ආදර සැලසුම් – 73

0
1349

” ඇයි ආදිත්‍යය ඔයා මාව දාලා ගියේ ? ” 

දුරකථන ඇමතුමට සම්බන්ධ වූ සැණින් මෞර්යා ඇසුවේ එපමණය. ඇයට දැන ගැනීමට උවමනා වූයේ ද එපමණය. සදාකාලිකවම ජීවිතය බෙදා ගැනීමට පොරොන්දුවක් දී ඉඟියකින් වත් නොදන්වා ආදිත්‍ය මෙසේ ඈත්ව යාම දරා ගත නොහැකි තැනක මෞර්යා උන්නාය.

” මම වෙන මොනවා කරන්නද මෞර්යා ? ඇත්තටම මට කරන්න දෙයක් හිතා ගන්න බැරි වුණා. ආපහු මගේ ජීවිතේ නැත්තටම නැතිවෙන්න යනවා කියලා හිතෙද්දි හැමදේම දාලා ඈතකට එනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් එදා නැති වුණා. මම දන්නවා ඔයා දුක් වෙනවා අඬනවා මාව හොයනවා කියලා. ඒත් මේ ඇත්තට මූණ දෙනවා ඇරෙන්න අපි දෙන්නට කරන්න වෙන දෙයක් තියෙනවද ? ” 

ආදිත්‍යය ඇසුවේ අසරණවය. මේ ප්‍රශ්නය කෙසේ හෝ විසඳා දෙන බවට අභිමන් පොරොන්දුවක් දී තිබුණද ආදිත්‍යය තවමත් උන්නේ නැවත පැමිණීමට හිත හදා ගත නොහැකි තැනකය. 

” ඔයාගේ අම්මා කියන දේ ඇත්තද නැද්ද කියලා ලේසියෙන්ම ඔප්පු කර ගන්න පුළුවන්කම තියෙන එකේ ඔයා ඇවිල්ලා ඒ ප්‍රශ්නේ විසඳන්න ඕනේ නේද ? ඔයා ඇයි ආදිත්‍යය ඔයාගේ තාත්තා වගේම ප්‍රශ්න වලින් පැනලා යන්න හදන්නේ ? කී දෙනෙක් බලා ගෙන ඉන්නවද ඔයා එනකන් ? ” 

මෞර්යා හැඬුවාය.ආදිත්‍යය එය අසා උන්නේ දරා ගත නොහැකි ශෝකයකිනි. මෞර්යා යනු පහසුවෙන් හඬා වැටෙන කෙනෙකු නොවේ. ප්‍රශ්න ඉදිරියේ සැලෙන කෙනෙකුද නොවේ. එවැනි තරුණියක වූ මෞර්යා මෙසේ මහ හඬින් හඬා වැටෙන්නේ සැබවින්ම අසරණ වී ආදිත්‍යය සිතුවේය. 

” මට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න තරම් හයියක් නෑ මෞර්යා “

ආදිත්‍ය පිළිතුරු දුන්නේය.ඒ සැබවින්ම අසරණ වූ ස්වරයකිනි. මෞර්යා හට දරා ගත නොහැකි වූයේ ඒ අසරණභාවය ය. දික්කසාදයකින් කෙළවර වූ විවාහයකට හිමිකම් කියන ආදිත්‍ය හට මෙවැන්නක් දරා ගැනීමට නොහැකි වීම පුදුම වීමට කාරණාවක් නොවේ.

” මොන දේ උනත් මං ඉන්නවා කියලා දන්නවා නේද ?” 

මෞර්යා ඇසුවේ වෙන අසන්නට දෙයක් නැතිම තැනය. කෙසේ හෝ ආදිත්‍යව සිටිනා තැනකින් නැවත ගෙන්වා ගත යුතුය. කරනා දෙයක් කළ යුත්තේ ඉන් පසුවය. එහෙත් මේ මොහොතේ දී ආදිත්‍යය ගේ හිත වෙනස් කර ගැනීම පහසු නොවන බව මෞර්යා සිතුවාය.

” ඔයා කොහොමද මෞර්යා මං එක්ක ඉන්නේ මේ කතාව ඇත්ත වුනොත්?”

මෞර්යා හට නිහඬ වීමට සිදු වූයේ ආදිත්‍ය ඒ පැනය විමසීමත් සමඟය. එය පිළිතුරු දීමට තරම් පහසු කාරණාවක් නොවේ. ජීවිතය යනු මේ තරම්ම බැරෑරුම් දෙයක් බව මෞර්යා තේරුම් ගත්තේ මේ කාරණාවේ දීය. ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිදු විය හැකිය.ඒවාට මුහුණ දීමට තරම් හිත ශක්තිමත් කර ගත යුතු වුවත් තමා දිවි හිමියෙන් ආදරය කරන පුද්ගලයාව අහිමි වී යාම තරම් වේදනාවක් තවත් තිබෙනු ඇති දැයි මෞර්යා කල්පනා කළාය. 

” ඔයාට ඒකට දෙන්න උත්තරයක් නෑ නේද මෞර්යා ? ” 

මෞර්යා නිහඬ වී සිටි බැවින් ආදිත්‍ය නැවත ඇසුවේය.

” ඒ මොන දේ කරන්නත් ඔයා ඇවිල්ලා ඉන්න ඕනේ නේද ආදිත්‍යය ? මෙච්චර ඔයාට ආදරය කරන මං ඔයා ගෙන් කරන ඉල්ලීමක් මේක. please ඔයා ඉන්න තැනකින් එන්න. උත්තරේ මොකක් උනත් මේ දේට අපි දෙන්නම මූණ දෙමු. ප්‍රශ්නෙන් පැනලා යන එක නෙමෙයි වීරකම , ඒකට හරියට මූණ දෙන එක “

මෞර්යා කීවේ වේදනාවෙනි.ආදිත්‍යය නිහඬව කල්පනා කළේය. මෞර්යාව නොදැක සිටීම අපහසුය. ඊටත් වඩා මෙවැනි වේදනාවක් සහිතව ජීවත් වීම ද අපහසුය. වංචනික විවාහයක් අවසන් කර නිදහසේ හුස්මක් ගෙන ජීවත් වීමට බලාපොරොත්තු පොදි බඳිමින් සිටිය දී සිදු වූ අනපේක්ෂිත සිදුවීමෙන් ඇති වූ කම්පනය තවමත් හදවත පෙළෙමින් පවතීයි. තව දුරටත් මේ වේදනාවෙ හි ගැලී සිටීමෙන් සිදු වන්නේ තමාව තව තවත් දරුණු අගාධයකට ඇද වැටීමය.  

” ඔයා එනව නේද ආදිත්‍යය ? ” 

” මං තව හිතන්න ඕනේ මෞර්යා ” 

” මං වෙනුවෙන් වත් එන්න බැරිද ඔයාට ආපහු ? ඔයා ආවොත් විතරයි මේක විසඳන්න පුළුවන් කියලා ඇයි ඔයා තේරුම් ගන්නේ නැත්තේ? මේ කතාව ඇත්තටම ඇත්තක් නෙමෙයි නං අපි දෙන්නා අපි දෙන්නට කර ගන්නේ කොච්චර ලොකු අසාධාරණයක්ද ? “

මෞර්යා මේ උත්සාහ දරන්නේ ආදරය රැක ගැනීමටය. ඇය ගේ ආදරය වෙනුවෙන් පෙනී සිටීමටය.ආදිත්‍යයට ඇය පිළිබඳව දැනුනේ අනුකම්පාවකි. මුණ ගැහුණු දිනයේ සිටම ඇය වෙතින් දක්නට ලැබුණු මානුෂීය ගුණ ,ආදරණීය බව සහ සුන්දරත්වය මේ මොහොතේ ද ඇය තුළ නොඅඩුවම පවතීයි. 

” මං එන්නම් මෞර්යා “

ආදිත්‍යය අවසානයේ දී කීවේය.මෞර්යා දෑස් වල තිබුණු කඳුළු පිස දා ගත්තේ ආයාසයෙන් නඟා ගත් ජයග්‍රාහී සිනහවකින් අනුත්තරා දෙසද බලමිනි 

” හැබැයි…. ” 

ආදිත්‍ය තවත් යමක් කියන්නට ගොස් ගිල ගත්තේය.

” මොකක්ද ආදිත්‍යය ඔයා කියන්න ගිහින් නවත්ත ගත්තේ ? ” 

මෞර්යා ඇසුවේ ඒ තත්පර ගණනාවට නැවත ආදිත්‍යය සිත වෙනස් කර ගෙන ඇතැයි යන බියෙනි. 

” මට තව ටික දවසක් ඕන මෞර්යා ” 

ආදිත්‍ය එසේ පිළිතුරු දුන් පසුව මෞර්යා දිගු සුසුමක් පිට කළාය. ආදිත්‍යගේ සිත වෙනස් කර ගැනීම පහසු කාරණාවක් නොවේ.එතරම්ම එය රිදී ඇති බවටද සැකයක් නැත. එහෙත් මෙතන ඇති ගැටළුව ඔහුගේ යළි පැමිණීම ප්‍රමාද වන විට මේ ගැටලුව තව දුරටත් දුර දිග යාම සහ එය විසඳීම පමා වීමය. නමුත් එය තේරුම් ගැනීමට තරම් තත්ත්වයක ආදිත්‍යය  මේ මොහොතෙහි නොසිටින බව මෞර්යා තේරුම් ගත්තාය.

” ඔයා මේ හිටපු දවස් ටික හොඳටම ඇති නේද ආදිත්‍යය ? ඔයා එන්න පරක්කු වෙන්න පරක්කු වෙන්න මේ ප්‍රශ්නේ කෙළවරක් කර ගන්න තියෙන කාලයත් අපිට අඩු වෙනවා. ජීවිතේ අපිට එන ප්‍රශ්න වලින් පැනල ගියා කියලා අපිට මොනවත් ලැබෙන්නේ නැහැ ආදිත්‍යය. අඩුම ගානේ ඔයා මේ වෙලාවෙදි වත් ඒක තේරුම් ගන්න ඕනේ.මීට වඩා දේවල් වලට ඔයා මුහුණ දීලා තියෙනවා නේද ? “

මෞර්යා කාරුණිකව කීවාය.ඕනෑම දරදඬු හදවතක් ආදරයෙන් වෙනස් කළ හැකි බව විශ්වාස කරමින් මෞර්යා තම හදවතේ කකියන වේදනාව පසෙකලා ආදිත්‍යය කෙරෙහි ඇති ආදරය ඉදිරියෙන් තැබුවාය.

” මට කවදාවත් මගේ අම්මට වෛර කරන්න බැහැ මෞර්යා.මම දන්න කාලෙ ඉඳලම එයා දුක් වින්දා. එයා ජීවත් උනේම මායි මල්ලියි හින්දා. එහෙම එකේ හදිසියේ හරි මම ඇත්තටම ඔයාගෙ තාත්තගේ දරුවෙක් නම් මට මගේ අම්මට වෛර කරන්න හිතෙයි නේද? ” 

” ආදරේ කරන්න අපි හැමෝටම අයිතියක් තියෙනවා ආදිත්‍යය. ඉතින් ඔයාගේ අම්මට ඔයාව ආදරේ නිසා ලැබුණු තෑග්ගක් නං අපි ඒක පිළිගමු. අපි ඇත්තට මූණ දෙමු. ඒත් ඒ සේරටම කලින් ඇත්ත මොකක්ද කියලා හොයා ගෙන ඉමු.හැමෝම මෙහෙම තැන් තැන් වලට වෙලා විඳවනවට වඩා ඒක නෙමෙයිද හොඳම දේ ? අඩුම ගානේ ටික කාලයක් ගිහින් හරි අපිට හිත හදා ගන්න පුළුවන් වෙයි නේද ?ඔයා දන්නවද ඔයා කාටවත්ම නොකියා ගිය එකෙන් ඔයාගේ අම්මා කොච්චර ලොකු දුකක් විඳිනවද කියලා ? ඔයයි මල්ලි නිසා ජීවිත කාලෙම හැමදේම ඉවස ගෙන දුක් විඳපු එයා ඔයා නැතුව මෙහෙම දුක් විඳින්න ඕනෙද කියලා ඔයා හිතල බලන්න ” 

අනුත්තරා මෞර්යා දෙස බලා උන්නේ පුදුමයෙනි. තම මිතුරිය මේ තරම් වේදනාවක ගිලී සිටියදීත් අන් අය කෙරෙහි පරාර්ථකාමී හැඟීමකින් සිතන්නේ කෙසේ දැයි අනුත්තරා කල්පනා කළාය. ඇය තම ආදරය දන් දී පසෙකට වීමට පවා සූදානම්ය. ආදිත්‍යය නොමැති ශෝකයෙන් හඬා වැටෙමින් සිටි මෞර්යා අවසානයේ දී මෙවැනි තීරණයක් ගැනීම පවා සිතා ගත නොහැකිය.

” මට දවසක් හරි ඇත්තටම ආදරය කරා නම් ඇවිල්ලා මේ ප්‍රශ්නෙට මුහුණ දීලා ඔයා ගේ අම්මගේ හිතේ ගින්දර නිවන්න ආදිත්‍යය. කියන්න ඔයා එනවා නේද ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here