මෞර්යා කාර්යාලයට පැමිණියේ වෙනදාටත් වඩා කලිනි.ඒ වන විටත් අභිමන් කාර්යාලයට පැමිණ හුන් අතර ඔහු ලොබිය ආසන්නයේ නෙහාරා සමග කතාවකට වැටී උන්නේය.
” ගුඩ්මෝනින් මිස්ටර් අභිමන් “
මෞර්යා වෙනදාටත් වඩා පැහැබරය.ඇය සතුටින් ඉපිලී හිඳින්නීය. ඇගේ මුහුණ පවා බොහෝ ආලෝකමත් වී ඇත. අභිමන් උන්නේ මේ වෙනසට හේතුවක් හිතා ගත නොහැකිවය.
” ගුඩ්මෝනින් මෞර්යා ”
අභිමන් පිළිතුරු දුන්නේ වෙනසක් නොපෙන්වාය. තමා මෞර්යා ඉදිරියේ කියා සිටියේ ඇය පිළිබඳව වූ සත්‍යම හැඟීමය. ඇය එය පිළි නොගැනීමට සාධාරණ හේතුවක් තිබිය හැකිය. එසේ කියා ඇය සමග වෛර බැඳ ගැනීමට අභිමන් හට හිත දුන්නේ නැත.සමහරවිට කාලයත් සමග මෞර්යාගේ සිත වෙනස් වීමට ඉඩ ඇති නිසා බලා හිඳින්නට අභිමන් තීරණය කර තිබුණේය.
” අද මෞර්යා මාර හැපි එකේ වගේ නේද මිස්ටර් අභිමන් ? ”
මෞර්යා නෙහාරාටත් සුභ උදෑසනක් ප්‍රාර්ථනා කර පිටව යන දෙස බලා නෙහාරා කීවාය. මෞර්යා කොහොමටත් සතුට වපුරන පන්නයේ තරුණියක වුවත් මේ මොහොතේ ඇය තුළ පැහැදිලි වෙනසක් දකින්නට තිබේ. එයට හේතුව කුමක් විය හැකිදැයි අභිමන් කල්පනා කළේය.
ආදිත්‍ය පැමිණියේ ඊට බොහෝ වේලාවකට පසුවය. පෙර දින රාත්‍රියේ හරි හැටි නින්දක් නොවූ නිසා ආදිත්‍ය අවදි වූයේ ප්‍රමාද වීය. උදෑසන ආහාරය සඳහා යමක් සකස් කර ගන්නට වත් නතර නොවී අතරමග කෝපි කලකින් කෝපි එකක්ද පානය කර ආදිත්‍ය කාර්යාලයට පැමිණෙන විට උදෑසන 9.30 ද පසු වී තිබිණි. මෞර්යා උන්නේ ආදිත්‍ය පැමිණෙන තුරුය.ඒ වෙනදා නොවූ තරමේ පිරුණු හැඟීමකිනි. තමා දැන් පෙම්වතියක යන හැඟීම මෞර්යාව වෙලා ගෙන තිබුණු අතර පෙරළා ආදරය ලැබුණද නොලැබුණද ආදරය අවැසි ආදිත්‍ය හට ආදරය ලබා දීමේ පහන් හැඟීමකින් යුතුව මෞර්යා උන්නාය.
” මං අයියට කතා කරන්න හිටියේ ”
ආදිත්‍ය කාර්යාල කාමරයට පැමිණ අසුන් ගන්නවාත් සමගම කොහේදෝ සිට අභිමන් පැමිණ ඉදිරි ආසනයෙන් අසුන් ගත්තේය. ආදිත්‍ය ඔහු දෙස බැලුවේ දෙගිඩියාවෙනි.
” ඇයි මල්ලි ? ”
” අයියා දන්නවනේ මං ඔෆිස් එක ඇතුලේ පර්සනල් දේවල් කතා කරන්නේ නෑ කියලා. ඒත් ඉතින් මේකට වෙන වෙලාවකුත් නෑනේ අපිට ”
ආදිත්‍ය කතාව ආරම්භ කළේය. මේ කතාව කුමක් ගැනදැයි නොදන්නේ නමුත් ආදිත්‍ය පෙළුනේ අභිමන්ට මුහුණ දිය නොහැකි තරමේ අපහසුමය හැඟීමකිනි. අභිමන් යුවතියක පිළිබඳව බලාපොරොත්තු තබා ගෙන සිටින පුවතක් අසන්නට ලැබුණේ ජීවිතයේ ප්‍රථම වතාවටය.ඒ යුවතිය ද ආදරය කරන්නේ තමාටය. අභිමන් මේ පිළිබඳව වැරදීමකින් හෝ දැන ගතහොත් ඔහු තුළ ඇති විය හැකි හැඟීම කුමක් දැයි ආදිත්‍යය නිහඬව කල්පනා කළේය.
” මගේ ජීවිතේ අයියට හංගන්න දෙයක් නෑ. ඒ නිසා මේක ඔයාට කියන්නම ඕනේ කියලා මට හිතුනා. අනේ මන්දා මගේ හිතටත් හරි නෑ ”
අභිමන් කීවේ වීදුරු ජනේලයෙන් එපිට පෙනෙන ගොඩනැගිලි දෙස බලාගෙනය. ආදිත්‍ය සාවදානව අසා උන්නේ මේ කතාවෙහි කොහේ හෝ කෙලවරක මෞර්යා සිටින බව දන්නා නිසාමය. තමා මෞර්යා හට ඍජු ලෙස ආදරය ප්‍රකාශ නොකලත් ඇය පිළිබඳව හැඟීමක් තම සිතෙහි තිබෙන බව නොකියා කීවේ තමා දික්කසාදය ගෙන පැමිණෙනතුරු මෞර්යා බලා සිටින බව පැවසූ මොහොතේය. තම සිතෙහි මෞර්යා පිළිබඳව කිසිදු හැඟීමක් නැත්නම් මෞර්යා තම හැඟීම ප්‍රකාශ කළ විට එය සෘජු ලෙස ප්‍රතික්ෂේප කිරීමට අවස්ථාව තිබුණද තමා එසේ නොකළේ මෞර්යා තම ජීවිතයෙන් ඈත් කර ගැනීමට තිබුණු අකමැත්ත නිසාය.
” මං ඊයේ පෙරේදා දවසක ගර්ල් කෙනෙක්ට ප්‍රොපෝස් කලා අයියා.මං ටික දවසක් තිස්සේ හිතලා හිතලා තමයි ඒක කළේ.ඔයා දන්නවනේ ඉස්කෝලෙ යන කාලෙවත් මට ගර්ල් කෙනෙක් හිටියේ නෑ. අනිත් එක අපේ ගෙදර තිබුණ සිටුවේෂන් එකත් එක්ක එහෙම දේකට ඔයාට වත් මට වත් හිත හදා ගන්න බැරි වුණා කියලා ඔයා දන්නවනේ ”
” අපි කවුරුහරි කෙනෙක් හොයලා දෙනකන් ඉන්නේ නැතුව ඔයාම එහෙම තීරණයක් ගත්ත එක හොඳයි මල්ලි. ඒත් එහෙම වෙලාවකදි වුනත් ගොඩක් හිතලා බලන්න ඕනේ.ඒ විතරක් හොඳට හොයලා බලන්නත් ඕනේ.දැක්කනේ මට වෙච්ච දේ ”
ආදිත්‍ය කීවේ කම්පාවෙනි. තම එකම සහෝදරයාගේ හදවතේ කුළුඳුලේ ප්‍රේමයක් හට ගෙන ඇත්තේ ද අනපේක්ෂිත මොහොතකය.එයද කිසිදා හිමි කර ගත නොහැකි යුවතියක් කෙරෙහිය.
” ගෙදර සිටුවේෂන් එක මොකක් වුණත් අපේ හිතේ තියෙනවනෙ අයියා කවද හරි අපේ වයිෆ් වෙන්න ඕනේ මේ වගේ කෙනෙක් කියලා. ඇත්තටම ඒ වගේ කෙනෙක් මට හම්බුනා. හැබැයි… ”
අභිමන් කතාව නතර කළේය. ආදිත්‍යය ට ඔහු පිළිබඳව දැනුනේ අනුකම්පාවකි.ඒ ඔහුගේ බලාපොරොත්තුව ඉපදුනු තැනම මිය යන තත්ත්වයට පත්ව ඇති නිසාය.තමාට ද ඒ වෙනුවෙන් කළ හැකි කිසිවක් නැත.
” ඇයි ? ”
” ඒ ගර්ල් මට කැමති නෑ අයියා “
අභිමන් කීවේ කම්පාවෙනි.මෞර්යා දුන් පිළිතුර මේ මොහොතේත් සිහිපත් වන්නේය.එය ඉතා සෘජු පිළිතුරකි. එයට අනුව කිසි දිනයක හෝ මෞර්යාගේ හදවතෙහි තමා පිළිබඳව හැඟීමක් උපදින්නේ නැත. නමුත් සිතෙන්නේ බලා හිඳින්නට වුවත් සමහරවිට එහි අර්ථයක් නැති වෙන්නටද පුළුවන.
” හ්ම්ම්.. එයා එහෙම කිව්වද ? ”
” එහෙම කිව්වා කියන්නේ ,එයා කිව්වා කවදාවත් මම ගැන එහෙම හිතන්න බෑ කියලා. අයියට හිතනවද එයා කවදාහරි මට කැමති වෙයි කියලා ඉතින් ? ”
” ආදරේ කියන්නේ හිතක බලෙන් ඇති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මල්ලි.ඉබේ ඇති වෙන්න ඕන දෙයක්. අනිත් එක තමයි සමහර විට ඔයා ඒ ගර්ල්ට මේක කියන්න ඉක්මන් උනා වැඩි වෙන්නත් පුළුවන් ”
” අයියා කියන්නේ මට බලාගෙන ඉන්න කියලද ? ”
අභිමන් ඇසුවේය. බලා හිඳීමෙන් පලක් නොවන බව ඔහුට කියන්නට හැකියාවක් හෝ ධෛර්යයක් ආදිත්‍ය හට නොවූයේය.
” අපිට මිනිස්සු මෙහෙමයි කියලා කියන්න බෑ මල්ලි. අපි දන්නේ නෑනේ ඒ ළමයා ගේ හිතේ මොන ප්ලෑන්ස් තියෙනවද කියලා. ඒ නිසා ඔයා ඔයා ගේ ජීවිතේට හොඳක් වෙන දෙයක් කර ගන්න බලන්න. ලැබෙන්න තියෙනවා නම් දෙයක් ලැබෙයි ”
අභිමන් නිහඬ වූයේය. තම සහෝදරයා කියන්නේ ඇත්තය. මෞර්යාගේ හදවතෙහි තමා පිළිබඳව කිසිදු හැඟීමක් නැත්නම් එය බලෙන් ඇති කළ නොහැක. කාලය විසින් එවැනි හැඟීමක් ඇති කරාවි යැයි කියාද අවිනිශ්චිතය. කළ යුතු වන්නේ බලා හිඳීමද අතර දැමීමද කියා සිතා ගත නොහැකිව අභිමන් ඉවත බලා ගෙන කල්පනා කළේය.
” මට එයාව අත ඇර ගන්න බැරි මොකක්දෝ ලෝභ කමක් දැනෙනවා අයියා. මං වෙන කිසිම ගර්ල් කෙනෙක්ගෙන් දැක්ක නැති කොලිටිස් එයා ගාව තියෙනවා.සමහර විට මට එයා ගැන එහෙම හිතෙන්නත් ඇත්තේ ඒක වෙන්න ඇති. අනේ මන්ද මට හිතෙන්නේ මාව නිකං අවුල් වෙලා ගිහින් වගේ ”
මෙය නොවිය යුතු දෙයකි. අභිමන් පවුලේ ප්‍රශ්නයක් නිසා හෝ මෙවැනි වියවුල් ආකාරයකින් හැසිරී නැත. මෞර්යා ආදරය කරන්නේ තමාට බව නිකමට හෝ දැනගත හොත් අභිමන් ගේ තත්ත්වය මීට වඩා අයහපත් වනු ඇත. ඔහුගේ එකම සහෝදරයා වශයෙන් එවැන්නක් සිදුවීමට ඉඩ තැබිය නොහැක.
” ඔයා ගේ ජීවිතේට හරි යන කෙනා එයා නං , එයා වෙලාවට එයි.ඕව ගැන හිතලා ඔයාගේ වැඩ අවුල් කරගන්න හදන්න එපා මල්ලී.ඔයා දැක්කනේ පහුගිය දවස් ටිකේ මම හිටියේ කොහොමද කියලා.ඔයා නොහිටින්න මේ ඔෆිස් එකේ බොස් මම විතරක් උනා නම් කොච්චර මේවා අවුල් වෙන්න තිබුනද ? අනිත් එක ඔයා අම්මත් එක්ක ගෙදර ඉන්න කෙනා. ඔයා ඔය විදියට අවුලෙන් ඉන්නවා දැක්කොත් අම්මට මොනවා වෙයිද ? මගේ ප්‍රශ්නෙදි උනත් අම්මා අසනීප වෙච්ච හැටි දැක්කනේ. මොන දේ උනත් ,වෙන්නේ හොඳම දේ කියල හිතා ගෙන එන දේකට මූණ දෙන්න හිත හදා ගන්න මල්ලි “
” අයියා ඔච්චර දේවල් කියන එකේ මගෙන් ඇහුවෙ නෑනේ ඒ ගෑණු ළමයා කවුද කියලා ? ”