තට්ටු දෙකකින් සමන්විත වූ වායු සමීකරණය කරන ලද කාර්යාලය කුඩා වුවත් ඉතා පිරිසිදු එකක් විය. ඔවුන්ගේ තේමාව වී තිබුණේ හරිත වර්ණයය. කාර්යාලයේ බිත්ති බොහෝමයක් වර්ණවත් වී තිබුණේ සුදු පැහැයෙන් හා කෙසෙල් දල්ලේ කොළ පැහැයෙන්ය. අසුන් ගැනීමට තිබූ කුෂන් කළ පුටුත් ඒ පැහැයම විය. කාර්යාල මේස සියල්ලම සුදු පැහැති ඒවාය. ඉසුරි අනුත්තරා රාජපක්ෂට දැනුනේ තමා දෙව්ලොවකට පිවිසියාක් බඳු හැඟීමකි. කෙටි සායවල් බ්ලව්ස් හෝ දිග කලිසම් බ්ලව්ස් ඇඳ ගනිමින් උල් සපත්තුවල ටොක් ටොක් හඬ නංවමින් කාර්යාලය පුරා එහෙ මෙහේ දිව යන සේවිකාවන් දෙස ඉසුරි බලා සිටියේ ආසාවෙන්ය. සම්මුඛ පරීක්ෂණයේදී පැවසුවා සේ ඔවුන් කිසිවෙකු තුල අලසකමක් ගෑවී තිබුණේවත් නැත.
මාස හය හතක කාලයක සිට රැකියා සඳහා ඉල්ලුම්පත් යොමු කරමින් සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වෙමින් යුවතිය සිටියේ හෙම්බත්වය. කුමක්දෝ අහේතුවකට ඒ ගිය කිසිම තැනකින් ඇයට යළි කැඳවීමක් ලැබුණේ නැත. ‘ඒ ඔක්කොම හැඳුනුම්කම් වලට යනවා ඇති’ අවසන ඕ සිත හදාගත්තේ එසේ සිතමින්ය.
ඉසුරිටත් මේ රැකියාව ලැබුණේ තාත්තාගේ හිත මිතුරෙකුගේ මැදිහත් වීමෙන්ය. ලංකාවේ පළාත් කිහිපයක ශාඛා වූ “අරුණළු” පොත් සමාගමෙහි ප්‍රධාන කාර්යාලය මෙයයි.
දන්නා තරමින් ගිණුම් අංශයෙහි පුහුණු වන්නට ඈ හා සේවයට බැඳුණු අය සතර දෙනෙකි. ඒ කිසිවෙකු තවමත් කාර්යාලයට පැමිණ සිටියේ නැත. ඉසුරි තම අත් ඔරලෝසුවට එබුනේ එනිසාය. පැමිණීමට නියමිතව තිබූ වේලාව නවයයි තිහ වුවත් තවමත් අත් ඔරලෝසුවේ වේලාව සටහන්ව තිබුනේ නවයයි පහ යනුවෙන්ය. තමා පැමිණියා වේලාසන වැඩියැයි ඇයට සිතුනේ එනිසාය.
ඉසුරිට පසුව මුලින්ම පැමිණියේ තරුණයෙකි. ඔහු සම්මුඛ පරීක්ෂණය දිනයේත් සිටියා ඇයට මතකය. යුවතිය හඳුනාගත් තරුණයා මඳ සිනහවක් පා “ගුඩ් මෝර්නින්” යැයි පැවසූයේ ඇයට එහා පස වූ සුවපහසු පුටුවෙන් අසුන් ගන්නා ගමන්ය. ඉන්පසුව පැමිණියේ සම්මුඛ පරීක්ෂණයේදී ඉසුරිහාම රැඳී සිටි යුවතියයි. කෙටි කොණ්ඩය ගෙල තෙක් කඩා දමා හදවතක හැඩය ගත් කොණ්ඩා කටුවක් රඳවා ගෙන උන් ඈ ඇඳ සිටියේ කළු පැහැ ටයිට් වර්ගයේ සායකුත් දුහුල් රෙද්දකින් නිම වූ බ්ලවුසයකුත්ය. දෙදෙනාටම ගුඩ් මෝර්නින්” යැයි පැවසූ ඕ ඉසුරි අසලින්ම අසුන් ගත්තාය. ඇගේ පැමිණීමත් සමග මුලු කාර්යාලයම මල් සුවඳකින් පිරී ගියායැයි ඉසුරිට සිතිණ. ඒ මිල අධික සුවඳ විලවුන් වර්ගයක් වන්නට ඇත.
ආයතන ප්‍රධානියා පැමිණියේ ඉන් විනාඩි කිහිපයක් ගතව ගියාට පසුවය. තවත් යුවතියක පැමිණ තිදෙනාව රැස්වීම් ශාලාවක් වෙත කැඳවාගෙන ගියේ ඉන් අනතුරුවය. කළු පැහැ දිග කලිසමකුත් සුදු පැහැ පසුබිමේ ලා නිල් පැහැ සිහින් ඉරි වැටුණු කමිසයකුත් ඇඳගත් තරුණයෙකු හදිසියේ මෙන් දුවගෙන විත් රැස්වීම් ශාලාවෙහි පුටුවකට බර වූයේ “එක්ස්කියුස් මී” යැයි පවසමින්ය. ඔහු පුහුණුව සඳහා පැමිණෙන අනෙක් තරුණයා වන්නට ඇතැයි ඉසුරිට සිතුනේ ඒ හැසිරීමෙන්ය.
“මේක ආයතනයක්. ගාල කඩා ගත්ත හරක් වගේ සැරින් සැරේ දුවගෙන එන්න බෑ. මුලින්ම අන්න ඒ දේ ඔළුවේ තියා ගන්න. මෙතන වැඩ පටන් ගන්න වෙලාවක් අවසන් වෙන වෙලාවක් තියෙනවා. තරාතිරම මොකක් වුනත් කාගේ කවුරු වුණත් මුලින්ම අන්න ඒ රූල්ස් වලට යටත් වෙලා වැඩ කරන්න වෙනවා. මෙතන නීතිය කාටත් එකයි. ඒ වගේම පොදුයි.”
ආයතනයේ ඉතිහාසයත් වර්තමානයත් ගැන පැහැදිලි කරමින් උන් සභාපතිවරයා එසේ පැවසුයේ ප්‍රමාද වී ආ තරුණයා දෙස බලාගෙනය. සම්මුඛ පරීක්ෂණය දිනයේ ඔහු සිටි බවට මතකයක් ඉසුරිට වූයේ නැත. තරාතිරම කුමක් වුවත් කාගේ කවුරුන් වුවත් යනුවෙන් සභාපතිවරයා අවධාරණයෙන්ම පැවසූයේ ඔහු කාගේ හෝ හැදුණුම්කමකට මෙතනට පැමිණි නිසා වන්නට ඇතැයි යුවතියට සිතිණ. ඔහු යළිත් සිය කතාව පටන් ගත්තේ මේසය මත වූ වතුර වීදුරුවෙන් උගුරු කිහිපයක් පානය කලාට පසුවය. ඉන්පසුව සතර දෙනා බාර කෙරුණේ ප්‍රධාන ගිණුම් පරීක්ෂකවරයාටය. ඔහු මැදි වයසේ පුද්ගලයකු විය.
“කිසිම කෙනෙකුට විශේෂයක් අවශ්‍ය නෑ. මෙතන ඉඳලා මේ හතරදෙනාම මිස්ටර් කුලසේකර යටතේ පුහුණු වෙන අය විතරයි.”
තමා බාරව උන් ප්‍රධානියා කුලසේකර බව ඉසුරි දැන ගත්තේ එවේලෙහි. ඉන් පසු ඔහුව හඳුන්වා දෙමින් සභාපතිවරයා කෙටි හැඳින්වීමක් කළේය. වසර විසි හතක් තිස්සේ මේ ආයතනයේ ගිණුම් පරීක්ෂකවරයා වශයෙන් ඔහු සේවය කළ බව සභාපතිවරයා පැවසුවේය. තමා මේ ආයතනයට පැමිණි ආකාරයත් උසස් වීම් ලැබ ඉහලට ගිය ආකාරයත් වර්තමානයේ ඔහුගේ වැටුප සහ ආයතනයෙන් ඔහුට ලබා දී තිබූ පහසුකම් පිළිබඳවත් පැවසූයේ කුලසේකර මහතාය. ඉසුරි ඒ එකඳු වචනයක්වත් මග නොහැර අසා සිටියේ මහත් වූ උවමනාවකින්ය. ඒවා ජීවිතයට පුදුමාකාර මෝටිවේෂන්ය. ප්‍රමාද වී පැමිණ තමා එහා පසින් අසුන් ගත් තරුණයා එවේලෙහි උන්නේත් සිය ජංගම දුරකථන තිරය මත ඇඟිලි තුඩු එහෙ මෙහේ යවමින්ය.
මිනිසුන් අතින් වැරදි වන්නට හැකි බවත් ඒවා අවම කරගන්නට උපරිමයෙන් උත්සාහ ගන්නා ලෙසත් අසීරු වූ තැනකදී තමාගෙන් උපදෙස් පතන ලෙසත්, ඔහු අවසන කාරුණිකව පැවසුවේය. ඉසුරිට සැනසුම් සුසුමක් හෙළුනේ එවේලෙහිය. සිය ජීවිතයේ පළමු රැකියාවට පැමිණි යුවතිය උන්නේ සැකයක් බියත් එක ලෙස දරාගෙනය.
ඔවුන් අදාල අංශවලට බෙදා වෙන් කළේ ඉන්පසුවය. අශිකා යැයි හැඳින්වූ යුවතියත් ඉසුරිට පසුව කාර්යාලයට පැමිණි සහන් යැයි හැඳින්වූ තරුණයාත් එක් අංශයකට යද්දී ඉසුරිටත් ප්‍රමාද වී පැමිණි තරුණයාටත් සිදුවූයේ කුලසේකර යටතේම සේවය කරන්නටය.
“මම බිනර ඔයා….”
තරුණයා ඔහුව හඳුන්වා දෙමින් ඉසුරි හා කතා කළේ එතැනදීය.
“මම ඉසුරි.”
එවේලෙහි ආරම්භ වූ සංවාදය කෙටි එකක් විය. තරුණයා ජංගම දුරකථනයට ඇබ්බැහි වී ඇතැයි ඉසුරිට සිතුනේ ඔහු නිරතුරුවම ඒ දෙස බලා සිටියදීය. මුලින්ම දෙදෙනාට සිදුවූයේ කළුතර පිහිටි පොත් හලෙහි සේල්ස් රිපෝර්ට් එකක් සාදන්නටය. ඊට අවශ්‍ය සියලු දත්ත කළුතර කළමනාකරු විසින් ලබා දී තිබිණ. සියලු අලවිසැල් එකිනෙකට සම්බන්ධ වූ නිසා තොරතුරු ලබාගැනීම අපහසු වූයේ නැත. උසස් පෙළ විභාගයෙන් අනතුරුව පාසලට සමුදුන්නාට පසුව වසර එකහමාරක් පුරා ගිණුම් කරන පාඨමාලාවකට සහභාගි වී තිබුනෙන් ඉසුරිට බොහෝ වේලා ගතවීමට මත්තෙන් තම කාර්ය නිමා කිරීමේ හැකියාව ලැබිණ. ඈ තමාට එහා පස මේසයේ උන් තරුණයා දෙස බැලුවේ ඉන්පසුවය. නොසන්සුන් ලීලාවෙන් යතුරු පුවරුව දෙසත් පරිගණකය දෙසත් වරින් වර බලන තරුණයාට මේ කටයුත්ත අපහසු වී ඇතැයි සිතුනේ මද වේලාවක් ගත වූවාට පසුවය. කුලසේකර මහතාගේ උපදෙස් පරිදි අදාළ ලිපිය ඔහු වෙත ඊමේල් පණිවිඩයක් මගින් යැවූ යුවතිය යළිත් එහා පස උන් තරුණයා දෙස බැලුවේ උදව්වක් අවශ්‍යදැයි අසන්නට සිතාගෙනය. වාසනාවකට මෙන් ඔහුත් එවේලෙහි සිටියේ ඇය දෙස බලාගෙනය.
“ඉවරයිද?”
ඔහු හිස වැනුවේ නැතැයි කියන්නටය.
“අමාරුයිද..?”
ඔහු යළිත් හිස වැනුවේ “ඔව්” යැයි කියන්නටය.
ස්ටොක් එකෙන් සේල් වෙච්ච පොත් ප්‍රමාණය අඩු කරගෙන යන්න. දකුණු පැත්තෙ කෙළවරට වෙනමම කොළම් එකක් අරගෙන ඉතිරි පොත් ප්‍රමාණය නෝට් කරන්න. එතකොට අන්තිමට ඔයාට ෆුල් ස්ටොක් එක හොයා ගන්න පුළුවන්. මුල ඉඳලම අඩු කරගෙන යන්න ඕනේ.
යුවතිය එසේ පැවසූයේ මද හඬකින්ය. මේසා සරල කාර්යයක්වත් කර ගැනීමට නොහැකි ඔහු මෙවන් ආයතනයක සේවයට බඳවා ගත්තේ ඇයි දැයි ඕ සිතුවේ නිහඩවය. සමහර හැදුණුම්කම් මත ආයතනවල සේවයට පැමිණෙන්නේ දක්ෂයින්ම නොවේ. ‘හිතවත් අයගේ ඉල්ලීම් නිසා ආයතන ප්‍රධානීනුත් අසරණ වෙන තැන් තියෙනවනේ.’ අවසන ඕ එසේ පවසා ගත්තේ තමාටමය.
යළිත් සිව් දෙනාම එකට හමුවූයේ දහවල විවේකයේදීය. ඉසුරිට මෙන්ම අනිත් දෙදෙනාටත් එදින පැවරූ රාජකාරී එතරම් අපහසුවක් වී තිබුණේ නැත.
“ඔයා ලන්ච් එක ගෙනාවේ නැද්ද බිනර”
ඉසුරි එසේ ඇසුවේ මද වේලාවක් ඔවුන් සමග කතා කරමින් සිටි තරුණයා නැගිට යාමට සැරසෙද්දීය.
“නැහැ. මම එළියෙන් ලන්ච් එක ගන්න හිතාගෙන ආවෙ.”
“ඔයාට කමක් නැත්තං අපි කෑම එක ශෙයා කර ගමු. මම ටිකක් වැඩිපුර ගෙනාවා.”
“ මචන් එළියෙන් කන්න ගියොත් ගන්න සැලරි එක මදි වෙයි. මෙතන තුනක් තියෙනවනේ.”
එසේ පැවසූයේ සහන්ය. තත්පර කිහිපයක් ගතව යනතුරු තිදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලූ තරුණයා ආපසු අසුන් ගත්තේ මද සිනහවක් මුව මත තබාගෙනය. මුලින්ම තම බත් පත ඔහු දෙසට දිගු කළේ ඉසුරිය. එහි පරිප්පු හින්දුමක්, කෙසෙල් මුව ව්‍යාංජනයක් සහ කීරමින් කරවල බැඳුමක් විය. අශිකා තම බත් පතෙන් කොටසක්ම ඒ මතට දැමුවේය. එහි කුකුල් මස් ව්‍යාංජනයක්, අල බැදුමක් කිරට ඉවූ බෝංචි සහ මැල්ලුමක් විය.
“මේ මොනවද..”
බිනර යුවතියගෙන් ඇසුවේ කෙහෙල් මුව බැදුම පෙන්වමින්ය.
“කෙහෙල් මුව.”
ඔහු ආහාර ගත්තේ තෝරා බේරාගෙන අර පරිස්සමටය. කීරමින් කරවලයෙකු කොනිති ගසන්නට ගොස් කටුවක් ඇනී “ආහ්..” යැයි ඇසුණේ ඇයට සමීපව උන් ඉසුරිට පමණි. යුවතියගේ මුව මත සිනහවක් සටහන් වුවත් ඕ එය පිටතට නොපෙන්වා සිටියාය. එනිසාම අශිකාගේ බත් පතින් දැමූ කුකුළු මස් ව්‍යාංජනය, බෝංචි සහ අල බැදුම ඇය සීරුවෙන් ඔහුගේ පසට වෙන් කළාය.
බිනරගේ ජංගම දුරකථනය නාද වූයේ එවේලෙහිය. වම් අතින් දුරකථනය කන තබාගෙන ඔහු කිසිවෙකුට “කනවා” යැයි පැවසූයේ මඳක් දැඩි හඬකින්යය. ඒ හඬෙහි නුරුස්නා ස්වභාවයක් ගැබ්ව තිබුණායැයි ඉසුරිට සිතිණ. ඔහු කාගේ හෝ උවමනාවකට බල කිරීමට මෙම රැකියාවට පැමිණ ඇතැයි ඕ නිගමනය කළේ එනිසාය.
(හෙටත් හමු වෙමු ආදරයෙන්)