ප්‍රවීණ නිවේදිකා මයුරි ලියනගේ රචිත නවතම ග්‍රන්ථ එළි දැක්වීම

“ඔබව, එදා මෙදාතුර මහපොලොවක්‌ වගේ දරාගෙන උහුලා ගත්තු ඒ කාන්තාවෝ කිසි කෙනෙක්ට නිසි ගෞරවය ආදරය දයාව බොහෝ විට ලැබිල නෑ!

අයෝමත්‍ර ලියවෙන්නේ එතන සිටයි!”

මෙහෙම කියන්නේ ප්‍රවීන මාධ්‍යවේදී මයුරි ලියනගේ.

අපි මයුරිව දන්නේ වෙලාවකට මාධ්‍යවේදිනියක් විදියට. තව වෙලාවකට කතුවරියක් විදියට. ඒත් ඒ හැමදේටම එහා ගිහිල්ලා මයුරි කියන්නේ “මනුස්සවාදී චින්තනයක් තියෙන කාන්තාවක්”.

ඉතින් අද මේ Smart Lady කතාබහ අපි කරන්නෙ එහෙම කාන්තාවක් එක්ක.

අපි මයුරිගෙන්ම අහමු ඇත්තටම කවුද මේ මයුරි කියන මනුස්සවාදී චින්තනයක් තියෙන කාන්තාව කියලා.

 කවුද මේ මයුරි ලියනගේ?

කාන්තාව කියන්නේ කතන්දරවලින් හැදුණු අය කියලා මම හැමදාම විශ්වාස කරනවා. 

සමහර කතන්දර අපිට ඇහෙන්නේ නෑ. ඒ කතා හැංගිලා තියෙනවා කුස්සියක් අස්සේ බත් මුට්ටියක, ඇඳේ කොට්ටෙ උඩ,  දිනපොත්වල. සමහර කතන්දර එහෙමවත් ඉතිරිවෙලා, හැංගිලා නෑ. හිත් අස්සෙන් ඇස් අස්සෙන් හිමින් සැරේ නොදැනී පිටවෙලා යනවා.

මේ මාධ්‍ය ජීවිතේ අස්සේ හැදී වැඩෙනකොට කුණාටු මැදත් හිනාවෙන, වේදනාව ශක්තියක් බවට පත්කරගන්න, කවුරු නොදැක්කත් තමන්ගෙ ලෝකය එකට තියාගෙන ඉන්න යුද්ධ කරන කාන්තාවො අනන්ත ප්‍රමාණයක් මට හමුවෙලා තියෙනවා. මම මේ ලියන්නේ ඒ නොකිවූ කතාවලට හඬක් දෙන්න.

මේ කතන්දර කියන මගේ වෑයම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ලේබල්වලට සීමා වුණ එකක් නෙවෙයි, මනුෂ්‍යත්වය වෙනුවෙන් කෙරෙන ගමනක්. මම විශ්වාස කරනවා පිරිමි සහ ගැහැනු දෙගොල්ලම නිදහසට, ගෞරවයට සහ කරුණාවට සුදුසුයි කියලා. ඒත්, මම කාන්තාවක් නිසා, මගේ පෑන නිතරම කාන්තාවන් ළඟටම ඇදිලා යනවා. මොකද, එයාලා කොච්චර දේවල් දරාගෙන ඉන්නවද, ඒ වගේම කාන්තාව කොච්චර නොඇසී, නොදැක ඉන්නවද කියලා මම දැකලා තියෙනවා.

අද මිනිස්සු මගෙන් ‘කවුද මේ මයුරි ලියනගේ?’ කියලා අහනකොට මම හිනාවෙනවා, මොකද ඒකට උත්තර දෙන්න මමත් අරගල කරනවා. මම එකම භූමිකාවකින් අර්ථ දැක්වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. මම කාන්තාවක්, මං වෙනුවෙන් අරගල කරන කෙනෙක්, මාව අහගෙන ඉන්න කෙනෙක්.

ඒ වගේම හැමදෙයක්, හැම කෙනෙක් දිහාම මනුස්සවාදී චින්තනයකින් බලන කෙනෙක්.

 පොතක් ලියන්න මනුස්සයෙක්ට උදව් වෙන්න තමන් ජීවිතෙන් ලබාගත්ත අත්දැකීම්. මයුරිට කොහොමද ජීවිත අත්දැකීම් උදව් උනේ පොතක් ලියන්න?

මම ලියන හැම වචනයක්ම, මම ජීවත් වුණු, ජීවත්වෙන මේ ජීවිතේ අස්සෙදි මම අත්විඳපු, අත් දැකපු දේවල් වලින් තමයි ගෙතිලා තියෙන්නෙ. 

ආගන්තුකයන් දෙදෙනෙක් බස් එකේදී කතා කරනකොට මට ඇහුණු කතා, මට ආදරය කරපු කෙනෙක් නැතිවුණු වෙලාවට දැනුණු දුක, හේන්වල, ඔෆිස්වල, ගෙවල්වල, ගමක, නගරයක වැඩ කරන කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතයේ තියෙන ගැටළු වගේ එක එක වපසරියන් තුළට විහිදිච්ච අත්දැකීම්. මේ හැමදෙයක්ම මට ඉගැන්නුවා අපි දෙයක් ලියද්දි මුළින්ම කරන්න ඕන හොඳින් නිරීක්ෂණය කරන්න ඉගෙනගන්න එක කියලා. ඒ අත්දැකීම් මට අනුකම්පාව සහ සංවේදීතාව ඉගැන්නුවා. සාමාන්‍ය මුහුණක් පිටිපස්සෙ වුණත් අපි නොඇසුව, නොදැක්ක අසාමාන්‍ය කතාවක් තියෙනවා කියලා මම තේරුම් ගත්තා.

මගේ ලිවීම මේ ජීවිතයේ නිහඬතාවලට මම හොඳින් කළ සවන් දීමක් කියලා කියන්න මම කැමතියි.

 පලවෙනියටම ලිව්ව පොතත් වෙනස් පොතක්. ඒ වෙනස ගැනත් කතාකරමු

Vintage Journal මම  නිර්මාණය කළේ coffee table book එකක් විදිහට. මේ වගේ පොතක් ලංකාවේ මීට කලින් නිර්මාණය වෙලා නැති නිසාම, ඒක මේ පොතට ලොකු වෙනසක් එකතු කළා.

සාමාන්‍යයෙන් කතාවක් අරගෙන මුල, මැද, අග තියලා කියන එක තමයි පොතකින් වෙන්නෙ. ඒත් මම එතනින් එහාට ගිය effort එකක් තමයි මේ Vintage Journal කියන්නෙ. Vintage Journal කියවද්දි, ඔයාට තේරෙයි ඒක පොතකට වඩා අත්දැකීමක් කියලා. ඔයා ඉස්සරහ තියෙන තේ කෝප්පෙ රස විඳින ගමන් සෑහෙන දේවල් හිතන්න ඔයාට උදව් කරන පොතක් විදියට Vintage Journal ගැන කියන්න මම කැමතියි.

ඇත්තටම, මේ පොත කියවන්න ඕනෙ නැහැ. බලන්න විතරක් වුණත් පුළුවන්. ඒකෙ තියෙන හැම පින්තූරයක්ම, හැම වචනයක්ම, ඔයාට relate වෙන ජීවිතේ ගැන කතාවක් මතක් කරනවා වෙන්න පුළුවන්.

මම හිතනවා මේක සාම්ප්‍රදායික පොත් කියවන්න පුරුදු වෙලා ඉන්න අයට පොඩි වෙනසක් ගෙනෙයි කියලා. මොකද මේ පොත ගත්තේ, කියවලා ඉවර කරලා පැත්තකට දාන්න නෙවෙයි. නිතරම ඇස් මානයේ තියාගෙන, ඕන වෙලාවක අරන් පිටුවක් පෙරළලා, පොඩි හුස්මක් අරන්, හිතන්න පුළුවන් පොතක් විදිහට.

 අයෝමත්‍ර කියන්නෙ මොකද්ද? කවුද මේ පොතේ ඉන්න ගෑනු තුන් දෙනා?

මගේ දෙවැනි පොත, අයෝමත්‍ර. අයෝමත්‍ර කියන වචනය ඔයාලට ශබ්දකෝෂවල හොයාගන්න බැහැ. ඒක මගෙන් ම උපන් වචනයක්. නිහඬතාවයයි, ගැහැණු ආත්මයක හඬාවැටීමයි එක්කහු වෙලා ඉපදිච්ච වචනයක්.

සමහර පිරිමි හිතනවා කාන්තාවක ට දයාර්ද වෙන එකෙන් තමුන්ගේ පෞරුෂය පොළොවේ පස් වෙයි කියලා. කාන්තාවකට තමුන්ගේ ජිවිත කාලේ ලැබෙන්න තියෙන වාසනාවන්තම දේ තමයි ආදරණීය පිරිමියෙක්ට වඩා දයාර්ද පිරිමියෙක් හමුවීම.

දයාර්ද මිනිහෙක්ගේ ආදරේ ආදරණීය මිනිහෙක්ට වඩා පුළුල් එකක්. 

එහෙම දයාර්ද මිනිහෙක් මග ඇර ගත්තු කාන්තාවො ඉන්නවද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔව් එහෙම අය ඉන්නවා. මේ අයෝමත්‍ර පොතේදි එහෙම අය ඔයාට හමුවෙයි.

පොත ඇතුළේ කාන්තාවො තුන් දෙනෙක් ජීවත් වෙනවා. එයාලා සුපිරි වීරවරියන්වත්, සාන්තුවරියන්වත් නෙවෙයි. ඔයාට පාරෙදි හමුවෙන්න පුළුවන්, බස් එකේ ළඟින් වාඩි වෙලා ඉන්න පුළුවන්, ඔයාගේ අසල්වැසියා හෝ ඔයාම වෙන්න පුළුවන් සාමාන්‍ය කාන්තාවො.

එක කාන්තාවක් එයාගේ අතීතය, පීනලා ගොඩ යන්න බැරි සාගරයක් වගේ දරාගෙන ඉන්නවා. අනිත් කාන්තාව සමාජය විසින් එයා වටා ගොඩනගන නොපෙනෙන බැමි, සිරකුටි එක්ක සටන් කරනවා. තුන්වෙනි කාන්තාව කැඩපතක්. ලාංකේය කාන්තාවන්ගේ හිරකරගත්ත, නොකිව්ව බය සහ ආශාවන්ගේ ප්‍රතිබිම්බයක්.

මේ කාන්තාවන් තුන් දෙනා නිකන්ම චරිත නෙවෙයි. එයාලා දෝංකාර දෙන හඬවල්. එයාලා ඔරොත්තු දීමේ හැකියාව, දුක, ධෛර්යය සහ පරස්පරතා නියෝජනය කරන කාන්තාවො. පාඨකයන්ට මේ අයව හමුවුණාම, මම බලාපොරොත්තු වෙනවා එයාලා තමන්ගේම කොටසක්, නැත්නම් තමන්ට කවදා හරි හමුවෙලා තියෙන කෙනෙක්ව මේ චරිත අස්සෙ හඳුනාගනීවි කියලා.

 ලාංකේය කාන්තාවන්ව, මයුරි තමන්ගෙ මනුස්සවාදී සිතුවිලිවලින් දකින්නෙ කොහොමද?

මම කාන්තාව ගැන ලියන නිසා, මිනිස්සු නිතරම මාව ස්ත්‍රීවාදියෙක් විදියට හඳුන්වනවා. ඒත් මම කැමතියි ඒක වෙනස් කරලා මෙන්න මෙහෙම කියන්න. මම මනුස්සවාදියෙක්. මම විශ්වාස කරනවා මිනිස් වර්ගයාගේ පරිපූර්ණත්වය ගැන. ඒ කියන්නේ පිරිමින්ට වගේම කාන්තාවන්ටත් හුස්ම ගන්න සමාන ඉඩක් තියෙන්න ඕනේ කියන එක ගැන.

ඒත් මම එක දෙයක් පිළිගන්නවා. ඒ තමයි මම ලාංකේය කාන්තාව ගැන එක්තරා විදියක සංවේදීතාවයකින් බලනවා කියන එක. මොකද, එයාලා කොච්චර කැපකිරීම් කරනවද, එයාලා නොකැඩී කොහොම නැමෙනවද, කිසිම ගෞරවයක් නොඉල්ලා කොහොම ආදරය කරනවද කියලා මම දැකලා තියෙනවා. බැඳිලා තියෙන රැහැන් පටවල් එකින් එක කඩා වැටෙනකොට බැඳීම් එකට තියාගන්නේ කාන්තාව කියලා මම දැකලා තියෙනවා.

ඊටත් එහා කිසිම අගයකිරීම් නැතිව හැමදේම දෙන්නෙ කාන්තාව  කියලා මම දැකලා තියෙනවා.

කාන්තාව කියන්නේ, ආපසු කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමදේම දෙන චරිතයක්. මේක මම නිරන්තරයෙන්ම දකින යථාර්ථයක්. සමාජයේ එදිනෙදා ජීවිතයේදී කාන්තාවක් කරන කැපකිරීම්, විශේෂයෙන්ම පවුලක් ඇතුළෙ, ගොඩක් වෙලාවට නොසලකා හැරෙනවා. ඒ කැපවීම් සාමාන්‍ය දෙයක් විදියට සලකනවා මිසක, ඒ වෙනුවෙන් එයාව අගය කිරීමක් හෝ එයාගේ මහන්සිය හඳුනාගැනීමක් සිද්ධවෙන්නෙ හරිම අඩුවෙන්.

ඒ කැප කිරීමට ලැබෙන ප්‍රතිචාරය සමහරවිට “ස්තූතියි” කියලාවත් කියන්නෙ නැහැ. කොච්චර රස කෑම හැදුවත් “කෑම රසයි” කියලවත් අපි කියන්නෙ නෑ. ඒ වගේම, ගෙදර දොරේ වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපනය, පවුලේ අයගේ හැම අවශ්‍යතාවක්ම වගේ දේවල් ඉටු කරන්නේ කාන්තාව. ඒ දේවල් එයාගෙන් ඉටු විය යුතුම සාමාන්‍ය යුතුකමක් ලෙස සමාජය දකින නිසා, ඒ වෙනුවෙන් වෙනම අගය කිරීමක් කරන්න අවශ්‍ය නැහැ කියලා ගොඩක් අය හිතනවා.

ඒත් මේ කිසිම පිළිගැනීමක් නොලැබුණත්, කාන්තාව හැමවෙලේම පවුලට ශක්තිය දෙනවා. එයා එයාගෙ ආදරය, රැකවරණය, සෙනෙහස කොන්දේසි විරහිතව ලබා දෙනවා. කිසිම දෙයක් ආපසු බලාපොරොත්තු නොවී, මෙහෙම දේවල් කරන්න පුළුවන්කම කාන්තාවන්ට විතරක්ම විශේෂ වුණ දෙයක් කියලා මම හිතනවා. ඒක තමයි කාන්තාවන්ගෙ හදවතේ තියෙන ලොකුම ශක්තිය. එයාලා ගඟක් වගේ. ගඟ ගලන්නේ කිසිම ආපසු ඒමේ බලාපොරොත්තුවක් නැතුව. කාන්තාවත් ඒ වගේ.

ඒත් ඒ වගේම, එයාලගේ දුර්වලතාත් මම දැකලා තියෙනවා. සමාජය එයාලව නිහඬ කරන හැටි, සංස්කෘතිය එයාලව බැඳලා තියෙන හැටි. මම එයාලව දකින්නේ වින්දිතයන් විදියට නෙවෙයි; ගංගාවන් විදියට. ගංගා අවහිර වෙන්න පුළුවන්, ඒත් එයාලා හැමවෙලේම ගලන්න මාර්ගයක් හොයාගන්නවා.

 Book launch එක ගැනත් කියමු

කාන්තාවක් කියන්නේ ඇයගේ ජීවිතේ විවිධ අරගල මැද ජීවත් වෙන කෙනෙක්.

 බස් එකේ, කෝච්චියේ දරුවන්ට බත් උයලා, හැමදේම ලෑස්ති කරලා කාර්යාලයට දුවන කාන්තාවගේ ඉඳලා, පාරේ එළවලු ටිකක් විකුණන්න උත්සාහ කරන කාන්තාව දක්වාම, හැම කාන්තාවකගේම ජීවිතය එක දිගට ගලාගෙන යන අරගලයක්.

ඒ අරගලයේ දී කාන්තාවක්ව විනිශ්චය කරන එකේ කිසිම තේරුමක් නෑ. තමන්ගේ සටන දිනන්න වෙර දරන මේ මිනිස්සු අතර, අපි වැරදි කියලා කියන දේවල් නැහැ. ඒ සටනේ දී කවුරුත් හරි හෝ වැරදි නැහැ.

අයෝමත්‍ර කියන පොතේ දී ඔයාට එහෙම ලස්සන කාන්තා ආත්ම හමුවෙයි. ඒ වගේ කාන්තාවන්ගේ කතා අහන්න, ඔවුන්ගේ ලෝකය තේරුම් ගන්න, මං කැමතියි ඔයාලාට ආරාධනා කරන්න එන්න කියලා අගෝස්තු 30 වෙනිද මහවැලි කේන්ද්‍රයට. ප්‍රවීණ නිවේදිකාවන් තුන්දෙනෙක් තමයි මේ Book Launch එකේදි කතාකරන්නෙ. ස්ත්‍රියට මුල් තැන දුන්න Book Launch එකක් විදියට මම මේක හඳුන්වන්න කැමතියි. 

මයුරි කතා කරන්නෙ පොත් ලිවීම ගැන විතරක්ම නෙවෙයි. 

ඒක ජීවිත ගැන කරන ලියමනක්. කාන්තාවන් ගොඩක් අය හිතේ තියාගෙන ඉන්න, නමුත් කවදාවත් ප්‍රකාශ කරන්නේ නැති හැඟීම්වලට මයුරි වචන දෙනවා.තේරුමක් දෙනවා.

ලාංකේය කාන්තාවන් සමාජය අස්සෙ මැකී යන ලෝකෙක, මයුරි ඒ අයව ගෞරවාන්විතව ඉදිරියට ගෙන එනවා. ඒ හඬ හයියෙන් කෑගහන්නේ නැහැ. ඒක සුවපත් කරන, ආලෝකමත් කරන හඬක්. අතමිට මොලවාගෙන කැරළි ගහන කාන්තාවක් ගැන නෙවෙයි මයුරි කතාකරන්නේ. තමන් කරන හැම කැපකිරීමක් අස්සෙම තමන්ගෙකමක් හදාගන්න අරගල කරන කාන්තාවන් ගැන කතාවක්.

මයුරිගෙ වචනවලින් කිව්වොත්, 

“මේක සංසාර ආරණ්‍යක්!

ඒකෙ සදහටම වෙන් වුණා කියන

මිනිස්සු නෑ!

කොයි යම්ම වේසයකින් හරි

අපි ආයේ හමු වේවි!”

ඉතින් ඒ හමුවීම වෙනුවෙන් අගෝස්තු 30 වෙනිදා එන්න මහවැලි කේන්ද්‍රයට. අයෝමත්‍ර අස්සෙ ඔයාට පුළුවන් වෙයි ඔයාවම හොයාගන්න!

Related Articles

Don't Miss


Latest Articles