අයිලීන් සීඩන් ව මැරුවෙ කවුද?

අපරාධ කතා අහන්න ආස අයටයි, පොලිස් පරීක්ෂණ ගැන උනන්දු අයටයි නිතරම හිතට එන ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම මේ අපරාධ වෙච්ච තැන්වල උනේ වුනාමයි කියලා අපි හිතන් ඉන්න දේද කියලා.  

2018 අප්‍රේල් මාසේ, ෆ්ලොරිඩාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නිස්කලංක ඊස්ට්පොයින්ට් කියන පුංචි නගරයෙ ඉන්න මිනිස්සුන්ටත් මෙන්න මේ වගේම ප්‍රශ්නයක් හිතට එනවා. ඒ අයිලීන් සීඩන් කියන තරුණියගේ අමානුෂික ඝාතනයත් එක්ක. මුලින් අහඹු ප්‍රචණ්ඩ ක්‍රියාවක් විදිහට පෙනුනත්, මේ කතාව ටිකෙන් ටික දිගහැරෙද්දි, ඒක අමුතුම සම්බන්ධකම්, අඳුරු රහස් වලින් පිරිච්ච අපරාධයක් බවට හැරෙනවා.

තුන්කොන් ආදර කතාවක්

2018 අප්‍රේල් 23 වෙනිදා ඊස්ට්පොයින්ට්වල නිස්කලංක බව බිඳිලා ගියේ, 98 අධිවේගී මාර්ගය අසලින්, හොඳටම තුවාල වෙච්ච අයිලීන් සීඩන්ගේ මළ සිරුර හම්බවීමත් එක්කයි. ඊට පස්සේ දවසේ, ළඟම තියෙන ඇපලචිකෝලා කියන නගරයේ ස්පෝර්ට්ස්මන්ස් ලොජ් මොටෙල් එකේ 15 වෙනි කාමරය ලේ වැකුණු බිහිසුණු අපරාධ ස්ථානයක් කියලා හඳුනාගැනීමත් එක්ක මේ ප්‍රශ්නෙ එන්න එන්න දිග්ගැස්සෙනවා. කාමරය පුරාම විනාකිරි සුවඳක් තිබුණා. ඒ කියන්නේ, කවුරුහරි ඉක්මනටම අපරාධ ස්ථානය පිරිසිදු කරන්න හදලා තියෙනවා කියන එක බව පොලිසිය වටහා ගන්නව. නාන කාමරය ඇතුළේ තිබුණු ලේ පැල්ලම් ගොඩක් පෙන්නුවේ, මේ පහරදීම්වලින් වැඩි හරියක් එතන සිද්ධ වෙලා තියෙනවා කියලයි. රුධිරය සහ අත්ලක සලකුණක් තිබුණු නාන තිර රෙදි දාන ලීයකුත් හම්බ වුණා. ඒක ආයුධයක් වෙන්නත් පුළුවන් කියලා සැක කළා.

මේ සිදුවීම එක්ක පටන් ගත්ත පරීක්ෂණ ඉක්මනටම අයිලීන්ගේ ජීවිතයේ තිබුණු අමුතු දේවල් කීපයක් හෙලිදරව් කරගන්නවා: ඒ තමයි අයිලීන්, සැකරි ඇබෙල් සහ ඇබෙල්ගේ පෙම්වතිය වූ ක්‍රිස්ටිනා අරූජෝ කියන තුන්දෙනා අතර තිබුණු “ත්‍රිත්ව” සබඳතාවය. අයිලීන්ගේ හොඳම යාළුවා වන “ඇලී” කියපු විදිහට, අයිලීන් ඇබෙල්ව අවුරුදු ගාණක් තිස්සේ දැනගෙන ඉඳලා තියෙනවා. ඇබෙල්ට දැනටමත් අරූජෝ එක්ක සම්බන්ධයක් තියෙද්දි තමයි ඇබෙල් සහ අයිලීන්  අතරත් ආදර සම්බන්ධයක් ඇතිවෙලා තියෙන්නේ. මුලින් මේ තුන්කොන් ආදර සම්බන්ධයට අයිලීන් කැමති වෙලා නැහැ. හැබැයි, පස්සේ කාලෙකදි ඇයට රැකියාව නැති වුණාම, ඇබෙල්ටයි අරූජෝටයි අයිති කාර් අලෙවි සැලේ වැඩ කරන්න පටන් ගන්න එයාට සිදු වෙනවා. සමහරවිට ඒ වගේ මූල්‍ය අසරණකමක් නිසා වෙන්න ඇති එයා මේකට එකඟ වෙලා තියෙන්නේ කියල පරීක්ෂන වලදි නිගමන වලට එනවා.

මේ තුන්කොන් සබඳතාවය ඉක්මනටම අවුල් වෙන්න පටන් ගත්තා. මුලින් අමුතු විදිහට පෙනුනත්, ඉක්මනටම ඒක ඊර්ෂ්‍යාව, බරපතල විදිහට මත්පැන් පානය කිරීම සහ ප්‍රචණ්ඩත්වය කියන දේවල්වලින් පිරිච්ච සම්බන්ධයක් බවට පත් වුණා. ඇබෙල්ගෙයි අරූජෝගෙයි යාළුවෙක් වන මයික් පිකවෙට් කිව්වේ අයිලීන් සහ ක්‍රිස්ටිනා නිතරම රණ්ඩු වෙනවා කියලයි. ඒත් ඇලී ඊටත් වඩා භයානක දේවල් තමා කිව්වෙ. එයා කිව්වේ ඇබෙල් තමයි නරකම කෙනා කියලා. ඇලී කියපු විදිහට, අයිලීන්ට තුවාල වෙලා රෝහල් ගත වෙන්නත් සිද්ධ වුණා. හැබැයි අයිලීන් කවදාවත් මේ අපයෝජන ගැන වාර්තා කරන්න කැමති වුණේ නැහැ. ඒකට හේතුව වුණේ, පාම් බීච් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් වන ක්‍රිස්ටිනාගේ තාත්තාගෙ පළිගැනීම්වලට එයාට මූණ දෙන්න වෙයි කියලා තිබිච්ච බය. අයිලීන්ගේ සහෝදරිය වන ෆ්‍රැන්සෙස්කා සීඩන් හරිම දුකින් හිටියේ, අයිලීන්ව ඒ භයානක තත්ත්වයෙන් බේරගන්න එයාට බැරි වුණ එක ගැන.

2018 අප්‍රේල් මාසයේදී මේ සිදුවීම් වල උච්චතම අවස්ථාව එනවා. අයිලීන්, තමන්ගෙ මේ අමුතු ඒ වගේම ටොක්සික් සම්බන්ධය නවත්වන්න තීරණය කළා. හැබැයි, ඇබෙල් සහ අරූජෝ අතර ලොකු රණ්ඩුවක් වෙලා, අයිලීන් සහ ඇබෙල් කාර් එකකින් පැනලා ගියාට පස්සේ, අරූජෝගෙන් දරුණු, තර්ජනාත්මක කෙටි පණිවිඩ ගොඩක් ආවා. පුදුමයකට වගේ, අරූජෝ පස්සේ කාලෙක ඩලස්වලදී ආයෙම එයාලා එක්ක එකතු වෙනවා. 

භයානක පෙරනිමිති 

මේ සංචාරය අතරතුර, අයිලීන් ඇලීට තමන්ගේ බය ගැන කිව්වා. ඇය “ලිංගික වහලියක්” වගේ ඉන්න බවත්, ඇබෙල්ගේ “ඇත්ත පැත්ත” ගැනත් කතා කළා. ඒ වගේම, එයා තමන්ගේ සහෝදරිය වන ෆ්‍රැන්සෙස්කාට කතා කරලා, “මට හිතෙනවා එයාලා මාව මරයි කියලා” කිව්වා. අයිලීන් සහ ඇලී ටැම්පාවලින් බසයකින් පැනලා යන්න සැලැස්මක් හැදුවා. ඒත්, දුකට කරුණක් තමයි, ඇලීට එයාගේ යාළුවාගෙන් ඊට පස්සේ ආයේ ආරංචියක් ලැබුණේ නැහැ.

අප්‍රේල් 21 වෙනිදා, තුන්දෙනා ෆ්‍රෑන්ක්ලින් ප්‍රාන්තයට ආවා. දවස පුරාම සාද පවත්වලා, ලොකු වොඩ්කා සහ ෆයර්බෝල් විස්කි බෝතල් අරගෙන, ඊට පස්සේ ස්පෝර්ට්ස්මන්ස් ලොජ් මොටෙල් එකේ 15 වෙනි කාමරයට තුන්දෙනාම ගියා. ඊළඟ රාත්‍රියේ, ඇබෙල් සහ අරූජෝ ෆෝට් ලෝඩර්ඩේල්වල මයික් පිකවෙට්ගේ ගෙදරට ආවා. පිකවෙට් එක්ක කතා කරද්දි, ඇබෙල් හරිම කලබලෙන් කිව්වා, ක්‍රිස්ටිනා තමයි අයිලීන්ව මැරුවේ කියලා. ඒ වගේම, 911 අමතන්න එයාට ඉඩ දුන්නේ නැහැ කියලත් කිව්වා. පිකවෙට්, එයාලව ආරක්ෂිතව අල්ලගන්න ඕන කියන අදහසින්, ක්‍රිස්ටිනාගේ තාත්තාට, කර්නල් ටෝනි අරූජෝට කතා කළා. කර්නල් අරූජෝ, තමන්ගේ රාජකාරිය විදිහට, පිකවෙට්ව පොලිස් ස්ථානයට යොමු කළා. එතනදි පිකවෙට්, ඡායාරූපයකින් අයිලීන් සීඩන්ගේ මළ සිරුර අඳුරගත්තා. ඊට පස්සේ ඇබෙල්වයි අරූජෝවයි අත්අඩංගුවට අරගෙන, මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කළා.

තීන්දුව සහ උත්තර නැති ප්‍රශ්න

අයිලීන්ගේ පවුලට අවුරුදු හයකට ආසන්න කාලයක් හරිම හිත රිදෙන තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා මේ කේස් එකත් එක්ක. අවසානයේදී, 2024 ජනවාරි මාසේ, සැකරි ඇබෙල්ගේ මිනීමැරුම් නඩු විභාගය පටන් ගත්තා. ඔහු තමන් වැරදිකාරයෙක් නෙවෙයි කියලා කිව්වා. එයාට තනියම තමයි නඩු විභාගයට මුහුණ දෙන්න වුණේ, මොකද ක්‍රිස්ටිනා අරූජෝ දැනටමත් දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනාවට වරද පිළිගෙන තිබුණා. අයිලීන්ට පහර දුන්නා කියලා ඇය පිළිගත්තා.

අරූජෝ රජයේ ප්‍රධාන සාක්ෂිකාරිය බවට පත් වුණා. ඇය තමයි 15 වෙනි කාමරයේ සිද්ධ වෙච්ච දේවල් ගැන එකම ඇසින් දුටු සාක්ෂිය දුන්නේ. ඇබෙල්ගේ නීතිඥයා වන ඇලෙක්ස් මොරිස්, ක්‍රිස්ටිනා තමයි මේ හැමදේම පිටුපස හිටියේ කියන එක සහ ඊර්ෂ්‍යාව නිසා මේ හැමදේම වුනා කියලා තදින්ම තර්ක කළා. ක්‍රිස්ටිනාගේ අත්වලයි, පාදවලයි තිබුණු තුවාල පේන ඡායාරූප ඔහු ඉදිරිපත් කළා. ඒ වගේම, ක්‍රිස්ටිනා ඇබෙල්ටයි අයිලීන්ටයි යවපු තර්ජනාත්මක පණිවිඩ, “ළඟට ආවොත් මම උඹව මරනවා” වගේ දේවල්, ඔහු “පැහැදිලි පාපොච්චාරණයක්” විදිහට හැඳින්නුවා. අරූජෝ තමයි හැමදේම පාලනය කළේ කියලත්, අපරාධ ස්ථානය පිරිසිදු කරන්න ඇබෙල්ට උපදෙස් දුන්නේ ඇය කියලත් මොරිස් කිව්වා. නඩු පවරන නිලධාරී ජැරඩ් පැටර්සන්, ඇබෙල්ටත් ඒ අපරාධය සම්බන්ධව ලොකු වගකීමක් තියෙනවා කියලා තර්ක කළා. “එයාලා එකට ජීවත් වුණා. එකට වැඩ කළා. එකට ව්‍යාපාරයක් කලා.  එකට මොටෙල් එකට ගියා.එකට කාමරේ අස් කරා… එකට පැනලා ගියා. එකට අත්අඩංගුවට ගත්තා. එකට නොකරපු එකම දේ තමයි අයිලීන් සීඩන්ව මරපු එක?” කියලා ඔහු ඇහුවා.

පැය පහක සාකච්ඡාවකින් පස්සේ, ජූරි සභාව සැකරි ඇබෙල්ව දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනාවට වැරදිකරු කළා. ජූරි සභාවේ ප්‍රධානියා මාධ්‍යවේදී ඩේවිඩ් ඇඩ්ලර්ස්ටයින්ට කියලා තිබුණේ, ඇබෙල්ට අයිලීන්ව මරන්න අදහසක් තිබුණාද කියලා තීරණය කරන්න එයාලට අමාරු වුණා කියලයි. ඒ නිසා, එයාලා ක්‍රිස්ටිනාට දුන්න තීන්දුවම ඇබෙල්ටත් දෙන්න තීරණය කරලා තියෙනවා.

මයික් පිකවෙට් නම් තවමත් විශ්වාස කරන්නේ, එයාගේ යාළුවා මේ මරණයට සම්බන්ධ නැහැ කියලයි. “මට නම් හිතෙන්නේ අහිංසක මනුස්සයෙක් හිරේ ඉන්නවා” කියලා ඔහු කිව්වා. ඒත්, විශ්‍රාමික පොලිස් නිලධාරී රොනී ජෝන්ස් කිව්වේ දෙන්නම එක වගේ වැරදිකාරයෝ කියලයි.

නොවිසඳුනු ප්‍රශ්න සහ ඉතිරි වුණ වේදනාව

තීන්දුව ලැබුණත්, රොනී ජෝන්ස් කිව්වේ අයිලීන්ගේ මරණයට හේතුව තාමත් තමන්ට ප්‍රහේලිකාවක් කියලා. අයිලීන් ගැබ්ගෙන ඉඳලා තියෙනවා වෙන්න පුළුවන් කියලා කටකතා තිබුණත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඒක තහවුරු වුණේ නැහැ.

ඇබෙල්ට දඬුවම් දෙන වෙලාවේ, ඔහු පුදුම හිතෙන කතාවක් කිව්වා: එයාලගෙ සංචාරෙ අතරතුර, ඔහු අයිලීන්ගෙන් විවාහ යෝජනාවක් කරලා තියෙනවාලු, මුද්දක් දීලා. අයිලීන් ඒකට කැමති වෙලා, ක්‍රිස්ටිනාව අතඇරලා එයාලා දෙන්නා විතරක් මේ road trip එක යන්න හදලා තියෙනවා. ඒත්, අයිලීන්ගේ සහෝදරිය වන ෆ්‍රැන්සෙස්කා මේක ” බොරුවක්” කියලා කිව්වා.

විනිසුරු ඕල්මන්, අයිලීන් සීඩන්ගේ තුවාල වල බරපතලකම ගැන කතා කරලා, ඇබෙල්ට උපරිම දඬුවම වන ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

ක්‍රිස්ටිනා අරූජෝත් තමන් කළ දේ ගැන කනගාටු වුණා. ඇයට දඬුවම් දෙන වෙලාවේ, ඇගේ පියා වන කර්නල් ටෝනි අරූජෝ කිව්වේ, තමන් කිසිවිටෙකත් දුවට උදව් කරන්න තමන්ගේ බලය පාවිච්චි නොකළ බවයි. “ඇත්ත පිළිගන්න, වගකීම භාරගන්න, වින්දිතයා වෙනුවෙන් කතා කරන්න, උසාවියේදී දිවුරුම් දී සාක්ෂි දෙන්න” කියලා තමන් දුවට කිව්වා කියලත් ඔහු කිව්වා. ක්‍රිස්ටිනාටත් අවුරුදු 25ක සිර දඬුවමක් ලැබුණා.

අයිලීන්ගේ ආදරණීයයන්ට නම්, මේ ඛේදවාචකය toxic සහ abusive relationships වල තියෙන භයානක කම පෙන්නලා දෙන සම්බන්ධයක් වුණා. 

ඉතින් මේ කතාවෙන් අපිට තේරෙන දේ තමයි අපයෝජන සම්බන්ධතාවලින් මිදෙන්න අමාරුයි. ඒවායේ හිරවෙලා ඉන්න අයට උදව් කරන එකයි, ඒ ගැන කතා කරන එකයි හරිම වැදගත්.

 අයිලීන් සීඩන්ගේ කතාවෙන් අපිට මතක් කරන්නේ, ආදරය කියන්නේ වේදනාව නෙවෙයි කියලයි, හැමෝටම ආරක්ෂිතව, ආදරයෙන් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියලයි.

Related Articles

Don't Miss


Latest Articles