චන්දික මෞර්යා සමග ඇවිදින මං තීරුවට පැමිණියේ සැලසුමකට අනුවය. ඔවැනි ගමන් වලට නිල්මිණි සහභාගී නොවන බව අත්දැකීමෙන්ම දන්නා නිසා චන්දික මෞර්යා සමග කතා කිරීමට එය අවස්ථාවක් කර ගැනීමට සිතුවේය. තම දියණිය කිසිම විටෙකත් මිනිසුන්ව විනිශ්චය නොකරන ආකාරයේ හදවතක් ඇති අයෙකු නිසා මේ මොහොතේ හිත නිදහස් කර ගැනීමට ඇති හොඳම මාර්ගය මෞර්යා සමග කතා කිරීමය. එහෙත් අතරමගදී පවා චන්දික මේ කරන්නට යන දෙය ගැන බොහෝ වාරයක් කල්පනා කළේය.
මෞර්යා වාහනයෙන් බැස චන්දිකට සමාන්තරව ගොස් ඇවිදින මං තීරුවට පිවිසීමට පියවර එසවූවාය.
” ඔහොම ඉන්න පුතේ “
” ඇයි තාත්තා ? ”
චන්දික තවත් මොහොතක් බලා උන්නේය. මෞර්යා අඩියට දෙකට චන්දික වෙත ආවේ ඔහු ඇත්තටම හිඳින්නේ අසනීපයෙන් යැයි බියෙනි.
” මං ආවේ ඇවිදින්න නෙමෙයි. ඔයා එක්ක කතා කරන්න ”
තම පියා කිසිම දිනයක මේ ආකාරයෙන් තමා සමග පවසා නැත. දවස ආරම්භයේ පටන්ම මලානිකව හිඳ වෙනදාටත් වඩා කලින් නිවසට පැමිණ හිටි හැටියේම තමා සමඟ ඇවිදින්නට යාමට වුවමනා යැයි ඔහු පවසන්නට ඇත්තේ මේ නිසාය.
” මං ඇහුව නේද තාත්තා ඉන්නේ ප්‍රශ්නෙකද කියලා. මට ඒක තේරුණා ”
” අශිකා ඉන්නේ ප්‍රශ්නකද පුතේ ? ”
චන්දික ගේ මුවින් එවදන් පිට වූයේ ඉබේටමය. එහෙත් අශිකා යනු කවුරුන් දැයි එකවරම මෞර්යා ගේ මතකයට නොපැමිණියේ ඇය ගේ නම එතරම් භාවිතා නොවූ නිසාය.
” අශිකා කිව්වේ ? ”
” ඔයාගේ බොස්ලා දෙන්නගෙ අම්මා ”
මෞර්යා චන්දික දෙස බැලුවේ පුදුමයෙනි. තමා ඇයගේ නම පියා සමග කියූ වගක් මතක නැත.
” මං අශිකාව දන්නව පුතේ ”
මෞර්යා චන්දික අසලට පැමිණියාය. තම පියා හදවතේ හංගාගෙන උන් , ඉතාම කලාතුරකින් සිහිපත් කරන අතීත කතාව මෙය විය හැකි යැයි මෞර්යා අනුමාන කළාය.
” ඒ කියන්නේ තාත්තා ? ”
” මං පුතාට දවසක් කිව්වා නේද අද අපේ ජීවිත කොච්චර ලස්සන උනත් අපි හැමෝටම තියෙනවා කියලා අපේ ජීවිතේ රිදිච්ච තැන්. මගේ ජීවිතේ මට වැඩිපුරම රිදිච්ච තැනක් තමයි අශිකා කියන්නේ ”
චන්දික ගේ හදවත රිදුම් දුනි.එයට හේතුවක් කිව නොහැකි වුවත් එය අතීතයේ දී අශිකා හේතුවෙන් දැනුණු තරමේම රිදුමක්ය.හේතුවක් විරහිතවම දැනෙන රිදුමක්ය.
මෞර්යා බලා උන්නේ චන්දිකට කතා කරන්නට ඉඩ ඇරය. තාත්තා කෙනෙකුට සහ දියණියකට රහස් තබා ගත නොහැක. ඇරත් දන්නා කාලයේ සිටම මෞර්යා ඕනෑම දෙයක් කතා කිරීමට තෝරා ගත්තේ චන්දිකවය. චන්දික යනු ඒ තරමටම වටහා ගැනීම අතින් ඉහළ, සිතුම් පැතුම් අතින් ඉහළ සහ කරුණාවන්ත පියෙකි.
තම පියා මෙවැනි සංවේදී කාරණාවක් පිළිබඳව කතා කිරීම සඳහා තමාව තෝරා ගන්නට ඇත්තේ ඔහු සතුවන ඒ ගුණාංග තමා සතුවද නොඅඩුවම තිබෙන නිසා විය හැකිය.
” මං මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරේ එයාට පුතේ. එයා පුදුම හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්. අදටත් මට බය නැතුව කියන්න පුළුවන් මගේ ජීවිතේ වැඩිපුරම මං ගැන හිතුවේ මට ආදරේ කරේ එයා කියලා ”
චන්දික කතාව ආරම්භ කළ අතර මෞර්යා අසා උන්නාය. තමාට අශිකාව මුණගැසුනේ දින දෙක තුනකි.ඒ දින දෙක තුනට ඇය මොන තරම් හොඳ කාන්තාවක් දැයි මෞර්යා තේරුම් ගෙන උන්නාය.අනෙක් අතට අභිමන් සහ ආදිත්‍යය යනු යහපත් ගතිගුණ ඇති තරුණයන් නිසා ඔවුන් අශිකා ගේ දරුවන් වීම පිළිබඳව සැකයක් නැත.
” ඒ කාලේ මට මේ වගේ සල්ලි තිබුනෙ නෑ. අඩුම ගානේ බිස්නස් කරන්න අදහසක් වත් තිබුනේ නැහැ.මං කලේ අට පහ රස්සාවක්.හැබැයි අශිකාට හොඳට සල්ලි තිබුණා. එයාගේ පරම්පරාවම හරිම පෝසත් ,වැදගත් මිනිස්සු. අපි දෙන්නා කොච්චර ආදරෙන් හිටියත් අපි දෙන්නා අතරේ තිබ්බ ඒ වෙනස නිසා අපිට වෙන් වෙන්න සිද්ධ වුණා “
” ඉතින් තාත්තට තිබුණනේ කොහොම හරි එයාව කසාද බඳින්න ? ”
” එහෙම කරන්න අපිට ඕන උනත් ඒ ගෙවල් වලින් ඒකට ඉඩක් තිබුණෙ නෑ පුතේ. එයා කොච්චර අසරණ වුණාද කියලා මම දන්නවා.මං එයාට සමාව දෙන්න හිත හදා ගත්තෙත් ඒකමයි. මොකද අපි දෙන්නා එකට හිටපු කාලේ මට වචනෙකින් වත් වරදක් කරපු කෙනෙක් නෙමෙයි එයා. එයාට තිබුණා මට වඩා හොඳ සල්ලිකාරයෙක් හොයා ගන්න.එයාට තිබුණ අසරණකම නිසායි එයාට ගෙදරින් ආපු යෝජනාවට එයාට කැමති වෙන්න සිද්ධ වුණේ. මං දන්නවා එයාට අවස්ථාවක් තිබුණා නම් එයා මාව කසාද බඳින්න දෙපාරක් හිතන්නෙ නෑ කියලා ”
චන්දික සුසුමක් හෙළුවේය. ඒ තමා විසින් ගෙවා නිම කරන ලද කටුක අතීතය සිහි වීමෙනි.අශිකා යනු තම ජීවිතයේ ආදරණීයම මතකයය. අදටත් ලෝභ කමක් දැනෙන්නේ ඇය ලබා දුන් ඒ අසීමිත ආදරයටය.එයට සම කළ හැකි කිසිවක් මේ ලෝකයේ තමාට හමුවී නැත.
” අශිකා මාව දාලා ගියේ එයා ගේ කැමැත්තෙන් නෙමෙයි.එයාට වෙන කරන්න දෙයක් නැති කමට. මට ඒ තීරණයට එකඟ වෙන්න සිද්ධ වුණත් මං ඒකෙන් නොසෑහෙන දුක් වින්ඳ පුතේ. ඊට පස්සේ තමයි මට ඔයාගේ අම්මව හම්බුනේ. මං තනියම ඉදියි කියලා අපේ ගෙදරින් මට ගෙනාපු යෝජනාවක් තමයි ඔයාගේ අම්මා. අද මට මේ තැනට එන්න ලොකුම හයිය වුනේත් ඔයාගේ අම්මා. මට අශිකාව නැති වුනේ මං ලොකු සල්ලි කාරයෙක් වෙච්ච නැති නිසා. ඒ නිසාම මගේ ඔලුවේ තිබුණා මම කවද හරි බිස්නස් අතින් මේ රටේ හොඳම තැනකට එනවා කියලා. එහෙම හිත හිත ඉන්න කාලෙක තමයි ඔයාගේ අම්මා මගේ ජීවිතේට ඇවිල්ලා ඒ හීන වලට යන්න මට හයියක් උනේ. ඒකට මං මැරෙන කල්ම ඔයාගේ අම්මට ණයයි. එයා අශිකා ගැන දන්නවා.මට අශිකාත් එක්ක තිබ්බේ මොන වගේ සම්බන්ධයක්ද කියලත් දන්නවා.ඒත් ඔයාගේ අම්මා කවදාවත් ඒ ගැන කියලා මගේ හිත රිද්දලා නැහැ. “
දෛවය විසින් ජීවිත තීරණය කරන ආකාරය පුදුම සහගතය. ආදරය කරන අයවම විවාහ කර ගැනීමට බොහෝ දෙනාට අවස්ථාව නොලැබෙනවා මෙන්ම දෛවයේ එවැනි තීරණයන් නිසා ජීවිතයට වාසනාව මෙන්ම අවාසනාවද උදාවිය හැක.
” තාත්තා දන්නවද දැන් ඒ පවුලේ තියෙන ප්‍රශ්න ? ”
මෞර්යා ඇසුවාය. චන්දික කම්පාවෙන් මෞර්යා දෙස බැලුවේ ඉන් පසුවය.
” ඔයා උදේ ඒ වගේ දෙයක් කියපු වෙලාවෙ ඉඳන් මගේ ඔළුව අවුල් පුතේ. මට හිතාගන්න බැරි වුණා ඒ පවුලේ තියෙන ප්‍රශ්නෙ මොකද්ද කියලා. ඒකට හිතේ කරදරෙන් මං හිටියේ “
” මිස්ටර් ආදිත්‍යලා ගේ තාත්තා එයාලව දාලා ගිහින් ”
චන්දික පපුවට අත තබා ගත්තේය. අශිකා එවැනි ඉරණමකට මුහුණ දී සිටිනවා යයි තමා සිහිනෙකින්වත් සිතා තිබුණේ නැත.
” ඒ දෙන්නා අතරේ ගොඩක් කල් ඉඳලා ප්‍රශ්න තිබිලා. මිස්ටර් ආදිත්‍ය වගේම මිස්ටර් අභිමනුත් ඒවයින් සෑහෙන්න දුක් විඳලත් තියෙනව. අශිකා මැඩම් හැමදේම ඉවසගෙන බලාගෙන හිටියට මිස්ටර් ආදිත්‍යලාගේ තාත්තා ඒ ප්‍රශ්න මග ඇරලා ගෙදරින් යන්න ගිහින් ”
” එතකොට ? ”
” එයා ජීවත් වෙන්නෙ වෙනමලු. මේ බිස්නස් එක මිස්ටර් ආදිත්‍යය යි මිස්ටර් අභිමනුයි බලන නිසා එයා එයාගේ අනිත් බිස්නස් බලාගෙන වෙනම ජීවත් වෙනවලු. අත්‍යවශ්‍යම දෙයකට ඇරෙන්න එයා ගෙදර එන්නෙ නෑලු ”
” පුතා කොහොමද මෙච්චර විස්තර දන්නේ? ”
” මට දවසක් මිස්ටර් ආදිත්‍ය කිව්වා ”
චන්දික කල්පනාවට වැටුණේය. අශිකාට මෙවන් ජීවිතයක් උරුම විය යුතු නැත. ඇය එතරම්ම ගුණ යහපත් කාන්තාවකි. තමාව ඇගේ ජීවිතයෙන් ඈත් කර ඇයට කර දුන් විවාහය පවා අසාර්ථක වී තිබියදී ඇය සිටින්නේ කෙබඳු තත්ත්වයක දැයි සිතීමට පවා චන්දිකට හැකි වූයේ නැත. ඔහුට දැනුනේ අශිකා පිළිබඳව විශාල වේදනාවකි. ඇය වැනි ගැහැනියකට ලැබිය යුත්තේ සංවේදී හදවතක් ඇති ස්වාමිපුරුෂයෙකි.තමා ප්‍රාර්ථනා කළේද එවැන්නක් වුවත් සිදු වී ඇත්තේ අනෙකකි.
” මං මොකක් කලොත් හොඳයි කියලද පුතාට හිතෙන්නේ ? ”