට අමතක වීය. මේධාංගනී එහෙත් ඒ නිහඬතාවයෙන් නිහඬ වෙන්නට හිතුවේ නැත. ඇය උන්නේ දිගටම කතා කරමිනි.
“අනික ඔයාලගෙ ලයිෆ් එකට හරියන්නෙ මේ ඉන්ඩස්ට්‍රි එකේම ඉන්න කෙනෙක්. මං කියන්නෙ ඔයාට මේ මැරිකරන්න ලොකුවටම උවමනාවක් තියෙනම්. එහෙම නැත්තම් මම කියන්නෙම බෙස්ට් තින්ග් ටු ඩූ ඊස් තනියම ඉන්න එක. අපි ඇයි මලිත් මැරි කරන්නෙ? ඇත්තටම කිව්වොත් ඔය ආදරේ ඒව මේව මුකුත් හන්දා නෙවෙයි අපිට හිතෙන හිතෙන වෙලාවට සෙක්ස් කරන්න උවමනා හන්දනෙ? මිනිස්සු කසාද බඳින්නෙ තමන්ට මැරිකරන්නෙ නැතුව සෙක්ස් කරන්න කෙනෙක්ව හොයාගන්න බැරිවෙයි කියන බයට.
බට් ඔයාට ඒ ඉශූ එකක් නෑනෙ. එහෙම එකෙම මට තාම හිතාගන්න බෑ ඔයා ඇයි මැරි කරේ කියලා. අයෑම් ප්‍රිටි ශුවර් ඔයා ඔය ගර්ල්ගෙන් ඩිවෝස් උනාට පස්සෙ තමයි ඔයාගෙ හොඳම කාලෙ එන්නෙ කියලා” මේධාංගනී කියද්දී මලිත්ට ඒ වචන දැනුනේ කන් කරච්චලයක් විදියට ය.තමන් මේ විදියට මේධාංගනී එක්ක නිදාගන්නේ ඇය තමන්ට මේ ක්ශේත්‍රයේ ඉස්සරහට යන්නට අත හිත දෙන හන්දා මිසක් ආදරයක් හන්දා නොවන බව දන්නේ තමුන් ය. අනික කොහොමත් මේධාංගනී මෙහෙම නිදාගන්නා එකම පිරිමියා තමන් නොවන බව මේධාංගනීත් හොඳාකාරවම දනී. එහෙම එකේ මේධාංගනී මෙහෙම කියන්නෙ ඇයිද කියන එක මලිත් ට හිතාගන්න බැරි දෙයක් වගේම පොඩ්ඩක් විතර කරදරයකි. මලිත් ඇවිත් ගෙමිදුලේ වාහනය නතර කරද්දිත් ජාන්වි උන්නේ කාමරයේ සිට එලියට එන්නෙ නැතුවය.එහෙම කරන එක එක්තරා විදියක මදි පුංචිකමක් විදියට ජාන්වි දුටුවේ “මං නෙවෙයිනෙ මෙතන වැරදි කරේ. එයානෙ වැරදි කරේ. එයා ඇවිල්ල මගෙන් සමාව ගන්නකම් මම එලියට යන්නෙ නෑ” කියා හිතමිනි.
එදා මේ කතා බහ ප්‍රශ්නකාරී එකක් නොවනු පිණිස සහ පවුලේ සාමාජිකයන් අතර සිදුවන කතාබහක් කරනු පිණිස ආන්‍යා තමන්ගේ සැමියා වුන නිසල් සමග මහගෙදරට විත් ය. කොච්චර ලොකු ව්‍යාපාරිකයෙක් උනත් අනිල් ධර්මවර්ධනත් මනෝරමාත් නිසල්ව භාරගත්තේ වඩා ආදරයෙනි. ඒ වනාහී මලිත්ට වඩා ආදරයෙන් යැයි කියන්නට ඒ දෙදෙනාට නොහැකි වූයේ තමන්ගේ ආදරයේ දිග පළල ගැන දැනගන්නටවත් මලිත් තමන් එක්ක එහෙමකට කියා ලං නොවුණ හන්දාය. මලිත් සහ ජාන්වී විවාහයෙන් පස්සේ තමන්ගෙන් බොහෝ ඈත්වෙද්දී මහගෙදර අම්මාත් තාත්තත් තනිවෙන්නට ඉඩ නොදී පාලුව මකන්නට නිතරම වගේ ගෙදර ආවේ ආන්‍යාටත් වඩා නිසල් ය. කුඩා කාලයේම අම්මාත්, අනතුරුව තරුණ අවදියෙදි අප්පච්චිත් නැතිවෙච්ච නුවර කොල්ලෙක් වුණ නිසල් කොළඹ ඇවිත් නුවරට විතරක් සීමා වී තිබුන තමන්ගේ ව්‍යාපාර දියුණු කරගත්තෙ හිත අස්සේ ඌ තනිකම මකාගනු පිණිසය. එනිසාම අම්මාත් අප්පච්චිත් නැති කොල්ලා මනෝරමාව සහ අනිල්ව දෙමව්පිය සෙනෙහෙන් වැළඳ ගත්තේ සැබෑවටමය.
“කොහොමද මචං?” කියා නිසල් තමන්ගේ එකම සහෝදරයාව නිවසට සාදරයෙන් පිළිගත්තද මලිත් හිනාවක් පෑවේ ඕනවට එපාවට මෙන් ය. ඒ හිනාවේ තැවරී තිබුනේ කඩවඩම් ජනප්‍රිය තරුවක් සතු ලොකු සීන් එකකට වඩා විවාහයේ ගැටලුවක් විසඳගන්නට තමන්ගේ බිරිඳගේ ගෙදරට ආ සැමියෙකුගේ අපහසුතාවය බව මලිත්ටත් වඩා අවුරුදු කිහිපයකින් වැඩිමහල්, පරිණත මිනිසෙකු වූ නිසල්ට අපහසු උනේ නැත.
අනිල් ධර්මවර්ධන කුස්සියේ සිට ඉස්සරහට ආවේ ඒත් එක්කමය. ආන්‍යාත් මනෝරමාත් උන්නේ කුස්සියට වී රාත්‍රී කෑම සකස් කරන ගමන් ය. එහෙත් දෙන්නාගේම හිත තිබුනේ සාලේ කැල්ලේ සැරිසරමිනි.
“කොහොමද පුතා?” කියාගෙන අනිල් ධර්මවර්ධන සාලයට එද්දී මලිත් නැගුවේ ඕනවට එපාවට මෙන් සිනාවකි. එහෙත් අනිල් උන්නේ තමන්ගේ දරුවාගේ සුබ සෙත උදෙසා ඒ සියලු නොසලකාහැරීම් අමතක කරමිනි. කෑම පිස අවසන්ව, කෑම මේසය සකස් කරද්දිත් එලියට ආවේ ජාන්වි නොවේ. අනිල් එයට මුකුත් නොකීවේ කොහොමත් රෑට කන්නට ජාන්විට එලියට එන්නට සිදුවෙන බව දන්න හන්දාය. සියල්ලන්ම කෑම මේසයට වාඩි වෙන්නට යද්දී ආන්‍යා කාමරයට යද්දී අක්කා උනේ බැල්කනියට වී ෆෝන් එකෙන් එක එක ඒවා බලමින් වෙනම කල්පනාවක ගිලී යමිනි.
“අක්කේ හැමෝම කන්න ලෑස්ති වෙලා ඉන්නෙ. අක්කත් යන්” කියා ආන්‍යා කිව්වද ජාන්වි උන්නේ ඒ වචන නොඇසුණාක් මෙනි.
“මං යන්නෙ නෑ නංගි. මට මලිත්ගෙ මූණවත් බලන්න උවමනාවක් නෑ”
“එහෙම කියල හරියන්නෙ නෑනෙ අක්කෙ. අනිකා ඒ මනුස්සයා ගෙදරට ඇවිල්ලා ඉන්න වෙලාවෙ අක්කා ඔහොම හැසිරෙන එක වැරදි නේද?”
“ඔව් ඔව් ඔයාලා ඔක්කොටම පෙන්නෙ මගෙ හැසිරීමේ වැරදි තමයි. මලිත්ගෙ හැසිරීමෙ වැරදි ඔයාලට පේන්නෙ නෑනෙ”
ජාන්විගේ කටහඬේ තිබුණේ පුදුමාකාර වේදනාවක්ය. ඇය නොසන්සුන්ව එහාට මෙහාට ඇවිදින්නට වෙද්දී අක්කා ඉන්නේ හරිම කලකිරීමකින් බව ආන්‍යාට නොතේරුනා නොවේ. ඇය හිමින් ජාන්වි ළඟට ගියේ ඇයව අස්වසනු පිණිසය.
“අක්කේ, මම එහෙම කිව්වේ ඔයාට වරදක් කියන්න නෙවෙයි. මම දන්නවා ඔයාට කොච්චර දුකක් ඇතිද කියලා මේ වෙච්ච දේවල් එක්ක. මලිත් අයියා වැරදි ඇති. ඒක හොඳටම දන්නෙ ඔයානෙ. ඒත් අක්කේ, ඔයා මේ හැසිරෙන විදියෙන් වෙන්නේ ඔයාලා දෙන්නා තව තවත් දුරස් වෙන එක විතරයි නේද? මේ වෙලාවෙ අපි කරන්න ඕන ලංවෙන්න විදියක් බලන එක නේද?” ආන්‍යා හිමින් හඬින් කියද්දි ජාන්වි දෙනෙත් කුඩා කර නංගි දෙස බැලුවාය.
“දුරස් වෙන්න? නංගි, අපි දැනටමත් දුරස් වෙලා ඉවරයි. මලිත්ට නිකමට පහු ගිය ටිකේ එන්න තිබ්බෙ නැද්ද? ඇයි එයා තාත්තා එයාට එන්න කියනකම්ම හිටියෙ? මාව උවමනා නැති හන්දා නේද? එහෙම කෙනෙක් එක්ක මම ආයෙත් ජීවත් වෙන්නේ කොහොමද?අනික එහෙම කෙනෙක් ඉස්සරහට මම ලැජ්ජාවක් නැතුව යන්නෙ කොහොමද?” අහද්දී ජාන්විගේ ඇස්වලින් කඳුළු ගලන්න පටන් ගත්තාය.
“අක්කේ, කසාද සම්බන්ධයක් කියන්නේ දෙන්නෙක් අතරේ හදපු වීදුරු ගෙයක් වගේ. ඒ ගෙදරට එක් කෙනෙක් ගලක් ගැහුවා කියලා, අනිත් කෙනාත් ආයෙත් ආයෙත් ගල් ගහලා ඒක විනාශ කරන්න බෑ.”
එක්කෙනෙක් වැරැද්දක් කළාම, අනිත් කෙනා කරන්න ඕනේ කැඩිච්ච බිත්තිවලට ආයෙත් සිමෙන්ති දාන එක. ඒක හරි අමාරුයි, හරි වේදනාකාරියි. හැබැයි අක්කේ, ඒක තමයි සම්බන්ධයක් බේරගන්න තියෙන එකම විදිය. මලිත් අයියා වැරදි. ඒක හැමෝම දන්නවා. ඒත් ඒ වැරැද්දට ඔයා දඬුවම් දෙන්න යන්නේ ඔයාගෙ ජීවිතේටත් එක්ක. ඒක සාධාරණද? අනික අක්කා හිතනවනම් මේ සම්බන්ධෙ දිගටම කරගෙන යන එක තේරුමක් නෑ කියලා මලිත් අයියා අක්කව හොයාගෙන ඒවි කියල බලන් ඉන්න එක තේරුමක් නෑ නේද?
අක්කේ, ඔයාට මේ වෙලාවේ දැනෙන්නේ ලොකු තරහක්, වේදනාවක් කියලා මම දන්නවා. ඒ හැමදේම ඇත්ත. හැබැයි ඔයා මේ තරහින් ඉන්නකොට, ඒ තරහෙන් වෙන්නේ ඔයාගෙ හිතම පිච්චිලා යන එක. ඔයාට මලිත් අයියව දාලා යන්න ඕනේ නම්, යන්න. ඒකත් එක තීරණයක්. ඒත් යන්න කලින් මේ ප්‍රශ්නේ හොඳට කතාබහ කරලා, දෙන්නටම අලුතෙන් ජිවීතේ පටන් ගන්න පුළුවන් විදියකට විසඳගන්න
ආදරේ හැමතිස්සෙම අක්කෙ කාටවත්, කාගෙවත් අතට ලස්සන වීදුරු ඕනමන්ට් එකක් වගේ හම්බුවෙන්නෙ නෑ. සමහර වෙලාවට ඒක කැඩිච්ච වීදුරු කෑලි වගේ බැඳීමක් වෙන්න පුලුවන් කාලයක් යද්දි. හැබැයි කැඩුන වීදුරු කෑලිත් පරිස්සමට අරගෙන එකතු කරලා ලස්සන මොසැයික් එකක් හදන්න පුළුවන් බව අමතක කරන්න එපා. හැබැයි ඒක කරන්න දෙන්නාටම උවමනාව ඕනෙ. නැත්තම් වෙන්නෙ ඒ කැඩිච්ච විදුරු කෑලි තම තමන්ගෙ හිත් අස්සෙ තියාගෙන හිත් හූරගෙන රිද්දගන්න එක විතරයි”