” ඈ ඩොක්ටර් සින්දූපා … ඔය හීන බලන්නෙ වින්ග් කමාන්ඩර් මනුජ නිම්නෙත් ප්‍රේමනාථ ගැන එහෙම නෙවෙයි නේ .. නේ ?
විශ්වගෙ හඬ එක්වරම අකුණක් සේ ඇසෙද්දී සින්දූපා තිගැස්සුණාය. ඕ කිසිවක් වටහා ගත නොහැකි මුහුණක් මවා ගත්තාය. විශ්ව උන්නේ සියල්ල වටහා ගන්නට හැකිය , සියල්ල ඔහු දන්නේය යන ස්වරූපය වත මත රදවාගෙනය. සින්දූපා විශ්වට අමනාප මුහුණක් පෙන්වා වාට්ටුව තුළට යන්නා සැරසුණාය.
” වෝර්ඩ් එකේ නිලූ ඉන්නවාද ?”
විශ්ව එක් වරම වෙනස් ස්වරයකට මාරු වෙමින් විමසුවේය. සින්දූපා ඒ ස්වරයේ අරුත වටහා ගන්නට නොහැකිව හිස සැලුවාය.
” ඔහොම යංකෝ ඉස්සරහට…”
විශ්ව ඉස්සර වෙමින් පැවසුවෙය. සින්දූපා කෙළ පිඬක් ගිල්ලාය. පහසුවෙන් ගැලවීමක් නැති වග වැටහේ.
” මං මේ කියන එක හොඳට සිහි බුද්ධියෙන් අහගන්න නංගී ….. උඹ ඩොක්ටර් සින්දූපා … ඒක හරි … ලොකු බිස්නස් ෆැමිලි එකක දුව…. ඒකත් හරි… උඹ මේ රස්සාව කලා නැතා මැරෙනකල් උඹට ජීවත්වෙන්න සල්ලි තියෙනවා … ඒකත් හරි…. ඔය ඔක්කොම තියෙද්දි, කසාද බඳින්න මිනිහෙක් හොයාගන්න බැරි කමක් නෑ.. නේ ?”
විශ්වගේ ස්වරයෙහි වූ තරවටු භාවයෙන් සින්දූපා හේ බා ගියාය. ඕ යළි කෙළ පිඬක් ගිල්ලාය. කිසිත් නොපවසා උන්නාය. අතෙහි වූ ජංගම දුරකතනය අතින් අත ඇඟිලිවලට මැදි කලාය.
” මනුජ මගේ සහෝදරයා…”
විශ්වගේ ස්වරය වෙනම මානයකට වැටුණි.
” විශ්ව මගේ සහෝදරයා…”
මනුජද එවන්ම වූ විශ්වසනීය ස්වරයකින් පැවසූ මොහොතෙ සැනින් සින්දූපා ට සිහි විය
” මෙව්වා මෙහෙම කියන්න ඕනි නෙවෙයි වුනත්, මම මේ කියන්නේ, දුර දිග ගියාට පස්සේ මේවා විසඳගන්න අපිට බැරි නිසා….. මනුජ කියන්නේ මගේ සහෝදරයා… හැබැයි, මට මගේ සහෝදරියක්ව ඌට කසාද බන්දලා දෙන්න හිතෙන මානසිකත්වයක් නෑ.. නෑ කියන්නේ උගේ අතීතේ එක්ක මට එහෙම හිතෙන්නේ නෑ….
ඌ හොඳ එකා..ලෝකෙටම … හැබැයි කසාද ගෑණිට ඌ හොඳ එකෙක් උනේ නෑ…. නිර්ධා ඌ වෙනුවෙන් ඉවසුව තරම මම දන්නවා.. අන්තිමේදි ඒකිට ඒකිවම එපා වෙන තරමට ඒ ඉවසීම විෂ වුණා… මුන් දෙන්නට එක තීරණයක් ගන්න බැරිඋනා.. දෙන්නාගෙන් එක්කෙනක් වත් අනෙකාට සෙකන්ඩ් වෙන්න කැමති උනේ නෑ…. ඒකිට කොළඹ ලොකු උනා… මූට දියතලාව ලොකු වුණා…
දැන් කොච්චරක් කොහොම වුනත්, මනුජ කියන්නේ දෝණිට හොඳ අප්පච්චී කෙනෙක් නෙවෙයි මුල් කාලේ… ඌ උන්නේ ජොබ් එකේ මූඩ් එකේ.. හීන වලින් වැඩි කොටසක් තිබ්බේ ජොබ් එකට …. ඒකෙන් නිර්ධා තව හිතුවක්කාර වුණා…
සතා වෙනස් වෙලා නෑ.. ඒ නිසා ග්‍රවුන්ඩ් එක මාරු වීම අදාල නෑ…
තීරණයක් ගන්න කලින් ඔය ටික දැනගන්න…
අවුරුදු පහක පොඩි කෙල්ලෙක් ඉන්න, යක්ෂ පාර්ට් එකේ අවුරුදු තිස් හතක මිනිහෙක්ට ඔයාව දෙන්න අම්මලා ලෑස්ති වෙයිද කියලා හිතන්න … උඹට හිතෙනවා නම් නංගි , අම්මලා එක්ක වලි කාලා හරි මේක කරගන්නවා කියල, ආයෙ අර මම කියපු ටික හිතන්න ….
මනුජයා ජීවිතේ තනි වෙනවට මම කැමති නෑ.. ඒත්, උඹ ජීවිතේ විනාශ කරගන්න එක මට ඔට්ටුත් නෑ… මොකද , අම්මලා උඹව මෙහේ එව්වේ මගේ එක වචනේට නංගී…
අපි මේ එකිනෙකා මඟ ඇරලා නන්නාඳුනන ගානට උන්නට, උඹ මගේ නැන්දාගේ දුව…. මට උඹේ ඒ නෑ කමින් මිදෙන්න බෑ.. මිද්‍ර්න්නෙත් නෑ..”
විශ්ව දබරැගිල්ල සින්දූපා වෙත පෑවේය. සින්දූපා උන්නේ හැඬෙනට ඔන්න මෙන්න තරමින් ය. විශ්ව කෙරින් මෙතරම් බරැති බර අවි බලාපොරොත්තු වූයේම නැත. ඕ විශ්වට කිසිත් නොපවසාම ආපසු හැරී ඔහු පසු කලාය
” මනුජ ජීවිතේ ආයේ පටන් අරගෙන යන්තම් සිහියෙන් ඉන්න හදන ගමන් ඉන්නේ… මං කීවානේ, ඌ මගේ සහෝදරයා… උඹේ ඔය එබිලි හින්දා උගේ සාමේ නැති වෙනවාටත් මම කැමති නෑ… මොකෝ මම දන්නවා නැන්දලා කීයටවත් මේක කෙරෙන්න දෙන්නේ නෑ කියලා… ඌ පිස්සෙක් වෙන්න ඕනිත් නෑ.. උඹ සින්දූපා දුක් විඳින්න තියාගන්නත් එපා…. ගැලපෙන දෙයකට හිත යොමු කරන්න …”
සින්දූපා එය නෑසෙන මානයටම වේගයෙන් ඇවිද ගියාය. වාට්ටුව තුළට ගොස් උදෑසන පටන් ඇතුලත් කර තිබු දරුවන්ගේ වාර්තා යලි පෙරලා බැලුවාය. හිත තුළ මළ බෙර වයන හඬ ඇසේ. විශ්වගේ දෑස් වලින් සැඟවී සිටින්නට තමා උත්සාහ කලේම මේ නිසා බව ඇයට දැන් වැටහේ. එහෙත් විශ්ව තමා කෙරෙහි දක්වන සහෝදර බැඳියාව සහ වගවීම නිසාම ඒ ඇස් වලින් තමාට සැඟවෙන්නට බැරිව යන්නට ඇතැයි සින්දූපා සිතුවාය.
ඒ කුමක් වුවද,දැන් කරන්නට දෙයක් නැත . මනුජ හා වන මේ නිහඬ බව වැඩි සංවාදය දිග් ගැස්සිය යුතුමය.
සින්දූපා දවසේ වැඩ කටයුතු අවසන් කලාය. නවාතැනට ගොස් ගත දොවා ගත්තාය.
ඇය නාන කාමරයෙන් පිටතට ආවේම ජංගම දුරකතනය නාද වෙන හඬටය.
තිරයේ වැටී තිබූ නම දුටු ඕ තිගැස්සුණාය.
” පිහාටු කුරුල්ලා”
සින්දූපා ලෙස්සා යන්නට ගිය ජංගම දුරකතනය සහ ලෙහී යන්නට ගිය තුවාය යන දෙකම රැක ගත්තාය
” හෙලෝ …”
” මම ඔය පැත්තට එමින් ගමන් ඉන්නේ…. ඇනෙක්ස් එකේ නේද ?…”