ආදර සැලසුම් – 60

0
2959

උදෑසන හයයි තිහ පසුවූ පසුවත් වෙනදා සුපුරුදු පරිදි මෙන් අභිමන් පහත මාලයට නොපැමිණි නිසා අශිකා ඔහු ගේ කාමරය වෙත පැමිණියාය. ඇය දොර විවෘත කරගෙන කාමරයට ඇතුළු වන විටත් අභිමන් උන්නේ බ්ලැන්කට්ටුව තුළට ගුලි වී තද නින්දේය. 

” පුතා ” 

අශිකා දෙවරක් පමණ අභිමන්ව අවදි කරන්නට උත්සාහ කළද අභිමන් යන්තමින් කෙඳිරි ගාමින් තව තවත් බ්ලැන්කට්ටුව තුළට ගුලි වුනා මිසක අවදි වූයේ නැත. ඔහු සාමාන්‍යයෙන් එසේ නොවන නිසා අශිකා ඔහු ගේ නළලට අත තැබුවාය.

” දෙයියනේ පුතා.ඔයාට හොඳටම උණ නේ ” 

අශිකා බ්ලැන්කටුව මෑත් කර අභිමන්ගේ අත ද අල්ලා බැලූ අතර එය ගිනි මැලයක් සේ රත් වී තිබිණි.

” අභිමන් කෝ නැගිටින්න පුතේ ” 

අභිමන් ඇඳ මතින් වාඩි වූයේ අපහසුවෙනි. රාත්‍රිය පුරාම හරිහැටි නින්දක් නොලැබීම නිසා දැනුනු තද හිසරදයකින්ද ඔහු පීඩා විඳිමින් උන්නේය. තමාට උණ වැළඳුනේ කොයි මොහොතේද කියා හරි හැටි අදහසක් නොමැති නිසා අභිමන් ඇඳ වියලට හිස තබා ගෙන දෑස් අඩවන් කර ගෙන අශිකා දෙස බැලුවේය.දෑස් හැර බලන්නට පවා බැරි තරම් ඒවා දැවෙන්නේය. 

” අපි බෙහෙත් ටිකක් ගන්න යමුද පුතේ ? ” 

අශිකා ඇසුවේ අභිමන් අසලින් වාඩි වෙමිනි. මෙය කිසිදු ඖෂධයකට සුව කළ නොහැකි වේදනාවක් බව තම මවට පැවසිය නොහැක. කුඩා දරුවෙකු සේ ඇයට තුරුළු වී හඬන්නට අවැසි වුවද එසේ කිරීමද කළ නොහැක. තමා උස් මහත් වූ තරුණයෙකි.ඊටත් වඩා සමාජය පිළිබඳව සහ ජීවිතය පිළිබඳව අවබෝධයක් ඇත්තෙකි. එසේ තිබියදී පාසල් යන වයසේ බොළඳ ආදරවන්තයෙකු ලෙස හැසිරීම තමාට කිසිසේත්ම සුදුසු නැත.

” කතා කරන්නකෝ අභිමන් ? ” 

අශිකා උන්නේ බොහෝ බියට පත්වී ය. අභිමන් යනු නිතර දෙවේලේ අසනීප වලට ගොදුරු වන කෙනෙකු නොවේ. පෙර දින රාත්‍රියේ ද ඔහු හොඳින් ආහාර ගෙන සාමාන්‍ය පරිදි සිටි නිසා හදිසියේම ඔහුට ඇති වී තිබෙන අසනීප තත්ත්වය කුමක් දැයි සිතා ගැනීමට නොහැකිව අශිකා බලා උන්නාය.

” මට එහෙම අමාරුවක් නෑ අම්මා. මොන හරි බෙහෙතක් බිව්වම මේක ඇරිලා යයි. ඒත් අද ඔෆිස් යන්න නම් බැහැ ” 

” ඉන්නකෝ මං ඔයාට කෝපි එකක් හදා ගෙන එන්නම්.ඊට පස්සේ බෙහෙත් බීලා ආපහු නිදා ගන්න ” 

පසුගිය අවුරුද්ද තුළදී ආදිත්‍ය ගේ විවාහ මංගල්‍යය උත්සවය වෙනුවෙන් නිවාඩු ලබා ගත්තාට පසුව අභිමන් මේ නිවාඩු ලබා ගන්නේ ප්‍රථම වතාවටය. ඒ ඇත්ත වශයෙන්ම ඔහු හට කාර්යාලයට යාම අසීරු බව දැනෙන නිසා බැව් සිතමින් අශිකා තරප්පු පේළිය බැස්සේ අභිමන් වෙනුවෙන් කෝපි සකස් කිරීමටය. එහෙත් ඇයට දැනුනේ අමුත්තකි.පෙර දින රාත්‍රියේ අභිමන් සිටියේ ඉතාම සාමාන්‍ය ලෙසය.කිසිදු අසනීපයක සේයාවක් වත් ඔහු වෙතින් දිස් වූයේද නැත. අලුත් දිනයක් ආරම්භ වන පැය කිහිපය තුළදී ඔහු මේ ආකාරයෙන් අසනීප වූයේ මන්දැයි අශිකා කල්පනා කළාය. 

” මං ඒත් බැලුවා අම්මට ආයෙම නින්ද ගිහින්ද කියලා ” 

අශිකා මුළුතැන්ගෙයට පැමිණෙන විට ආදිත්‍ය කෝපි සකස් කරමින් උන්නේය.

” මල්ලිට ටිකක් සනීප නෑ පුතා. මං මේ එයාට කෝපි එකක් හදන් යන්න ආවේ ” 

අශිකා එසේ පිළිතුරු දුන් විට ආදිත්‍ය සෝදන්නට ගත් කෝප්ප තුන පසෙකින් තබා ඇය දෙස බැලුවේය. අශිකා ගේ මුහුණද එතරම් හොඳ නැති බව ආදිත්‍යය දුටුවේ එවිටය.

” මොකද අම්මා වෙලා තියෙන්නේ ? ” 

” අනේ මන්ද ආදිත්‍ය මල්ලිට හොඳටම උණ. හිටි හැටියේම මොනා වුනාද මන්දා මේ දරුවට.ඊයෙ රෑත් හොඳට හිටියනේ.අන්න දැන් ඇඳේ ගුලි වෙලා ඉන්නවා ” 

ආදිත්‍ය කම්පාවට පත් වූයේ ය. අභිමන් මේ වන විට දැඩි ලෙස මානසිකව පීඩාවට පත් වී හිඳිනවා ඇත. පහසුවෙන් අසනීප නොවන්නකු වූ අභිමන් හදිසියේම මෙසේ අසනීප වන්නට ඇත්තේ ඒ පීඩනය නිසා විය හැකිය.තමාද එහි කොටස්කරුවෙකු නිසා ආදිත්‍ය තම එකම සහෝදරයා පිළිබඳව සැබවින්ම ශෝක වූයේය.

” බෙහෙත් ගන්න යන්න වෙයිද අම්මා ? ” 

ආදිත්‍ය කෝප්ප තුන සෝදා මේසය මත තබමින් ඇසුවේය.

” තව ටිකක් බලමුකෝ. එයාට නින්ද ගියෙත් නෑ කියලා කිව්වා.සමහරවිට ඒ තෙහෙට්ටුවද දන්නෙත් නෑ ” 

අශිකා එසේ කීවද ආදිත්‍යගේ සිතේ වූ ශෝකය පහව ගියේ නැත. ඔහු සකස් කළ කෝපි අභිමන් ගේ කෝප්පයට දමා ගත්තේය.

” අම්මා මල්ලිට උදේට කන්න මොනව හරි ලෑස්ති කරන්න.මං මේක එයාට දෙන්නම් “

ආදිත්‍ය අභිමන්ගේ කෝපි කෝප්පය ගෙන තරප්පුව නැග ඔහුගේ කාමරය අසලට පැමිණියේය. වසා තිබුණු දොර අසලට වී මොහොතක් කල්පනා කළ ආදිත්‍යය දෙවරක් දොරට තට්ටු කර දොර විවෘත කර ගෙන කාමරයට ඇතුළු වූයේය. ඒ වනවිට අභිමන් නැවතත් නින්දට යාමට සූදානමින් දෑස් පියා ගෙන උන්නේය.

” මල්ලි ” 

ආදිත්‍ය ගේ හඬට අභිමන් දෑස් හැර බැලුවේය. ආදිත්‍ය කෝපි කෝප්පය ඇඳ අසල ඇති කුඩා කබඩ් එක මතින් තබා අභිමන් අසලින් වාඩි වුයේ වරදකාරී හැඟීමකිනි.

” සෑහෙන කාලෙකින් මං ඔයාව ඔහොම දැක්කේ අභිමන්. ඒකත් මං නිසා කියලා හිතෙද්දි මට දරා ගන්න බෑ ඇත්තටම ” 

අභිමන් කෙලින් වී ඇඳ මතින් වාඩි වූයේය. කතා කිරීමට පවා අපහසු ගතියක් දැනුනත් මෙය කතා නොකර සිටිය යුතු අවස්ථාවක් නොවේ. 

” මං අසනීප උන එකට ඔයා මොනව කරන්නද අයියා ? ” 

” ඊයෙ රෑ හොඳට හිටපු ඔයාට උදේ වෙද්දි මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා මං නොදන්නවා නෙමෙයි නෙ මල්ලි. මට තේරෙන්නේ නැත්තේ මේ පැටලැවිල්ල කොහොම ලෙහන්නද කියලා විතරයි ” 

ආදිත්‍ය ඇහෙන නෑහෙන ගානට කීවේය. සියල්ලටම වඩා වේදනාකාරී වන්නේ තම එකම සහෝදරයා මෙවැනි තත්ත්වයක සිටිනු දැකීමය. තමා මානසිකව ඇද වැටී සිටින සමයක පවා මවටද ශක්තියක් වෙමින් ආයතනයේ බරද කරට ගෙන මහා පවුරක් සේ ක්‍රියා කළ අභිමන් මෙසේ සිටීම කණගාටුවකි.

” ඔයාට කරන්න තියෙන එකම දේ මෞර්යා එක්ක පිළිවෙලක් වෙලා හොඳ ජීවිතයක් ගත කරන එක විතරයි ” 

අභිමන් ස්ථීර හඬින් කී අතර ආදිත්‍ය පුදුමයෙන් ඔහු දෙස බැලුවේය. අභිමන් මේ තරම් පරාර්ථකාමී හදවතක් ඇත්තෙකු වුයේ කෙසේ දැයි සිතා ගත නොහැකිය. තම එකම සහෝදරයා වෙනුවෙන් තම හදවතට දැනුණු එකම ආදරය පවා අමතක කරන්නට අභිමන් සූදානම්ව සිටින්නෙ පුදුමාකාර ලෙසටය.

” ඔයා කොහොමද මල්ලි ඔහොම කතා කරන්නේ ? ” 

” මං දන්නෙ නෑ අයියා. ඒත් මං දන්නෙ මේ වෙලාවේ ඔයා ළඟ මෞර්යා ඉන්න ඕන කියන එක විතරයි. අනිත් එක මෞර්යා ආදරේ කරන්නේ ඔයාට නං ඒක මොනම විදිහකින් වත් මට වෙනස් කරන්න බැහැ. අපිට කාගෙවත් හිතක බලෙන් ආදරයක් ඇති කරන්න බෑ නේ අයියා. මට හිත හදා ගන්න පුළුවන්. මං සතුටු වෙන්නේ ඔයා සතුටින් හිටියොත් විතරයි. මොකද ෂෙහාරා නිසා ඔයාට වෙච්ච දේවල් හරියටම දැක්කේ මමයි අම්මයි . එහෙම එකේ මෞර්යා වගේ කෙල්ලෙක් ඔයාට ලැබෙනවා නම් වැඩියෙන්ම සතුටු වෙන්නේ මමයි අම්මයි ඇරෙන්න වෙන කවුද ? ” 

අභිමන් උන්නේ හඬන්නට අවැසි නමුත් හඬන්නට නොහැකි මොහොතක බව ආදිත්‍යය  වටහා ගත්තේ ඔහු ගේ දිලිසෙන දෑස් දුටු විටය. දෛවය විසින් ආදර සැලසුම් ගොඩනඟනා ආකාරය පුදුම සහගත බව සිතෙන්නේ මෙවැනි මොහොතවල් වලදීය. 

” ඔයා මට මොකක්ද කරන්න කියන්නේ මල්ලි ?”

” කරන්න ඕන දේ තීරණය කරන්න ඕනේ මම නෙමෙයි අයියා. ඔයා. ටික දවසක් යනකොට මට හිත හදා ගන්න පුළුවන් වෙයි. ඔයා ඔයා ගේ හිත හදා ගෙන මෞර්යාව මැරි කරන්න.මං දන්නවා අම්මත් අනිවාර්යෙන්ම එයාට කැමති වෙනවා.මොකද අම්ම එයාට ආදරෙයිනේ ” 

අභිමන් කෙසේ කීවත් මේවා සිතන තරම් පහසු නොවන බව ආදිත්‍ය සිතුවේය. මේ සියල්ල දැන දැනත් අභිමන් ඉදිරියේදී කෙසේ නම් මෞර්යාට මුහුණ දෙනු ඇත් දැයි සිතා ගත නොහැකිය.සියල්ල විසඳීමට කාලයට භාර දෙනු විනා මේ මොහොතෙහි වෙන කල හැකි යමක් නැත.

” අයියා මෞර්යාට කිව්වද මං හැමදේම දන්නවා කියලා ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here