ආදර සැලසුම් – 35

0
2531

” මට පුළුවන් හැම දෙයක්ම කරනවා ” 

ආදිත්‍ය ඇසූ පැනයට මෞර්යා දුන් පිළිතුර එය විය. 

” පුළුවන් නම් ජීවිත කාලයම මාත් එක්ක ඉන්න” 

ආදිත්‍යයට වුවමනා වූයේ මෞර්යා හට එසේ කීමටය. එහෙත් ඇයට එසේ කිව නොහැක. තමා බැඳී සිටින බැඳීම් වලින් තමාව තදින් අල්ලා ගෙන සිටින අතර ඒවාට තිත තබා මිසක වෙන කෙනෙකු ජීවිතයට ලං කර ගැනීම කළ යුතු නොවේ. විශේෂයෙන්ම මෞර්යා වැනි සොඳුරු හිතක් ඇත්තියකට එවන් අසාධාරණයක් නොකළ යුතුය.මෞර්යාව තම ජීවිතයට ලං කර ගනිම් දෝ නැතහොත් ඈත් කර දමම්දෝ කියා ආදිත්‍ය සාදයට එකතු වන අතරේ දහස් වර කල්පනා කළේය.

මෞර්යා සමග කළ කතා බහ කුඩා එකක් වුවද ආදිත්‍ය තුළ වූ ශෝකී ගතිය යම් තරමකට හෝ පහව ගොස් තිබිණි.සාදය ඇරඹී තිබුණු අතර ආයතනයේ සියලු දෙනාම සතුටු සාමිචියේ යෙදෙමින් ගී ගයමින් පසු වූහ.ඒ අතරේද ආදිත්‍ය උන්නේ මෞර්යා කෙරෙහි අවධානයෙනි.මෞර්යා උන්නේ ගී ගායනයට එකතු වීය. ආයතනයේ සේවය කරන චමත්ක ගිටාරය වාදනය කරමින් ගිනි මැලය අද්දර වාඩි වී ගී ගැයුවේය.

තරු නැගෙන තුරා නිදිබර අඹරේ

සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ

ඔබ සුපුන් සඳක් සේ පායා

පහන් රැයක් වී ආවේ

සිත පවස දරා මිරිගුව අතරේ

දිය පහස පතා සිටියදි කතරේ

ඔබ සිහිල් දොලක් සේ පාවී

වසන්තයක් වී ආවේ 

මෞර්යා දැහැනකට සම වැදී මෙන් ගීතය අසා උන්නාය. චමත්කගේ මදුර ගී හඬ සීතල පරිසරය සිසාරා රැව් නැගෙද්දී බොහෝ දෙනා උන්නේ ඒ ආදරණීය හැඟීම විඳ ගන්නා අතරේය. දිය පහසක් සොයමින් කතරක අතරමං වී සිටින තමාට සිහිල් දොළක් වෙමින් පෙනී නොපෙනී යන මෞර්යා පිළිබඳව ආදිත්‍ය ගේ සිත තුළ බොහෝ හැඟීම් ඇති වෙමින් තිබුණු අතර ඔහු ඒවා යටපත් කර ගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වෙමින් උන්නේය.

රාත්‍රී ආහාර වේලාව පැමිණි අතර එය එළිමහනේ සූදානම් කිරීමට නිවාඩු නිකේතනයේ සේවකයන් කටයුතු කළහ. ගී රස විඳින අතරේ එකා දෙන්නා රාත්‍රී ආහාරයද ගනිමින් හුන් අතර මෞර්යා වාඩි වී හුන් තැනින් නැගිට ගොස් ලුණු සහ ගම්මිරිස් යහමින් ඉස තිබූ තැම්බූ එළවලු ස්වල්පයක්ද ග්‍රිල් කර තිබූ කුකුල් මස් පෙත්තක්ද පිඟානකට දමා ගන්නා අතරේ අභිමන් ද පිඟානක් රැගෙන මෞර්යා අසලට ගොස් නැවතුනේය.

“මෙච්චරද කන්නෙ මෞර්යා? “

මෞර්යා මදහසක් ඇතිව අභිමන් දෙස බැලුවාය. 

” මං රෑට ලොකුවට කන්නෙ නෑ මිස්ටර් අභිමන්”

“මහත් වෙලා කැත වෙයි කියලද ? ”  

” අපෝ නැහැ. ඒ මං පුරුදු වෙලා තියෙන හැටි “

මෞර්යා සිනාසුනාය. ඇය සූදානම් වූයේ පෙර වාඩිවී සිටි තැනට යාමටය. එහෙත් අභිමන් ඇය වළක්වාලමින් තවත් කුකුල් මස් පෙත්තක් ඇයගේ පිඟාන මතින් තැබුවේය. මෑතින් සිටි ආදිත්‍ය උන්නේ මේ සියල්ල බලාගෙනය.

” අනේ මට මෙච්චර කන්න බෑ මිස්ටර් අභිමන් “

” මේ සින්දුව අහගෙන කනකොට නිකන්ම කැවෙයි”

අභිමන් තැම්බු එළවළුද , කුකුළු මස් සහ ටෝස්ට් කරන ලද පාන් පෙති කිහිපයක්ද පිඟානට දමා ගත්තේය. මෞර්යා පෙර සිටි තැනට ගොස් වාඩි වූ අතර අභිමන්ද ඇය පසු පසින් ගොස් ඇය අසලින්ම වාඩි වූයේය.

” ආදිත්‍ය , කන්නේ නැද්ද පුතා? ” 

අශිකා ආදිත්‍ය අසලට පැමිණ විමසුවේ ඒ වන විටත් වේලාව රාත්‍රී නමයට ආසන්න වූ බැවිනි.ආදිත්‍ය අෂිකාගේ කීමට අවනත වී ටෝස්ට් කරන ලද පාන් පෙති දෙකක් සහ කුකුල් මස් පෙත්තක් සමග සොසේජස් දෙකක්ද පිඟානට දමා ගෙන පැමිණි අතර අශිකා ද කෑම බෙදා ගෙන විත් ආදිත්‍ය අසලින් වාඩි වූවාය.

” ඇහුනද පුතා”

අශිකා කෑම කන අතරේ කතාවට මුල පිරුවාය. ආදිත්‍ය පාන් කැබැල්ලක් මුව තුළට දමා ගනිමින් අශිකා දෙස බැලුවේය.

” මං හරි කැමතියි මල්ලිට අර වගේ ගර්ල් කෙනෙක් ලැබෙනව නම් ” 

අශිකා කීවේ ඇසෙන නෑසෙන ගානටය. ඒ මදක් නුදුරින් වාඩිවී ආහාර ගන්නා මෞර්යාත් අභිමනුත් දෙස බලමිනි. ආදිත්‍යයට දැනුනේ සියොලඟම දැවී යන්නාක් මෙනි. 

” ඒ ළමයා හැසිරෙන විදියේ කතාබහ කරන විදිය දැක්කම තේරෙනව හොඳට ඉගෙන ගත්ත හොඳ වැදගත් පවුලක ළමයෙක් කියලා.අඳින පළඳින විදිය වුනත් හරිම චාම් ” 

මෞර්යා දුටුවිට අශිකාට ඇත්තටම ඇය පිළිබඳව දැනුනේ ලෝභකමකි. ෂෙහාරා යනු තමා බලාපොරොත්තු වූ පන්නයේ ලේලියක නොවූවද අශිකා ෂෙහාරා ගේ ගති පැවැතුම් වලට සහ හැසිරීමට කිසි දිනක වචනයක් හෝ කීවේ නැත.ඒ වෙනුවට අශිකා කළේ ෂෙහාරාව ඒ ආකාරයටම බාර ගැනීම පමණි.එහෙත් මෞර්යා ඊට හාත්පසින්ම වෙනස් යුවතියකි.ඇය සරලය.අව්‍යාජය.

” අම්මට එහෙම හිතෙනවා නං ඉතින් හරි”

ආදිත්‍ය කීවේ යමක් කිව යුතු නිසා මිස හදවතින් නොවේ. ඔහුගේ මුහුණේ වූ හැඟීම් අශිකා නොදුටුවේ හාත්පස පරිසරයම අඳුරින් වෙලා ගෙන තිබුණු නිසාය.

” මම කිව්වේ මේ ළමයම නෙමෙයි ඉතින්.මේ ළමයා වගේ කෙනෙක් හරි කමක් නෑ කියලා. මල්ලිගේත් දැන් වයස හරියාගෙනනේ පුතේ එන්නේ. හැබැයි ඉතින් ඔයාට වගේ නොකර මල්ලිට එයාගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න ඉඩ දෙන්න ඕනේ. මං හිතාගෙන ඉන්නේ තාත්තත් එක්ක ඒ ගැන කතා කරන්න.හැබැයි ඉතින් ෂෙහාරා ගේ ප්‍රශ්නය නිසා මට හිතෙනවා තාත්තා මල්ලිගේ දේකට මැදිහත් වෙන එකක් නෑ කියලා “

අශිකා කියාගෙන ගියාය.තම වැඩි මහල් පුත්‍රයා සමග මෙවන් කතා බහකට ඉඩ ලැබෙන්නේ මෙහෙමත් අවස්ථාවක දීය. ඉන් උපරිම ප්‍රයෝජන ගත යුතුය.අනෙක් අතට ආදිත්‍යය මේ මොහොතේදී සිටින්නේ ඒ තරම් හිත සැහැල්ලුවකින් නොවන නිසා හැකි සෑම අවස්ථාවක දීම ඔහු තනිවීම සහ හිත රිදවා ගැනීම වළක්වාලිය යුතුය.

” කොහොමත් මට වෙච්ච දේ මං මල්ලිට වෙන්න ඉඩ තියන්නේ නෑ අම්මා ” 

” හැබැයි මට ඇත්තටම මෙහෙම දෙයක් හිතෙනවා ” 

අශිකා වඩාත් උනන්දුවකින් මෙන් ආදිත්‍ය දෙසට හැරුණාය.මෙවන් කතා බහ තමා සහ මව අතර ඇති වූයේ විවාහයට පෙරය. බොහෝ අවස්ථා වලදී අභිමන්ට වඩා අෂිකාට කිට්ටු වූයේ ආදිත්‍යය.අශිකා හිත රිදවාගෙන නිහඩ වන අවස්ථා වලදී පවා එය තේරුම් ගෙන කටයුතු කළේ ආදිත්‍ය නිසා බොහෝ තීරණාත්මක දේවල් පිළිබඳව අශිකා සාකච්ඡා කරන්නේ ආදිත්‍ය සමඟය.

” මට හිතෙනවා පුතා ඇත්තටම මල්ලිට මොකක් හරි අදහසක් ඒ ගෑණු ළමයා ගැන තියෙනවා කියලා. මං කීප සැරයක්ම දැක්කා දෙන්නා එකට ඉන්නවා  ” 

” මෞර්ය ගැන ? ” 

” එයාගේ නම මෞර්යාද? කෙල්ල වගේම ලස්සන නමක් ” 

ආදිත්‍ය පිඟානේ තිබූ දෑ මුවේ රුවා ගත්තේ අපහසුවෙනි. මෞර්යා යනු තමා අබියස පිපී තිබෙන එහෙත් නෙළා ගත නොහැකි සුන්දරතම මලකි. ඇය හට පහසුවෙන්ම ළඟා විය හැක්කේ අභිමන්ටය. තමා හා මෞර්යා අතර ඇත්තේ විශාල දුරස්ත භාවයකි.ආදිත්‍ය ගේ හිත පෙර තිබුණාටත් වඩා නොසන්සුන් වූයේ අශිකා කියූ දෑ පිළිබඳව සිහිවන විටය.

” මල්ලි ඉතින් කා එක්කත් හිතවත් නේ අම්මා. එයා ඔෆිස් එකෙත් එහෙමයි.මං වගේ නෙමෙයිනේ ” 

” ඒක ඇත්ත.ඒ උනාට මට ඊට වඩා දෙයක් එතන පේනවා පුතා. මං ඒකයි ඔයාට කිව්වේ.ඒත් මං දන් නෑ මට මේ පේන හැටිද කියලා ” 

ඕනෑම මවක් ප්‍රාර්ථනා කරන්නේ තම දරුවන්ගේ සතුටය.ඒ නිසා මෙහෙව් බලාපොරොත්තු අශිකා තුළ ඇති වීම ඉතාම සාමාන්‍යය. තමා සහ ෂෙහාරා අතර විවාහය බිඳ වැටෙමින් තිබෙන නිසා අශිකාට අභිමන් පිළිබඳව මෙවන් වූ අහිංසක බලාපොරොත්තු තිබීම අරුමයක් නොවේ. ඒ පිළිබඳව වැඩි දුර නොසිතා සිටීමට ආදිත්‍ය සිතුවේ ඉන් තමා වඩ වඩාත් වියවුලට පත් වන බව දැනුනු නිසාය.

” ඔයා කන්නෙ නෑනේ පුතේ ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here