““මං නංගිට පොඩි වැඩක් සෙට් කරන්න අමනාප වෙන්නෙපා”
“මොකද්දක්කෙ?” කියන ගමන් මං හිස් බත් පිඟාන අරන් හෝදන්න වතුර කලේ ළඟට ගියේ එතකොට කාන්ති අක්කට පිටුපාලා ඉන්න හන්දා මට මගේ මූණෙ එක්ස්ප්‍රෙශන්ස් ගෑනිගෙන් හංගන් ඉන්න හැකියාවක් තිබිච්ච නිසා.
“නංගි කැමති නැද්ද මගේ බත් පැකට් බිස්නස් එකට උදව් කරන්න?” කියලා කාන්ති අක්කා කියද්දි “මේ ගෑනි මට මිනිස්සුන්ට ඇඟ විකුණන වැඩක්වත් සෙට් කරන්න යනවද” කියලා හිතේ තිබිච්ච බර අඩුවෙච්ච හන්දම මට කාන්ති අක්කා දිහාවට හැරෙන්න කන්ෆිඩන්ස් තිබ්බා.
“මං එහෙම ලොකුවට උයන්න දන්නෙ නෑනෙ අක්කේ” කියලා නෙගටිව් පොයින්ට් එකකින්ම කතාව පටන් ගත්තට මොකෝ “මට මේක නම් ඇත්තටම කරන්න බැරිකමක් නෑ නේද?” කියන එකත් මතක් උනා. ගෙවල්වල සැපට හැදුනට මොකෝ, මොඩ්ලින් වලට කොච්චර ආස උනත් මොකෝ මං ඉස්සර ගෙදර ඉද්දිත් එක එක පොඩි පොඩි කෑම ජාති, කරි ජාති එහෙම හදලා තිබිච්ච හන්දා උයනවා කියන එක ආය අයනු ආයනු වල ඉඳලා ඉගෙන ගන්න උවමනාවක් මට තිබ්බේ නෑ. ඒ හන්දා හිත අස්සෙන් “කාන්ති අක්කා කියන වැඩේ සුපිරි” කියලා හිතුනත් අනිත් පැත්තට මට තිබිච්ච ලොකුම අවුල තමයි “කාන්ති අක්කා කරනවා වගේ බත් පැකට් විතරක් හදන එකෙන් මට දරුවව බලාගෙන ජීවත්වෙන්න පුලුවන් වෙයිද?” කියන එක.
“උයන්න බෑ කිව්වට නංගි මේ එහෙම පරිප්පුවක් බතක් ලිපේ තියාගන්න නොදන්න කෙනෙක් නෙවෙයිනෙ. ඔය පොළොස්, අඹ වගේ ජාතිනෙ හදන්න නොදන්නෙ. ඒකත් ඉගෙන ගන්න පුලුවන් තව කල් යද්දි.නංගිට කොහොමත් දරුවා එක්ක එලියට ගිහිල්ලා වෙන රස්සාවක් කරන්න අමාරුයි කියලා හිතෙනවනම් නංගියි මමයි දෙන්නා එක්කහු වෙලා බත් පැකට් බිස්නස් එක කරමු. මං දැනට බත් දෙන්නෙ දවල්ටයි උදේටයි විතරනෙ. නංගිත් එක්කහු උනොත් අපිට රෑටත් කෑම පැකට් දෙන විදියට වැඩේ සෙට් කරගන්න පුළුවන්.
එලවලු මාලු අරගන්න යන එක මට කරන්න පුළුවන් නෙ. නංගි මට ඔය සුද්ද කරන, කපන කොටන, ඒදන ජාතිවලට උදව් වෙන්නකො. ඊට අමතරව ඕන නම් දරුවා නිදියන ඇහැරන විදියට අපිට බැරිය පැකට් කරන ඒවා එහෙම” කියලා කාන්ති අක්කා කියද්දි මං ඔලුව වැනුවෙ බාගෙට. ඒ මං කැමතියි කියන එක පෙන්නන්න වගේම ඒ වැඩෙන් මට සෙත අත්පත් වෙන විදිය මොකද්ද කියලා තේරුම්ගන්න.
ඒ විදියට තමයි මම කාන්ති අක්කගෙ කෑම බිස්නස් එකට ජොයින් උනේ. දරුවා හම්බෙන්න දවස් දෙකක් තියෙනකම්ම මම කාන්ති අක්කට බත් පැකට් වැඩේට උදව් උනා. මමත් උදව් උනාට පස්සෙ අපිට මෙච්චරකල් උදේටයි දවල්ටයි විතරක් දීගෙන ආව බත් පැකට් එක රෑටත් දෙන්න හැකියාවක් අපිට තිබ්බා. ඇත්තටම හිතුවට වඩා හොදට වැඩේ ප්ලෑන් කරගන්න පුලුවන් වෙච්ච හන්දා වෙනදට වඩා අපේ බත් පිඟන් සරුසාර උනා. සතියට දවස් පහක් කරෝල කාපු අපි දෙන්නා කරවල කෑල්ල සතියට දවස් තුනකට අඩු කරලා අනිත් දවස් හතරට මාරුවෙන් මාරුවට බිත්තර, මාලු, චූටි මස් කෑල්ලක් හොදි ගඟක් එක්කලා කන ලෙවල් එකකට කන්වර්ට් උනා. ඒ උනත් කාන්ති අක්කා නම් මංජු ගේ දොරකඩින් තියලා යන හින්නික්කිතර බඩු මල්ලත් ගේ ඇතුලට අරගන්න අමතක කරේ නෑ.
“නිකන් දෙන අස්සයගෙ දත් බලන්නෝන නෑනෙ නංගි නේද?” කියලා මගෙත් ඔලුව වැනිල්ල අවසරයක් විදියට ගත්ත කාන්ති අක්කා මල්ලෙ තියෙන්නෙ මොනාද කියලා බලන ගමන් කුස්සි කෑල්ලට ගියා. ඒ හන්දම මංජු මටයි දරුවටයි කන්න ගෙනත් තිබ්බ බිත්තර එහෙම අපි බත් පැකට් හදලා දෙන මිනිස්සුන්ගෙ බඩවල්වලටත් ගියා. කාන්ති අක්කා අරන් එන සුදු බිත්තරයි මංජුගෙ රතු බිත්තරයි එකට තියෙද්දි වෙනස් කියලා අඳුරගන්න පුලුවන් උනාට උදේ නැගිටලා පාන්දර කලුවරේ උයද්දි පිහද්දි අපිට බිත්තරේ පාට බල බල ඉන්න පුලුවන්කමක් තිබ්බෙ නැති හන්දා.
ඒ හැමදේම අස්සේ මං හිතුවා කොහොමද මේ කෑම පැකට් හදන බිස්නස් එක නෙක්ස්ට් ලෙවල් ගෙනියන්නෙ කියන එක. මොකද බඩේ ඉඳන් දරුවා හීන් සැරේ “අම්මේ මං ඉන්නවා” කියලා කියන්න වගේ බඩට පයින් ගහද්දි ඒ නෙක්ස්ට් ලෙවල් එකත් ලඟඳිම එනවා කියන එක නිතර නිතර මට මතක් උනා.
අන්න ඒ හන්දමයි මම දවස් ගාණක් තිස්සේ රෑ නැගිටන් ඉඳලා මේ කෑම පැකට් ව්‍යාපාරෙ උස්සන්න පුලුවන් විදි කල්පනා කරේ. ඉන්ටර්නෙට් එකෙ බලාගෙන කෑම පැකට් ව්‍යාපාරයක් උඩට ගෙනියන්න පුලුවන් විදි මම හෙව්වෙ කරේ. ඒ විදියට ඉන්ටර්නෙට් එකේ, ෆේස්බුක් ගෘප් වල එහෙම මිනිස්සු කතා කරන ඒවා බලද්දි තමයි මට තේරුනේ ගොඩක් වෙලාවට කොළඹ ඉන්න වැඩිහිටි වයසෙ මිනිස්සුන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කියලා ඔය ගෙදර හැදුවා වගේ කෑම ටිකක් ඔෆිස් දවස්වලට කන්න තැනක් නැති එක.
“ගොඩක් වෙලාවට අක්කේ කොළඹ ඔය ඔෆිස් කිට්ටුව පාත කෑම කඩ කොච්චර පටන් ගත්තත් කරගන්න අමාරුව එක්ක, වියදම එක්ක ඒ කඩ ඉක්මනට වැහෙනවා. එහෙම නැත්තම් කෑමවල කොලිටිය අඩුවෙනවා”
“අපි මේ මේ ලෙවල් එකට කෑම දීලත් කොච්චර අමාරුවෙන්ද නංගි මෙහෙම කෑම දෙන්නෙ? එහෙම එකේ කඩවල් වලට කුලිය දිදී කෑමත් දෙන්න ගියාම ඒ මිනිස්සුන්ට කඩවසං ඇරෙන්න වෙන ඔප්ශන් එකක් නැතුව ඇති”
“අක්කා දැන් කෑම පැකට් හදලා දෙන, හැමදාම අක්කාගෙන්ම වේල් තුනම කෑම ගන්න අයත් ඉන්නවනෙ අක්කේ. ඒ අයගෙ නම්බර්ස් එහෙම අක්කා ගාව තියෙනවනෙ. අපි ඒ ඔක්කොම අයව එක තැනකට එක්කාසු කරගමු” කියලා මං කිව්වේ දවස් ගානක් මං ප්ලෑන් කරලා හිතුව දෙයක්. හැබැයි මං කිව්ව දේ නොතේරිච්ච හන්දද මන්දා කාන්ති අක්කා කරේ එක දිගටම මගෙ මූණ දිහාව බලාගෙන ඉන්න එක.
“මං හිතුවෙ අක්කේ ලන්ච් ක්ලබ් එකක් පටන් ගන්න” කියලා මම මගේ අයිඩියා එක කිව්වත් ඒකත් කාන්ති අක්කට නොතේරිච්ච විත්තිය මට අමුතුවෙන් තේරුම්ගන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඉන්ටර්නෙට් එකෙන් බලලා, ෆේස්බුක් එකෙන් අහුලගත්ත විස්තරයි එක්ක ලන්ච් ක්ලබ් එකක් කියන්නෙ මොකද්ද, ඒක කොහොමද ලාබ ලබන විදිහට කරන්නෙ කියන එක ගැන මම ඒ වෙද්දි හොඳට ස්ටඩි කරලා තිබුණේ. මේක නිකම්ම කෑම විකිණීමක් නෙවෙයි, මේක සේවාවක්, මිනිස්සුන්ගේ කෑම වේලට ස්ථාවරත්වයක් දෙන උත්සාහයක් විදියට තමයි මම මේ වැඩේ පටන් ගන්න හිතුවෙ.
අපේ දැනටමත් ඉන්න පාරිභෝගිකයන්ව සබ්ස්ක්‍රිප්ශන් මොඩ්ල් එකකට අරගෙන කරන බිස්නස් එකක් විදියට මේ ලන්ච් ක්ලබ් එකක් පටන් ගන්න මම හිතුවෙ ඒකෙන් උයන්න ඕන කරන බඩු නාස්ති වෙලා, කන්නෙ නැති ජාති විසි වෙලා යන එක අඩුවෙලා, අපිට තොග මිලට බඩු ගේන්න පුළුවන් කමක් තියෙනවා කියලා තේරිච්ච හන්දා. ඒකෙන් අපේ වියදම් කපලා අරගෙන ලාභය වැඩි කරගන්න පුළුවන් විදිත් මම මගේ රිසර්ච් එකේදි අඳුරගත්තා. මගේ මූලිකම ප්ලෑන් එක වුණේ, මුලින්ම හරිම සරල පැකේජ් තුනක් හදන එක. මේවා සංකීර්ණ ඩයට් නෙවෙයි, හැබැයි මිනිස්සුන්ගේ ප්‍රධාන කෑම රුචිකත්වය මත හදපු ඒවා වෙන තරමට මිනිස්සු අපිත් එක්ක බැඳෙන, අපිව විශ්වාස කරන්න පෙළඹෙන ප්‍රමාණෙ වැඩිවෙනවා කියලා මම ඉගෙන ගත්තා.
එකක් තමයි මීට් පැක් එක. ඒ කියන්නේ, දෛනික මෙනුවට අනිවාර්යයෙන්ම රතු මස් හෝ කුකුළු මස් කෑමක් එකතු කරනවා. මේ අය එළවලු දෙක තුනක් බලාපොරොත්තු වෙනවාට වඩා, මස් මාළු වේලක් බලාපොරොත්තු වෙනවා.
දෙවනි එක මම හිතුවෙ සී ෆුඩ් පැක් එක. මාළු කන්න ආස අයට තමයි මේ පැකේජ් එක හදන්නෙ. මේ පැකේජ් එකට මාළු කෑමක් වගේම, සමහර දවස්වලට අපේ අය කන්න ආස කන්න ආස කරන කරවල හෝ හාල්මැස්සෝ බැදුමක් වගේ දෙයක් එකතු කරනවා. ඒකෙනුත් ගෙදරදි වගේ කන්න ආස අයට ඒ හෝම්ලි ෆීලින් එක දෙන්න පුළුවන්. තුන්වෙනි එක වෙජි පැක් එක. මේක එළවලු විතරක් කන අයට හදපු එකක්. ඒත් මේ අය අතර බිත්තර කන අය ඉන්න නිසා, එයාලට ඒ පහසුකම එකතු කරන්නත් පුළුවන් විදිහට මේ පැකේජ් එක හදනවා. මේකේදී ප්‍රෝටීන් හිඟයක් ඇති නොවෙන්න පරිප්පු වගේම, ගුණදායි එළවලු වර්ග දෙක තුනක් අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕන.
මේ විදිහට, කස්ටමර්ලා එයාලගෙ කෑම රුචිකත්වය අනුව කැටගරි කරලා, අපේ ලන්ච් ක්ලබ් එකේ නම තියෙන ලස්සන ට්‍රාන්ස්පේරන්ට් බොක්සස් වල කෑම යවන්න තමයි මම හිතුවෙ. මේක කියන තරම් ලේසි වැඩක් නෙවෙන බවත්, මුලින්ම ඔය කෑම පෙට්ටි ගහන්න එහෙමත් වියදමක් යන විත්තිය දන්න හන්දා මගේ ගාව තිබ්බ සල්ලිවලින් ටිකක් හොල්ලන්න වෙන විත්තිය කිව්වමත් කාන්ති අක්කා කරේ සද්ද නැතුව ඔලුව හොල්ලන එක විතරයි.
“නංගි අතේ තියෙන කීය හරි වියදම් කරලා ඕක පටන් ගන්න එක නෙවිනෙ වැඩේ. හදිසියේ හරි ඕක හරි ගියේ නැත්තම් අන්තිමේ සල්ලිත් නෑ නේද?”
“හරියන්න හරි වැරදෙන්න හරි අපි මේක කරමු අක්කෙ. මොකෝ මට දැනටම වැරදිලා තියෙන්නෙ. ආය මීට එහා වරදින්න විදියක් මට තියේවි කියලා මම හිතන්නෙ නෑ අක්කේ”