විකෘති ආසාවන් නිසා මිනිස් ජීවිත බිලිගත් අමනුෂ්‍යයා

“ඒ 1982 ජුනි 12 වෙනිදා.

ලියුබොව් බිරියුක් කියන 13 හැවිරිදි ගෑණු ළමයට චිකටිලෝව හම්බුවෙන්නෙ එයාගෙ අම්මා පවරපු වැඩකට ගෙදරින් එලියට ගියාම.

හැබැයි ලියුබොව්ට ආයෙම ගියා වගේ ගෙදර එන්න නම් පුලුවන් වෙන්නෙ නෑ”

මේක තවත් Serial killer කතාවක් නෙවෙයි. හරිම අමානුශික, හිතාගන්න බැරි විදියෙ Serial killer කතාවක්.

“මේ මිනීමරුවා එයා මරපු ගොඩක් දෙනෙක්ගේ බඩවැල් අයින් කරලා තිබ්බා. විශේෂයෙන්ම, කාන්තාවන්ගේ ගර්භාෂය ඉවත් කරලා ඒවා හප හපා ඉඳලා තියෙනවා. ඒ වගේම, ඒවායේ රස සහ ස්වභාවය ගැන අදහස් පවා පළ කරලා තියෙනවා.

එයා මරපු ගොඩක් කාන්තාවන්ගෙ මල සිරුරු වල ගර්භාෂ සහ තනපුඩු තිබ්බේ නැහැ. මොකද ඒ ගෑනු අයව මරලා දාලා ඒ ශරීර කොටස් ලෙවකන්න එයාට විකෘති ආසාවක් තිබිලා තියෙනවා. එක වෙලාවකදි එයා මරන්න ගෙනාව කෙනෙක්ගෙ දිව පවා හපලා කඩලා තියෙනවා”

එහෙම මිනීමරුවො ඇත්තටම ඉන්නවද? 

උඩ තියෙන ටික කියෙව්වම ඕනම කෙනෙක්ට එහෙම අහන්න පුලුවන්.

මනුස්සයෙක්ව එයාගේ එළියට පේන මුහුණෙන් මනින්න බෑ කියන කතාව අපි හැමෝම දන්නවා.

ගොඩක් මිනිස්සු ජීවත්වෙන්නෙ වෙස් මුහුණු දාගෙන. අද මේ කතාකරන්න යන Andrei Chikatilo එහෙමත් නැත්තම් “Rostov Ripper” කියන මේ Serial Killer කියන්නෙත් එහෙම වෙස් මූණක් දාගෙන හිටපු කෙනෙක්.

ලෝකෙට එයා ගුරුවරයෙක්, මහත්තයෙක්, තාත්තා කෙනෙක්. 

හැබැයි රුසියාවේ හැමෝම වගේ උන්නෙ එයාට බයෙන්. චිකටිලෝට ලිංගික දුබලතාවක් තිබ්බ නිසා, ඒ කේන්තිය පිට කරගන්න එයා මිනීමැරුම් කරා කියලා තමයි කියන්නේ. ස්ත්‍රී දූෂණය සහ වධ දීම තමයි එයාගේ ලිංගික ආශාව සන්තෘප්ත කරගන්න එයා පාවිච්චි කරපු විදි වෙලා තියෙන්නෙ.

 1970 ගණන්වල ඉඳලා 1990 ගණන්වලට යනකම්, එයා කාන්තාවන් සහ ළමයි 50කට වැඩිය මරලා, විකෘති කරලා තිබ්බා. ඉතින් අද කතාව ඔන්න ඒ “Rostov Ripper” කියන Serial Killer ගැන.

ඇන්ඩ්‍රි චිකටිලෝ ඉපදුණේ 1936දී යුක්රේනයේ දි. ඒ කාලේ ස්ටාලින්ගේ මහා සාගතය නිසා හැමෝම උන්නෙ බඩගින්නෙ. ඒ නිසා එයාගේ පවුල ඔය පොඩි පොඩි අතන මෙතනින් හොයාගන්න පුලුවන් කෑම ටිකක්, කොළ ජාති, පාන් කෑලි ටිකක් කාලා තමයි ජීවත් වුණේ. එයාගේ අම්මයි, තාත්තයි දෙන්නම ගොවියෝ. ඒ වුණත් කෑමට ගන්න තරම් ප්‍රමාණවත් ආහාර මෙයාලට තිබිලා නැහැ. 

චිකටිලෝගේ අම්මා ඉස්සර එයාට කියනවලු “ඔයාට වඩා වැඩිමල් සහෝදරයන්ව අසල්වැසියෝ පැහැරගෙන ගිහින් බඩගින්නට කෑවා”  කියලා. හැබැයි මේ කතාව ඇත්තක්ද කියලා තහවුරු වෙලා නැහැ. ඉතින් මේ ප්‍රශ්න එක්ක චිකටිලෝගේ ළමා කාලය ගෙවිලා තියෙන්නෙ දුප්පත්කම, කුසගින්න, යුද්ධය මැද්දෙ හරි දුකෙන්.

දෙවන ලෝක යුද්ධයේදී චිකටිලෝගේ තාත්තා යුද්ධයට යනවා.

 මේ කාලේ චිකටිලෝ නාසි ආක්‍රමණය නිසා ඇතිවුණු බෝම්බ ප්‍රහාර, ගිනි තැබීම්, සහ වෙඩි තැබීම්වලට පවා මූන දීලා තමයි ඉඳලා තියෙන්නේ. එක දවසක් එයාලගේ පැල්පත පවා ගිනි අරන් තියෙනවා මේ යුද්ධෙ හන්දා. මේ කාලේ චිකටිලෝ සහ අම්මා එකම ඇඳේ තමයි නිදාගෙන තියෙන්නෙ. චිකටිලෝට ඇඳේම රෑට මුත්‍රා කරන පුරුද්දක් තිබිලා තියෙනවා. මේ නිසා එයාගේ අම්මා නිතරම එයාට බැනලත් තියෙනවා.

1943දී චිකටිලෝගේ අම්මාට දුවෙක් ඉපදිලා තියෙනවා. හැබැයි ඒ වෙනකොට එයාගේ තාත්තා යුද්ධයට ගිහින් ඉඳලා තියෙන්නෙ. ඉතින් තාත්තා යුද්ධෙ ඉද්දි අම්මට හම්බුන දරුවගෙ තාත්තා කීයටවත් චිකටිලෝගේ තාත්තා වෙන්න බැරි නිසා ඒ දරුවා ජර්මන් සොල්දාදුවෙක්ගෙන් ලැබිච්ච දරුවෙක් කියලා තමයි කට්ටිය කියලා තියෙන්නෙ.

1944දී චිකටිලෝ ඉස්කෝලේ යන්න පටන් අරගෙන තියෙනවා. එයා ලැජ්ජාශීලී වුණත් ඉගෙනීමට ගොඩක් කැමති වෙච්ච දරුවෙක් ලු. යුධ සාගතය හන්දා එයාගේ බඩ ඉදිමිලා මන්දපෝෂන ගතියක් පේන්න තිබිලා තියෙනවා. ඒ වගේම බඩගින්නට එයා ගෙදරදියි ඉස්කෝලෙදියි කලන්තෙ දාලාත් තියෙනවා. ඒවගේම දුර්වල ඇඟ හන්දා ඉස්කෝලෙ අනිත් ළමයි මෙයාට අනං මනං කෝචෝක් දාලාත් තියෙනවා.

මේ මොන දේ උනත් චිකටිලෝ පොත් කියවන්න සහ දේවල් මතක තියාගන්න ගොඩක් දක්ෂ දරුවෙක් වෙලා තියෙනවා. එයා ගෙදරදී හොඳට පාඩම් කරා මේ නිසා එයාගේ ගුරුවරු එයාව ඉතා හොඳ ශිෂ්‍යයෙක් විදියට හැමදාම අගය කරලා තියෙනවා.

යුද්ධ කාලෙ අම්මා කිව්ව “අසල්වැසියෝ, කුසගින්නට ළමයිව පැහැරගෙන ගිහින් කෑවා” කියන ඒ බය එයාගේ හිතෙන් කවදාවත් මැකිලා ගිහින් නැහැ. චිකටිලෝ දුර්වල, ලැජ්ජාශීලී කෙනෙක් විදියට තමයි ලොකු වෙන්නෙ. ඉස්කෝලේදී එයාට ගොඩක් හිරිහැර උනා වගේම එයාට යාලුවො ඉඳලාත් නෑ. ඒ වගේම ලොකු වෙද්දි එයාට ලිංගික දුබලතා තිබිලත් තියෙනවා. ඒක චිකටිලෝ බාරගෙන තියෙන්නෙ එයාට වෙච්ච ලොකු ලැජ්ජාවක් විදියට. ඉතින් පිටින් සාමාන්‍ය කෙනෙක් වගේ පෙනුනට චිකටිලෝ ජීවත්වෙලා තියෙන්නෙ ලොකු මානසික පීඩනයක් එක්ක.

1970 ගණන්වලදී චිකටිලෝ ගුරුවරයෙක් විදියට වැඩ කරන්න පටන් ගන්නවා. හැමෝම එයාව විශ්වාස කරනවා. අන්න ඒ විශ්වාසෙ තමයි චිකටිලෝ දඩමීමා කරගෙන තියෙන්නෙ තමන්ගෙ දඩයම් වලට. ඒ දෙමව්පියන්ගෙ විශ්වාසෙ පාවිච්චි කරලා එයා දරුවන්ව රවට්ටගෙන තියෙනවා තමන්ගෙ විකෘති ආසාවල් ඉස්ට කරගන්න. මේ හේතු නිසා එයාට අවස්තා කීපෙකදිම ‍රස්සාවලින් අස් වෙන්න වෙලත් තියෙනවා.ඒත් මොකක් හරි හේතුවකට කිසිම කෙනෙක් මේ විත්තිය පොලිසියට කියලා නෑ. ඒ නිසා චිකටිලෝ නීතියට අහුවුණේ නැහැ.

මේ සිද්ධි නිසා එයා බය නැතුව මිනී මරන්න පටන් ගත්තා.

1978දී, චිකටිලෝ අවුරුදු 9ක ගෑනු දරුවෙක්ට පැණි රස කෑම දෙන්නම් කියලා ගෙදරට ගෙන්නගෙන මරලා දානවා. මේ අපරාධය වෙනුවෙන් පොලිසිය අත් අඩංගුවට ගන්නෙ වෙන කෙනෙක්ව. “එයා තමයි අපරාධකාරයා” කියලා පොලිසිය ඒ අල්ල ගත්ත අහිංසක මනුස්සයව එල්ලලා මරණවා. ඒකෙනුත් අන්තිමට චිකටිලෝ තමන් කරපු අපරාධවලින් නිදහස් වෙනවා.

මෙන්න මෙතනින් තමයි එයා තේරුම්ගන්නේ “සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජීවත්වෙද්දි ඕන වරදක් කරලා බේරෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා” කියන එක.

1982 ඉඳලා 1990 වෙනකම්, එයාගේ අපරාධ දවසින් දවස වැඩි වුණා මිසක් අඩු වෙන්නෙ නෑ. බස් හෝල්ට්, දුම්රිය ස්ථාන, පාළු පාරවල් වල ඇවිදින මිනිස්සු තමයි එයාගේ ගොදුරු උනේ. කෑම, සල්ලි, රස්සා දෙනවා කියලා මිනිස්සු රවට්ටලා මරලා, ශරීර කොටස් කපලා විනාශ කරන එකෙන් චිකටිලෝ පුදුම වින්දනයක් ලබාගෙන තියෙනවා.

චිකටිලෝගේ මිනීමරු ජීවිතේ පටන් ගත්තේ 1978දී. 

ඒ වෙනකොට එයා ෂැක්ටි කියන නගරයට පදිංචියට ගිහින් තමයි ඉඳලා තියෙන්නෙ. 

දෙසැම්බර් 22 වෙනිදා හවස් වරුවේ, එයා අවුරුදු 9ක යෙලේනා සකොට්නෝවා කියන ගෑනු ළමයව එයා සල්ලි දීල අරගෙන තිබ්බ අබලන් පැල්පතකට රවට්ටලා අරන් යනවා. එයා ගැනු ළමයව දූෂණය කරන්න හැදුවත්, ඒක අසාර්ථක වෙනවා. ගෑණු ළමයා විරුද්ධ වෙද්දී චිකටිලෝ එයාගෙ බෙල්ල මිරිකලා, බඩට පිහියෙන් තුන් පාරක් අනිනවා. “පිහියෙන් අනිනකොට තමයි මට ලිංගික උත්තේජනයක් ලැබුණෙ” කියලා එයා පස්සෙ පොලිසියෙදි කියලා තියෙනවා. පිහියෙන් ඇන්නට පස්සේ සිහි නැතිවෙනකම් බෙල්ල මිරිකලා චිකටිලෝ මේ ගෑනු ළමයව ගඟට දානවා. ඒ සිරුර හම්බුවෙන්නෙ දවස් දෙකකට පස්සෙ පාලමක් යට තිබිලා.

මේ අපරාධයට සාක්ෂි ගොඩක් චිකටිලෝට විරුද්ධව තිබිලා තියෙනවා. එයාගේ ගෙදර ළඟ ලේ පැල්ලම් තිබුන එක, එදා රෑ චිකටිලෝ ගෙදර හිටියා කියලා අසල්වැසියො කියන එක,  ඒ වගේම ගෑනු ලමයගෙ බෑග් එක ගඟේ අනිත් පැත්තේ තිබිලා හම්බ වුණ එක එක්ක වගේම පොලිසියට දුන්න විස්තරය අනුවත් චිකටිලෝගේ රූපේ ගැලපිලා තියෙනවා.

ඒත් මේ හැමදේම තිබුණත්, පොලිසිය අවුරුදු 25ක ඇලෙක්සැන්ඩර් ක්‍රව්චෙන්කෝ කියන අහිංසකයාව තමයි මේ මිනීමැරුමෙ වරදකාරයා කලේ. ක්‍රව්චෙන්කෝගේ බිරිඳගේ ජම්පරයේ තිබුණු ලේ පැල්ලම් නිසා පොලිසිය එයාව සැක කරලා තියෙනවා. ක්‍රව්චෙන්කෝ ගෙදර හිටියා කියන එකට සාක්ෂි තිබුණත්, බිරිඳට සහ එයාගෙ යාළුවාට තර්ජනය කරලා, බොරු සාක්ෂි ලබාගෙන, ක්‍රව්චෙන්කෝට මේ අපරාධය බාරගන්න පොලිසිය කටයුතු කරනවා. ක්‍රව්චෙන්කෝ නඩු විභාගයේදී තමන් අහිංසකයි කිව්වත්, එයාට මරණ දඬුවම නියම වෙන්නෙ පොලිසියෙ මෙන්න මේ වැරදි හන්දා. ඒ විදියට තමයි මේ අහිංසකයා 1983දී මරලා දාන්නෙ.

මේ සිදුවීමෙන් පස්සේ තමන්ට ලිංගික සතුටක් ලැබුණේ පිහියෙන් ඇනලා මරලා දැම්මොත් විතරයි කියන එක චිකටිලෝ තේරුම් ගන්නවා . එයා උත්සහ කරලා තියෙනවා මේ විකෘති ආසාව නතරකරගන්න ඒත් එයාට පුලුවන්වෙලා නෑ. 

1981 සැප්තැම්බර් 3 වෙනිදා තමයි මෙයා එයාගෙ දෙවනි මිනීමැරුමට සෙට් වෙන්නෙ.

 චිකටිලෝ, රොස්ටොව් නගරයේ පුස්තකාලයක් ළඟ බස් හෝල්ට් එකක හිටිය අවුරුදු 17ක කෙල්ලෙක්ව දකිනවා. එයා ලාරිසා ටිකචෙන්කෝ. චිකටිලෝ මේ  කෙල්ලව වොඩ්කා බොන්න කියලා කැලයකට අරගෙන ගිහින් තියෙනවා. එතැනදී එයාට ලිංගික උත්තේජනයක් ලැබුණේ නැති නිසා, කෙල්ලගේ කටට මඩ ඔබලා, බෙල්ල මිරිකලා, පිහියක් නැති නිසා දත් වලින් හපලා සහ පොල්ලකින් ගහලා ශරීරය විකෘති කරලා තියෙනවා. ටිකචෙන්කෝගේ මළ සිරුර හම්බෙන්නෙ එයා අතුරුදහන් වෙච්ච දවසට පස්සෙ දවසෙ.

ඊට මාස නවයකට පස්සේ, 1982 ජූනි 12 වෙනිදා, එයාට ලියුබොව් බිරියුක් කියන අවුරුදු 13ක ගෑණු ළමයව හම්බ වෙනවා. චිකටිලෝ ඒ ගෑණු ළමයවත් කැලයකට ඇදගෙන ගිහින් පිහියෙන් 22 වතාවක් ඇනලා තමයි මරලා තියෙන්නෙ. ඒ වගේම ඒ ගෑණු ළමයගෙ ඇස්වලට පවා පිහියෙන් ඇනලා තියෙනවා.

මේ මිනීමැරුමෙන් පස්සේ චිකටිලෝ තවත් දරුණු වෙනවා. 1982 ජූලි සහ සැප්තැම්බර් අතර එයා තවත් ළමයි 5ක් මරලා තියෙනවා. බස් හෝල්ට්, දුම්රිය ස්ථානවල ඉන්න ළමයින්ව බොරු හේතු කියලා කැලෑවලට අරගෙන ගිහින් මරලා, ශරීරය විකෘති කරන එකෙන් එයාට ලිංගික සතුටක් ලැබුණා කියලා චිකටිලෝ පස්සෙ කාලෙක කියනවා.

මේ දේවල් නිසා මුළු රුසියාවම බයෙන් තමයි ඉඳලා තියෙන්නෙ. පොලිසියත් මේ වගේ අපරාධ මීට කලින් දැකලා තිබුණේ නැහැ. ඒ නිසා, මුලින්ම ඒක serial killer කෙනෙක්ගෙ වැඩක් කියලා විශ්වාස කළෙත් නැහැ. හැබැයි මිනීමරුම් වැඩි වෙද්දී පොලිසියට තේරුම් යනවා මේක මේ serial killer කෙනෙක්ගෙ වැඩක් කියලා.

1990 නොවැම්බර් මාසයේදී තමයි පොලිසියට පුලුවන් වෙන්නෙ චිකටිලෝව අල්ලගන්න. ඒ රේල් වේ ස්ටේශන් එකක් ළඟ ඇඳුමෙ ලේ පැල්ලම් තියෙන මනුස්සයෙක් සැක සහිත විදියට හැසිරෙනවා කියල ආව ඔත්තුවක් හන්දා.මුලින් එයාව අත්අඩංගුවට ගන්න තරම් සාක්ෂි තිබිලානැහැ. හැබැයි පොලිසිය එයාව රහසිගතව ෆලෝ කරලා තියෙනවා. ඊට පස්සේ 1990 නොවැම්බර් 20 වෙනිදා ප්‍රශ්න කරන්න අරගෙන ගිහින් තියෙනවා. “වෙනදා වගේම බේරෙන්න පුලුවන් කියලා හිතුණත්” මේ පාර චිකටිලෝට එහෙම බේරන්න උනේ නෑ.

මුලින් එයා හැමදේම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි දීර්ඝ විමර්ශනයකින් පස්සේ මිනිහට සිද්ද වෙනවා ඇත්ත කියන්න. තමන් 50කට වඩා වැඩි පිරිසක් මැරුවා කියලා චිකටිලෝ පිළිගන්නෙ අන්න ඒ විදියට. මරණ එකෙන් තමන්ට සහනයක් ලැබුණා කියලා එයා කියන එකෙන්ම එයාට තිබුන මානසික පීඩනේ කොච්චරද කියන එක පොලිසියට තේරුම් ගිහින් තියෙනවා. 

1992දී නඩු විභාගයේදී චිකටිලෝට මරණ දඬුවම නියම වෙනවා. එයා 1994 පෙබරවාරි 14 වෙනිදා ඔලුවට වෙඩි තියලා මරලා දාන්නෙ ඒ විදියට.

මේ සිද්ධිය අපරාධ ඉතිහාසයේ ලොකුම black marck එකක් කියල තමයි සලකන්නෙ.

චිකටිලෝ අපිට පෙන්නලා දෙනවා “යක්ෂයා හැමතිස්සෙම අපි ඉස්සරහට එන්නෙ යකෙක් වගේම නෙවෙයි. සාමාන්‍ය මනුස්සයෙක් විදියට වෙස් වලාගෙන හිතාගන්න බැරි විදියට” කියලා.

Related Articles

Don't Miss


Latest Articles