බිනර ජයවර්ධන මහතා උන් ආයතන පරිපාලන අංශයට මාරු කෙරුණේ ඉන් දෙදවසට පසුවය. කලක් තමා අසලම උන් මිතුරෙකු අහිමිවන්නාක් බඳු වූ වේදනාවක් යුවතියට දැනෙමින් තිබිණ. ඕ බිනර දෙස බැලුවේ දෑස් වල කඳුළු පුරවාගෙනය.
“මං ඔයාට කිව්වා පරිස්සමට වැඩ කරන්න කියලා.”
අවසන ඈ අපහසුවෙන් එක් කරගත් වදන් සිය මුවින් පිට කළේ මද හඬකින්ය.
“මෙතනින් එළියට ගියා කියලා ඔයාගෙයි මගෙයි ෆෙන්ඩ්ෂිප් එක නැති වෙන්නේ නෑ නේ අනේ. හවසට මං එනකල් ඉන්න.”
තමාට තරම් ඔහුට මේ මිතුරුකම ගැන නොදැනේයැයි ඇයට සිතුනේ ඔහු සැහැල්ලුවෙන් එසේ පවසද්දීය. පෙර දිනක සහන් පැවසූයේ අශිකා බිනර ගැන බලාපොරොත්තුවෙන් සිටිනා බවය. දැන් දෙදෙනාට එක්ව එකම අංශයක වැඩ කිරීමේ හැකියාව වේ. දිගු සුසුමක් මුදාහළ යුවතිය යළි පරිගණකයට එබුණේ මේ ජීවන ගමන තුළ හමුවන කිසිවෙකු සදාතනික මතක නොවන බව තම සිතට පසක් කරමින්ය.
බිනර හංසිකාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ කාර්යාලය තුළදීමය. ගිණුම් අංශය පළමු මහලේත් ප්‍රකාශන අංශය දෙවන මහලේත් පරිපාලන අංශය තුන්වන මහලේත් විය.
“ඇයි මොකෝ…”
“තාත්තට කියනවා හලෝ මං එකවුන්ට් එකේම ඉන්නම් කියලා. බලනවාකෝ වැඩක් පුරුදු වෙන්න පටන් ගත්තා විතරයි.”
“තාත්තාට ඕනේ ඔයා මේ බිස්නස් එක ඇතුලේ ඕල් රවුන්ඩර් කෙනෙක් කරන්නේ මල්ලි. ඒ නිසා ට්‍රාන්ස්පෝර්ට් එකට දැම්මත් පුදුම වෙන්න එපා. ඔයාව දවස් කිහිපයකට එකවුන්ට් එකට දැම්මට ඇත්තටම ඔයා ඉන්න ඕනේ එතන නෙමෙයිනේ. අනික අර ගර්ල්නේ ඔයාගේ වැඩ කරන්නෙත්. මේ වෙලාවේ තාත්තගෙ තීරණ වලට පිටින් යන්න එපා. තාත්තා හදන්නේ ටිකෙන් ටික බිස්නස් එක ඔයාගෙ අතට දෙන්න.”
“මට තාම එච්චර රෙස්පොන්සබිලිටි එකක් ගන්න බෑ.”
“ඒක තමයි තාත්තා ඔයාව තාත්තා ළඟ තියාගන්න හදන්නේ. ඔතන තමයි ඔයාගේ නියම තැන.”
හංසිකා දුරකථනය විසන්ධි කළේ එසේ පවසමින්ය. තමාට හිමි අසුනට ගියත් ඔහුට බොහෝ වේලා යනතුරු සිහි වූයේ ඉසුරිගේ කඳුළු පිරි දෑස්ය.
බිනර තමාට පෙනෙන මානයක සිටීම ගැන අශිකා වූයේ සතුටින්ය. ගිණුම් අංශයෙන්, ඉසුරිගේ ඇසුරෙන් ඔහු ඈත්වීමේ සතුටක් සහන්ගේ සිතෙහි වුවත් මෙහි තමාටත් වඩා වැඩි තත්ත්වයක් ඔහුට හිමිවීම පිළිබඳව ඒ සිතෙහි වූයේ කෝපයකි.
“උගේ කවුරුහරි ජයවර්ධන සර් එක්ක හොඳ කනෙක්ෂන් එකක් ඇති. නැත්තං ඉතින් එක පාරටම සර්ගේ ළඟටම ගන්නේ නෑනේ. ඕක තමයි ප්‍රශ්නෙ. අපි කොච්චර දක්ෂ වුනත් සුදුස්සට සුදුසු තැන හම්බ වෙන්නේ නෑ.”
සහන් ඒ බව අශිකා හා පැවසූයේ සැබෑම වේදනාවකින්ය. අලුතින් සේවයට බඳවාගත් සතර දෙනාගෙන්ම පුහුණුවක් වූයේ ඔහුටය.
බිනර එදා දහවල කෑමටවත් නොපැමිණියේය.
“ඌ දැන් ලන්ච් ගන්නේ ජයවර්ධන සර් එක්ක වෙන්න ඇති. අශිකා ඔයා මේවා ඌට කිව්වත් කමක් නෑ මිනිහා මාර කපටියෙක් ඈ. මමනම් මීට පස්සේ මිනිහා ළඟදි කතා කරන වචන පවා බොහොම පරිස්සමෙන් කතා කරන්න ඕනෙ කියලා හිතට ගත්තා.”
කතා කළේ අශිකා හා සහන් පමණි. ඉසුරි දිගින් දිගටම කළේ මුනිවත රැකීමය. අශිකා උන්නේ ඈ ගැන නිරීක්‍ෂණයෙන්ය. ඉසුරි දුකෙන්ය. කොහේදෝ සිට පැමිණි සතුටකින් ඈ උද්දාමයට පත්ව සිටියාය. පසුගිය දිනවල බිනර ඉසුරි පිළිබඳව ඕනෑවට වඩා සොයා බලන අයුරුත් ඉසුරි ඔහු පිළිබඳව ඕනෑවට වඩා වද වෙන අයුරුත් ඈ බලා සිටියේ කෝපයෙන්ය. මෙවේලෙහි ඈ රිදවා ලබන සතුට අශිකාට දැනෙමින් තිබිණ.
“මං හිතුවා මාව දාලා දිව්වා කියලා”
බිනර සවස මගබලා සිටියේ ඉසුරි එනතුරුය. ඇය ඔහු අසල නතර වූයේ සිනහමුසුවය.
“කොහොමද එතන වැඩ..”
“අවුලක් නෑ. උදව්වක් කරන්න කෙනෙක් නැති එක තමයි ප්‍රශ්නේ.”
“එක අතකින් ඒක හොඳයි. එතකොට තමන්ගේ වැඩ තනියම කරගන්න පුරුදුවෙයිනේ.”
“නපුරි…”
“ඔයා මෙහෙම මමත් එක්ක ගියාට කමක් නැද්ද? අශිකා බලාගෙන ඇති ඔයා එනකල්.”
“ඇයි නිකං ඒක අමුතු විදිහට කිව්වේ.”
“නෑ… මට බනිද දන්නේ නෑ..”
“මොකක්ද ජෙලස් එකක් ඇතිවෙලා.”
“අනේ නෑ ඔයාට හොඳක් වෙනවනම් මං හරි කැමතියි.”
“අපි මොනවා හරි බීලා යමුද? මට හරි තිබහයි”
බිනර එසේ ඇසුවේ නගර මධ්‍යයෙහි වූ අවන්හලක් අසල නතර වෙමින්ය. නගර මධ්‍යයෙහි වූවත් එය නිහඬ නිස්කලංක ස්ථානයකි.
“ගොඩක් වෙලා පරක්කු වෙන්න නම් බෑ.”
“චුට්ට වෙලාවක්…”
ඔහුගේ සමහර ඉල්ලීම් අහක දැමිය නොහැකි තරම්ය. ඔහු තුළ වන්නේ අමුතුම දඟයකි.
ඉස්සර වූයේත් අවන්හලට ගොස් දොඩම් යුෂ ඇණවුම් කළේත් ඔහුය. මිතුරෙකු, කාර්යාලයේ තරුණයෙකු සමග වුවත් මේ ආකාරයෙන් ගැවසීම හොඳක් නොවන බව ඉසුරි දැන සිටියාය. එහෙත් මේ සැහැල්ලු තරුණයාත් සමග ගෙවා දමන පැයක් වුවත් එය සුන්දරය.
“ඉතින් කියන්න….මං ගියාට පස්සේ පාළු හිතුනද?”
“ඔව් ඇත්තටම. ඇයි දන් නෑ නේද ඔයාව එහෙම මාරු කළේ.?”
“දන් නෑ ඉතින් ඒ ගොල්ලොම තමයි දන්නෙ. ඔයා කන්න බෑ කියපු නිසා මං මුකුත් ගත්තේ නෑ.”
බිනර ඉස්සර වූයේ ඒ මාතෘකාව වෙනස් කරන්නටය.
“කන්න බෑ තමයි. ඔයා ලන්ච් එකට එළියට ගියාද?”
“ඔව්…..යාළුවෙක් ආවා. මට ඔයාගෙන් දෙයක් දැනගන්න තියෙනවා. අනුන්ගේ කතාවලට ඇහුම්කන් දෙන එක හොඳ දෙයක් නෙමෙයි. ඒ උනාට ඉතින් මට ඔයාගෙන් ඒක අහන්නෙ නැතුව ඉන්න බෑ.”
ඔහු සමහර සිංහල වචන කතා කරන්නේ අමුතු හුරුවකටය. බිනර ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ අයෙකු බවත් කලක්ම විදේශ ගතව සිටි අයෙකු බවත් ඈ දැනගත්තේ ඊයේ පෙරේදාය. ඔහුගේ දඟකම වඩාත් ඉස්මතු වී පෙනෙන්නේ ඒ වචන හැසිරවීමත් සමඟය.
“කියන්නකො ඔයාගේ ප්‍රශ්නේ..”
සියලු දුක් දොම්නස් අමතක කලා සේ ඇයත් සැහැල්ලුව උන්නාය. එහෙත් වරින් වර වටපිට බැලුවේ තමා දන්නා හඳුනන කිසිවෙකු මෙතනට පැමිණේදැයි බියකින් සැකයකින් සේය. ඉසුරි කතන්දරවලට තරම් අන් කිසිවකට බිය නොවේ.
“ඔයා එන්ගේජ්මන්ට් එකක් ගැන කතා කරනවා මම අහගෙන හිටියා. ඒ ඇයි?”
“ඒක ලොකු කතාවක් බිනර..”
“ඒ ලොකු කතාව ඔයාට මමත් එක කියන්න්න බැරිද. මං අහලා තියෙනවා තමන්ගේ ප්‍රශ්න තමන්ට විශ්වාස තව කෙනෙක් එක්ක කතා කළහම හිත සැහැල්ලු වෙනවා කියලා. සමහරවිට ඔයාගේ ප්‍රශ්න හැම එකකටම උත්තර මම ළඟ නැති වෙයි. ඒ උනාට ඔයාට සවන් දෙන හොඳ යාළුවෙක් වෙන්න මට පුළුවන් වෙයි. සමහරවිට උත්තර හොයන්නත් පුළුවන් වෙයි.”
“අනේ ඔයා හරි හොඳ කෙනෙක් බිනර.”
“ඒක මම දන්නෙ නෑ. ඒක දැනෙන්නේ ඔයාට. ඔයා ගොඩක් වෙලාවට ඇස් වල කඳුළු පුරවගෙන ඉන්නවා. එහෙම වෙන්නේ මොනවා හරි දුකකින් ඉන්න කෙනෙක්ට. මම අහල තියෙන විදිහට නං විසඳුම් නැති ප්‍රශ්න කොහෙවත් නෑ.”
“ඒක ප්‍රශ්නයක්මත් නෙමෙයි වෙන්න පුළුවන් බිනර. ඒත් මගේ හිත හැම වෙලාවකම දුකෙන්.”
“ඒ ඇයි කියලා තමයි මම අහන්නේ. එන්ගේජ්මන්ට් එක ඔයාගෙනං. ඔයාට බොයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනම් ඔයා එහෙම දුකින් ඉන්න විදිහක් නෑ නේද?”
ඉසුරි ඔහු දෙස බැලුවේ සිනහසීගෙනය. බිනර පවසන්නේ සැබෑවකි. විය යුත්තේද එයය…
“හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ සතුටවත් සැහැල්ලුවවත් හැමදාම තියෙන්නේ නෑ.”
“එයා ඔයාට බලපෑම් කරන කෙනෙක්ද. එහෙම නැත්තං ඔයා ඔයාගේ අකමැත්තෙන් ඔයාගේ පේරන්ට්ස්ලගේ බල කිරීමෙන් එයාට කැමති වෙලාද.?”
“එයා මගේ එකම නැන්දගේ පුතා. මං කියන්නේ ලොකු අයියා කියලා. මං දන් නෑ බිනර මම කියන දේවල් ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා.”
“ඔයා කියන්නකෝ..”
“මගේ තාත්තා අපිව දාලා වෙන මැරේජ් එකකට යනකොට අපි හරි පොඩියි. විශේෂයෙන් නංගීයි මල්ලීයි. අම්මා තාත්තාගේ වැරදි කිව්වා තාත්තා අම්මගේ වැරදි කිව්වා ඒ උනාට අදටත් මම දන්නේ නැහැ කවුද ඇත්තටම වැරදි කියලා. මම අහල තියෙනවා මිනිස්සු තමන්ට නොගැළපෙන තැන් වල රැඳෙන්න ඕනේ නැහැ. තමන්ට සතුටක් දෙන තැනැයි රැඳෙන්න ඕනේ කියලා. ඇත්තටම මගේ තාත්තා එයාගේ සෙකන්ඩ් මැරේජ් එක ඇතුලේ සතුටින්, සැනසීමෙන් ලස්සනට ජීවත් වෙනවා. ඒ උනාට එයා එයාගේ සතුට හොයන්න ගතපු හදිසි තීරණය නිසා අපි ගොඩක් අපහසුතාවලට පත්වුණා. මං දන්නෙ නැහැ ඔයාට මං මේ කියන දේ කොහොම දැනෙයිද කියලා. තාත්තා කෙනෙක් නැති අඩුව ගෙදරකට සම්පූර්ණ කරන්න බැරි අඩුවක්.
“මට මතකයි ඔයා කිව්වේ ෆවුන්ඩේෂන් එක කඩන් වැටුනා කියලා.”
“ඔව්……”
“ඔයාගේ අම්මා සකන්ඩ් මැරේජ් එකකට ගියේ නැද්ද.?”
“නෑ..මොකක්දෝ හේතුවක් නිසා අම්මා එහෙම කළේ නෑ. තාත්තගේ ප්‍රශ්නෙදි කවුරුවත් තාත්තට දොස් කිව්වේ නෑ. හැමෝම ඇඟිල්ල දික්කලේ අම්මට.”
“ඒක ඇයි එහෙම වෙන්නේ? වරද කළේ තාත්තනේ…”
“තාත්තා එහෙම කරන්න හේතු තිබුණා කියලා හැමෝම කිව්වා. මොකද මගේ අම්මා ස්වභාවයෙන්ම හරියට කලබල වෙන කෙනෙක්. ඒ දෙන්න අතර ගොඩක් රණ්ඩු ඇතිවුණා. සමහර වෙලාවට අම්මා අතට අහුවෙන හැම දෙයක්ම පොළොවේ ගැහුවා. තාත්තා අම්මට ගැහුවා. අම්මත් නිකං හිටියේ නැහැ.”
“ඔයා සතුටු වෙන්න එහෙම දෙන්නෙක් වෙන් වෙච්ච එක ගැන. සමහරවිට එහෙම නොවුනනම් ඔයාට අම්මයි තාත්තයි දෙන්නම නැති වෙන්න තිබුණා.”
බිනර එසේ පැවසූයේ පපුව රිදවන රිදුමක් දරාගෙනය. යුවතිය උන්නේ සීතල බීම වීදුරුව තම දෑත් වලින්ම අල්ලාගෙනය. මේ ඉසුරි තමාගේ පුද්ගලික ජීවිතය පිටස්තරයෙකු ඉදිරියේ දිග හැරියාමය. ඒ සියල්ලටම වඩා ඔහු පිරිමියෙකි. එසේ කිරීම යහපත් නොවේ යැයි සිතුනත් ඈ හදිසියේ දෑස් ඔසවා බිනර දෙස බැලුවාය. විශ්වාසය. ඒ පිරිමි දෑස් තුළ වූයේ කඳුලකි. තවත් අයෙකු වෙනුවෙන් දෑස් වල කඳුලක් උනන්නේ නම් ඔහු අති සංවේදී මිනිසෙකු විය යුතුය. යුවතියගේ දෑස් විසල්ව තිබිණ. සැබවින්ම බිනර උන්නේ කම්පනයකින් සේය. ඇගේ ජීවිතය ගැන සිතාගත හැකි කමක් ඔහුට වූයේ නැත. තම නිවසේ ඉඳ හිට කෙනෙකු උස් හඬින් කතා කරනු ඇසෙන්නේත් හදිසියකින්ය. කොහොමටත් බිනර ජීවන අත්දැකීම් අඩු පිරිමියෙකි.
(යළිත් හමුවෙමු ආදරයෙන්)