ඔබෙ ආදරෙන් මා දැවේ – 46

0
1719

ඒ වීඩියෝව ආවේ කොහෙන්ද කියා හිතාගන්න කාටවත් අපහසු උනේ නැතත්, කල යුත්තේ මෙය යැයි කියා තීරණයක් ගන්නට කිසිම කෙනෙක්ට අපහසු උනේ නැතත් ඒ සිතුවිලි දහරාව අස්සේත් විනාසය තිබුනේ සිදු වී අහවර වීය.

මේධාංගනී කොපමණ සාමකාමීව ඉන්නට කටයුතු කරද හිත තිබුණේ ගින්නක් මෙන් දිගින් දිගටම ඇවිලෙමිනි. “හැමෝම දන්නවනෙ මගේ ටේස්ට් එක ගැන. සෝ මේ වගේ වීඩියෝස් අවුට් කරලා, ඒවා වයිරල් කරලා මාව වට්ටන්න,  මට රිද්දන්න කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ඒවා එච්චර ලේසි වෙන්නෙ නෑ කරන්න.” කියා මේධාංගනී වීඩියෝව ගැන අහන හැමදෙනා ඉස්සරහදීම කොච්චර ලොකුකමට කිව්වද තමන්ට වඩා විසි වයසකින් විතර බාල කොල්ලෙකු සමග යහන් ගතව ඉන්නා වීඩීයෝවක් සමාජ මාධ්‍ය ජාලා වල ගින්නක් ඇවිලෙන්නා සේ වයිරල් යාම මෙවන් වයසක ඉන්නා, මෙතුවක් කාලයක් පුරාවට මැචුවර්ඩ් යැයි කියා ගත්තා වූද ගැහැනියකට පවා දරාගන්න අපහසු බව මේධාංගනීගේ ඒ ගැහැනු හිත නිරත්තරයෙන් කියන්නට යෙදුණාය.

වීඩියෝවේ ඉන්නා කොල්ලාගේ මුහුණ පෙනෙන්නේ නැති හන්දා සමාජ මාධ්‍ය වල මේ වීඩියෝව යටින් කමෙන්ට් කරන්නට යෙදුන උන්ට ඔහු තවත් එක තරුණ කොල්ලෙකු වුවද ඒ කොල්ලා කවුද කියා මතක් කරගන්න මේධාංගනීට ආයෙම වෙන අටුවා ටීකා අවශ්‍ය උනේ නැත. තමන් විසින් මලිත් ව කන්ට්‍රෝල් කරා යැයි සිතාගෙන උන් සිතුවිල්ලම, විශ්වාසයම, මහා ලොකුකමම අන්තිමේ තමන්ට පාරාවලල්ලක් වී තමා වෙත පැමිණ මෙවන් විනාසක් ඇති කිරීම ගැන මේධාංගනී උන්නේ කර කියා ගන්න දෙයක් නැතුවය.

අනෙක් අතට මිනිසුන් උන්නේ සිනාවෙමිනි. අපහාස කරමිනි.

“අපෝ නිකන් අතට සල්ලි දීලා ඉන්න කිව්වත් ඔය වගෙ බඩුවක් එක්ක නම් ඉන්නෙ නෑ”

“දැක්කම අප්පිරියයිනෙ බං”

“නාකි විසේ ගෙටත් උසේ කිව්වලු”

“කොල්ලා කවුරු උනත් උගෙ වරදක් නෑ. කොල්ලො ඉතින් ගොනා හැරෙනෙ පොල් පැලෙ කන්න කියලා දන්නවනෙ”

“මෙතන ඉතින් ඉන්නෙ නිකන්ම ගොනෙක් නෙවෙයිනෙ, කේප්ප වැස්සියෙක්” කියා මිනිසුන් සිනාවෙද්දීත්, ඒ කමෙන්ට් අතරම යන “මේ අර මියුසික් ඩ්‍රීම්ස් එකේ අයිතිකාරයා නේද? අම්මෝ කොහොමද ඉන්න හැටි නේද? සාරි ඇඳන් ඉන්නේ. සාරි ඇඳන් කරන වනචර වැඩ මේවානෙ. මාසෙන් මාසෙට අලුත් සිංගර්ස්ලාව එලියට දාන්නෙ මෙහෙම කරලා වෙන්නැති” කියා කියද්දීත් මේධාංගනී උන්නේ මේ කොමෙන්ට්ස් ද කොන්ටෙන්ට් ද සහමුලින්ම පාහේ විනාස කර දමන්නටත්, සමාජ මාධ්‍ය වලින් ඉවත් කර දමන්නටත් අවශ්‍ය කරන නීතිමය සහයෝගය අරගන්න ගමන් ය. තමන් දන්නා හඳුරන මාර්ග කොතෙක් ඒ සඳහා තිබුනද “මගේ මෙහෙම වීඩියෝ එකක් ලීක් වෙලා තියෙනවා” කියා උන්ට කීම කබලෙන් ලිපට වැටීමකට දෙවනි නොවන බව දන්න හන්දාම මේධාංගනී වෙනදා මෙන් හිතවත්කම් ඔස්සේ වැඩ කරගන්නට හිතුවේ නැත. ඒ වෙනුවට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඇමතූ ඇය තමන්ට හිමි ප්‍රශ්නය කියද්දීත් දෙනෙත් තිබුනේ කඳුලු වලට උල්පතක් වෙමිනි.

ගැහැනුන් ජීවිතයේ පාඩම් ඉගෙන ගන්නේ වයසට යෑමත් සමග නොව, අත්දැකීම් සමගිනි. මෙය ගැඹුරු සත්‍යයකි. ගැහැනුන්ගේ ජීවිතය හැඩගැසෙන්නේ ඔවුන් ගත කරන කාලය අනුව නොව, ඔවුන් මුහුණ දෙන අභියෝග හා අත්දැකීම් අනුවය. මේධාංගනී උදෙසාත් ජාන්වි උදෙසාත් ඒ කතාව තිබුනේ සත්‍යයක් බවට පත්වෙමිනි.එකම මිනිසා විශ්වාස කර, නීත්‍යානුකූලව මෙන්ම, දෙවන ගැහැණියක වී යහන් ගත වීමම අද තමන්ගේ විනාශය කරා තමන්ව ගෙන යන්නට හේතු වී ඇති බව ගැහැණුන් දෙදෙනෙකු දෙතැනක සිට තැවෙමින් උන්නහ. එහෙත් ඒ තැවීම තමන්ව කිසිම දවසක නිදහසක්, සහනයක් කරා ගෙන යන්නේ නැති බවද ඔවුන් ඒ කඳුලු අතරින්ම දැනගෙන උන්නහ.

මේධාංගනී මෙයාකාර ව්‍යසනයකට පත් ව හිඳිද්දීත් ඒ පණිවිඩය ජාන්වි වෙත ගෙන ආවේ තුරුණුය.

“මලිත්ට මුල ඉදලම ඔය ෆීල්ඩ් එකේ උඩට යන්න උදව් කරේ ඔය ලේඩි. ඒ කිව්වෙ මලිත් එයාව දන්නවා මම එයා එක්ක යාලුවෙන්න කලින් ඉඳලම. මලිත්ගෙන් මං ඒ දෙන්න අතර අෆෙයාර් එකක් තියෙනවද කියලා ඇහුව කිසි වෙලාවක එයා කිව්වෙම නෑ නෑ එහෙම දෙයක් නෑ කියලා.

බලන්න ඒත් මං කොච්චර කල් නම් රැවටිලාද කියලා. දෙයියනේ ඔය මනුස්සය මා එක්ක එක ඇඳක නිදියන ගමන් ම මේ ගෑනි එක්කත් ඉඳලනෙ” කියද්දිත් ජාන්විගේ ඇස් අස්සෙන් කඳුලු ගංගාවක් වැක්කෙරෙනවා තුරුණු දැක්කේය.

“ඔයාට ශුවර් ද මේ මලිත්මයි කියලා?” තුරුණු ඇහුවේ ජාන්වි එසේ කඳුලු වගුරමින් ඒ වීඩියෝව ආය ආය ප්ලේ කර බලන අතරවාරයේය. 

“ඇයි අනේ මට අඳුරගන්න බැරි?එයාගේ ඔය පිටෙ තියෙන ස්ටාර් ටැටූ එක කොටන්න ගියෙත් මම නෙ. මිනිස්සු ඒක දැකලා නැති හන්දා උන් දන්නෙ නැතුව ඇති මේ ඉන්නෙ මලිත් කියලා. ඒ උනාට මට අඳුරන්න බැරිද මලිත් ව දෙයියනේ? අනික ඔය ගැනි එක්ක එයාගෙ තිබ්බ ඇයි හොඳැයිය මං නොදැන හිටියෙ නෑනෙ” කියමිනුත් ජාන්වි කරේ හඬා වැලපෙන එකය. එහෙත් ජාන්විට “අඬන්න එපා” යැයි කියන්නට තුරුණුට ඒ වෙලාවේ හැකියාවක් තිබ්බේ නැත. අනෙක් අතට හිතක වේදනාවක් වේ නම් ඒ වේදනාව පිට කර හරින්නට ඉඩ දීම වඩා හොඳ බව තුරුණු ජිවිතයෙන් ලද අත්දැකීම් ඔස්සේ ඉගෙන ගෙන තිබුනේය.

“මේ ඉන්නෙ මලිත් කියලා හොඳටම ශුවර් නම්, ටැටූ එකෙන් ඒක ඔප්පු කරගන්න පුළුවන් නම් අපිට මේක යූස් කරන්න පුලුවන් ඩිවෝස් කේස් එක වෙනුවෙන්. මම කෝකටත් කොපි එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. මොකෝ ඔය මේ වීඩියෝ එකේ මලිත් ගෙ මූන නොපෙනුනාට ඒ ලේඩිගෙ මූන හොඳටම අයිඩෙන්ටිෆයි කරගන්න පුලුවන් ලෙවල් එකකින් පේනවනෙ.එහෙම එකේ අපිට බැරිවෙන…” කියා තුරුණු කතාව දිගටම කරගෙන යන්නට බලාගෙන උන්නද ජාන්වි උන්නේ ඒ වචන අසන සිහියක නොවන බවට තුරුණුට තේරුණේ තමන්ගේ කතාව අතර මැදින් ජාන්වි විසින් අලුත් කතාවක් කියන්නට යෙදෙද්දීය. 

“අනේ ඇයි තුරුණු ඒ මනුස්සයා මට ඒ වගේ පට්ටපල් බොරු කිව්වේ? අනික මේ ලස්සන කෙල්ලෙක් නම් කමක් නෑ. එහෙම නම් මට හිත හදාගන්න තිබ්බා මට වඩා ලස්සන කෙල්ලෙක් එක්කනෙ යාලුවෙලා ඉන්නෙ කියලා. 

ඒ උනාට මේක එහෙම නෑනෙ. මේ නාකි ගෑනියෙක් එක්ක ඉන්න ගමන් මේ මනුස්සයා මා එක්කත් ඉඳපු දවස් ඇතිනෙ කියලා හිතෙද්දි අනේ මට මාවම අප්පිරියයි තුරුණු මට මාවම අප්පිරියයි.

කොච්චර ඩිවෝස් එක ගත්තා නෙවෙයි මොනවා උනත් මොන ලැජ්ජාවක්ද මේ?මං කොච්චර නම් ඇහුවද මේධාංගනීව ඔච්චර හම්බ වෙන්නෙ යන්නෙ මොකටද? ඒ ගෑනි එක්ක රෑ තිස්සෙ තියෙන මියුසික් වැඩ මොනවද කියලා. ඒ කිසිම දේකට මට හරියට දෙයක් කිව්වෙ නෑ. මං අහන්න අහන්න කිව්වේ මගේ තියෙන ඉරිසියාව, මගේ තියෙන සැකේ කියලා මේ. දැන් මේ මං බොරුද අහලා තියෙනේ? ආ මං අහලා තියෙන්නෙ බොරුද? මරාගෙන මැරෙන්නයි හිතෙන්නෙ මට මං රැවටිච්ච තරම හිතෙද්දි. අනෙක් අතට අනෙක් අතට තුරුණු අද ඔයා හරි මං වෙනුවෙන් මෙහෙම ආවෙ නැත්තම් මං මොනවද කරන්නෙ? මට මොනවද වෙන්නේ?” කියා ජාන්වි දිගටම හඬා වැටෙද්දී තුරුණු උන්නේ ඇත්තටම අසරණ වීය.

එහෙත් ඒ අසරණකම මත්තෙන් ජාන්විගෙන් අහන්න ප්‍රශ්නයක් තුරුණුට තිබුණේය.

“මලිත්ව ඩිවෝස් කරන්නම ඕන කියල ඔයාට ශුවර් ද?” කියා තුරුණු අහද්දී ජාන්වි තුරුණු දෙස බැලුවේ ඇස් ගස්සාය.

“ඔව්ව්, ඔයා ඒක දන්නවනෙ. ඇයි එහෙම ඇහුවෙ?”

“එහෙම ඇහුවෙ ඩිවෝස් කරන්න ඉන්න, තමන්ට මෙච්චර රිද්දපු, තමන් ඉද්දි වෙන ගෑනියෙක් එක්ක නිදාගත්ත මිනිහෙක් වෙනුවෙන් ඔය මෙච්චර අඬන්නෙ ඇයි කියලා මට හිතාගන්න බැරි හන්දා ජාන්වි” කියා කියද්දිත් තුරුණුගේ වචන තිබුනේ සුපුරුදු සං‍යමය ඕනවටත් වඩා හොඳින් කැටිකරගෙනය.

ජාන්වි බය වුනේද තිගැස්සුනේද ඒ සං‍යමයටය.

“මං ඇඬුවෙ…” කියා කිව්වද ඒ වචන දිගට කියන්නට ජාන්විට අවසර ලැබුණේ නැත. ජාන්විගේ දෙතොල් තිබුනේ සිරවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here