Strawberry Mochi

හාල් පිටි වලින් හදපු කේක් එකකට මැදිවුණු ස්ට්‍රෝබෙරි හැපෙන සාම්ප්‍රදායික ජපන් අතුරුපසක් වෙන strawberry mochi හදන විදිහ ඔබට කියල දෙන්නයි අපි ඔන්න අද සූදානම් වෙන්නෙ.

ස්ට්‍රෝබෙරි වලට අමතරව mochi හදන්න හරිම විදිහට නම් යොදාගන්නෙ ජපානයේ හරිම සුලබ gluten – free හාල් පිටි වුනත් අපි අද ඔබට කියල දෙන්නෙ නම් සාමාන්‍ය සුදු සහල් කොටල ගත්ත හාල් පිටි යොදාගෙන strawberry mochi හදන්නෙ කොහොමද කියලයි.

හැබැයි gluten free සහල් පිටි හොයාගන්න පුළුවන් නම් ඔබට strawberry mochi වල හරිම රස බලන්න පුළුවන් කියලත් අපි මතක් කරන්න කැමතියි. 

එහෙනම්, මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගෙන ඉමු.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු සහල් පිටි 120 g ක්

සුදු සීනි මේස හැඳි 03 ක් 

වතුර 480 g ක්

රෝස පැහැති ආහාර වර්ණක තේ හැඳි ½ ක් 

කෝන් පිටි මේස හැඳි 01 ක් 

(අමතර කෝන් පිටි ස්වල්පයක් වෙනම තබා ගන්න) 

ස්ට්‍රෝබෙරි ගෙඩි කීපයක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, ලිපේ තබන තරමක් ගැඹුරු භාජනයක් ගෙන එයට සහල් පිටි, සීනි, වතුර සහ ආහාර වර්ණක එකතු කර හොඳින් කලවම් කරගන්න.

දැන් එම භාජනය වැඩි ගින්දරේ ලිපේ තබා දිගටම හැඳිගා ගන්න.

මඳ වේලාවක් හැඳි ගානවිට මේ මිශ්‍රණය උකු වීමට පටන් ගන්න බව ඔබට තේරේවි.

තවදුරටත් හැඳිගානවිට මේ මිශ්‍රණයෙන් වායු බුබුළු ඒමට පටන් ගන්න බව ඔබට දැකගන්න පුළුවන්.

ඒ අවස්ථාවේදී ලිපේ ගින්දර අඩුකර විනාඩියක් පමණ තබා කෝන්පිටි එක්කර නැවත හොඳින් කලවම් කරගන්න.

විනාඩියක් පමණ කලවම් කරගත් පසු ලිප නිවා විනාඩි 08 ක් 10 ක් පමණ උණුසුම අඩුවන තුරු තබා ගන්න.

දැන් පැතලි මතුපිටක් මතට කෝන් පිටි ස්වල්පයක් ඉස ඔබේ දෑත් වලත් කෝන් පිටි ස්වල්පයක් තවරාගෙන අර මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් ගෙන පැතලි මතුපිට මත තබා රොටියක ආකාරයට සකසා ගන්න.

දැන් ඒ පිටි මිශ්‍රණය මැඳින් ස්ට්‍රෝබෙරි ගෙඩිය තබා පිටි මිශ්‍රණය ඒ වටේ බෝලයක් ආකාරයට සකසා ගන්න.

ඉතුරු පිටි මිශ්‍රණයෙනුත් මේ විදිහට ඔබ කැමති ප්‍රමාණයේ පිටි බෝල හදාගන්න පුළුවන්.

ඔන්න දැන් අපි strawberry mochi හදාගෙන ඉවරයි.

මේ හදාගත්ත පිටි බෝල ටික පැයක කාලයක් ශීතකරණයේ තබා රස බලන්නයි තියෙන්නේ.

එහෙනම් මේ වගේම රසවත් රෙසිපියකින් අපි ආයෙමත් හමුවෙමු.

Related Articles

Don't Miss


Latest Articles