ඉඩෝරයක මල් වැස්සක් – 06

0
1622

ඉසුරි උදේම නැගිට කහ බතක් සැකසුවේ නැගණියගේ ඉල්ලීමටය. මල්ලීටත් වඩා වරෙක කෑම බීම ගැන වද වෙන්නේ ඈය.

“හැමදාම එළවළුයි බතුයි ගෙනිහිල්ලා කන්න බෑ හලෝ. අනිත් අය ගේන කෑමත් එක්ක බැලුවහම මං ගෙනියන බත් එක මට දිගාරින්නත් ලැජ්ජයි. 

ඈ ඒ අයුරින් මැසිවිලි නගන්නේ දින කිහිපයක සිටය. අම්මාට වැටුප් ලැබෙන දිනයක් නොවේ. ඒ මාසේ මුල මැද හෝ අග වන්නට හැක. ඊයේ පෙරේදාත් ඕ එළවලු මාළු සහ කුකුළු මස් ගෙනැවිත් තිබුණාය. එහෙත් දැන්  නිවසින් යමක් ආහාරයට ගන්නේ කලාතුරකින්ය. උදෑසන කෑමත් දහවල කෑමත් වැඩ කරන කර්මාන්ත ශාලාවෙන් ලැබෙන බව ඕ පවසා තිබිණ. 

කහ බතත්  කුකුළු මස් ව්‍යාංජනයක් අල බැදුමක් ඕ යහමින් නැගනියගේ  බත් පතට බෙදුවාය. 

“බිත්තරයකුත් තිබ්බනම් මරු.” 

උදෑසන ඈ එසේ පැවසූයේ ඉසුරිගේ කොපුලක් සිප ගනිමින්ය. පාසලේ සිට නිවසට පැමිණ කා,  බී කාමරයට වැදී ගන්නා ඈ දවස ගෙවන්නේ පොතත් සමගමය. විවේකයකට වූයේ හවස පැය එකහමාරක් පමණ නිදා ගැනීම පමණි. රාත්‍රියේදීත් ඈ පාඩම් කරන නිසා ඉසුරිට සිදුවන්නේත් ඇහැරී සිටින්නටය. ඒ වෙලාවට නවකතා පොතක් හෝ පත්තරයක් කියවා ඈ කාලය ගෙවා දැමීමට පුරුදුව උන්නාය. 

ඉසුරි  කාර්යාලයට ගෙනියන බත් පතත් වෙනදාට වඩා වැඩි ප්‍රමාණයකින් බෙදා ගත්තේ බිනර සිහි වූ නිසාය. තවමත් හතර දෙනාම කෑමට යන්නේ එකටමය. තමාට සහන්ට හෝ අශිකාට මගහැරී ගිය තැන්වලදී බිනර කෑම ගන්නේ පිටතින්ය. 

“සමහර විට අපිට කරදරයක් කියලා හිතලා වෙන්න වෙන්න ඇති. එයා ලන්ච් එකටත් කලින් ඔෆිස් එකෙන් එළියට යනවා මං දැක්කා. ඔය කනවා කියලා ගියාට කාල එනවද දන්නෙත් නෑ.”

සහන් පැවසුවේ බිනර සොයා වෙහෙස වූ එවන් දිනයකය.

“මිනිහා ගෙදර ගැන කිසි විස්තරයක් කියන්නේ නෑනේ. එහෙමකට කියලා සල්ලි බාගේ නැති කෙනෙක් කියලා හිතන්නත් අමාරුයි. ඔය අතේ දාගෙන ඉන්න වොච් එක  විතරක් ලක්‍ෂ දෙකක් විතර ඇති.”

“සල්ලි තිබුනට කෑමක් බීමක් හදල දෙන්න කෙනෙක් නැද්ද දන්නෙ නෑනෙ. මෙහේ බෝඩිමක ඉන්නවද දන් නෑ”

ඉසුරි සහන්ගේත් අශිකාගේත් කතා අසා සිටියේ නිහඬවය. තමාට යාබද පුටුවේ උන් මිතුරා තවමත් ඇයට තේරුම් ගත නොහැකි චරිතයක් වී තිබිණ. සහන් පැවසූ පරිදි ඔහු ඇන්දේ පැලැන්දේ වටිනාකමින් වැඩි ඒවාය. ඒ ඇඳුම් පැළඳුම් පමණක් නොව ගමන බිමන පවා පිළිවෙලය. ඉඳහිට වැඩක් කළාට අදටත් ඔහුගේ බොහෝ කාර්යන් සිදුවන්නේ ඉසුරි අතින්ය. ඔහු එය පුරුද්දකට ගෙන ඇතැයි ඇයට සිතුනේ ඊයේ පෙරේදාය. 

‘සමහරවිට කවුද දන්නේ අපේ ගෙදර වගේ අම්මයි තාත්තයි දෙන්නා දෙපැත්තකට වෙලාද කියලා. ඒ කාරණයේදී දරුවෝ අසරණ වෙන එකට දුප්පත් පොහොසත් කියල භේදයක් නෑ. සමහරවිට අෂිකා කියන්න වගේ එයාගේ කෑම බීම ගැන, හැදියාව ගැන ගමන් බිමන් ගැන හොයන්න බලන්න කවුරුවත් නැතුව ඇති.’

ඉසුරි එසේ සිතුවේ මඳක් විසල් වූ බත්පත ඔතනා ගමන්ය. අද ඔහුව කෑමට නවතාගත යුතුය.ඕ සොහොයුරා නිදා උන් කාමරයට එබුනේ ඉන් පසුවය

“ලොකු අක්කේ..ඇයි තාත්තට කේලම් කිව්වේ. ඊයේ තාත්තා කෝච්ව හම්බවෙන්න ආවා. කට්ටියම ළඟදි කෝච් මට කෑ ගැහුවා. අනවශ්‍ය දේවල් කරන්න එපා. මං දැන් පොඩි ළමයෙක් නෙමෙයි. මං ගැන මට බලාගන්න පුළුවන්.”

පෙරදා රාත්‍රියේ නිවසට පැමිණි සොහොයුරා පැවසූයේ කෝපයෙන්ය. ජංගම දුරකථනය දෙස බලා උන් අම්මාට ඒ හඬ හොඳින්ම ඇසුණත් ඈ කිසිවක් නොකීවාය. 

“මේක පළවෙනි වතාව සහ අන්තිම වතාව වෙන්න ඕනේ. අනික අපි දාලා ගියපු එයා අපි ගැන හොයන්න උවමනාවක් නෑ.”

“අන්න එච්චරයි මට ඇහුනේ….”

එසේ කියමින් අම්මා නැගිට යනතුරුත් ඉසුරි සිටියේ නිහඬවය. කිසිවක් නොකියා ඈ සොහොයුරා පිටිපසින්ම ඔහුගේ කාමරයට ඇවිද ගියාය. නිවසේ කුමක් සිදු වුවත් ඇයට කෝප නොගන්නයැයි පැවසුවේ තාත්තාය. එක්කෙනෙක් හරි මොළේ පාවිච්චි කරන්න ඕනේ යැයි ඔහු නිතර පවසන්නේ ඉසුරිව විශ්වාසයේ තබාගෙනය.

“තාත්තාව හම්බවුණාද ඔයාට..”

“ඔව්..”

“මොනවද කිව්වේ…”

“රස්තියාදුවේ ගිහිල්ලා ඔයාගේ හිතට බරක් වෙන්න එපා කියලා. මං කැමති නෑ කවුරුවත් මට උපදෙස් දීගෙන එනවට. එයාගේ උපදෙස් කොහොමටත් එපා.”

“මල්ලි…..”

ඉසුරියි ඇඳ මතින් අසුන් ගත්තේ එසේ කියමින්ය.

“ඔයා පොඩි ළමයෙක්ගෙ වයසෙ හිටියනම් මං මෙච්චර බය වෙන්න ඕනෙ නෑ. ඔයාගේ හිතට තට්ටු කරලා අහල බලන්න ඔයා කරන්නෙ මොනවද කියලා. මං දන්නෑ අම්මට මොනව වෙලාද කියලා. එයා දැන් අපි කවුරුවත් යන්නේ කීයටද? එන්නේ කීයටද?  කොහෙද යන්නේ? මොකද කරන්නේ? මේ කිසිම දෙයක් ගැන හොයලා බලන්නේ නෑ. ඉල්ලුවොත් දාහක් දේවල් කියල සල්ලි දෙනවා විතරයි. මල්ලි…කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ කියලා නෑ ජීවිතේ විනාස වෙන්න යන්නේ එක තත්පරයයි දෙකයි. හොඳට මතක තියාගන්න ඔයාටවත්, මටවත්, නංගිටවත් කොතනක හරි වැරදුනොත් ආපහු හැරිලා එන්න තැනක් නෑ. ඒ නිසා කරන හැම දෙයක්ම හොඳට හිතලා කරන්න. ජීවි⁣තේ වැරදුණු තැනකදී එන්න පුතේ කියලා ආදරෙන් බදාගෙන තුරුලු කරගන්න අම්මවත් තාත්තවත් දැන් අපි ළඟ නැති ගානයි. එහෙම එකේ මං ඔයා ගැන බය වෙන එක වැරදියිද මල්ලි…

අවසන් වදන් කිහිපය පවසද්දී ඉසුරිගේ හඬ බිඳී ගොස් තිබිණ. සොහොයුරා ඇයට පිටුපා කමිසය ගැලවූයේ ඒ කිසිවක් නොඇසුනා සේය. 

“හැම තිස්සේම ඔයාට මේ දේවල් මතක් කර කර ඉන්න එක මටත් වදයක් ඔයාටත් වදයක්. ඔයා පොඩි ළමයෙක් නෙමෙයි මල්ලි. ජීවිතේ ගන්න ඕන හරි තීරණ මොනවද වැරදි තීරණ මොනවද කියන එක තේරුම් ගන්න දැන් ඔයාට පුළුවන් වෙන්න ඕනේ. මං තාත්තට කිව්වේ මේ දේවල් ගැන වැඩිහිටියෙක් දැනුවත් වෙන්න ඕන නිසා. ඉස්සරහට මට තනියම මුහුණ දෙන්න බැරි සමහර ප්‍රශ්නෙ එයි  කියලා හිතුණු නිසා. ඔයාගේ ඇද යටින් හම්බවුණු සිගරට් කොට ගැන මං කාටවත් නොකිව්වේ ඒවා හංගන එක හරියි කියලා හිතුණු නිසා නෙමෙයි. ඒ වැරැද්ද මේ හැමෝම දැනගෙන ඔයා රස්තියාදු කාරයෙක් කියලා හංවඩු ගහන්න කලින් ඔයා ඒ පුරුද්ද නතර කරගනියි කියලා හිතලා.”

එවර ඔහු පසුපස හැරුනේ කලබලයෙන්ය. ඉන්පසු කාමරය පුරා දෑස් යැව්වේත් ඒ කලබලයෙන්මය. ඉසුරි උන්නේ එක එල්ලේම තම සොහොයුරා දෙස බලාගෙනය. ඔහු තම බැල්ම මගහරින්නට දරණ උත්සාහය දෙස ඈ තත්පර කිහිපයක් බලා සිටියාය.

“ඔයාට නොතේරුම්කමට හරි ඒ වගේ වැරැද්දක් කළා නං ඒක නතර කරගන්න. ඒවා හොඳ පුරුදු නෙමෙයි මල්ලි. සමහර විට ඔයාගේ මුළු ජීවිතේම විනාස කරන වැරදි පුරුද්දක පටන් ගැන්ම මෙතන වෙන්න පුළුවන්.”

ඉසුරි ඇඳෙන් නැගී සිට සොහොයුරාගේ හිස මත තම දකුණත තැබුවේ මදක් ඉස්සීගෙනය. දැන් ඔහු තමාටත් වඩා උසය. ඉසුරු කිසිවක්ම නොකියා බිම බලා ගත්තේය. යුවතිය කාමරයෙන් පිටවූයේ ඒ අවසරයෙන්ය. 

දිගු සුසුමක් මුදාහළ ඉසුරි යළි තම කාමරයට පැමිණ  කණ්නාඩියට එබුනේ ඒ  මතක වලට විරාමයක් ලබා දෙමින්ය. ඕ තෙත කෙහෙරැල්ලේ සමනලයෙකුගේ හැඩය ගත් කොණ්ඩා කටුවක් රඳවා ගත්තේ ඉන් පසුවය. 

මේ දිනවල අධ්‍යන  නිවාඩු ලබා දී තිබූ  නිසා ඔහු ඇහැරෙන්නේ මතක් ප්‍රමාදවය. සාමාන්‍ය පෙළ විභාගය ලියන්නට වූ උනන්දුව උසස් පෙළ දී මගහැරී ගොස්ය. 

“කොප්පක් ගහගෙන තමයි විභාගෙ ගොඩ දාගන්න වෙන්නේ…”

ඔහු පෙර දිනක පාරින්ද හා එසේ පවසන අයුරු ඉසුරි අසාගෙන සිටියේ නිවස තුළ සිටය. වැඩිමහල් සහෝදරයෙකු ලෙස ඔහු කිසිත් නොකියා හිනහෙනු ඇසුණු ඈ කෝප ගත්තාය. 

ඔහුත් තමා සේම මෙම නිවසේ වගකීම් භාරගෙන නංගිටත් මල්ලීටත් වැඩිමහල් සොහොයුරකු වේ යැයි සිතුවත් එය එසේ නොවේ. සැමදාමත් ඔහුට අනුව මේ සියල්ල සිදුවන්නේ ලබා උපන් හැටියටය.

ඉසුරිගේ මුව මත සිනහවක් ඇදී ගියේ කාර්යාලයට පා තබද්දීමය. බිනර වෙනදාට වටා වේලාසනින් පැමිණ සිටියේය. අමුත්තන් පිළිගැනීම සඳහා තබා ඇති සුවපහසු අසුනක වාඩි වී උන් ඔහු අත වූයේ ජංගම දුරකථනය ය.

“ගුඩ් මෝර්නින්. පුදුමයි අද කුකුලත් අතේ අරගෙන ඇවිල්ලා…”

“කුකුල කිව්වේ මට නෙමෙයිනේ…”

“අනේ නෑ අනේ…ඇයි මෙතනට වෙලා…”

“ඔෆිස් රූම් එකේ කවුරුවත් නෑ කම්මැලි නිසා මං මෙතනට වෙලා හිටියා.”

“කාලද ආවේ…”

“ඉසුරු හිස වෙනුවේ නැතැයි කියන්නටය. බඩ කට පිරෙන්නට කිරිබත් හා මාළු ඇඹුල් තියල් කෑ බව ඔහුට සිහි වූයේත් ඒ හදිසියේමය. එහෙත් කුමක්දෝ හේතුවකට ඒ සත්‍ය යුවතියට පවසන්නට ඔහුට සිත් වූයේ නැත. 

“කමුද මමත් අද උදේ කාලා නෙමෙයි ආවේ.”

ඉසුරි එසේ පැවසූයේ හිනැහෙමින්ය. වෙනදා බත් කටක් දෙකක් කා නිවසින් පිටවන ඇයගේ ඒ පිළිවෙල අද වෙනස් වූවාය. නංගිටත් යහමින් බත් බෙදා තමාත් යහමින් බත් පාර්සලයක් ඔතාගෙන ආ නිසා නිවසේ ඉතිරි වූයේ නිවැසියන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර පමණි. 

කිසිවක් නොකියූ බිනර යුවතිය පසු පසින් ඇවිද ගියේ කෑම කන්නට වෙන්කර ඇති කොටස වෙතටය. ආයතනයේ කිහිප දෙනෙකුම රාජකාරිය අරඹන්නට පෙර උදෑසන ආහාරය ලබා ගනිමින් සිටියේය.

යුවතිය වතුර බෝතලයක් සමග ගෙන ආ පත්තර කොළයක එතූ පාර්සලයක් තරුණයා ඉදිරිපස දිගහැරියාය. එහි වූයේ ලුණු මිරිස් මැදට දැමූ පොල් රොටි දෙකකි. ඒ පොල් රොටි දෙක ඈ මිලදී ගත්තේ හන්දියේ පෙට්ටි කඩයෙන්ය. 

අර පරිස්සමට එක් රොටියක ලුණු මිරිස් තැවරූ ඈ එය තරුණයා වෙත දිගු කළාය. 

“භාවනා කරනවද?”

ඉසුරි හිනහමින් ඇසුවේ තමා පොල් රොටිය දිගු කරගෙන සිටිනා බවවත් නොදැන කල්පනාවක උන් බිනරගෙන්ය. කිසිවක් නොකියූ ඔහු පොල් රොටිය අතට ගත්තේ දිගු සුසුමක්ද මුදා හරිමින්ය.

“ඇයි ඔයා කඩෙන් කන්නේ ගෙදර කවුරුවත්ම නැද්ද උදේට ඔයාගේ කෑම එක හදලා දෙන්න. තාත්තා ඉස්සර අපිත් එක්ක ඉන්න කාලේ මොන ප්‍රශ්නේ තිබුණත් අම්ම තාත්තාගේ කෑම එක වැරැද්දුවෙ නෑ. මං පුංචි කාලේ ඒ වැඩේ කලේ තාත්තගෙ අම්මා.”

“ඇයි තාත්තා ඔයාල එක්ක ඉන්න කාලෙ කියලා කිව්වේ.”

බිනර ඇසුවේ ඇයගේ ප්‍රශ්නයට උත්තරයක් නොදීමය.

“දැන් තාත්තා වෙනම ඉන්නේ. වෙනම ෆැමිලි එකක. ඒ දෙන්නා ඩිවෝස් වුනා. ඔයාගේ ගෙදරත් එහෙමද?”

යුවතිය දෑස් ඔසවා එසේ අසද්දී බිනර උන්නේ ඈ දෙස බලාගෙනය. ඒ දෑස් විමතියෙන් විසල්ව තිබිණ. නොඇසූ ප්‍රශ්න රැසක් ඒ හදවතෙහි පෙරළි කරන්නට විය. 

යුවතියගේ  දෑස් පාමුල කඳුළු බිඳු දෙකක් එක්ව තිබුණු අයුරු ඔහු හොඳටම දුටුවේය. ඒ පොල් රොටිය මත තවරා තිබූ ලුණු මිරිසේ සැර නොවන බව විශ්වාසය. ඔහුටත් නොතේරුණු කුමක්දෝ හැඟීමක් ඒ පපුව රිදවන්නට විය. 

“කන්න ඉතින්…ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත එහෙමයි. ලෝකෙට නොපෙනෙන කතා ගොඩක් තියෙනවා. ඔයා හිතන්න මං හොඳම යාළුවෙක් කියලා. අපිට පුළුවන් අපේ දුක බෙදා ගන්න.”

යුවතිය එසේ පැවසූයේ කඳුළු අතරින් ම සිනහසෙමින්ය. ඇයට වූයේ කතා කරන දෑස්ය. බිනර මේ මේ සා උවමනාවකින් ඈ දෙස බැලුවේ දැන්ය. දෑස් වල කඳුළු තබාගෙන ඒ මුවින් නැගෙන සිනහව තමා මේ ලොව දුටු ලස්සනම සිනහවයැයි ඔහු සිතුවේ නිහඩවය.

(යළිත් හමුවෙමු ආදරයෙන්.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here