දරුණු කැපුම් පහරවල් කිහිපයක් සිදු වී උදාර පණ්ඩිතරත්න ව රෝහල් ගත කරනා ලදී. පිහි ඇනුම සිදු කරනු ලැබ තිබෙනුයේ ඔහු ගේ මිත්‍රයෙකු විසින් ම ය. මිතුරා ගේ බිරිඳ සමගින් ඇති කරගන්නා ලද සම්බන්ධයක් ඔහු ගේ අතට ම හසු වීම නිසා, මිතුරා ගේ නිදන කාමරයේ දී ම උදාර ට මේ අනතුර සිදු කොට තිබේ. ඔහු ගේ බිරිඳ ද තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර, මිතුරා තමන් විසින් ම පොලිස් අපරාධ අංශයට භාර වී ඇත.
ලැව් ගින්නක් සේ මේ ආරංචිය පැතිර ගියේ ය. එය වෙහෙරගොඩ මුදලාලි ගේ කන වැකුණ ගමන් ඔහු පපුව අල්වාගෙන හාන්සි පුටුවෙහි වැතිර ගත්තේ ය. සාවිත්‍රි යසස් ව ගෙන්වාගෙන හැකි ඉක්මනින් රෝහල්ගත කරනු ලැබූ නිසා ඔහු ගේ ජීවිතය සුරැකිණි.
වෙහෙරගොඩ මුදලාලි පසුගිය දින ගණනාව පුරා ම හිඳ තිබෙන්නේ අධි රුධිර පීඩනය සමගයි. සාවිත්‍රි ට ඉව වැටුණු ඔහු ගේ වෙනසට හේතුව, එකී තත්වය මත පෙන්නුම් කරන ලද රෝග ලක්ෂණයන් ය. ප්‍රතිකාර නො ලැබීම නිසා ද, මේ හදිසි ආරංචිය නිසා ද රුධිර පීඩනය භයානක ලෙස ඉහල ගොස් තිබේ. එහි ප්‍රතිඵලය ලෙස අඝාතයට ගොදුරු වූ හෙතෙම, දැඩි සත්කාර ඒකකයට ඇතුළු කොට ප්‍රතිකාර ලබා දෙන්නට කටයුතු කොට ඇත.
මේ අනපේක්ෂිත සිදුවීම අස සාවිත්‍රි හැකි තාක් ඉවසිලිවන්ත හා සන්සුන් මනසකින් ක්‍රියාත්මක වූවා ය. වෙහෙරගොඩ මුදලාලි ට දරාගත නො හැකි වූයේ උදාර අනතුරකට ලක් වීම නොව ඔහු ගේ වෙස් මුහුණ ගැලවී සැබෑ මුහුණ ඉස්මතු වීමයි. සිය දියණිය විවාහ කොට දෙන්නට ගිය පුරුෂයා පර ස්ත්‍රී සේවනයෙහි නැඹුරු වූවෙකු බව අසන්නට ලැබීම තුළ ඔහු ගේ අභිමානය සුණු විසුණු වී ගියේ ය. රළු ගොරෝසු වෙහෙරගොඩ තුළ නිදා සිටි තාත්තා හිස ඔසවා කම්පිත ව බැලුවේ ය.ඔහු ගෙන් සිදු වූ වරද ඔහු ට ම දරා ගත නො හැකි විය. සිය දියණියට පමණකුදු නොව මුළු ලෝකයට ම මුහුණ දිය නො හැකි ලැජ්ජාවක් ඔහු ව හතර අතින් මිරිකා දමන ලදී. වෙහෙරගොඩ මුදලාලි ගේ සෞඛ්‍ය තත්වය අයහපත් අතට හැරුණේ එකී සියලු කායික මානසික අසමතුලිතතා එක් වීමේ හේතුව මතයි.
මේ මොහොතෙහි වන බරපතල බව ගැන සාවිත්‍රි ගේ ගැහැනු ඉව ඇයට අනතුරු අඟවන ලදී. නමුත් යසස්වී ට මේ ගැන දැනුම් දෙනවා ද නැති ද යන ගැටළුව ඇය ඉදිරියෙහි විය. තුසිතය මංගල්ලයකට සූදානම් වන්නේ ය. සිය පුංචි දියණිය තව නොබෝ දිනකින් මනාලියක වීමට සිහින දකින්නී ය. ඇගේ පියා රෝහලක දැඩි සත්කාර ඒකකයෙහි ජීවිතය වෙනුවෙන් තමන් සමග ම සටනක නිරත වෙයි. දියණියට ඒ බව කිව යුතු ද නැති ද? ඇය ට ඈ අපේක්ෂා කරන මොහොත නිවී සැනසිල්ලේ උදා කරගන්නට ඉඩ දිය යුතු නැති ද? අනාගතය අයිති ඇයට ය. තමන් අයිති අතීතයට සේ නො සිතුව මනා ද? නමුත් මේ තරම් බරපතල තත්වයකදී පියා පිළිබඳ දැනුම්දීමක් නො කළ එක ගැන යසස්වීගෙන් දෝෂාරෝපණයක් එල්ලවෙන්නට ද පිළිවන. බෝ වෙලාවක් සිතත් සමග නිහඬ සංවාදයක යෙදුණු ඕ තොමෝ අවසන දියණිය අමතන්නට තීරණය කළා ය.
‘ඔයා මොනවත් කරන්න ඕන නෑ. මං ඉන්නව මෙහෙ බලාගන්න. අයිය ඉන්නව මාත් එක්ක. ඉස්සරහට කියපු අඩිය ආයෙ ඔයා පස්සට තියන්නෙපා. මේ වෙන්නෙ අලුත් දේවල්වත් සිද්ධ වෙන්න තිබුණ දේවල්වත් නෙවෙයි… සිද්ධ වෙවී තිබුණ දේවල්. මේ ඒ දේවල් එළියට පේන්න ගන්න විදිය. ඒක නිසා ඔයා මේ දේවල් ගැන හිතන්නැතුව ඔය වැඩ ටික කරගෙන යන්න. වෙඩින් එකට තව දවස් කීයද තියෙන්නෙ…’
සාවිත්‍රි වචන හැසිරවූයේ මනා සංවිධාන ශක්තියකින් වැඩ කොට පළපුරුදු වෘත්තිකයෙකු සේ ය. ඇයට සියල්ල තීරණය කිරීමේත් කළමනාකරණය කිරීමේත් අදිසි හැකියාවක් ලැබී තිබේ. පවුල තුළ පවා කිසිදු වගකීමක් උහුලන්නට අවසර නැතිව උන් ගැහැනියකට, ස්වාමියා ජීවිතයත් මරණයත් අතර සටනක නිරත ව සිටියදී එසේ හැසිරිය හැකි ද කියා යමෙකු ට සිතෙන්නට පිළිවන. සාවිත්‍රි ක්‍රියා කළේ අමුතු මානසික ශක්තියකිනි. යසස්වි පාෂාණිභූත වී සිටියා ය.
‘මං… මං එන්නං අම්ම’
ඇය කියන්නට දැන සිටියේත් එපමණකි.
‘ඔයා එන්න ඕනෙ නෑ. මේ දේවල් මොන විදිහට සිද්ධ වුණත් දැන් ඔය ලෑස්ති කරගත්ත විදිහට වැඩ ටික කරන්න. ඕව බාධා වෙවී කරන්න හොඳ දේවල් නෙවෙයි’
‘ඒ වුණාට… තාත්ත හොඳටම අමාරුවෙන් අයිසීයූ එකේ ඉද්දි මං කොහොමද අම්ම මනමාලියක් වෙන්නෙ… මට ඒක කරන්න බෑ’
යසස්වි සිටියේ හඬාගන්නට පවා වැටහෙන්නේ නැති ගල් පිළිමයක් ලෙසයි. ඒ වූ කලී අභ්‍යන්තර දෙදරීමකි. සවන් අසල ම බෝම්බයක් පුපුරා ගියා සේ ඇය කම්පිත වූවා ය. ඒ කම්පනයෙන් පසු ඇයට කිසිවක් නෑසී, නො පෙනී, නො දැනී ගියා වැනි ය. ඕ බලාගත් අත බලාගෙන සිටියා ය. සමහර වෙලාවක කොපුල් තලා දිග නිහඬ කඳුළක් ගලා ගියේ ය. තමන් හඬමින් සිටිනා බව හෝ ඈ නො දත්තා ය.
‘බය වෙන්නෙපා පුතේ. තාත්තට මුකුත් වෙන එකක් නෑ’
වජිරා යසස්වි ගේ හිස පිරිමදිමින් කීවා ය.
‘මොන දේ වෙන්නෙත් අපේ මේ ජීවිත උඩනෙ දරුවො. ජීවිතේ කියන්නෙ තණකොළ උඩට උදේට වැටිල තියන පිනි බින්දු වාගෙ දෙයක් කියල අපි ඉගෙනගෙන තියෙනවනෙ. ඒ තරමට අවිනිශ්චිතයි. මිනිස්සු මේ ඉන්නව මේ ලෙඩ දුක් හැදෙනව… ඒක තමයි ලෝක ධර්මෙ’
අමුතුවෙන් නො දන්නා දෙයක් නොවී ද විජිත යසස්වි ගේ කැළඹුණු හිත සන්සුන් කරනු වස් ඒ ධර්මතාවය ගැන සිහිපත් කළේ ය.
‘ඔයා ලෑස්ති වෙන්නකො. අපි ගෙදර ගිහින් එමු. බය වෙන්නෙපා හරිද… අපි ඉන්නවනෙ… අපි ගිහින් බලල තාත්තව කොළඹ හරි අරං එමුකො. එයාට මුකුත් වෙන්නෑ’
අස්විද ඈ ඇමතුවේ කුඩා දැරියක ආමන්ත්‍රණය කරන්නා බඳු මෘදු පිරිමි තානයකිනි. යසස්වී තිගැස්සීගෙන සිටියා ය. කුමක් කළ යුතු දැයි ඇගේ හිතින් හිතන්නට පවා අකර්මන්‍ය ව සිටියා ය.
අස්විද යසස්වි සමගින් ඇගේ ගෙදරට යාම ගැන දෙගිඩියාවක් සූරියබණ්ඩාර යුවළට නො වූවා නොවේ. නමුත් උදාර ගේ සැබෑ මුහුණ දැනටමත් ගැලවී විනාශ වී ඇති බැවින් ද, දැන් යසස්වි ගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ගේ හිමිකාරත්වය අස්විද ට වන නිසා ද ඔහු ට ඈ සමගින් එහි යාමේ අයිතියක් වේ. එසේ ම යසස්වි ගේ නෛතික සැමියා වශයෙන් මේ මොහොතේ ඇය තනි නො කිරීමේ යුතුකමක් ඔහු ට වේ.
සාවිත්‍රි සිතුවේ යසස්වි අස්විද සමගින් එහි පැමිණෙන එක ගැන යසස් උදහස් වනු ඇති කියා ය. නමුත් සිය නැගණිය බලහත්කාරයෙන් ම පාවාදෙන්නට ගිය මිනිසා වන උදාර ගේ යථාව ලෝකයට හෙළිදරව් වී තිබීම මත, යසස් ගේ තත්වය ද ලොං හැළුණු බල්ලෙකු ට සමාන විය. සිය ආත්ම ගෞරවය වෙනුවෙන් මේ වෙලාවේ ඔහු වෙනස් ම චරිතයක් රඟදැක්වූයේ ය.
‘අපි හිතුවෙ උදාරය හොඳ එකෙක් කියලනෙ. ඌ රඟපෑවෙනං කොහොමද… ඕකට ගෑනු නෙවෙයි දෙන්න වටින්නෙ. ම රා ගෙන මැ රු නත් නංගිවනං ඕකට දෙන්නෑ. දෙයක් වෙන්න කලින් මෙහෙම සිද්ද වුණ එක හොඳයි’
යසස් එසේ කීවේ, ‘නංගි දැන් එයි. ඒ කෙල්ලගෙ ඇඟට කඩාපනින්න එහෙම ලෑස්ති වෙන්නෙපා’ කියා සාවිත්‍රි ඔහු ට අවවාද කළ අවස්ථාවේ ය.
‘මොනා වුණත් අපි හිතුවෙ නංගිට හොඳක් වෙයි කියලනෙ උදාරයව බැන්දහම’
සාවිත්‍රි ගේ කට කොනක සිනහවක් විය. කෙසේ වතුදු මේ සියල්ල මෙසේ වීම පිළිබඳව ඇයට සැනසිල්ලක් නොවූවා ද නොවේ. අප මැදිහත් වුණත් නැතත් අපේ ජීවිත මත්තෙහි සිදු වන දේවල් සිදු වේ. මැදිහත් වීම නිසා හා ගැටීම නිසා වන්නේ අපට අමතර වෙහෙසක්, බරක් දරන්නට සිදු වීමයි. ඒ නිසා නිශ්චල ව සිටීම වඩාත් පහසු ය. එතකොට ජීවිතය ඔහේ ගලා යනු ඇත.
යසස්වි කෙළින් ම ආවේ රෝහලටයි. කොළ පාට පිරියම් කළ රෝහල් කොරිඩෝරය දිග දිව යත්දී, අස්විද ඈ සමගින් සිටිනා බව හෝ ඇයට සිහි වූවා නොවේ. සැබවින් ඇගේ මනසෙහි රඟ දුන්නේ තාත්තා විතර ය. තාත්තා මිය යාවි ද යන බිය හතර අතින් ඈ වට කොටගෙන තිබිණ. ඔහු මිය ගියහොත් ඒ ඇයට සමාවක් නොදී ම ය. දෙපා ළඟ වැටී සමාව ඉල්ලුව ද ඔහු ඈ ප්‍රතික්ෂේප කළේ ය. ඔහු සිටියේ ඈ ගැන ක්‍රෝධයෙනි. යසස්වි ට වාවන්නේ නැත්තේ ඔහු එක් වරක් හෝ දුවේ කියා ඇයට කතා කළේ නැති එකයි.
ඔහු සිටියේ දැඩි සත්කාර ඒකකයෙහි ය. යසස්වි වීදුරු කවුළුවට දෑස් තබා බලා සිටියා ය. ඇගේ නෙතින් කඳුළැල් ඉහිරේ. තාත්තා යළි කවදාවත් නෙතු නො හරිනු ඇති බවට හැඟීමක් ඈ වසා හිඳී. ඒ සිතිවිල්ලට කෙතරම් ඕ බිය වූයේ ද යත් එය අමතක කරන්නට ම හැදුවා ය. අමතක කරන්නට දරනා උත්සාහය වැඩි වෙන තරමට එය ම සිහියට ආවේ ය. හිත උමතු වෙන්නට යන්නා සේ ඇයට දැනිණ.
‘යසස්ට අඟවන්න ඕනෙ නෑ පුතාල බැඳල කියල. අපි දැනට ඒක අපි අතරෙ රහසක් විදිහට තියාගමු’
සාවිත්‍රි කල් ඇතිව ම අස්විද ට කීවා ය. යසස් පැමිණිය ද ඔහු නැඟණිය කෙරේ විරෝධයක් පාන්නට ගියේ නැත. ඒ වෙනුවට හඩනා ඇගේ හිස පිරිමැද්දේ ය.
‘බය නොවී ඉන්නව. තාත්ත සනීප වෙයි’
යසස්වි අයියා බදාගෙන හැඬුවා ය.
‘අපිට සමාවෙනව ඕයි. මීට වැඩිය අපිට තමුසෙ ගැන හිතන්න තිබුණ. මීට වැඩිය අපිට අරූ ගැන හොයල බලන්නත් තිබුණ. මොනා වුණත් ඒව දැං වෙලා ඉවරනෙ. තමුසෙ ඌට ගොදුරු වුන්නැති එක ඇති අපිට’
අස්විද එදින රාත්‍රිය යසස්වි ගේ ගෙදර ගත කළේ ය. යසස් ගේ වෙනස ඔහු ට සැනසිල්ලට හේතුවක් විය. උදාර ද සිටියේ රෝහල්ගතව වන බැවින් යසස්වි ගැන බිය වෙන්නට කාරණයක් නොවී ය.
යසස් අස්විද සමගින් හිතවත්ව කතා බහ කළේ ය. පියාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නිසි ආකාරව සිදු වන නිසා කොළඹ ගෙන යාමට හදිසි නො විය යුතු ය යන්න ඔහු ගේ අදහස විය. මේ බරපතල තත්වයෙන් මිදුණ පසු, පියා කොළඹ ගෙන ගොස් පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබා දීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ ය.
අස්විද අළුයම පිටත් වූයේ මේ වෙලාවේ යසස්වි ඇගේ මව සමගින් සිටිය යුතු බවට අවබෝධයෙනි. කොළඹ යනවා දැයි ඔහු ඇය විමසුවේ හෝ නැත. ඇගේ හුරතල් හුරුබුහුටි චර්යාවන් මුළුමනින් වෙනස් වී ඇති බව නිරීක්ෂණය කළත්, කෙමෙන් එය මගහැරී යනු ඇති බව ඔහු විශ්වාස කළේ ය.
‘ඔයා ඕන නැති විදිහට හිතල හිතට වද දෙන්න යන්නෙපා. තාත්ත ඉක්මනට රිකවර් වෙයි කියල හිතමු. එක්කං යන්න මං ආයෙ එන්නං. පරිස්සමෙන් ඉන්න’
තේ එක ගෙන කාමරයට පැමිණි වෙලාවේ ඔහු ඇගේ නළලත සිපගත්තේ ය. යසස් ට සැකයක් නො සිතෙන සේ හැසිරිය යුතු වූයෙන්, සමුගන්නා මොහොතේ ඔවුන් ට උනුන් වැළඳගැනීමේ හෝ අවසරයක් නො විණි.
අසිවිද ගේ හිතේ අමුත්තක් විය. වෙහෙරගොඩ මුදලාලි ගේ තත්වය අවිනිශ්චිත ය. විවාහ උත්සවය සඳහා නැකත් සාදා නෑ හිත මිතුරන්ට ඇරයුම් කොට ද අවසාන ය. යසස්වි ගේ දෑස් මත ලියැවී තිබූ භීතිය ඔහු ගේ සිත් හි හොල්මන් කළේ ය.
නමුත් ගලා යන ගඟක මග වෙනස් කිරීම පහසු නැත. එය ගලා යන්නේ එයට ආවේණික මගකයි. සිදු වෙන්නට නියමිත දේවලට ඒ ඒ අවස්ථාවේ දී මුහුණ දෙනවා විනා, කිසිත් වෙනස් කළ හැකි හෝ පාලනය කළ හැකි තත්වයක් නොවේ.
අස්විද සූරියබණ්ඩාර සුසුමකින් සන්තානය සනහාගත්තේ ය.