ඉතින් ඊට පස්සේත් තුසිතය පෙර ලෙස ම පැවතිණ. නිලූපා තුසිතයෙන් පිට ව යාම ගැන කෝපයකින් හෝ පරාජිත බවකින් පසුවූයේ නිලූකා පමණකි. වෙනත් කිසිවෙකුට ඈ උන් බවක් හෝ දැන් නොමැති බවක් හෝ දැනුණේවත් නැති තරමි. නිලූපා තුසිතය තුළ ඇය පිළිබඳ සදාතනික සලකුණක් ඉතිරි කරන්නට අපොහොසත් වීම ඊට හේතුවයි. ඇය තුසිතයෙහි වසන්නන්ගේ හදවත් තුළ අමතක නොවෙන මතකයක් වන්නට සමත් නො වීම ඊට හේතුවයි. නමුත් යසස්වි ගේ හදවත එයින් දින ගණනාවක් ගෙවෙන තුරු ම වේදනාත්මක බරකින් සමන්විත වූයේ ය.
සති මැද වූ නිවාඩු දවසේ රයන් තුසිතයට ආවේ ය. රයන් යනු අස්විද ගේ පාසල් මිතුරා ය. ඔහු තුසිතයට යන්න එන්න ගෙන දශක එක හමාරක් ඉක්මවමින් තිබේ. විවාහයෙන් පසුව ද ඔහු ගේ ඒ ගමන් බිමන් අඩු වූයේ නැත. රයන් තුසිතයට පැමිණෙනුයේ සතුට අරගෙනයි. එබැවින් ඔවුන් ට වයස පහළොවක් තරම් කාලයේ පටන් ම වජිරා ඔහු ගේ පැමිණීම ගැන සතුටු වූවා ය. පවුලේ සතුටකදි වේවා දුකකදි වේවා රයන් ඔවුන් ගේ කෙනෙකු වී සිටියේ ය. ඔවුන් ට හයියක් වී සිටියේ ය.
‘මට ඉතිං පුතාලම තුන් දෙනයිනෙ’
යන්න ඔහු සම්බන්ධයෙන් වජිරා කාලයක් තිස්සේ ම කියනා කතාවකි.
මේ වතාවේ රයන් පැමිණෙන දා මධු විතක් පුරන්නට සූදානම් වූයේ චේතියයි. අස්විද සිය ජීවන සහකාරිය තෝරාගෙන තිබීමේ සතුට සැමරිය යුතු වූවත්, ලෝකයට පෙන්විය නො හැකි ඉසිහින් වේදනාවක් ද ඔහු තුළ විය. ඒ නුදුරු අනාගතයේ දිනෙක ඕස්ට්‍රේලියාව බලා නික්ම යාමට සඳුනි ගත්තා යි කී තීරණය නිසා ය. ඔහු ගේ පෙම්වතා එරටෙහි පශ්චාද් උපාධි පාඨමාලාවකට ඉල්ලුම් කරන්නට සූදානම් වන අතර, ඔවුන් දෙදෙනා අතරේ විවාහය සිදු කොට සඳුනිව ද ඔහු සමගින් කැටිව යාම ඔහු ගේ අදහස වී තිබේ. මේ පුවත දැනුම් දුන් වෙලාවේ චේතිය ඇයට සුබ පැතුවේ ය.
‘දැං ඉතිං පුළුවං විදිහකට හොඳ රටකට ගිහිං ස්ටැබ්ලිශ් වෙන එක තමයි හොඳ’
නමුත් හදවතින් පතුරක් ගැලවී ගියා බඳු වේදනාවක් ඔහු ට දැනෙයි. විටින් විට ඔහු ඒ රිදුම් සුසුමකින් පිරිමැදගනියි. මතකයකින් ඔසු ගල්වාගනී. එපමණකි.
‘ඔහොම ඉන්න ඔහොම ඉන්න… ඔහෙං ඉඳගන්නකො’
කියමින් රයන් යසස්වි ව නවතාගත්තේ, ඈ කටගැස්මක් එහි තබා නික්ම යන්නට සූදානම් වත්දී ය.
‘අපිට සෙලිබ්‍රේට් කරන්න හේතුවක් හදල දුන්නට තෑන්ක්ස් හොඳේ’
යසස්වි මඳහසකින් බිම බැලුවා ය.
‘මොකද මේ ඔයා ඉන්නෙ අවුලෙන් කියන්නෙ… ළමයෝ… අපේ කිසිම සම්බන්ධයක් නැති දේකට කෙනෙක් අපිව පටලෝගෙන එතන දෙයක් සිද්ධ වුණාම ඒක අපේ වරදක් කියල හිතල අවුල් යන එක මහ මෝඩ වැඩක්. සමහර විට ඒක සිද්ධ වෙන්න නියම වෙලාම තිබුණා වෙන්න ඇති. හේතුවක් නැතුව දෙයක් සිද්ධ වෙන්නෑ කියල බුදු හාමුදුරුවොත් කියල තියනව නේද… ඉතිං මේ තුසිතෙ අවුරුදු ගාණක් තිස්සෙ බලාපොරොත්තුවෙන් හිටිය සතුටු දවස්. තුසිතෙට අයිති වෙන්නෝන අයව එතනට ගෙනත් අයිති නැති අයව අයින් කරනව ඇති. මේ වෙලාවෙ ඔයා අවුල් වෙලා ඉඳල හරියන්නෑ. තුසිතෙට අයිති සතුට දෙන්නයි ඕනෙ. ඒකටයි ඔයාව එවල තියෙන්නෙ. ඒකටයි ඔයාව තෝරගෙන තියෙන්නෙ. තේරුණාද… කලින් වගේ සතුටෙන් ඉන්න. එයා හිටිය කියලවත් ගියා කියලවත් කාටවත් ගාණක් නැති එකේ… ඔයා ඒක ඔළුවට ගන්න ඕනම නෑ’
රයන් ඒ උපදෙස දුන්නේ මේ ගැන අස්විද ඔහු සමගින් කියා විස්සෝප වූ බැවිනි. ඈ අතින් යම් කිසි අතපසුවීමක් සිදු වූ බව යසස්වි ට හරියට වැටහුණේ ඒ වෙලාවේයි. තුසිතයෙන් නික්ම ගිය නිලූපා ව සිය හිස මත තබාගෙන නො සිටිය යුතු බව ඒ වෙලාවේ ඈ තීරණය කළා ය.
වජිරා කෑම පිසුවේ උනන්දුවෙනි. ඇගේ කෑම වල තියෙන මිරිස් සැරට රයන් කැමති බව අතීතයේ පටන් ම දන්නා ඇය, රයන්ගෙන් කෑම වල රස ගැන වර්ණනා ලබන්නට කැමති ය. ඒ වෙනුවෙන්, දන්නා ශිල්ප යොදා කෑම රසගන්වයි. රයන් එනවාට නිලූකා ද කැමති ය. එතකොට ඇය කෑම පිසින්නේ නැතිව නැන්දම්මාගේ කුස්සියෙන් ම ආහාර වේලක් ලැබෙනා බැවිනි.
නිලූපා ගේ සිදුවීමෙන් පසු නිලූකා යසස්වි සමගින් කතාබහ කරන්නේ නැත. යසස්වි බලයෙන් ම වචනයක් දෙකක් කතා කරයි. නමුත් නිලූකා තරහෙන් පුපුරයි.
‘එයා මං එක්කත් ඔහොම ඉන්න කාල තියනව. එයාටම ඇති වුණහම කතාකරනව’
ඒ ගැන වජිරා සිනහ වෙමින් කීවේ එබන්දකි. එබැවින් යසස්වි අවශ්‍යතාවයක් තිබුණොත් කතාකළා ය. දැනුම්දීමට අවැසි දේ කීවා ය. නිලූකා ප්‍රතිචාර නො දැක්වීම ගැන වද නොවුණා ය.
බීර බිඳකින් තොල් තෙමුණ විට අස්විද ට නිතර ම යසස්වී දකින්නට ඕනෑ වෙයි. ඔහු විවිධ හේතු හදාගෙන ඒ වෙනුවෙන් මුළුතැන්ගෙට ආවේ ය. අයිස් කැට ඉල්ලාගෙන ද කටගැස්ම යළි ගෙනයන්නට ද වතුර ඉල්ලමින් ද ආවේ ය. පොල් ගාමින් සිටි නිලූකා ගේ කට පොපියෑවේ ඇනුම්පදයක් කියන්නටයි. නමුත් අස්විද ගැන දන්නා නිසා ඈ තුළ බියක් ද විය.
‘යසස්වි මට ඔයාගෙ පවර් බෑන්ක් එක ටිකක් දෙන්නකො’
කියාගෙන තවත් වරක් පැමිණියේ ය. විදුලි බලය හදිසියේ බිඳවැටී තිබූ බැවින් ඒ ගැන වැඩිදුර හිතන්නට හේතුවක් වූයේ නැත. යසස්වි පොතු යවමින් සිටි පිපිඤ්ඤා ගෙඩිය තබා දෑත් සෝදාගෙන මතු මහළට දිව්වා ය. ඈ පසුපසින් අස්විද කාමරයට ම පැමිණ තිබිණ. පවර් බෑන්ක් එක ගනිමින් ආපසු හැරී බැලූ යසස්වී තුළ ගැස්මක් ඇති විය. මේ වෙලාවේ මතු මහළෙහි කිසිවෙකු ඇත්තේ නැත. අස්විද ළඟින් බීර සුවඳක් ඉහිරේ. ඒ දෑස් වල එළිය අමුතු ය. ඔහු ඇගේ බඳ වටා දෑත් යවමින්, අක්බමර රොද ඇළුණු සුසුදු ගෙල සිපගත්තේ ය.
‘බොන්නෙපා වැඩිය’
ඇය තරවටුවක් කළා ය.
‘මං බිව්වෙ නෑ අනේ’
ඔහු තව තවත් ඒ උණුහුමෙහි පහස විඳිමින් සිටියේ ය. මොහොතකට ලෝකය ම අමතක වෙන්නට ගියත් ඇය ඉක්මනින් සිහි එළවාගත්තා ය.
‘මං යන්නෝනෙ පහළට’
‘තව චුට්ටක් ඉන්න’
‘ආන්ටි බලයි’
අස්විද වෙතින් මිදෙත්දී ඇගේ හද ගැස්ම උච්ච වී තිබිණ. දෙතොල් පෙති මත තිත්ත බීර රසයක් විය. නමුත් හිත අමුතු මිහිරක නැහැවී තිබුණේ ය. වජිරා ට මුහුණ දීමේ අපහසුවක් දැනුණත්, ඕ ඉක්මනින් මුළුතැන්ගෙය අස්පස් කළා ය.
‘ඔන්න ආන්ටි අද බඩ පැලෙනකල් කන්න ඕනෙ’
කියාගෙන ය රයන් කෑම මේසයට හිඳගත්තේ.
‘දැං මේගොල්ලො බොනෝ වැඩියි ආන්ටි. බණින්න’
යසස්වි එසේ කීවේ දෑස් මත පොපියන ආදරය නෝක්කාඩුවේ ස්වරයෙන් මුවහ කරගෙන යි. අස්විද ගේ දෑස් ඇගේ දෑස් මත විදුලි කොටමින් තිබිණ. ඒ මොහොතේ ඔහු ප්‍රේමයේ ප්‍රතිමූර්තිය බවට පරිවර්තනය වෙමින් ඇති බවක් ඔහු ට දැනෙන්නට විය.
‘අපි ඉතිං සතුටට බොන්න ඕනනෙ… නැද්ද ආන්ටි’
රයන් අතින් ඈ ගැන යමක් කියවෙනු ඇතැයි යසස්වි බිය වූවා ය.
‘අපිටත් ඉතිං බීල හරි කාල හරි සතුටු වෙන්න තිබ්බ… සතුටු වෙන කාරණේ මොකද්ද කියල දන්නවනං…’
වජිරා එසේ කීවේ රයන් ගේ පිඟානට බත් බෙදමිනි.
‘ඇයි ආන්ටිට කිව්වෙ නැද්ද… මේ කසාද බඳින්නෝනෙ කියන්නෙ’
‘දැං ඔය අනිත් එක්කෙනත් ඇස් රතු වෙනකල් බීල ඉන්නෙ සතුටටද… නැත්තං මොකක්හරි දුකකටද දන්නෑ නේද…’
ඒ වෙලාවේ ම නිලූකා වෙතින් ඒ වාගේ ඇනුම්පදයක් එල්ලවෙනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැත. රයන් ද අස්විද ද චේතිය ද උනුන් ගේ මුහුණු දෙස බලාගත්හ. රයන් උරහිස් හැකිළුවේ නො දන්නා බවක් හැඟවීමටයි.
ඒ කතාව නිසා පෙර කතාව යටපත් වී යාම යසස්වි ට නම් සැනසිල්ලක් විය. නමුත් හදිසියේ ම එතැන පැතිරුණ අනවශ්‍ය නිශ්ශබ්ධතාවයේ බර ඉවත් කර දමන්නටදෝ රයන් නැවත ද කතාව මුල තැනට ම ගෙනාවේ ය. ඔහු එහෙම ය. ඔහු ඉන්නා තැන සිත් වේදනා වලට පවතින්නට විදිහක් නැත. ඔහු ගැවසෙන තැන වාතාශ්‍රය පිරිසිඳු ය. ඔහු ළඟ සිටිනා අයගේ රුධිරය පිරිසිඳු ය.
‘අසා මොකද්ද බං… මේ ආන්ටිට කියපංකො උඹ ඉක්මනට බඳින්නයි යන්නෙ කියල. ආන්ටි කොයි කාලෙ ඉඳලද බලං ඉන්නෙ… උඹ කසාද බැඳල උඹේ ළමයෙකුත් හිල් පොල්කට්ටෙං නාවන්නෙ කවදද කිය කිය…’
‘හරි හරි. හෙමීට හිල් පොල්කට්ටකින් නාවගන්න බැරියෑ. දැන් ඔයා කන්නකො’
කියමින් වජිරා ඔහු ට අඩුවැඩිය බෙදුවේ ඒ විහිළුව හිතට ගන්නේ නැතිවයි.
‘ආ… එතකොට ආන්ටි හිතං ඉන්නෙ මං මේ ජෝක් එකක් කරනව කියලද… ඕගොල්ලො දන්නෑ චූටි පුතාගෙ තරම. ඕගොල්ලො හිතං ඉන්නෙ මෙයා මේ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලන්නැති නිවිච්ච සිරිමත් කෙනෙක් කියල’
‘හරි හරි ඉතිං… අපි කැමතියි එහෙම වෙනවනං. වුණ දවසක එයා අපිට කියනව කියලත් අපි දන්නවනෙ’
අස්විද ගේ හිත බර වූයේ ය. අම්මාටත් තාත්තාටත් මෙය තව දුරටත් රහසක් කරගෙන හිඳීම කොතරම් වැරදි ද යන හැඟීම එසැනෙන් ඔහු ගේ හිතෙන් නැගී සිටියේ ය.
‘හරි හරි ඕගොල්ලො එහෙනං ඔහොමම හිතං ඉන්නකො. අපි මොකටද ඕව කියන්න ගිහිං වැරදිකාරයො වෙන්නෙ. අසා… උඹත් කියන්නම එපා මෙයාගෙ තියන උද්දච්ච කමට. මං කියන්න ගියාම… තව චිකන් කෑල්ලක් එහෙම මගෙ පිඟානට දාල මගෙං අහගන්නව නෙවෙයි… හොඳ වැඩේ… කියන්නම එපා’
රයන් ගේ කතාවට නැවත ද කෑම මේසය සිනහවෙන් පිරී යන්නට විය. අස්විද ‘අම්මෙ’ යි කීවේ ඒ සරදම් වලට මුළුමනින් වෙනස් ස්වරයකිනි. එසැනෙන් නැවත ද කෑම මේසයෙහි වූවන් ගේ හදවත් මොහොතකට නතර විය.
‘රයන් කියන්නෙ ඇත්ත අම්මෙ. මං… අම්මටයි තාත්තටයි මේක කියන්න වෙලාවක් හම්බවෙනකල් හිටියෙ. දැං හිතෙනව… තව කල් ගන්න ඕන නෑ කියල’
යසස්වි කෙතරම් තැති ගත්තේ ද යත් ඇගේ මුහුණ මත දහදිය බින්දු නැගීගෙන ආවේ ය.
‘තාත්තෙ… අම්මෙ… මං කැමතියි… යසස්විව මැරිකරන්න. අපි… ඕගොල්ලොන්ට මේක කියන්න හිටියෙ. ඒත් යසස්වි බයේ හිටියෙ කියනවට. ඒකයි… ටිකක් පරක්කු වුණේ…’
ඒ තරම් අසීරුවෙන් ඔහු නඩුවකදීවත් හේතු පාඨ කියා නැත. එය කියා නිම වන විට වජිරා හඬන්නට පටන්ගෙන සිටියා ය. තැතිගෙන සිටි යසස්වි අසුනෙන් නැගිට ඇය වෙතට ලං වූයේ බියෙනි.
‘අනේ සොරි ආන්ටි… ඕගොල්ලො කැමති නැත්තං… මං…’
ඉන් ඔබ්බට කුමක් කියන්න ද කියා ඇයට වැටහුණේ නැත. වජිරා හඬමින් ම ඈ වැළඳගත්තා ය. අස්විද හෙමිහිට අසුනෙන් නැගිට සිය මව හා ප්‍රේමවන්තිය වෙතට සමීපවූයේ ය.
‘මං පුතාලගෙ තාත්ත ළඟට ආපු දවසයි පුතාල දෙන්න ඉපදුණ දවස් දෙකයි තමයි මගෙ ජීවිතේ මං වැඩියෙන්ම සතුටු වුණ දවස් වුණේ. චූටි පුතා පිළිවෙළක් වෙන්නැති එක ගැන හිතේ තිබුණ බර මෙච්චරයි කියන්න බෑ. එයා ඉපදුණාට පස්සෙ… අද තමයි මගෙ ජීවිතේ ලොකුම සතුටක් දැනුණ දවස. අනේ ඔයාට පිං මගෙ පුතේ. අපේ ජීවිත වලට ආවට. මං දන්නව ඔයා චූටි පුතාව බලාගනී මටත් වැඩිය හොඳට. අම්ම කෙනෙක් විදිහට…ඊට වැඩිය සතුටක් කොයින්ද… ඔය දෙන්න හැමදාම ආදරෙන් සතුටෙන් ඉන්නයි ඕනෙ. අපි නැති කාලෙක වුණත්…’
‘මොනාද අප්ප නැති කාල ගැන කියන්නෙ’
අස්විද අම්මා හා යසස්වි දෑතින් තුරුලු කොට ගත්තේ ය.
‘රතිඤ්ඤා ටිකක් ගේන්න බැරි වුණානෙ… තුසිතෙ මැද්දෙම තියල පත්තු කරන්න’
රයන් ගේ කතාවට නැවත ද සිනහව රළක් සේ නැගී ආවේ ය.