විශ්ව විද්‍යාලය ළඟ දී යසස්වි ත්‍රිරෝද රියකට නැගෙනු උදාර බලාගෙන ය. එතැන කලබලයක් ඇති නොකොට, හඹා ගොස් ඇය ඉන්නා තැන සොයාගන්නට ඔහු හිතාගෙන ම ආවේ ය. එබැවින් සියල්ල සිදු වූයේ සැලසුම් සහගතවයි. ඔහු සිය මෝටර් රථය පවා මේ ගමන සඳහා යොදා නො ගත්තේ ඇය එය හැඳිනගෙන මගහරිනු ඇති බව සිතා ය.
උදාර රිය තුළ සැඟවී සිටියෙන් යසස්වි සිහිනයෙන්වත් මෙවැන්නක් බලාපොරොත්තු වූයේ නැත. කොහොමටත් පොලීසි සිදුවීමෙන් පසු අනුරාධපුරයේ මොන අඩව් ඇල්ලුවත් යළි කොළඹ විත් ඔහු නාඩගම් නටතැයි ඈ සිතුවේ නැත.
උදාර ත්‍රීරෝද රිය පිටුපසින් රිය ධාවනය කළේ ය. ඔහු ගේ මුවග සිනහවකි. යසස්වී කර මුලට ම හසු වී තිබේ. කුරිරු සතුටකින් ඔහු උරුහම් බෑවේ ය. ඇය ආඩම්බරකම් පෙන්වූවා වැඩි ය. කොළඹට පැනගත්තාට පස්සේ ඈ ඔහුව පයට පෑගෙන දුහුවිල්ලක් තරම් ගණන් ගත්තේ නැත. ඒ සියල්ලට ඇය විඳවිය යුතුව තිබේ. නමුත් එය වඩාත් හොඳින් සිදු කරන්නට නම් ඇයව සිය භාරයට ගත යුතු ය. විවාහය යන බැම්මෙන් බැඳ ඇයව සිය සීමාවෙහි හිර කොටගත්තාට පස්සේ මේ සියල්ලෙහි වාඩුව ගත හැකි වේ. ඈ රිදවිය යුතු ය. ටික ටික නොව මහා පරිමාණයෙන් රිදවිය යුතු ය. ඔහු ට කළ සියල්ල වෙනුවෙන් ඈ වන්දි ගෙවිය යුතු ය. තුසිතය ළඟ ත්‍රිරෝද රිය නැවතෙනතුරුත් උදාර සිටියේ ඒ හිතිවිලි ලෝකයේ ය.
යසස්වි ත්‍රිරෝද රියට මුදල් ගෙවා ඉන් බැසගත්දී උදාර ඔහු පැමිණි රියෙන් බැස්සේ ය. ඒ මොහොතේ ඔහු දුටු ඇයට දැනුණේ එක මොහොතකට මුළු ලෝකය ම අඳුරු වී ගියා මෙනි. නැත්නම් හිස මත ම අකුණක් පතිත වූවා මෙනි. එසැනෙන් දෙපා වලට කොහොම එහෙම හයියක් ආවා ද කියා ඈ දන්නේ නැත. ගේට්ටුව විවර වී තිබුණේ හොඳ වෙලාවට ය. ඉන් ඇතුළට රිංගූ ඕ ‘සනුක… සනුක…’ කියා කෑගසමින් ගේ දෙසට දුවන්නට පටන්ගත්තා ය.
‘යසස්වි ඔහොම ඉන්න. මට ඔයත් එක්ක කතාකරන්නයි ඕනෙ’
උදාර එහෙම කියනවා ඇසුණේ ය. නමුත් යසස්වි මොහොතකටවත් නතර වූවා නොවේ. ඇගේ කෑගැසිල්ලට සනුක පමණකුදු නොව මිදුලේ ගස් අතරේ සිටි විජිත පවා එතැනට පිවිසියහ.
‘මොකද මේ… හොල්මනක්වත් හම්බුණාද…ඇත්තට මොකද ඕයි මේ…’
යසස්වි ගේ බියපත් විලාශය සනුක ට වටහාගත හැකි වූයේ නැත.
‘උ…උ…උ…උදාර…’
වචන පිට නො වෙනා බැවින් ඇය ගේට්ටුව දෙසට ඇඟිල්ල දිගු කළා ය. උදාර ගේට්ටුවෙන් ඇතුළට පිවිසෙමින් සිටි අතර යසස්වි සනුක ට මුවහ වූවා ය. වහා සියල්ල වටහා ගත් සනුක මිදුලට බැස්සේ ය. ඒ ගමන් ම ‘බාප්පට කෝල් එකක් දෙන්න’ කියා කියන්නට ද අමතක නො කළේ ය.
‘හෝව් හෝව් හෝව්. ගෙදර මිනිස්සුන්ගෙන් පර්මිශන් ගන්නැතුව ඔයා මෙහෙම අනුංගෙ ගෙවල් වලට එන්නෙ කොහොමද ආ… එහෙම ඇතුළට එන්න බෑ’
සනුක වහ වහා උදාර ඉදිරියට යමින් කීවේ ය.
‘ඒක තමයි මාත් මේ බැලුවෙ. කාගෙ අවසරේකින්ද ගේට්ටුවෙන් ඇතුළට ආවෙ කියල. කවුද තමුං…’
විජිත ද උදාර අභියස ට පැමිණියේ ය. ඔහු උද්දච්ච සිනහවක් පෑ නමුත් මේ මිනිසුන් සමග ප්‍රශ්නයක් ඇති කරගන්නට නොයා යුතු යයි වහා තීරණය කළේ ය.
‘ආ… මං මේ… යසස්වි බඳින්න ඉන්න කෙනා. එයාටයි මට කතාකරන්න ඕනෙ. කරුණාකරල එයාව එලියට එවන්න’
විජිත උදාර ගේ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා ම සුපරික්ෂාවෙන් බැලුවේ ය.
‘ඒ ළමය බඳින්න ඉන්නෙ ඔය ළමයවනං ඇයි අර ඒ ළමය පණ කඩාගෙන දිව්වෙ ඔය ළමයව දැකල…’
‘අපි දෙන්න අතරෙ පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනව අංකල්. ඒව ඔක්කොම මං දැං ඔයාට කියන්න ඕන නෑනෙ. යසස්විට එළියට එන්න කියන්නකො. ඒ ඇති’
‘මේ මේ… එහෙම අපිට බෑ නාඳුනන පිරිමින්ට ඒ ළමය එක්ක කතාකරන්න ඉඩ දෙන්න. මොකද අපි ඒ වැඩිහිටියන්ට ළමය ගැන වගකියන්න ඕනෙ’
‘ඒ ගෙදර මිනිස්සු දන්නව. ගෙවල් වලින් තමයි අපිව ප්‍රපෝස් කරල තියෙන්නෙ’
‘ඒ වුණාට අපිට දැනුම්දීල නෑනෙ ගෑනු ළමයට මෙහෙම ඉලන්දාරියෙක් හම්බවෙන්න දෙන්නයි කියල. අනික එහෙම දෙයක් තියනවනං අර ළමය අර මහ සොහොන් දිෂ්ටිය දැකල වගේ දිව්වෙ…’
උදාර පාලනය කරගනිමින් සිටි කේන්තිය පුපුරා යන්නට ඔන්න මෙන්න ව තිබිණ.
‘මේ අංකල්. මට මෙතන මහ සොහොන් දිෂ්ටිය වැහෙන්න කලිං යසස්විව එළියට දානවද…යසස්වී… මගෙ යකා අවුස්සගන්නැතුව ඔය හැංගිමුත්තම නවත්තල එනව එළියට’
උදාර ගේ සන්සුන් වෙස් මුහුණ ගැලවී සැබෑ උදාර මතු වී එමින් තිබිණ. යසස්වි ගෙතුළ වෙව්ලමින් සිටියා ය. මේ කුමක් සිදු වී දැයි ඇයට සිතා ගත නො හැකි ය. මීළඟට කුමක් සිදු වනු ඇත්ද කියා සිතන්නටත් ඇයට බිය ය.
වජිරා හා නිලූකා තුසිතයෙහි ප්‍රධාන උළුවස්සෙන් පිටතට එබීගෙන සිටියහ. මේ සිදු වන දේ ගැන නිලූකා තුළ නම් ඇතිවෙමින් තිබුණේ දෝරෙ ගලනා සතුටකි. යසස්වි ව තුසිතයේ බාල ලේලි ලෙස පිළිගෙන උද්දාම වෙමින් සිටි සූරියබණ්ඩාර යුවළට කනේ පහරක් වැදුණා සේ, ඉහ වහා ගිය සතුටක් ඇයට දැනේ.
‘මොනවද ඔතන එබීගෙන කරන්නෙ… ඇතුළට ගිහිං ඔය දොර වහනවල’
විජිත පිටුපස හැරී කෑගැසුවේ උදාර යනු කෙබඳු ජීවියෙකු දැයි ඔහු ට දැනෙමින් තිබූ බැවිනි. නිලූකා අදිමදි කළත් වජිරා ඇයව ඇතුළට ඇද දොර වසා අගුළු දැමුවා ය.
‘මේ මේ අංකල්. තමුන්ට අයිතියක් නෑ අනුංගෙ ගෑනුංව මෙහෙම ගෙවල් ඇතුළෙ දාල හංගං ඉන්න හරිද…’
‘මේ ඉලන්දාරිය. මගෙ ඉහ නිකට පැහුණෙ පෑවිල්ලට නෙවෙයි. හොඳ හිතිං තමුං දැං මෙතනිං ගියොත් හොඳයි. නැත්තං මට සිද්ද වෙනව පොලීසියට කතා කරන්න’
ඒ අන්තිම වචන ටිකට උදාර තුළ ගැස්මක් ඇති නොවූවා ම නොවේ. නමුත් මෙතැනට ම පැමිණි එකේ නිකං ම හිස් අතින් හැරී යන්නට ඔහු ට ඕනෑ වූයේ ද නැත.
‘අනේ අංකල් ඔයා අපේ පෞද්ගලික ප්‍රශ්න වලට අත දාන්න එන්නැතුව ඉන්නකො. මේ ඉන්නෙ මං කසාද බඳින්න ඉන්න ගෑනි. හැබැයි කොළඹට ආවට පස්සෙ මේකි මට පොල්ල තියන්න හදන්නෙ. ශුවර් එකට මොකෙක්හරි පටලෝගෙන. මුං අපි නිසා වාසි අරං සල්ලි හම්බකරල දැං මාරු වෙන්න හදන්නෙ. ඒව කොහෙද මාත් එක්ක. දැනගන්නව යසස්වි. තමුසෙ බඳින්නෙ මාව. මං ඇර මොකෙක්වත් බඳින්න තමුසෙට මං ඉඩ දෙන්නෙත් නෑ. හැංගිල ඉන්නැතුව එනව එළියට. මේක විසඳගෙන තමයි මං අද යන්නෙ’
යසස්වී කෙතරම් බිය වී සිටියේ ද යත් ඇගේ දෙතොල් වෙව්ලුවේ ය. දෑත් දෙපා වල සීතලක් දැනිණ. ‘ඔයා බයවෙන්නැතුව ඉන්න. මං පුළුවන්තරං ඉක්මනට එනව’ යනුවෙන් අස්විද කී වාක්‍ය දෙක ඇගේ මනසේ පිලිරැව් දෙමින් නැවත නැවත ද ඇසිණ. ඇයට හිතේ හයියකට තිබුණේ එපමණකි.
ඒ අතරේ නිලූකා ට දැනුණේ කෲර සතුටකි. ඇය ජනේලයෙන් මිදුලට එබීගෙන උදාර ගේ කතා වලට සවන් දුන්නේ උද්දාමයෙනි. ඔහු කියන එක වචනයකුදු අපතේ නො හැර ඈ ඒවා ග්‍රහණය කරගත්තා ය. ඒ අතරේ ම ජයග්‍රාහී ලීලාවෙන් වජිරා ට සමච්චල් කළා ය.
‘හොඳ වැඩේ ලොකු අතු අල්ලන්න ගියාට… මං කට කැඩෙනකල් කිව්ව අපේ එකීව බන්දල දෙමු කියල. ඒකි මදි වුණා අම්මල පුතාලට. හරි ලොකුවට පොඩි ලේලි විදිහට පිළිගත්තෙ… දැං මොකද දන්නෑ වෙලා තියෙන්නෙ. මෙතන බොරු හුරතල් පෙන්නල තොඳොල් වෙවී අම්මල පුතාලව අල්ලගෙන තියෙන්නෙ නිකං නෙවෙයි. එහෙ හොඳ හොඳ නැටුං නටලයි ඇවිත් තියෙන්නෙ. හොඳ වැඩේ… අපේ එකීට වැඩිය පිට පොත්ත රතු වුණ නිසා දපනෙ වැටුණ. හෙට අනිද්ද වෙනකොට තව කීදෙනෙක් දොරකඩට ඇවිත් ඩෙඟා නටයිද දන්නෑ… උංව බඳින්න පොරොන්දු වෙලා හිටියයි කියල’
ඒ කලබල අතරේ වරින් වර ඔවැනි කතා කියන්නට තරම් සිහි කල්පනාවක් නිලූකාට කොයින්ද කියා වජිරා ට නම් සිතා ගත නො හැකි වූ තරමි.
‘අනේ පින් සිද්ද වෙයි නිලූකා කටවහගෙන ඉන්නවද… රැවුල ගිනි අරං තියන වෙලාවෙ සුරුට්ටු පත්තු කරන්නනෙ ඔයා හදන්නෙ’
වජිරා ලේලියට රැව්වා ය. නිලූකා සමච්චලයට සිනහ වූවා ය.
‘අපිව ගණං ගත්තෙ නෑ. පොඩි ලේලිව ලොකුවට ලොකු කරන්නෙ හිටියෙ. කොහොමද එයා කරල තියන ලොකු වැඩ… මාරයි නේ…’
‘නිලූකා මේ. ඔයා දන්නැති වුණාට මේ ඇවිත් ඉන්න මනුස්සය ගැන අපි කලින් ඉඳන් දන්නව. යසස්වි මේ ගෙදරට ආපු දවස් වලම මට ඒ ගැන කියලයි තිබුණෙ’
‘ඕ හෝ… එහෙනං කට්ටියම එකතු වෙලා දැන දැනද මේ මගුල් කඩල ආයෙ අලුතෙන් පුරුද්දන්න හදන්නෙ… යසයි යසයි’
වජිරා රවා බලා ඉවත බලාගත්තේ නිලූකා සමගින් මේ වාගේ සංවේදී කාරණා ගැන කතා කොට පලක් නැති බව දන්නා නිසා ය. ඇය යසස්වි වෙතට ලං වූවා ය. යුවතිය සිටිනුයේ තැතිගෙනයි. ඕ තොමෝ යසස්වි ගේ හිස පිරිමැද්දා ය. ඇගේ දෑසින් කඳුළු ඇලි දෙකක් ගලා ගියේ ය.
‘අඬන්නෙපා පුතේ’
‘අනේ අම්ම. මේකනං මගෙ පස්සෙංම එන්න නියමිත කරුමයක්ද කොහෙද… දෙයියනේ මට ගැලවීමක් ඇත්තෙම නැද්ද…’
‘එහෙම හිතන්නෙපා. ඔයා හිත හයිය ගෑනු ළමයෙක්නෙ. මෙච්චර දේවලට මූණ දුන්න වගේ මේ ටිකටත් මූණ දෙමු. මොන දේ වුණත් ඔයා තනියම නෙවෙයිනෙ පුතේ. ඔයත් එක්ක අපි ඔක්කොම ඉන්නව. දැං ඔයා අපේ. අපි තනි කරන්නෑ ඔයාව’
‘අනේ අම්ම’
යසස්වි වජිරා ව බදාගෙන කඳුළක් සැළුවා ය.
අස්විද ගේ රිය ගෙවත්තට හැරවිණි. යසස්වි ට දැනුණේ ගින්දරක රස්නයකි. ඒ ඇයව උදාරගෙන් ගලවාගන්නට අස්විද ආවා කියන සැනසීම නොවේ. අනවශ්‍ය කරදරයක ඔහු පැටලන්නට යාම ගැන ගින්දරකි.
අස්විද රියෙන් බැස විජිත සමීපයට පැමිණියේ ය. කලිසම් සාක්කු දෙකෙහි දෑත් ඔබාගත්, අත් දිග සුදු සමිස හැඳි ඔහු වෙතින් ආකර්ෂණීය පිරිමි පෞරුෂයක් දිස් විණි. උදාර තුළ යම් පසුබෑමක් ඇති නොවුණා ද නොවේ.
‘මොකද්ද තාත්තෙ වෙන්නෙ…’
ඔහු ගේ හඬෙහි උසාවියේදී බඳු ගැඹුරක් විය. උදාර ඉවත බලාගත්තේ ය.