ඉඩෝරයක මල් වැස්සක් – 10

0
3114

තමාටත් නොතේරුම් වූ හැඟුම් සමුදායකින් මේ සිත පිරි ඇතැයි ඉසුරිට සිතේ. අත්තම්මා උඩ ගෙදර නැන්දා සමගින් පන්සල් ගියේ මෙන් මින් හෝරාවකට පමණ ඉහතදීය. අම්මා කිසිවෙකු සමඟ දුරකථනයෙන් උස් හඬින් කෑ ගසා ගන්නා අයුරු ඇයට ඇසුණේ එවේලෙහිය. ඒ අලුත් දෙයක් හෝ අමුතු දෙයක් නොවූ නිසා ඉසුරි ඊට සවන් දෙන්නට නොගියාය. අත්තම්මා සමග පන්සල් යන්නට සිතුනත් ඇයට කුමක්දෝ අලසකමක් දැනෙමින් තිබිණ. තමා මේ  ජීවිතයේ වැදගත්ම තීරණය ගන්නට හදිසි වූවාදැයි ඉසුරිට සිතුනේ තම අනාගතයත් වර්තමානයත් පිළිබඳව සිතෙහි බියක් උපද්දවමින්ය. ඒ හා  සමගම ඒ මුවින් ගිලිහුණේ දිගු සුසුමකි.

ඉසුරිගේ බොහෝ සිහින ගොඩනැගී තිබුණේ තම පවුල වටාය. පවුලේ වැඩිමහල් දියණිය ලෙසත් ලොකු අක්කා ලෙසත් තමාට වඩා වැඩි වගකීම් ගොන්නක් ඇතැයි ඇය නිරතුරුවම සිතුවාය. නංගීටත්, මල්ලිටත් සොයුරියකට වඩා මවකගේ අඩුව පිරිමැහුනේ ඈ අතින්ය. තම වුවමනාවන් ආශාවන් පසෙක තබා ඔවුන්ගේ කැමැත්තට ඉඩ දීම සිදු වූයේ හිතා මතා නොව නිරායාසයෙන්මය. විටෙක දෑස් වල උපදින උණු කඳුලක් පිටව යන්නේ ලොවටම හොර රහසේය. ඒ තනිකම සේම නොලැබීමත් ඈ දරා ගත්තේ නිහඬවමය.

ඒ කඳුළෙහි බර දරන්නට පිරිමි උරහිසක්, හිස තබාගෙන සුසුම් ලන්නට පිරිමි පපුවක් ඇයට අවැසි වූයේ අද ඊයේක නොවේ. පාරින්දගේත් තමාගේත් සම්බන්ධය කොතරම් දුර එකක්දැයි ඇයට දැනෙන්නේ එසේ සිතද්දීය. ඉඳ හිට  දිනක අත අල්ලා නළලත මත හාදුවක් තැවරුවාට කිසිවෙකු පෙනෙන්නට නොසිටි අවස්ථාවකදී ඒ දෙතොල් මත මෘදු හාදුවක් තැබුවාට සිත තුළ වූයේ හිස් තැනකි. තමාගේ උවමනාවකට ඔහු නිවසින් පිටවන්නේ දහසක් මැසිවිලි නැගුවාට පසුවය. 

“බයික් එකට තෙල් ගහනවා හරිද….”

ඒ බොහෝවර පාරින්ද එසේ පවසන්නේ විහිළුවට නොවේ. එවන් ගමනකදී සියළු වියදම් දැරිය යුත්තේ ඈය.

මුහුදු වෙරළක, උද්‍යානයක හෝ චිත්‍රපට ශාලාවක ඔහුට තුරුළුව සිටින්නට අසීමිත ආශාවක් මේ සිත තුළ වූ බව ඉසුරිට සිහි වූයේත් එවේලෙහිය. මිතුරියන් තම පෙම්වතුන් ගැන පවසද්දී ඇයට කීමට කිසිවක් නොවූ තරම්ය. දවස් දෙක තුනකට සැරයක් නිවසට පැමිණෙන ඔහු බිත්ති කන්ඩිය මත වාඩිවී ඉසුරි  විසින් සාදා දෙන තේ කෝප්පය බී පිටව යන්නේ අතිශය සාමාන්‍ය කතාබහක නිරත වූවාට පසුවය. ඒ කතා බහත් බොහෝ විට අනුන් ගැනය. ඉඳහිට පා කරන ඇනුම් පදවලින් හිත රිද්දා ගත්තා මිසක ඒ ආගමනය සිතට සතුටක් නොගෙනා බව විශ්වාසය.

ඔහුට මීට වටා තමාට ලං වන්නට තිබුණායැයි ඉසුරිට සිහි වූයේ දෑස් දැවිල්ලකින් තෙත් කළ කඳුලක් උපදිද්දීය.

“ඔය ගෙදරින් මට උඹ මිසක්කා වෙන කිසි කෙනෙක්ගෙන් වැඩක් නෑ.”

දහවලෙහි නැන්දා පැවසූයේත්, ඒ අයුරින්ය. සිත රිදුනත් ඕ දරා සිටියාය. මේ සබඳකම ගිවිසුමක් බඳු එකකි. 

“ලොකු අයියා නිතර කතා කරනවා නේද පුතේ. ඔයාව බලා ගන්නවා නේද?”

තාත්තාට කතා කල බොහෝ අවස්ථාවලදී ඔහු ඒ අයුරින් අසන්නේ ලොකු අයියා ගැන විශ්වාස තබාගෙනය. තමාගෙන් මේ පවුලට අහිමි වූ සියලු යුතුකම් ඔහු විසින් සිදු කරනවායැයි තාත්තා සිතා සිටිනවා විය යුතුය. 

“ඉසුරි….පැක්ටේරියේ හදිසි වැඩ වගයක් කියලා මට එන්න කිව්වා. මං එද්දි ටිකක් රෑ වෙයි. මේසේ උඩ සල්ලි තියලා ඇති. ලොකු පුතා ආවොත් ලොකු පුතාට කියලා හරි මල්ලිට කියලා හරි හන්දියෙන් රයිස් එකක් ගෙන්න ගන්න. කිරි අම්මට දවල් බත් තියෙනවනේ. මට කෑම තියන්න එපා.”

යුවතිය තිගැස්සුනේ හදිසියේම කාමරයට එබුණු අම්මා එසේ පවසද්දීය. ඉසුරි හිස වැනුවා මිස කිසිත් නොකීවාය. හිරට හිරේ ඇද සිටින ඩෙනිම් කලිසමත්  ටී ෂර්ට් එකත් ඇයට නොගැලපෙනවා යැයි කියන්නට සිතනමුත් ඕ එසේ නොකළාය. මිනිසුන් දුක, කඳුළ, වේදනාව, කලකිරීමට මුහුණ දෙන්නේත් ඒවා දුරු කර ගැනීමට උත්සහ දරන්නේ විවිධ ස්වරූපයන්ගෙන්ය. අම්මාගේ මුහුණු පොත ගිණුම ගැන හෝ ටික් ටොක් ගිණුම ගැන ඉසුරි වදනක්වත් කතා නොකළේත් එනිසාය. 

ඕ ඇඳෙහි  ඒ මේ අතර පෙරළෙමින් සිටියේ කම්මැලිකමත් එක්කය. 

යුවතියට බිනර සිහි වූයේත් ඒ හදිසියේමය. කිසිවක බරක් පතලක් නොමැතිව සැහැල්ලුවෙන් පාව යන තරුණයා විටක ඒ සිතෙහි කෝපයක් ඉපැද්දුවත් තවත් විටෙක මහා ලෙංගතුකමකින් සිතුවිලි වලට සමීපව ඇතැයි ඇයට සිතේ. ඔහුගේ නිවාඩු දවස් ගතව යන්නේ  කුමනාකාරයකින්දැයි ඕ සිතුවේ මඳ සිනහවක් මුව මත තබාගෙනය. සමහර විට ඔහු පෙම්වතිය සමඟ ඇවිදින්නට යනවා විය හැක. යහළුවන් සමඟ රස්තියාදුවක යනවා විය හැක. ඔහු අතින් හරිහැටි වැඩ කටයුතු සිදු නොවන නිසා වෙනත් අංශයකට මාරු කරාවියැයි යුවතිය තුළ වරෙක ඇති වන්නේ බියකි. දිනකට වචන දහය පහළොවකට වඩා කතා නොකරාට දෙදෙනා අතර ලෙංගතුකමක් මිතුදමක් නිරායාසයෙන්ම ගොඩ නැගී ඇතැයි ඉසුරිට සිතිණ.

යුවතියකගේ ජංගම දුරකථනය නාද වූයේ එවේලෙහිය. වට්ස්ඇප් ඇමතුමක නම දිස් වූයේ සහන් යනුවෙන්ය. 

“කොහොමද ඉසුරි මොකද කරන්නේ?”

“කම්මැලිකමේ ඇඳට වෙලා හිටියා. නංගියි  මල්ලියිත්  පන්ති ගිහිල්ලනේ.”

“අපිට නං ඉතින් නිවාඩු දවසේ කරන්න ඕන තරම් වැඩ තියෙනවා.”

සහන් පැවසූයේ සිනහසෙමින්ය. 

“ඔයා මේ වෙලාවේ ගත්තෙ හදිස්සියකටද?”

“නෑ …නෑ නිකන් ඔයා එක්ක කතා කරන්න හිතුනා. කොහොමද ඔෆිස් එකේ වැඩ අමාරු නෑ නේද?”

“අනේ නෑ. අල්ල ගත්තහම ලේසියි. මුලින්ම මුලින් නම් ටිකක් අමාරු උනා”

“ඔයාගේ ෆස්ට් ජොබ් එකනේ ගානක් නැතුව යයි පහුවෙද්දි. මට නං වැඩ කරපු තැන් දෙකටම වඩා මෙතන අවුලක් නෑ.”

“එහෙනම් හොඳයි.”

“බිනර අවුල් නේද?”

ඔහු ඇසුවේ ඈ නිහඬ වද්දීය.

“අවුල් කිව්වේ.”

“ඌට කිසි ගාණක් නෑනෙ අප්පා. ඌ නිකං ජීවත් වෙන්නේ වෙනමම ලෝකෙක වගේ.”

සහනුත් තමාත් අතර එතරම් හිතවත්කමක් ගොඩනැගී තිබුණේ නැත. එක්ව කාර්යාලයට පැමිණි සතර දෙනා එක්ව ආහාර ගත්තත් ඉන් එහා ගිය හිතවත්කම් කිසිවෙකු අතර වූයේ නැත. එසේ තිබියදීත් සහන් බිනර පිළිබඳව පුද්ගලිකව තමා සමඟ මේ අයුරින් කතා කිරීම නිවැරැද්දක් නොවේ යැයි ඉසුරි සිතුවාය. 

“ඒ එක එක්කෙනාගේ විදිහනේ සහන්”

“ඌ ඔය කොයි වෙලාවෙත් ෆෝන් එකෙන් ගේම් ගහන්නේ. ඇබ්බැහි වෙලා. මට හිතෙනවා කොයි වෙලාවක හරි මැනේජ්මන්ට් එක ඌට කතා කරයි කියලා. අවුරුදු විසි හතරක විසිපහක කොල්ලෙක් උනහම ජීවිතය ගැන ඔයිට වඩා බරපතලට හිතන්න ඕනේ. මිනිහා නිසා ඔයාටත් ප්‍රශ්නයක් වෙයි කියලා මගේ හිතේ වෙලාවකට බයක් තියෙනවා.”

“අනේ නැහැ එහෙම කාටවත් කරදර කරන කෙනෙක් නෙමෙයි.”

“නෑ.. නෑ කරදරයක් ගැන නෙමේ මං කියන්නේ. ඔය දෙන්නා එක ඩිවිෂන් එකකනේ ඉන්නේ. අඩු තරමේ ඌට ෆෝන් එක දිහා බලන්නේ නැතුව කන්නවත් බෑනේ ඉසුරි. අපේ ගෙදරට එහා පැත්තෙ ගෙදරක්වත් පොඩි එකාට ෆෝන් එක දීල තමයි බත් කවා ගන්නේ.”

ඉසුරිට මද සිනහවක් නැගුනේ සහන් එසේ පවසද්දීය. ඔහු පවසන්නේ මුසාවක් නොවේ. බිනරගේ සමහර ඇවතුම් පැවතුම් පොඩි දරුවෙකුට සමානය. ඔහුට එක විනාඩියක්වත් එකම ඉරියව්වක සිටීමට නොහැක. 

“පහුවෙනකොට හරියයි සමහරවිට. බිනරටත් ජොබ් එකක අත්දැකීම් නැතුව ඇති.”

“අනේ මන්දා ඉතින්. ඔය පිළිවෙල නං හරියන්නෙෙ නෑ. එහෙම කියලා අපිට උන්ට උපදෙස් දෙන්නත් බෑ නේ. අනිත් එක ඌ අපිත් එක්ක ලන්ච් එක ගන්නෙත් කැමැත්තකින් නෙමෙයිද දන්නෙ නෑ. ඔයා සමහර වෙලාවට බලෙන් කතා කරගෙන ආවට ඌ එළියට යන්නමනේ ට්‍රයි කරන්නේ.”

“මං එහෙම කරන්නේ අපි හතර දෙනාම එකට ඉන්න ඕන නිසා. අනිත් එක එයා ගෙදරින් කෑම ගේන්නෙ නැති නිසා අපෙන් කන එක වරදක් කියලා හිතනවද දන්නේ නැහැනේ.”

“ඒක හරි…ඉතින් දැන් අපි අපි ගැන කතා කරමු.”

සහන් පැවසූයේ ඉසුරිගේ සිතේ ඔහු ගැන අප්‍රසාදයක් මෝදු වෙමින් තිබියදීය. 

“ඉතිං. අද බෝයි ප්‍රෙන්ඩ්ව හම්බවෙන්න ගියේ නැද්ද?”

“නැහැ.”

“ඒ කියන්නේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.”

එහා පසින් එසේ අසද්දී ඉසුරි නිරුත්තර  වූවාය. ලොකු අයියා ගැන ඔවුන් සමග පවසන්නට ඉක්මන් නොවිය යුතු යැයි ඇයට සිතුනේත් ඒ හදිසියේමය. සිය පුද්ගලිකත්වය බෙදා හදා ගන්නට තරම් මිතුදමක් තවමත් සතර දෙනා අතර ගොඩනැගී නොතිබූ බව විශ්වාසය. 

“නෑ…”

“ඒකනේ මම බැලුවේ. ඔයා වගේ පරිස්සමෙන් ජීවත් වෙන කෙනෙක් ආවට ගියාට තීරණයක් ගන්නෙ නැහැනේ.”

“ඒ කිව්වේ…”

“නෑ ඉතින් බෝයිප්‍රෙන්ඩ්  කෙනෙක් ජීවිතයට ළං කර ගන්න කොට ඔයා බලන මොනවා හරි කොලිටීස් ඇතිනේ.” 

“එහෙම විශේෂයක් නෑ ඉතින්.”

මට ඉස්සර ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. ඒ එෆෙයාර් එකට අවුරුද්දක් විතර ඇති. ආශ්‍රය කරන කොට තමයි අඩුපාඩු තේරුනේ. එයා කිසි පිළිවෙලක් නැති කෙනෙක්. එයත් එක්ක එකතු වෙලා ජීවිතය හදාගන්න බැරි වෙයි කියලා මට හිතුනා. ඉතින් මං ඒ එෆෙයාර් එක නැවැත්තුවා. පස්සේ ඒ  ළමයා ජීවිතේ නැති කරගන්නත් ගිහිල්ලා තිබුණා. ප්‍රශ්නෙකට මුහුණ දෙන්න බැරි තරම් බොළඳ ළමයෙක් එක්ක මැරේජ් ලයිෆ් එකකට යන්න බෑ. මම ගතපු තීරණය ගැන මට හරි සතුටු හිතුනා ඒක ඇහුවට පස්සේ.”

සහන් කියවා ගෙන ගියේ සැහැල්ලුවෙන්ය. අහිමි ප්‍රේමය වෙනුවෙන් දිවි පුදන මිනිසුන් අදටත් ඕනෑ තරම්ය. ඉසුරි දිගු සුසුමක් හෙළුවාය.

“ඔයා එකපාරක් වත් උත්සාහ කලේ නැද්ද ඒ ගර්ල් එක්ක ඔයාගේ විදිහ ගැන කතා කරන්න.”

“අපි මොකටද කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරලා අපිට ලං කරගන්නේ. අපි මිනිස්සු හදන්න ඕනෙ නෑනේ. බලන්න දැන් ඔයා ජීවත් වෙන විදිහ. එහෙම කවුරුවත් වෙනස් කරන්න ඕන විදිහට ඔයා ජීවත් වෙන්නේ නැහැනේ.”

ඉසුරි කිසිවක් කතා නොකර දුරකථනය කන තබාගෙන සිටියේ ඔහු පවසන දෑ අසාගෙනය. මේ සංවේදී මිනිසෙකු නොවන බව ඕ වටහා ගත්තේ විනාඩි කිහිපයක් ගතව යන්නටත් ප්‍රථමය.

(යළිත් හමු වෙමු ආදරයන් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here